වත්කම් සැඟවූ අගමැති ගෙදර යැවූ අයිස්ලන්තයේ මිනිස්සු

අයිස්ලන්තය ලෝකයේ සාමකාමීම රටක් ලෙස බොහෝ කලක පටන් පිළිගැනෙනවා. ගෝලීය සාම දර්ශකයේ මෙන්ම, මානව සංවර්ධන දර්ශකයේ ඉහළම ස්ථානයක අයිස්ලන්තය පවතිනවා. සාමකාමී රටක් ලෙස අයිස්ලන්තය සැලකීම පිටුපස කාරණා කිහිපයක් තිබෙනවා. අඩුම අපරාධ අගයක් පැවතීම, පුද්ගල සමානාත්මතාව ඉහළින්ම රැකීම, ශක්තිමත් ආර්ථිකයක් යටතේ දූෂණය ඉතා අඩු මූල්‍ය කළමණාකරණයක් පැවතීම යනාදී තවත් බොහෝ කාරණා නිසා අයිස්ලන්තයේ පුරවැසියන් ඉතා හොඳ ජීවන මට්ටමකට උරුමකම් කියනවා. එමෙන්ම පරිසර දූෂණයත් ඉතා අවම යි.  අනෙකුත් නෝර්ඩික රටවල් මෙන් අයිස්ලන්තයේත් ඉහළ බදු අය කෙරෙනවා. නමුත් එම බදු මුදල් ඉහළ විනිවිදභාවයකින් යුතුව රටේ සුබසෙත උදෙසා යොදා ගැනෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය ඇතුළු පුරවැසියෙකුගේ සුබ සිද්ධිය සඳහා අවශ්‍ය හැමදෙයක්ම හැකි උපරිමයෙන් ලබා දෙන්න රජය කටයුතු කරනවා.

කෙසේ නමුත්, 2016 වර්ෂයේ අප්‍රියෙල් මාසයේ මුල් සතිය වන විට මුළු ලෝකයම පුදුමයට පත් කරමින් අයිස්ලන්තයේ සාමකාමීබව දෙදරා යනවා. දහස් සංඛ්‍යාත ජනයා රටේ අගනුවර වන රේයික්යවික් වෙත ඒකරාශී වී උද්ඝෝෂණ සංවිධානය කිරීමට පටන් ගන්නවා. ඔවුන් සිටියේ බොහොම හිත් වේදනාවකින්.

උද්ඝෝෂණය සඳහා රැස්වූ ජනකාය/bbc.com/

“මට කෝපයත් එක්කම, අපට වංචා කළ බවක් දැනෙනවා. අගමැති අපට බොරු කිව්වා. අද රාත්‍රියේ මෙහි රැස්වී සිටින සියල්ලන් නොසලකා හරින තරමට ඔහු උඩඟු වෙලා”

“සිදුවීම දැනගත් විට මට ඇඬුනා. අපි හැමෝම අඬනවා. අපි හැමෝම කලකිරුණා. නමුත් මේ දුක දැන් දැන් කෝපයක් දක්වා වෙනස් වෙමින් තිබෙනවා”  

උද්ඝෝෂණයට සහභාගී වූ ඇතැම් අයිස්ලන්ත පුරවැසියන් එලෙස තම අදහස් දක්වා තිබුණා. අයිස්ලන්තය රජයන්වල විනිවිදභාවයත්, දූෂණය ඉතා අවම සමාජ රටාවකට හුරුවූ මිනිසුන් සිටීමත් නිසා මෙම උද්ඝෝෂණය අයිස්ලන්ත ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් බවට පත් වුණා. මේ අර්බුදය ඇරඹුනේ පැනමා පත්‍රිකා හරහා අයිස්ලන්ත අගමැතිවරයාගේ නම ප්‍රසිද්ධවීමත් සමග යි.

මොනවද මේ පැනමා පත්‍රිකා?

