Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෞද්ධ පසුබිමක් සහිත ඉන්දියාවේ අලුත්ම පාලන ප්‍රදේශය – ලදාක්

පසුගිය දිනවල ඉන්දියාව විසින් කාශ්මීරයේ විශේෂ වරප්‍රසාද සහිත තත්ත්වය ඉවත් කර එය මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග සමග එම ප්‍රදේශය උණුසුම් වුණා.

මේ සමගම​, කාශ්මීරයේ ප්‍රදේශයක් ලෙස පැවති ලදාක් ප්‍රදේශය එයින් වෙන් කර​, මධ්‍යම රජය යටතේ පාලනය වන පාලන ප්‍රදේශයක් ලෙස වෙනමම ස්ථාපිත කිරීමට ද රජය තීරණය කර තිබෙනවා. මෙය 2019 ඔක්තෝබර් 31 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ලදාක් ප්‍රදේශය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ව පවතින්නේ බෞද්ධ ප්‍රදේශයක් ලෙස යි. ඇත්තෙන්ම එහි දිස්ත්‍රික්ක අතුරින් කාර්ගිල් හි මුස්ලිම්වරුන් බහුතරයක් වන අතර​, ලේහ් හි බෞද්ධයින් බහුතරය වනවා. ආසන්න වශයෙන් බෞද්ධ සහ මුස්ලිම් ලබ්ධිකයන් සමාන ප්‍රමාණයක් ලදාක් හි වෙසෙනවා. කෙසේ නමුත් ටිබෙට් බුදුදහමේ බලපෑම ලදාක් හි ප්‍රකටව දකින්න පුළුවන්.

මූලික තොරතුරු

ලදාක් ප්‍රදේශයේ භූමියේ විශාලත්වය ශ්‍රී ලංකාවට ආසන්න යි. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 59,146ක් විශාල වන අතර ඉන් වර්ග කිලෝමීටර් 45,110ක් ලෙහ් දිස්ත්‍රික්කය යි. ඉතිරි කොටස කාර්ගිල් දිස්ත්‍රික්කය වනවා. මෙයින් කාර්ගිල් හි ජනඝනත්වය ලෙහ් ප්‍රදේශයට වඩා වැඩියි. දිස්ත්‍රික්ක දෙකේම ආසන්න වශයෙන් සමාන ජනගහනයන් ජීවත් වනවා. 2011 ජන සංගණනය අනුව කාර්ගිල් හි 143,388ක ජනගහනයක් වර්තා වූ අතර ලෙහ් හි එය 147,104ක් වුණා. මේ අනුව ලෙහ් දිස්ත්‍රික්කය ඉන්දියාවේ ජනඝනත්වය අඩුම ප්‍රදේශයක් වනවා.

ඉන්දියාව විසින් කාශ්මීරය ලෙස පිළිගන්නා ප්‍රදේශය​. මෙහි කොළ පැහැයෙන් දක්වා ඇති පෙදෙස පාකිස්ථාන පාලනය යටතේ පවතින අතර කහ පැහැයෙන් වන කොටස චීන පාලනය යටතේ වේ. රෝස පැහැති කොටස ලදාක් ය​. (Wikimedia Commons)

ආගමික සංයුතිය ගත්විට කාර්ගිල් දිස්ත්‍රික්කයේ බහුතර ජනයා ශියා මුස්ලිම්වරුන් වන අතර ලෙහ් හි බහුතර ජනයා ටිබෙට් බුදුදහම අදහන්නන් වනවා.

ලදාක් ප්‍රදේශය ස්වභාව සෞන්දර්යය පිළිබඳ ඉතා ප්‍රකට ප්‍රදේශයක් වන අතර විශේෂයෙන්ම ලෙහ් දිස්ත්‍රික්කයේ බෞද්ධ ආරාමයන් ද එහි සුන්දරත්වයටත් ඓතිහාසික වටිනාකම ඉහළ නැංවීමටත් හේතු වනවා. ලදාක් ප්‍රදේශය විශේෂයෙන්ම යතුරුපැදි සවාරි සඳහා ප්‍රකට වූ ප්‍රදේශයක්.

