Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IMF විස්තීරණ ණය පහසුකම අපට ලැබෙන්නේ කොහොම ද?

 අපේ රටේ ගොඩක් අය බලා ගෙන හිටපු ප්‍රවෘත්තියක් අපට අහන්න ලැබුණා. ඒ තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් (IMF) අප රටට විස්තීරණ ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් දෙන්න මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීයා කියන එක. ඉතින් මේ ආරංචිය ලැබුණු දා ඉඳලා ගොඩක් අය කතා වෙන දෙයක් තමයි මේ ණය මුදල හරහා අපේ රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙයිද කියන එක.

මේ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සේ තිබුණු දෙයක්. ඒ නිසා තමයි අපි 16 පාරක් බංකොලොත් වෙන්න යද්දි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහින් ණය එහෙම අරන් රබර් බෝලය වතුර යට තියාගෙන ඉන්නව වගෙ අර්බුදය යට ගැහුවේ. කොහොම හරි පසුගිය මාස කිහිපයේ ඉඳලා මේ රබර් බෝලය ආයේ යට යවන්න බැරි තරමට ඉතිහාසයේ කිසිම දිනක නොතිබුණු විදියට උඩට මතු වුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙද්දි රටේ සියලු ම භාණ්ඩ වල මිල ගණන් දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. මේ ණය මුදල ලැබුණ ම මොකද වෙන්නේ කියන එක ගැන තමයි අද අපි මේ ලිපිය හරහා කතා කරන්න හදන්නේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇති කරගත් මාණ්ඩලික එකඟතාව පිළිබඳ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව – www.www.suchtv.com 

 

අර්බුදය මේ විදියට වර්ධනය වුණු දවසේ ඉඳලා අපේ මිනිස්සුන්ට නිතර ම ඇහුණු දෙයක් තමයි IMF එක හරහා කොහොම හරි ණයක් අරන් මේ ප්‍රශ්නය විසඳා ගන්න ඕන වගේ දෙවල්. අද වෙද්දි මේ IMF ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ශ්‍රී ලංකාව කියන්නෙ මේ IMF එකේ සමාජිකයෙක්. අපි සෑම වසරක ම ඩොලර් ලක්ෂ 4ක් පමණ සාමාජික මුදල් ගෙවලා ශ්‍රී ලංකාවත් එහි සමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. අපේ ආර්ථිකය කුමන වෙලාවක හරි අර්බුදයකට ලක් වෙනවා නම්  IMF එකට ගිහින් අපට තියෙන පහසුකම් ලබා ගන්න සාමාජිකයෙක් විදියට අයිතිය තියෙනවා. කොහොම වුණත් කලින් මහ බැංකු අධිපතිවරයා මේ අර්බුදය මිනිස්සුන්ට දැනෙන්න කලින් ඒ පහසුකම් ලබා ගැනීමට උත්සහ නොකරපු නිසා අපි බොහොම පරක්කු වෙලා තමයි IMF එකට මේ පාර ගියේ. ඉතින් අර කතාවට කියනවා වගේ හිඟන්නට උණු බත් ඉල්ලන්න බෑ දෙන දෙයක් කන්න වෙනවා වගේ දැන් ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේත් IMF පහසුකම් ලබා ගන්න එයාලා කියන කියන දේවල් කරන්න වෙලා තියෙන එක.