පැනමා පත්‍රිකා ගැන ලෝකයේ අවධානය යොමු වෙන්න ගත්තේ 2016 වර්ෂයේ අප්‍රියෙල් මස තුන් වැනිදා සිට යි. එම කාල සීමාව තුළ ලෝකය පුරා වැඩියෙන්ම කතාබහට ලක්වූ සිදුවීම් අතර පැනමා පත්‍රිකා ඉදිරියෙන්ම තිබුණා. එයින් ලෝකය පුරා යම් දේශපාලන කැළඹීමක් හටගත්තා. ඒ කැළඹීම හමුවේ, අයිස්ලන්තය වැනි අතිශයින් සාමකාමී හා දූෂණය ඉතා අවම රාජ්‍යයන්ට පවා ගැලවෙන්න හැකි වුණේ නැහැ.

පැනමා රාජ්‍යයේ නීති සමාගමක් වන ‘මොසාක් ෆොන්සේකා සමාගම’ සතුව තිබූ ඉතා රහසිගත තොරතුරු ‘පැනමා පත්‍රිකා’ යනුවෙන් හඳුන්වනවා. නමුත් මේ ඉතා රහසිගත තොරතුරු ‘ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය’ (ICIJ) නම් සංවිධානයේ සහ “Süddeutsche Zeitung” (SZ) යන ජර්මන් පුවත්පතේ පරිශ්‍රමය නිසා ලෝකයට හෙළිදරව් වෙනවා.

පැනමා පත්‍රිකා සහ ඒවා අනාවරණයකර ගැනීම සඳහා මාධ්‍යවේදීන්ගේ දායකත්වය කාටුන් ඇසකින්/cartooningforpeace.org/

පැනමාව මූලස්ථානය කොටගත්, අක්වෙරළ ගනුදෙනු සඳහා ප්‍රකටව සිටි  මොසාක් ෆොන්සේකා නම් නීති උපදේශන ආයතනය සතු මිලියන 11.5ක් තරම් වූ රහස්‍ය ලේඛන මේ නිසා ප්‍රසිද්ධියට පත් වුණා. විවිධ බලවත් පුද්ගලයන් තම සැබෑ වත්කම් සඟවමින්, සමාගම් බදු මඟහරිමින් අක්වෙරළ ගනුදෙනුවල යෙදී සිටි ආකාරය මෙමඟින් ලෝකය දැන ගත්තා. පැනමා පත්‍රිකා, සුප්‍රසිද්ධ විකිලීක්ස් හෙළිදරව්වට වඩා කිහිප ගුණයකින් විශාල යි. එම වාර්තා ආසන්න වසර 40ක කාලසීමාවකට අයත් වන බව සඳහන්. ව්‍යාපාර, ක්‍රීඩා, කලා, දේශපාලනය වැනි විවිධ ක්ෂේත්‍රවලින් ලෝකය තුළ නමක් දිනා සිටි බොහෝ දෙනා මේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව හමුවේ අපකීර්තියට පත් වුණා. එහි රාජ්‍ය නායකයන් පවා සිටි අතර, ඔවුන් යුක්‍රේනය, පාකිස්ථානය, අයිස්ලන්තය, සෞදි අරාබිය, ආජන්ටිනාව, එංගලන්තය ඇතුළු තවත් බොහෝ රටවලට අයත් නායකයන් වුණා. මූල්‍ය දූෂණ සහ වංචා පිරී ගිය රටක සිටි පුරවැසියන්ට පැනමා පත්‍රිකා එතරම් අරුමයක් වුණේ නැහැ. නමුත් ඉතා ආදර්ශමත් රාජ්‍ය පාලනයක් තිබෙන අයිස්ලන්තය පවා මේ ලෝක අපවාදයට ලක්වීම එරට මිනිසුන්ට ඉවසුම් දුන්නේ නැහැ.  

මොසාක් ෆොන්සේකා සමාගමේ පසුබිම

මොසාක් ෆොන්සේකා සමාගමේ ආරම්භකයා වන්නේ ජර්මන් සම්භවයක් ඇති යූර්ගන් මොසාක් නම් තැනැත්තා යි. කුඩා කාලයේ දීම ඔහු පැනමාවේ පදිංචියට යැවුණු අතර, පසුව නීතිය හදාරා උපාධිය ලැබීමෙන් පසු ලන්ඩන් සහ පැනමා නගරවල නීතිඥ සමාගමක සේවය කළා. 1977දී යූර්ගන් මොසාක් තමාගේම නීතිඥ සමාගමක් අරඹනවා. 1986 වන විට පැනමා නගරයේ ප්‍රසිද්ධ නීතිඥවරයෙකු වූ රමෝන් ෆොන්සේකා මෙම සමාගමේ කොටස්කරුවා ලෙස එක්වෙනවා. එයින් පසු මෙම සමාගම ‘මොසාක් ෆොන්සේකා සමාගම’ ලෙස හැඳින්වීම ඇරඹුණා. මෙම නීතිඥ සමාගමේ විශේෂත්වය වන්නේ “ලියුම් පෙට්ටි සමාගම්” (Shell Companies) ගැන විශේෂ දැනුමක් ඔවුන් සතුව පැවතීම යි. ඉතා සරලව පැහැදිලි කළහොත් එහිදී සිදුවන්නේ, යම් සමාගමක් සත්‍ය වශයෙන්ම පිහිටුවා නොමැතිවුවත්, එහෙත්, එවැනි සමාගමක් පිහිටුවා ඇති බවට සකස් කළ ලේඛන හරහා මුදල් විශුද්ධිකරණයට අවශ්‍ය පසුබිම සකස්කර දීම යි. ඒවා කඩදාසිවලට පමනක් සීමා වූ සමාගම් වන අතර, කාර්යාලයයක් හෝ සේවකයන් නොමැති, එහෙත් බැංකු ගිණුමක් හෝ, නිෂ්ක්‍රීය ආයෝජන හෝ, බුද්ධිමය දේපළ, නැව් වැනි ලියාපදිංචි වත්කම් සහිත සමාගම් විය හැකි යි.

මොසාක් ෆොන්සේකා සමාගමේ කොටස්කරුවන් වන රමෝන් ෆොන්සේකා සහ යූර්ගන් මොසාක්/bloncampus.thehindubusinessline.com/

මොසාක් ෆොන්සේකා සමාගම විසින් නිපදවන ‘ලියුම් පෙට්ටි සමාගමක්’ මිල දී ගැනීම ඉතා පහසු දෙයක් බව කියවෙනවා. මුදල් ගෙවීමෙන් පසු ගැනුම්කරුගේ කැමැත්ත අනුව එම සමාගමට අධ්‍යක්ෂක මණ්ඩලයක් පවා පත්කර ගැනීමේ හැකියාව තිබෙනවා. එමඟින් ගැනුම්කරුවාට තමාගේ අනන්‍යතාවය සඟවා, බාහිර ලෝකයට අධ්‍යක්ෂක මණ්ඩලය පෙනෙන්ට ඉඩහැර, රහසේම තම කටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. 

උදාහරණයක් ලෙස, මොසාක් ෆොන්සේකා ආයතනයේ සේවය කළ ලෙටීෂියා මොන්ටොයා පසුගිය දශක කිහිපය තුළ මෙවැනි ලියුම් පෙට්ටි සමාගම් විසි පන්දහසකට අධික සංඛ්‍යාවක අධ්‍යක්ෂවරිය ලෙස පෙනී සිට තිබෙනවා. නමුත් ඇයට ලැබුණේ කුඩා වැටුපක් වන අතර, ජීවත් වුණේ පැනමා නගරයේ මධ්‍යම පාංතිකයන් බහුලව වෙසෙන ප්‍රදේශයක යි. මෙම ව්‍යාජ සමාගම්වල බැංකු ගිණුම්වලට ඇතුළුවීමට අධ්‍යක්ෂක මණ්ඩලයට අයිතියක් නැහැ. සැබෑ අයිතිකරුවන්ට පමණක් ඒ සඳහා වෙනම බලතල පවරා තිබෙනවා. සෑම සමාගමක් සඳහා වෙනම ලිපි ගොනුවක් ඇති අතර ඒවා වෙනම කළමණාකරණය වෙනවා. ඒ වෙනුවෙන් යම් මුදලකුත් අය කරනවා.

මොසාක් ෆොන්සේකා සමාගමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ඉතා සූක්ෂම යි. ඒ සියලු කරුණු අනාවරණයකර ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ලෝකයේ නන් දෙසින් එකතු වුණු ගවේශනාත්මක මාධ්‍යවේදීන් ඉතා ඉවසීමෙන් හා අවස්ථාව එනතුරු බොහෝ නිහඬව කටයුතුකර තිබෙනවා.

පැනමා පත්‍රිකා හරහා අනාවරණය වූ පුද්ගලයන් සිටි රටවල් සහ මොසාක් ෆොන්සේකා විසින් අක්වෙරළ සමාගම් පවත්වා ගෙන ගිය රටවල්/statista.com/

නැවතත් අයිස්ලන්තයට…

අයිස්ලන්තයේ උද්ඝෝෂණයක් සම්බන්ධ සිදුවීමකින් මෙම ලිපිය ආරම්භ කළත්, පාඨක ඔබව මොහොතකට වෙනත් මානයකට ගෙන යන්න සිදුවුණා. පැනමා පත්‍රිකා සහ මොසාක් ෆොන්සේකා සමාගමේ පසුබිම පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් නොකර අයිස්ලන්ත අර්බුදය ගැන විග්‍රහ කිරීම එතරම් සාර්ථක නැහැ.

කෙසේ හෝ, පැනමා පත්‍රිකාවලින් පැන නැඟුණු ලෝකාපවාදයේ වින්දිතයන් වෙන්න අයිස්ලන්තයට සිදුවුණා. එයින් අයිස්ලන්ත පුරවැසියන්ගේ අභිමානයට සහ ඔවුන්ගේ රටේ ප්‍රතිරූපයට විශාල පහරක් එල්ල වුණා. ඔවුන් එයට එදිරිව ඉක්මන් ප්‍රතිචාර දැක්වූවා.

ඒ අනුව එවකට අයිස්ලන්තයේ අගමැතිධුරය හෙබවූ සිග්මන්ඩුර් ගන්ලෝග්සන්ගේ නම පැනමා පත්‍රිකා හරහා එළිදරව් වීමත් සමග දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයින් රේක්යවික් නුවර පිහිටි පාර්ලිමේන්තුව වටා ඒකරාශී වුණා. ඔවුන් අගමැති සිග්මන්ඩුර් තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, වහාම මැතිවරණයක් කරා යා යුතු බවත් පවතින රජයට බලපෑම් එල්ල කළා. සිග්මන්ඩුර් පමණක් ඉවත්වී අගමැති තනතුරට වෙනත් කෙනෙකු පත්වීම ඔවුන්ගේ අපේක්ෂාව වුණේ නැහැ.

පැනමා පත්‍රිකා හමුවේ චෝදනා ලැබූ සිග්මන්ඩුර් ගන්ලෝග්සන්/businessinsider.com/i

පැනමා පත්‍රිකාවලින් අනාවරණය වූ කරුණු අනුව සිග්මන්ඩුර් ගන්ලොග්සන් සහ ඔහුගේ බිරිඳ, ඇනා සිගුර්ලොග්, 2007 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් මූලික කරගත් “වින්ට්‍රිස්” නම් අක්වෙරළ සමාගමක් මොසාක් ෆොන්සේකා සමාගම හරහා මිල දී ගෙන තිබෙනවා. එම සමාගම හරහා මුදල් ආයෝජනය කරමින් මුදල් විශුද්ධිකරණ කටයුතු මොවුන් සිදුකර තිබෙන බව සැක පහළ වුණා. තම වත්කම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ඔහුගේ කාර්යාලය කොතරම් ප්‍රකාශ නිකුත් කළත්, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සහ සාමාන්‍ය පුරවැසියන් දිගින් දිගටම පැවසුවේ අක්වෙරළ බැංකුකරණය හරහා ඔහු වත්කම් සැඟවූ බව යි.

එල්ල වූ ප්‍රබල මහජන විරෝධය හමුවේ ගන්ලොග්සන්ගේ පක්ෂයේ සාමාජිකයන් පවා ඔහුට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීම් කළා. ඒ අනුව 2016 අප්‍රියෙල් 05 වැනිදා ඔහු අගමැතිධුරයෙන් ඉල්ලා අස්වුණා. පසුව පාලක පක්ෂය වූ ප්‍රගතිශීලි පක්ෂයේ නියෝජ්‍ය නායක සිගුර්දූර් ඉන්ගි ජොහැන්සන්, පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ නව අගමැතිවරයා ලෙස තමාව නම් කිරීමට සැලසුම්කර ඇති බව යි. ඒ අතර සැලසුම් සහගත විශ්වාසභංගයට පෙරාතුව ධුරයෙන් ඉවත් වූ ගන්ලොග්සන්, ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටියා. අගමැති අස්වීමෙන් පසුව පවා මහජනතාව පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්වී බිත්තර සහ කෙසෙල් ගෙඩි විසි කරමින්, පවතින ආණ්ඩුව කෙරෙහි තමාගේ විශ්වාසය පළුදු වූ බව ඉස්මතු කරමින් උද්ඝෝෂණයේ යෙදුණා. කෙසේ හෝ අර්බුදකාරී වාතාවරණය මැද අයිස්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2016 ඔක්තෝබර් 29 වැනිදා පැවත්වුණා. 

අයිස්ලන්ත වැසියන් ඉතාම සාමකාමි මිනිසුන්. නමුත් අසාධාරණය ඔවුන් කිසිලෙසකින්වත් ඉවසන්නේ නැහැ/ft.com/

ජනතාව විමසිල්ලෙන්

පැනමා පත්‍රිකා සිදුවීමෙන් පසු අයිස්ලන්තයේ දේශපාලනය පසුගිය වසර කිහිපයේ තරමක අස්ථාවර ස්වභාවයක් ගත්තා. ගෝලීය සාමාන්‍යයට සාපේක්ෂව අයිස්ලන්තය දේශපාලනමය වශයෙන් ඉතා අවම දූෂණයක් සහිත රටක් වුවත්, 2016 වසරේ අර්බුදයත් සමග ස්වීඩනය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සහ නෝර්වේ යන අනෙකුත් නෝර්ඩික් රටවලට සාපේක්ෂව අයිස්ලන්තය ඉහළම දූෂණ මට්ටමකින් යුතු රාජ්‍යයක් ලෙස පැවතුණා. කෙසේ නමුත්, ඇතැම් ආසියානු සහ අප්‍රිකානු රාජ්‍යයන්වල වැසියන් නිරන්තරයෙන් මුහුණ දෙන මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සිදුවීම්වලට සාපේක්ෂව අයිස්ලන්තයේ සිදුවුණේ කුඩා පරිමාණයේ අර්බුදයක්. නමුත්, තම රටේ උන්නතිය වෙනුවෙන් වග කියන ආදර්ශමත් පුරවැසියන් වශයෙන් 2016 වර්ෂයේ අයිස්ලන්ත ජනතාව ගෙනගිය වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීය යි. එයින් පසුව අයිස්ලන්තයේ පත්වූ ආණ්ඩු තම විනිවිදභාවය පිළිබඳව පෙරට වඩා වැඩි සැලකිල්ලක් දැක්වූවා. එමෙන්ම සාමාන්‍ය පුරවැසියන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් පිළිබඳ මනා අවබෝධයෙන් සහ සුපරික්ෂාවෙන් යුතුව කල් ගෙවනවා.

Cover photo: businessinsider.com/

මූලාශ්‍ර:

mashable.com

newsobserver.com

theguardian.com

sinhala.srilankabrief.org

borgenproject.org

nbcnews.com

Related Articles