ඉතිහාසය​

ලදාක් පළාත මුලින්ම ජනාවාස කළේ කම්පා එඬේරුන් බව යි විශ්වාස කෙරෙන්නේ. ඔවුන් යැක් ගවයින් ඇති කළා. පසුව ඉන්දු නදිය ඔස්සේ මොන් නමින් හඳුන්වන ගෝත්‍රයක් හා බ්‍රොක්පා නම් ගෝත්‍රයක් විසින් ජනාවාස පිහිටවූ බව සඳහන්. මොන් ගෝත්‍රික නායකයකු වූ ග්‍යාපචෝ නමැත්තා ග්‍යා නම් ස්ථානයක සිය අගනුවර පිහිටවූවා. ඔහු විවිධ එඬේර ආක්‍රමණ ද පරාජය කිරීමට සමත් වුණා.

මේ සඳහා ග්‍යාපචෝට ස්කිල්ඩේ නමගොන් නමැත්තාගේ ආධාර ලැබුණා. ග්‍යාපචෝ විසින් ඔහුට ශේ (Shay) ඇතුළු ප්‍රදේශ කිහිපයක් පවරා දුන්නා. නමගොන්, ශේ හි බලකොටුවක් ඉදිකර පසුව සියා බලය ලදාක් පුරාම පැතිරවූවා. ඔහු 975 සිට 1000 තෙක් රාජ්‍ය පාලනය කළ අතර ලදාක් හි පළමු රජු ලෙස සැලකෙනවා.

මෙයින් පසු වසර පන්සියයකට ආසන්න කාලයක් විවිධ පාලකයන් ලදාක් පාලනය කළා අතර එකල ආගමික කටයුතු සහ කලා ශිල්ප ප්‍රචලිත වුණා. මේ අතර උතුරු ඉන්දීය ප්‍රදේශයන්ට ඉස්ලාමීය බලපෑම පැමිණීමත් සමග කලින් කලට මුස්ලිම් පාලකයන් වෙතින් ද තර්ජනයන් එල්ල වුණා. එමෙන්ම විටින් විට එම ප්‍රදේශයේ ද විවිධ පාලකයින් අතර ගැටුම් ඇතිවුණා.

ලෙහ් හි රජමාලිගය​ (Wikimedia Commons)

15 වන සියවස දී භගාන් නම් වූ පාලකයකු ලදාක් ප්‍රදේශය යළි එක්සත් කළා. මෙයින් පසු නැවතත් කලක් යනතුරු ඉස්ලාමීය ආගමික ප්‍රචාරක කටයුතු පසුබා ගියේයැ යි පෙනී යනවා. 1679 – 84 සමයේ දී ලදාක් සහ ටිබෙටය අතර යුද්ධයක් ඇති වූ අතර ඊට මූගල් අධිරාජ්‍යය ලදාක් පාර්ශවයෙන් එක් වුණා. පසුව මූගල් අධිරාජ්‍යය යුද්ධයෙන් ඉවත් වූ අතර යුද්ධය අවසන අත්සන් කළ ගිවිසුමෙන් ලදාක් බොහෝ දුරට ටිබෙට් බලපෑමට යටත් වුණා.

19 වන සියවසේ දී ලදාක් ප්‍රදේශය කාශ්මීර බලපෑමට ලක් වුණා. කලක් කාශ්මීරය සීක් අධිරාජ්‍යය යටතේ පාලනය වෙද්දි කාශ්මීරයේ පාලකයා ප්‍රාදේශීය පාලකයකු වුණා. එකල සීක් – චිංග් යුද්ධය අවස්ථාවේ සීක් අධිරාජ්‍යය, චීන පාලන ප්‍රදේශයන්ට සිය බලය පැතිරවීමට උත්සාහ කර අසාර්ථක වුණා. සීක් අධිරාජ්‍යය ඉන් ස්වල්ප කලකට පසු බ්‍රිතාන්‍යය විසින් අල්ලාගත් අතර කශ්මීරය වෙනම පාලන ප්‍රදේශයක් බවට පත් වුණා. ඉන්පසු ලදාක් පාලනය වුණේ එහි කොටසක් ලෙස යි.

