ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වසර තුනකට පසුව යලිත් වරක් වැඩි විය. ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යන විට අපේ රටේ කිසිදාක අඩු නොවන තෙල් මිල ලෝක වෙළඳ පොළේ මිල වැඩි වන විට වැඩි කරන්නට නම් එදා සිටම දේශපාලනඥයෝ සැදී පැහැදී සිටිති. එහෙත් පසුගිය වසර තුනේ මෙම තත්වය තරමක් වෙනස් වුවද නැවතත් පෙර පැවතී අන්දමින්ම ඉන්ධන මිල දරාගන්නට නොහැකි අන්දමින් දිගින් දිගටම වැඩි වෙමින් ජනතාව පිඩාවට පත් කරාවිද යන සැකය මතු වී තිබේ.

2015 ජනවාරි 08 වැනිදාට පෙර පැවති රජය ඉන්ධන මිල නිරන්තරව ඉහළ දැමූ ආකාරය මේ රටේ මහජනතාවට අමතක නැත. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය නොදී වැඩි වූ කාලයේ තිබූ මිලටම ඉන්ධන මෙරටට සැපයීමට ගැසූ හෙජින් සූදු ගිවිසුම සඳහා මේ රටේ ජනතාවගේ දැවැන්ත මුදල් සම්භාරයක් නැති නාස්ති කිරීමේ ප්‍රතිවිපාක අද ද අප භුක්ති විඳිමින් සිටින්නෙමු.

Newsfirst

2015 ට පෙර හා පසු ඉන්ධන මිල ගණන්

2015 දී ජනපති පොදු අපේක්ෂකයා බවට පත් වූ මෛත්‍රිපාල සිරිසේනටත් ඔහුට දේශපාලන වශයෙන් සහය දැක්වූ පිරිසටත් දෙවරක් සිතා බැලීමකින් තොරව බලයට පත් වූ වහාම ඉන්ධන මිල අඩු කරන බවට පොරොන්දු වන්නට සිදු වූයේ එහෙයිනි. එය හුදෙක් ජනතාවගේ ඉල්ලීමටත් වඩා බලය ලබා ගැනීම වෙනුවෙන් එය කළ යුතුම දෙයක් වී තිබුණි. ඒ අනුව යහපාලන ආණ්ඩුව දින සියය තුළ ලබා දුන් පොරොන්දුවලින් මුලින්ම කළේ ඉන්ධන මිල පහත දැමීමය.

2015 ජනවාරි 22 වැනිදා අඩු කළ ඉන්ධන මිල ගණන් මෙසේ වීය.

පෙට්‍රල් (92) රුපියල් 150 සිට රුපියල් 117දක්වා. රුපියල් 33කින්
පෙට්‍රල් (95) රුපියල් 158 සිට රුපියල් 128 දක්වා. රුපියල් 30කින්
ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 95 දක්වා. රුපියල් 16කින්
සුපර් ඩීසල් රු.133 සිට 110 දක්වා. රුපියල් 23කින්
භූමි තෙල් රුපියල් 81 සිට 44 දක්වා අඩු කළා. රුපියල් 37කින්.
මෙම මිල අඩු කිරීම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල ලෙස පාඩු ලැබූ බව අමුතුවෙන් කිව යුතු නැත. දීර්ඝ කාලීන ප්‍රතිපල දෙස නොබලමින් ක්ෂණික සහනයක් ලෙස ඉන්ධන මිල අඩු කිරීමත් එම නිසාම ඛනිජ තෙල් සංස්ථාව අතිවිශාල පාඩුවක් ලැබීමත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යාමත් නිසා එම පාඩුව දැවැන්ත ලෙස ඉහළ නැංගේය.

ලෝක වෙළඳ පොළේ සාමාන්‍ය බොර තෙල් මිල (බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය අනුව) 2014 වර්ෂයේදී බැරලයක් සඳහා අවම මිල ලෙස අමෙරිකානු ඩොලර් 50ක් වාර්තා කර ඇත. ඉන්පසුව දිගින් දිගටම මිල, ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර 2018 අප්‍රේල් 10 දින වන විට බැරලයක් සඳහා මිල ඇමෙරිකානු ඩොලර් 77.17ක් විය.

ශ්‍රී ලංකාව විසින් සිය පිරිපහදු ඛනිජ තෙල් නිෂ්පාදන අවශ්‍යතාව සපුරා ගනු ලබන පිරිපහදු කළ ඔටෝ ඉන්ධන සඳහා වන සිංගප්පූරු ප්ලැට්ස් මිල (Singapore Platts Price) සඳහාද මෙම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රවණතාවය ඍජුවම බලපෑවේ ය. පිරිපහදු කළ ඉන්ධන සඳහා වන සිංගප්පූරු ප්ලැට්ස් මිලද දිගින් දිගටම ඉහළ ගියේ ය.

නමුත්, 2019 වර්ෂයේ පළමු අර්ධයේ සිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇත.

