Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මානව හිමිකම් වෙනුවෙන් දිවි පිදූ අගරදගුරු ඔස්කාර් රමේරෝ

කතෝලික පල්ලිය සහ මානව හිමිකම් පිළිබඳ ලංකාවේ විවාදයක් මතු වී ඇති සමයක ඔක්තෝබර් 14 වන දා වතිකානුවෙන් සමස්ථ ලෝකයා දැනගත්තේ ඊට වෙනස් කතා පුවතක්. එදින ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් සත් දෙනෙකු සාන්තුවරයට උසස් කෙරුණා. එයින් එක් අයෙකු වූයේ 1980 දී ඝාතනයට ලක් වූ, එල් සැල්වදෝර් රටේ සැන් සැල්වදෝර් හි අගරදගුරුවරයෙකු වූ ඔස්කාර් රමේරෝ යි.

ඔස්කාර් රමේරෝ ලතින් ඇමෙරිකාවේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් හඬ නැගූ, ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ​, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අයෙක්.

එල් සැල්වදෝර් වැසියන්ට ඔහු කෙතරම් වීරයෙකු වේ ද යත් ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත් කිරීමේ උත්සවය සජීවීව නැරඹීම සඳහා දස දහස් ගණන් වැසියන් නිදිවරා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. උත්සවය පවත්වන ලද්දේ රෝමයේ වේලාවෙන් ඉරිදා වුව ද වෙලාව වෙනස හේතුවෙන් එල් සැල්වදෝරයේ ඒ වන විට ද ඉරිදා දිනට හිරු නැගී තිබුණේ නැහැ.

ඔස්කාර් රමේරෝ

ඔස්කාර් ආර්නුල්ෆෝ රමේරෝ ඉ ගල්දාමේස් උපන්නේ 1917 අගෝස්තු 15 වන දා එල් සැල්වදෝරයේ සැන් මිගෙල් පළාතේ සියුඩාඩ් බැරියෝස් නම් ප්‍රදේශයේ යි. ඔහු වයස අවුරුදු 13 දී ප්‍රදේශයේ සෙමිනරියකට ඇතුළත් ව, පසු ව සැන්සැල්වදෝර් හි ජාතික සෙමිනරියට ඇතුළත් වුණා. පසු ව ඉතාලියට ගිය ඔහු ග්‍රිගෝරියානු සරසවියෙන් දේවධර්මය පිළිබඳ හැදෑරුවා.

ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත්කිරීම සජීවීව නරඹන සැන් සැල්වදෝර් වැසියන් පිරිසක් (Reuters)

යළිත් එල් සැල්වදෝරයට පැමිණි ඔස්කාර් රමේරෝ අනමොරෝස් හි ටික කලක් සේවය කළ පසු සැන් මිගෙල් වෙත යවනු ලැබුණා. සැන් මිගෙල් හි දී ඔහු විසි වසරක් සේවය කළ අතර, දුගී ජනයා වෙනුවෙන් සටන් කිරීමට ඔහුට පෙළඹවීම ඇති වූයේ එහි දී බව සැලකෙනවා. විශේෂයෙන්ම කෝපි වතුවල සේවයට පැමිණි සංක්‍රමණික කම්කරුවන් විඳින දුක් ගැහැට ඊට හේතු වුණා.

ඔස්කාර් රමේරෝ සැන් සැල්වදෝර් හි අගරදගුරු ලෙස පත් කරන ලද්දේ 1977 දී යි. මේ අනුව එල් සැල්වදෝරයේ ප්‍රබලම කතෝලික පූජකයෙකු බවට රමේරෝ පත් වුණා. මේ සමයේ එල් සැල්වදෝරය කෙමෙන් කෙමෙන් දේශපාලන අස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටියා. 1979 ඔක්තෝබර් 15 වන දා හමුදා ජුන්ටාවක් එරට පාලනය අල්ලාගත් අතර ඊට එරෙහිව වාමාංශික කණ්ඩායම් කැරලි ගැසුවා. 1980 දී මෙම වාමාංශික කණ්ඩායම් පහක් එක්ව ෆරාබුන්ඩෝ මාර්ටි ජාතික විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්තා. මේ අතර දක්ෂිණාංශික ඝාතක කල්ලි ද රටේ බිහි වුණා. රොබර්තෝ ඩ​’අබුයිසොන් විසින් මෙහෙය වූ ARENA ඉන් ප්‍රධානම ඝාතක කල්ලිය වුණා. ඝාතන කල්ලිවල ක්‍රියා මෙන්ම රජයේ මර්දනය ද රමේරෝගේ දැඩි විවේචනයට ලක් වුණා.

ඝාතනය

1980 මාර්තු 24 වන දා ඔස්කාර් රමේරෝ සැන් සැල්වදෝර් හි කුඩා දේවස්ථානයක​ දේව මෙහෙයක් පවත්වමින් සිටියා​. ඔහු සිය කතාව නිම කරද්දී රතු පැහැ කාරයක් එම ස්ථානයට පැමිණි අතර එයින් පිටතට පැමිණි අයෙක් දේවස්ථානයේ දොරටුව වෙත පැමිණ වෙඩි තැබුවා​. වෙඩි ප්‍රහාරය කෙළින්ම රමේරෝගේ හදවතට ම වෙඩි වැදී තිබුණ අතර ඔහු එයින් මරණයට පත් වුණා.