අක්සායි චින් ප්‍රදේශය​

19 වන සියවසේ දී ඇති වූ දේශසීමා පිළිබඳ මතභේදයක ප්‍රතිඵලයක් ලෙස අක්සායි චින් නම් වූ ප්‍රදේශය පිළිබඳ චීනය සහ ඉන්දියාව අතර මතභේදයක් තිබෙනවා. අක්සායි චින් ප්‍රදේශය දැනට පාලනය කරන්නේ චීනය විසින්. නමුත් ඉන්දියාව එය සලකන්නේ ලදාක් ප්‍රදේශයට අයත් ප්‍රදේශයක් ලෙස යි. මෙම ප්‍රදේශය සහ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පිළිබඳ දේශසීමා අර්බුදය හේතුවෙන් 1962 දී චීනය සහ ඉන්දියාව අතර යුද්ධයක් ද ඇතිවුණා.

ලදාක් ප්‍රදේශය යතුරුපැදි සවාරි සඳහා ප්‍රකටයි (thrillophilia.com)

මෙම දෙරට​ 1996 දී සිය දේශසීමා අර්බුදය තාවකාලිකව විසඳා ගත්තේ දැනට පවතින පාලන සීමාවන්ට ගරු කරන බවට එකඟතාවකට එළඹෙමින්. චීනය විසින් අක්සායි චින් ප්‍රදේශයේ මහා මාර්ග ඉදි කරමින් සිය පාලනය ස්ථාවර කරගත්තා. මේ පිළිබඳව ඉන්දියාව සිටින්නේ නොසතුටින්.

ලදාක් පාලන ප්‍රදේශය​

2019 අගෝස්තු 5 වන දා ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා, එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට ජම්මු හා කාශ්මීර ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. එමගින් ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තය කොටස් දෙකකට බෙදා ඒ දෙකම මධ්‍යම රජය විසින් පාලනය කරන ප්‍රදේශ බවට පත් කිරීමට යෝජනා කෙරුණා. මේ අනුව ජම්මු සහ කාශ්මීර් එක් ප්‍රදේශයක් ලෙසත්, ලදාක් තවත් පාලන ප්‍රදේශයක් ලෙසත් නම් කිරීමට යෝජනා වුණා.

ලදාක් ප්‍රදේශයේ ජනතාව මෙම වෙනස්කම පිළිබඳ විවිධ අදහස් දරනවා. කාර්ගිල් හි බහුතරයක් දෙනා ඊට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ලෙහ් ප්‍රදේශයේ බෞද්ධ ජනයා බහුතරයක් දෙනා ඊට සහාය දක්වනවා.

ලදාක් හි මෙවර ඉන්දියානු නිදහස් දිනය උත්සවාකාරයෙන් සැමරුණා (news18.com)

කාශ්මීරයේ සිදු වූ නව වෙනස්කම් පිළිබඳ පාකිස්ථානය දැඩි සේ විරුද්ධත්වය පළ කරනවා. ඉන්දියාව කියා සිටින්නේ මෙය තම අභ්‍යන්තර කරුණක් බව යි. මේ අතර, පාකිස්ථානය යටතේ පවතින කාශ්මීර් ප්‍රදේශ සහ චීනය යටතේ පවතින අක්සායි චින් ප්‍රදේශය ද ඉන්දීය කාශ්මීරයේම කොටස් බව ඉන්දියාව කියා සිටිනවා.

ලදාක් වෙනම පාලන ප්‍රදේශයක් වීම පිළිබඳ චීනය ද තරමක් අවධානයෙන් පසුවනවා. එතුළින් අක්සායි චින් පිළිබඳ ගැටුම නැවත කරලියට එනු ඇතැ යි චීනය සැක කරන බව පෙනී යනවා.

Cover Image: ලකීර් පන්සල, ලදාක් (Karthik Kannan, Wikimedia Commons)

Related Articles