අසල්වැසි රටවල් හා සාපේක්ෂව අපේ ඉන්ධන මිල

දකුණු ආසියානු රටවල් හා සසඳා බලන කල වර්තමාන ඉන්ධන සඳහා සහනදායි අනුපාතයක් යටතේ අවම මිලක් පවතිනුයේ ශ්‍රී ලංකාවේය. අපේ අසල්වැසි රටවල් බොහොමයක ඉන්ධනවල මිල ගණන් ශ්‍රී ලංකා රුපියල්වලින් මෙසේ ය.

Newsfirst

පෙර පැවති ඉන්ධන මිල ගණන් බදු සහනාධාර

2014 වර්ෂය දක්වා ලංකාවේ ඉන්ධන මිලෙහි වෙනස්වීම් සිදු කෙරුණේ ලෝක වෙළඳපොළෙහි තෙල් බැරලයක පැවති සාමාන්‍ය මිල හා ගැළපීම් කරමිනි. පසුගිය වසරවල් හා සාපේක්ෂව බැලුවහොත් අපේ රටේ ඉන්ධන වර්ගවල මිල දැක්වුණේ මේ ආකාරයෙනි.

2015 සිට ඔටෝ ඉන්ධන සඳහා වන උපරිම සිල්ලර මිල රජය ඒ ආකාරයෙන් පවත්වාගෙන ගියේ ඉන්ධන සඳහා අය කළ බදු ප්‍රමාණය අඩු කරමිනි. එනම් පෙට්‍රල් ලීටරයකට රු. 23ක්, ඩීසල් ලීටරයකට 12 ක් සහ භූමිතෙල් ලීටරයකට රු.44ක්, ඔටෝ ඉන්ධන සඳහා වන විකුණුම් සහනාධාරයත් භූමිතෙල් සඳහා වන සහනාධාරයත් නිසා රජයේ මූල්‍ය වියදම ඉහළ ගියේය.

මෙහි ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය ආදායම අඩු වූ අතර එම තත්වය දිගින් දිගටම පවත්වා ගැනීම අපහසු කරුණක් වුයේය. රාජ්‍ය සේවාවන්, යටිතල පහසුකම්, සහ සමාජ සුබසාධනය සඳහා වන මුදල් වෙන් කිරීම් කෙරෙහි මෙය විශාල බලපෑමක් විය.

පසුගිය සමයේ තරම් වත්මන් රජය ඉන්ධන මිල වැඩි කර නැති බව රජය පුන පුනා පවසයි. එහෙත් එවකට ඩොලරයේ අගය තිබුණේ රුපියල් 144කටය. එහෙත් අද වන විට ඩොලරයේ අගය රුපියල් 159 ඉක්මවා ගොස් තිබේ. එනම් පෙට්‍රල් ඔක්ටේන් (92) ලීටරයක අද මිල රු. 137ක් වුවද 2015ට සාපේක්ෂව බලන විට ඩොලරයෙහි වැඩි වීමට අනුව සැබෑ මිල රු. 152 කි.

Sri Lanka Mirror

ආණ්ඩුවේ අදූරදර්ශී පිළිවෙත හා ඉන්ධන මිල ඉහළ දැමීම

ආණ්ඩුව පවසන අන්දමට ඉන්ධන මිල වැඩි කිරීම හරහා විශාල පාඩුවක් රජයට අත් වූයේ නම් ඒ සඳහා වගකිව යුතු වන්නේ රජය මිස මහජනතාව නොවෙයි. මන්ද දීර්ඝ කාලීනව මෙවැනි පාඩුවක් අත්වන බව රජය නොදැන සිටින්නට පුළුවන්කමක් නැත. රාජ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතු වන්නේ ජනතාවට දිර්ඝකාලීනව අත්වන ප්‍රතිඵල පිළිබඳ සැලකිල්ලට ගෙන මිස තාවකාලික තෘප්තියක් ලබා දීම උදෙසා නොවන බව රජය තේරුම්ගෙන නොමැති වීම සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ රජයයි. රජයට ඒ බව තේරුම් නොයාමෙන් ජනතාව වැටී තිබෙන්නේ මහත් අසීරුතාවකටය.

තවද සෑම මාස තුනකට වරක්ම එළඹෙන 05 වැනිදා ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ පවතින මිලට අනුව යාවත්කාලීන කිරීමෙන් නිරන්තරවම මිල උච්චාවචනය (අපේක්ෂා කළ හැකි වන්නේ ඉන්ධන මිල වැඩි වීම පමණි) වීමෙන් ප්‍රවාහන ගාස්තු, ආහාරපාන මෙන්ම සම දෙයකම මිල ගණන් නිරන්තරව වෙනස් වීම නිසා මිල නියාමනය හරියාකාරව සිදු කිරීමටද රජය මෙතෙක් කලක් අපොහොසත් වීම තුළ ජනතාව තවදුරටත් පිඩාවට පත්වීම වළක්වාලිය නොහැකි වනු ඇත.