IMF එක ණයක් දෙන්නේ බොහොම පරිස්සමට

IMF එක සාමාන්‍යයෙන් ණයක් දෙන්නේ බොහොම පරිස්සමට. මොකද එයාලා පාවිච්චි කරන්නෙ අනුන්ගේ සල්ලි නිසා එයාලට සිද්ධ වෙනවා ඒ ණය ගන්න අයට නැවත ණය ගෙවීමට හැකියාවක් තියෙනවද කියලත් හොයලා බලන්න. එහෙම හැකියාවක් ඒ රටට නැත්තම් ණය ගෙවන්න පුළුවන් විදියට රටේ ප්‍රතිසංස්කරණ කරන්න කියලා රජයට කියනවා. රජය ඒ දේවල් කරනවා කියලා දැනුණට පස්සේ IMF එක ණය අනුමත කරන්නේ. පසුගිය දා ඉදිරිපත් කළ අතුරු අයවැයේ තියෙන්නේ මෙන්න මේ IMF එක සිදු කරන්න කියපු ප්‍රතිසංස්කරණ තමයි. අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පැය 24ක් යන්නත් කලින් ශ්‍රී ලංකාවට ණයක් දෙන්න IMF එක මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට එනවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූලස්ථානය – www.imf.com 

මාණ්ඩලික මට්ටමේ එකඟතා (Staff level agreement ) වලදි කතා වෙන්නේ IMF එක ඒ රටට සපයන්නට බලාපොරොත්තු වන පහසුකම්, ණය, ඒවා ලබා ගන්න අදාළ රට තම ආර්ථිකය තුළ සිදු කළ යුතු දේවල්. ඉතින් ඒ එකඟතාවට අදාළ රට සහ IMF එක අත්සන් තැබුවට පස්සේ ඔබ හිතනවා නම් දැන් ඔක්කොම හරි තව දවස් කිහිපයකින් ඩොලර් බිලියන 2.9 ලැබෙයි කියලා ඇත්තට ම ඒක එහෙම වෙන්නේ නෑ. මේ අත්සන් තැබීමෙන් සිදු වුණේ එකඟතාවකට ආපු එක විතර යි. ඩොලර් බිලියන 2.9 ණය ලබා ගන්න නම් තව බොහෝ දුර අපට යන්න තියෙනවා. මේ විදියට IMF එක හරහා විවිධ වර්ගයේ ණය ගන්න පුළුවන්. IMF එක මේ පාර ලංකාවට ලබා දෙන්නේ විස්තීරණ ණය පහසුකම් (Extended Fund Facility) යටතේ ණයක්. මේ ණය වර්ගයත් අපිට ඉතා ම සුවිශේෂී ණය වර්ගයක්. 

විස්තීරණ ණය පහසුකම IMF එක ලබා දෙන්නේ රටක ගෙවුම් ශේෂ ලේඛනයේ දිගින් දිගට ම හිඟයක් වාර්තා වුණා ම ඒ හිඟය සමනය කරගන්න යි. ගෙවුම් ශේෂ ලේඛන කියන්නේ සරලව ම අපේ ආනයන සහ අපනයන සටහන් කරන ලේඛනය. රටක්´ විදියට අපි හැමදා ම කළේ පිටරට භාණ්ඩ යවනවට (අපනයනය) වඩා සල්ලි වියදම් කරලා පිටරවලින් භාණ්ඩ ගෙන්වන (ආනයනය) කළ එක යි. මේ ප්‍රශ්නය විසඳන්න සහ ආර්ථික අර්බුදය විසඳන්න අපිට IMF එක ණය අනුමත කළේ ඔය විස්තීරණ ණය පහසුකම හරහා යි. මේ විස්තීරණ ණය සාමාන්‍යයෙන් දෙන්නේ අවුරුදු 4කට. ඒ කියන්නේ මාස 48කට. ඉතින් අපිට ලැබෙන්න යන මේ ඩොලර් බිලියන 2.9 අපිට කෙළින් ම එක පාර ලැබෙන්නේ නෑ.

IMF එක දෙන්නේ ඩොලර් නෙවෙයි

මාස 48ක් තිස්සේ සෑම මාස 6කට ම වරක් (Tranche method) සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 300ක් වගේ අවුරුදු 4ක් තිස්සේ ලැබේවි. අපි මෙතන ඩොලර් බිලියන 2.9ක් කියලා කිව්වට ඇත්තට ම IMF එක දෙන්නේ ඩොලර් නෙවෙයි. ශ්‍රී ලංකාවට රුපියල්, අමෙරිකාවට ඩොලර්, ජපානේට යෙන් වගේ IMF එකටත් තියෙනවා මුදල් වර්ගයක්. අපි ඒ මුදල් වර්ගයට කියන්නේ විශේෂ ගැනුම් හිමිකම හෙවත් Special Drawing Rights (SDR) කියන මුදල් වර්ගය. මේ SDRවලින් ගනුදෙනු කරන්න බෑ. මේ ලැබෙන මුදල් වර්ගය අපි අමෙරිකාවේ ඩොලර්වලට මාරු කරගන්න ඕනේ. ඉතින් IMF එක මේ විදියට SDR රටකට දෙනවා නම් අනිවාර්යයෙන්ම අමෙරිකවේ ෆෙඩරල් බැංකුව (අමෙරිකාවේ මහ බැංකුව) කැමති වෙන්න ඕනේ ඒ රටට SDR දෙන්න. ශ්‍රී ලංකාවට ඒ අනුව ලැබෙනවා SDR බිලියන 2.2ක්. එහි ඩොලර් අගය වෙන්න ඩොලර් බිලියන 2.9ක්. 

ශ්‍රී ලංකාව 16 පාරක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ලබාගත් ණය වර්ග – www.lki.lk

 

මේ විස්තීරණ ණය රජයට ලැබෙන ණයක් නෙවෙයි. මේ ණය ලැබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට යි. ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් මේ ණය භාවිත කරලා විදේශ විනිමය සංචිතය සහ අප කලින් කී ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟය පියවගන්නට අවශ්‍ය කටයුතු කරන්න. මේ ණය අපි අනිවාර්යයෙන්ම අවුරුදු 8ක් – 10ක් ඇතුළත නැවත ගෙවිය යුතුයි. බොහෝ දුරට 2% – 3% අතර පොලියක් මේ ණය සඳහා IMF එක අය කරනවා. ඉතින් කවදද මේ ණය ලැබෙන්නේ? එය දැන් රැඳී තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමති (වත්මන් ජනාධිපති) අතේ. ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් මඟින් IMF එකෙන් තමන්ට මේ එකඟ වුණු ඩොලර් බිලියන 2.9 ඉක්මනින් දෙන ලෙසත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන මහ බැංකුවත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන රජයත් රටේ ආර්ථිකය ගොඩ ගන්න මෙවන් ප්‍රතිසංස්කරණ කරන බවටත් ලිඛිත ව ඉල්ලා සිටිය යුතු යි. රජය එලෙස පොරොන්දු වන ප්‍රතිසංස්කරණවලට IMF එක එකඟ වුණොත් අප රටට මේ විස්තීරණ ණය ලැබෙවී.

චිකාගෝ ෆෙඩරල් සංචිත බැංකු ගොඩනැගිල්ල – unsplash.com/Joshua Woroniecki

 

ආර්ථිකය ගොඩ ගන්න රටේ විශාල වෙනස්කම් රාශියක්

රජය එලෙස පොරොන්දු වන ප්‍රතිසංස්කරණ නම් මහජනතාවට එතරම් සුබ දායක වෙන්නේ නෑ. ණය අරගෙන ආර්ථිකය ගොඩ ගන්න නම් අනිවාර්යයෙන් රටේ විශාල වෙනස්කම් රාශියක් සිදු කරන්නට වෙනවා. මේ සිදු කරන ප්‍රතිසංස්කරණවල බර දරන්නට වෙන්නෙත් අවසානයට සාමාන්‍ය ජනතාවට ම තම යි. IMF එක මේ වෙලාවේ විශේෂයෙන්ම ඉල්ලන දෙයක් තමයි වහාම රජයේ ආදායම වැඩි කරන්න. ඒ සඳහා VAT ඇතුළු බදු වැඩි කරන්න, සෑම දෙනාගෙන් ම නිසියාකාර ව බදු අය කරගන්න කියන එක. අන්න එය හුරු කරන්නයි පසුගිය දා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් VAT එක 15% දක්වා වැඩි කරලා අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම Tax File විවෘත කරන්න තීරණය කළේ.

විදුලිය, ජලය සහ ඉන්ධන වැනි භාණ්ඩ හා සේවාවල වියදම ආවරණය වන විදියට මිල (Cost recovery based pricing) නියම කරන එක. ඒ නිසා තමයි සියලුම ඉන්ධන වර්ගවලට දුන්න සහනාධාර ඉවත් කෙරුණේ. සමෘද්ධිය වගේ සමාජ ආරක්ෂණ ජාල (Social Safety Nets) හරහා මේ කරන ප්‍රතිසංස්කරණවලින් දුක් විදින පහළ ම ආදායම්ලාභී මිනිසුන් ආරක්ෂා කරගන්නට වෙනවා. IMF එකට පොරොන්දු වුණු විදියට මහ බැංකුව ඩොලර් එකක් රුපියල් එක්ක මාරු වෙන අගය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම මත (නම්‍ය විනිමය අනුපාතය) තීරණය වෙන්න දෙන්න ඕනේ. රටේ අල්ලස් හා දූෂණය හැකි තරම් අවම කරගන්න ඕනේ කියන එකත් තව කොන්දෙසියක්. මෙන්න මේ වගෙ දේවල් කරන්න තමයි අපේ රජය සහ IMF එක එකඟ වුණේ. අපේ රජය මේ  ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විදිය අනුව අර ඩොලර් බිලියන 2.9 කඩින් කඩ අපිට ලැබේවි. මේ එකඟතාවෙන් අපට ලැබෙන ලොකුම වාසිය තමයි ලෝකයේ අනිත් රටවල් ද අපට උදව් කරන්නට පෙලැඹෙන එක.

පාන් ගෙඩියක් ගන්නවද? ඒ සල්ලි වලින් හාල් කිලෝ එකක් ගන්නවද? – unsplash.com/freestocks

 

පාන් ගෙඩියක් ගන්නවද? ඒ සල්ලි වලින් හාල් කිලෝ එකක් ගන්නවද?

මීට දශක දෙකකට කලින්, ඒ කියන්නේ 1990 ගණන්වලදී මෙරට මිනිස්සු ජීවත් වුණු විදිය අපේ වැඩිහිටි පරම්පරාවට මතක ඇති. ඒ කාලේ වාහනයක්, ෆෝන් එකක්, ගෙදරකට කරන්ට් එක තියෙන එක, ගෙදරකට රූපවාහිනියක් තියෙන එක බහුරයකට හීනයක් වුණා. මේ වගේ දෙවල් තියෙනවා නම් ඒ මිනිස්සු අනිවාර්යයෙන් ම ගමේ, ප්‍රදේශයේ ඉහළ ම පැලැන්තියෙ අය. අද වෙද්දි නැවත වතාවක් අපි ඒ කාලයට ඇවිල්ලා තියෙනවා. පාන් ගෙඩියක් ගන්නවද? ඒ සල්ලිවලින් හාල් කිලෝ එකක් ගන්නවද? කියලා හිතන මට්ටමට මිනිස්සු දැන් පත් වෙලා ඉවරයි. මෙන්න මෙහෙම තිබුණු යුගයක් 2009න් පස්සේ අවසන් වුණා. ඒ කියන්නේ ෆෝන් එකක්, වාහනයක්, ගෙදරට කරන්ට් එක තියෙන එක, ගෙදරට රූපවාහිනියක් කියන එක සාමාන්‍ය දෙයක් වුණා.

එයට ප්‍රධානත ම  හේතුව තමයි යුද්ධය අවසන් වීමෙන් පස්සේ එවකට රජයන් ගොඩ නඟපු කෘත්‍රිම මධ්‍යම පන්තිය. අර 90 දශකයේ පහළ හිටපු බොහෝ අය මේ කෘත්‍රිම මධ්‍යම පාන්තියට අයත්  වුණා. මොකක්ද මේ කෘත්‍රිම මධ්‍යම පන්තිය කියන්නේ? සරලව ම 2022 වෙනකන් අපි තෙල් ගැහුවේ, විදුලිය පාවිච්චි කළේ රජය ඒවාට දුන් සහනාධාර මත යැපිලා. එවකට රජයනුත් තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගන්නට මේ කෘත්‍රිම මධ්‍යම පන්තියක් බිහි කළා වගේම විදේශ ණය අධික ලෙස අරගෙන සහනාධාර දෙමින් මේ කෘත්‍රිම මධ්‍යම පන්තිය නඩත්තු කළා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් විශාල කොටසක් මෙන්න මේ කෘත්‍රිම මධ්‍යම පන්තියට නොදැනි ම ඇතුළත් වුණා. ඔවුන් ගෙවන බදු රටේ හදවත වූවා. 

මොකක්ද මේ කෘත්‍රිම මධ්‍යම පන්තිය කියන්නේ? –  www.gettyimages.com 

 

රජයන් ගොඩ නඟපු කෘත්‍රිම මධ්‍යම පන්තිය

2022 මාර්තුවලින් පස්සේ මෙන්න මේ කෘත්‍රිම මධ්‍යම පන්තිය තව දුරටත් රජයන්ට නඩත්තු කරන්නට බැරි තත්ත්වයක් ඇති වුණා. රජයයන්ට විශාල වශයෙන් විදේශ ණය ගැනීමට නොහැකි වුණා. ඔවුන්ට සිදු වුණා අර සහනාධාර සියල්ල ම කපා හරින්න. ඔවුන් මේ කෘත්‍රිම මධ්‍යම පන්තියේ ලොකුම කාර්යභාරය කරපු රාජ්‍ය සේවයත් නඩත්තු කරන්න බැරි වෙලා ඔවුනුත් ඉවත් කරන මට්ටමකට ඒවි. අදෘශ්‍යමාන සහනාධාර වගෙ කෘත්‍රිම මධ්‍යම පන්තිය උස්සලා තිබ්බ මුක්කු ඔක්කොම මේ වෙද්දි එකින් එකට ගැලවෙමින් යන නිසා තමයි මේ වෙද්දි රටේ මිලියන 90 කට අධික ජනතාවක් ඉතාම දැඩි ලෙස පීඩා විඳින්නේ. මේ සියලු දෙනාම 2021ට කලින් රුපියල් පනස් දාහක විතර පඩියක් අරන්, පොඩි ණයක් එහෙම බැංකුවකින් අරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනය අරන් ඉඳපු අය. මේ අර්බුදයත් එක්ක ඒ කෘත්‍රිම මධ්‍යම පන්තිය විශාල ලෙස වැටෙන්නට ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි කෘත්‍රිම මධ්‍යම පන්තිය හදපු අයට පවා ඒ කෘත්‍රිම මධ්‍යම පන්තියෙ ම බලපෑම මත ගෙදර යන්න වුණේ. ඉදිරියේදී බොහෝ දුරට මේ කෘත්‍රිම මධ්‍යම පන්තිය තවත් ඇද වැටේ වි. අනතුරු ව දුප්පත් පන්තිය සහ පොහොසත් පන්තිය කියලා පන්ති දෙකක් විතරක් ඉතුරු වේවි. දුප්පත් පන්තියට පාන් ගෙඩියක් කන එක පවා හීනයක් වේවි. අර කෘත්‍රිම මධ්‍යම පන්තිය අරගල කළා වගේ නෙවෙයි මෙන්න මේ දුප්පත් පන්තිය අරගල කරන්න පටන් ගත්තම.  

කවරයේ ඡායාරූපය: මේ ලැබෙන මුදල් වර්ගය අපි අමෙරිකාවේ ඩොලර්වලට මාරු කරගන්න ඕනේ - unsplash.com/alexander grey 

මූලාශ්‍ර :

Www.imf.com

Www.lki.lk

Www.suchtv.com

Www.bbc.com

Related Articles