සිය ඝාතනයට පෙර දිනයේ රමේරෝ රාජ්‍ය මර්දනයට එරෙහිව ප්‍රබල දේශනයක් සිදුකළා. එහි දී ඔහු සැල්වදෝරියානු හමුදා සෙබළුන්ට ඍජු ව ඇමතුවා. “දෙවියන්ගේ නාමයෙන් මම ඔබෙන් ඉල්ලනවා, ඔබෙන් අයදිනවා, ඔබට අණ කර සිටිනවා මෙම මර්දනය නවත්වන ලෙස​!” යනුවෙන් ඔහු එහි දී කියා සිටියා. එම දේශනය සහ ඔහුගේ මරණය අතර සම්බන්ධයක් වේ ද යන්න පැහැදිලි වූයේ නැහැ.

මෙම ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූයේ දක්ෂිනාංශික ඝාතක කල්ලිය වෙත යි. රොබර්තෝ ඩ​’අබුයිසොන් මෙම ඝාතනයට අණ දුන් බව පසුකලෙක දී එක්සත් ජාතීන් විසින් සිදුකරන ලද විමර්ශනයකින් කියැවුණා. නමුත් කිසිවෙකුත් ඒ පිළිබඳ ව නිල වශයෙන් අධිකරණයක දී චෝදනාවට ලක් වූයේ නැහැ.

ඔස්කාර් රමේරෝගේ සහ හයවන පෝල් පාප්වහන්සේගේ (දකුණේ) සිතුවම් වතිකානුවේ දී (AP)

ඔස්කාර් රමේරෝ ඝාතනය එල් සැල්වදෝර ජනයා බරපතල කම්පනයකට පත් කළා. ඔහුගේ අවමඟුලට විශාල ජනකායක් පැමිණියා. එම අවස්ථාවේ ද කලබලයක් ඇති වූ අතර, කිහිපදෙනෙකු එයින් ද මරණයට පත් වුණා. නමුත් එය කවරෙකු විසින් ඇති කළ කලබලයක් ද යන්න පැහැදිලි වූයේ නැහැ.

රමේරෝ ඝාතනය සහ වෙනත් දේශපාලන ඝාතන පසෙක තිබිය දී ඇමෙරිකානු රජය දිගටම එල් සැල්වදෝර් රජයට සහය දුන්නා. ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ මතය වූයේ එල් සැල්වදෝරයේ වාමාංශික කැරලිකරුවන් මර්දනය කළ යුතු බව යි. නමුත් 1992 දී එරටට සාමය ළඟා වනතෙක් එල් සැල්වදෝරයේ කිසිදු පක්ෂයකට ජයග්‍රහණයක් හිමි වූයේ නැහැ. 1992 ජනවාරියේ අත්සන් කෙරුණ සාම ගිවිසුමක් මඟින් යුද්ධය අවසන් වූ අතර, ෆරාබුන්ඩෝ මාර්ටි ජාතික විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් බවට පත් වුණා.

සාන්තුවරයට පත් වීම

ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත් කිරීම පිළිබඳ විශාල කතාබහක් කලක් තිස්සේ තිබුණා. විශේෂයෙන්ම ලතින් ඇමෙරිකාව තුළ ඔහු ඒ හා සමාන තත්ත්වයෙන් සලකනු ලැබුණා. විශේෂයෙන්ම “විමුක්ති දේවධර්මය​” අනුගමනය කරන්න අතර ඔහු වීරයෙකු වුණා. සැල්වදෝර වැසියන් අතර ද රමේරෝ යනු වීරයෙකු වුණා.

නමුත් දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ හෝ දහසයවන බෙනඩික් පාප්වහන්සේ යටතේ රමේරෝ සාන්තුවරයට පත් කෙරුණේ නැහැ. එක් හේතුවක් වූයේ ඔහුගේ වාමවාදී නැඹුරුව බව කියවෙනවා.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ධුරයට පත් වූ පසු යළිත් ඒ පිළිබඳ කතාබහක් ඇති වුණා. මේ බව ස්ථිර කරන ලද්දේ පසුගිය මැයි මාසයේ දී යි.

එල් සැල්වදෝර් හි අගනගරය වන සැන් සැල්වදෝර් නගරයේ දී ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත් වීම සජීවීව නරඹන අය​. ප්‍රීතිය පළ කිරීම උදෙසා ගිනිකෙළි ද දල්වන ලදී. (Getty Images)

රමේරෝ සාන්තුවරයට පත් කිරීම නිල වශයෙන් සිදු වූ අවස්ථාවේ දී, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, රමේරෝ ඝාතනයට ලක් වූ මොහොතේ පැළඳ සිටි රුධිරය වැකි ඉඟ පටිය පැළඳ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

රමේරෝ ශුභාරංචිය අනුව දිවි ගෙවමින් දුගීන්ට සහ තම ජනතාවට සමීප ව ජීවත් වීම සඳහා තම ආරක්ෂාව පවා නොසලකා හැරිය බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසා සිටියා.

කතෝලික පල්ලියට සම්බන්ධ ඇතැම් පූජකයන්ගේ අදහස් උදහස් කෙසේ වුව ද​, මානව අයිතිවාසිකම් සහ දුගී ජනයාගේ සුබ සිද්ධිය පිළිබඳ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දක්වන අවධානය සඳහා තවත් උදාහරණයක් ලෙස ඔස්කාර් රමේරෝ සාන්තුවරයට පත් කිරීම සැලකිය හැකියි.

කවරයේ පින්තූරය: අගරදගුරු ඔස්කාර් රමේරෝ (Getty Images)

 

Related Articles