දැනට ඔටෝ ඉන්ධන සඳහා වන උපරිම සිල්ලර මිලට අනුව ඇස්තමේන්තුගත වාර්ෂික ආදායම වන්නේ රුපියල් බිලියන 55.89 කි. එය ආසන්න වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රු. මිලියන 168ක් හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයකට රු. මිලියන 4ක් ලෙස ප්‍රතිපාදන සැලසීමට සමාන වන බව රජය පවසයි. එහෙත් ඇත්තෙන්ම ඉන්ධන මිල නිසා ලැබෙන ප්‍රතිලාභය එලෙසම ජනතාවට ලැබෙනු ඇද්ද? පෙර පැවති පූර්වාදර්ශයන් අනුව නම් ජනතාවට සහනදීම පසෙකලා සිදු වූයේ රජයේ වරදාන හා වරප්‍රසාද වැඩි කර ගැනීමයි. තවත් අධීක්ෂණ මන්ත්‍රීධූර 39ක් පිරිනැමීමට යන බව වාර්තා වේ. මෙවැනි තීරණ හේතුවෙන් ජිවන බර වැඩි කිරීම රටේ ජනතාව වෙනුවෙන් සද්භාවයෙන් සිදු කරන්නක් ලෙස සැලකිය හැක්කේ කෙසේද?

අහස උසට ගිය භූමිතෙල් මිල

දුප්පත් ජනතාව සඳහා සහන සැලැස්වීමේ අපේක්ෂාවෙන් භූමිතෙල් සඳහා විශාල සහනාධාරයක් ලබා දීමට කටයුතු යොදන ලදි. එහෙත් 2017 පළමු කාර්තුවට සාපේක්ෂව දෙවන කාර්තුව තුළ ඩිසල් අලෙවිය ලීටර් මිලියන 23.1කින් පහත වැටෙද්දී භූමිතෙල් අලෙවිය ලීටර් මිලියන 7.86 කින් වැඩි වී තිබීමෙන් දිළිඳු නොවන අය විසින් මෙම සහනාධාරය පමණ ඉක්මවා භාවිත කර ඇති බව පෙනී යයි. භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීම ඛනිජ තෙල් සංස්ථාව මූල්‍යමය අලාභ ලැබීමටත් ඉන්ධන බාල කිරීම තුළින් මෝටර් රථ එන්ජින්වල ගුණාත්මකභාවය පහළ යාමට හේතු වී ඇත. භූමිතෙල් මිල වැඩි කිරීමට රජය හේතු වශයෙන් පෙන්වා දෙන්නේ එයයි. එහෙත් එවැනි අවභාවිතාවන් වැළක්වීම සඳහා පියවර නොගෙන භූමිතෙල් මිල ඉහළ දැමීම කෙතරම් යෝග්‍යද.

Newsfirst

සහනාධාර ලබා දීම

ඉන්ධන සහනාධාරය ඉල්ලා මේ වන විටත් උද්ඝෝෂණ දියත් වෙමින් තිබේ. බස් හිමියන් වර්ජනය කිරීමට සූදානම් වෙද්දී බස් ගාස්තුව සියයට 12.5 % කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ත්‍රීවිල් රථ සඳහා වන අවම ගාස්තුව රු. 60ක් වී ඇත.

සමාජයේ පිඩාවට පත් පහළ ස්ථරයන් සඳහා ඉන්ධන මිල වැඩි වීම නිසා ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙලක් සකසන බව රජය පවසයි. මේ අනුව විදුලි බලය භාවිත නොකරන කුඩා පරිමාණ යාන්ත්‍රික බෝට්ටු හිමි ධීවරයින්, සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සහ වැවිලිකරුවන් මීට අයත් වේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින කුඩා පරිමාණ මත්ස්‍ය බෝට්ටු සංඛ්‍යාව 24,282කි. රජය මුලදී පැවසුවේ මෙම සහනාධාරය 2018 මැයි 18 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි. නමුත් එය සිදු නොවූ අතර ඒ අයට මසකට ලබාදෙන ආධාර මුදල කොපමණදැයි තීන්දු කළ පසු ලබන මස 01 දා සිට අදාළ ආධාරය සැපයේ.

එසේම ඉන්ධන මිල ඉහළ යාමෙන් පීඩාවට පත් විදුලිය නොමැති නිවාසවලට භූමිතෙල් සහනාධාරයක් සැපයීමට ද රජය තීන්දු කර තිබේ. රට පුරා විදුලිය නොමැති නිවාස 45,000ක් පමණ ඇතැයි රජයේ වාර්තා කියයි. ඔවුනට දළ වශයෙන් මසකට භූමිතෙල් ලීටර 20ක් බැගින් සහනාධාර වශයෙන් සැපයිය යුතු යැයි දැනට යෝජනා වී ඇත.

2018 මැයි මස වන විට සමෘද්ධි සහනාධාරය යටතේ ලියාපදිංචි වී සිටින සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 1,391,471 ක් වේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ විදුලිබල සැපයුම් තොරතුරු පදනම් කරගෙන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 47,555 (3.5%) කට විදුලිබලය ලැබී නොමැති බව ඇස්තමේන්තුගත කර ඇත.

සහනාධාර ලැබිමට සුදුසු ඕනෑම පවුලක් සඳහා සහනාධාරය ලබා දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටිය හැක.

Cover - dailymirror.lk

මූලාශ්‍ර :

මුදල් අමාත්‍යංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය