ඉන්දියානු ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එරට පුරවැසි පනත සංශෝධනය සඳහා ගෙන ආ කෙටුම්පත සම්මත කර තිබෙනවා. ඊයේ දිනයේ දී (දෙසැම්බර් 11) එරට ඉහළ, මන්ත්‍රී මණ්ඩලය වන ඉන්දියානු රාජ්‍ය සභාවෙන් මෙම පනත් කෙටුම්පත් සඳහා පක්ෂව ඡන්ද 125ක් හා විපක්ෂව ඡන්ද 105ක් හිමි වෙනවා. ඒ අනුව වැඩි ඡන්දයෙන් පුරවැසි කෙටුම්පත සම්මත වී ඇති අතර, ඒ පිළිබඳව පක්ෂව හා විපක්ෂව බොහෝ අදහස් ඉන්දියානු දේශපාලන පක්ෂවලින් මතු වී තිබෙනවා.

මෙම පනත මඟින් අසල්වැසි රටවල සිට ඉන්දියාව වෙත නීති විරෝධීව සංක්‍රමණය වී සිටින සුළු ජන කොටස් හා සුළු ආගමික කොටස්වලට ඉන්දියානු පුරවැසිභාවය හිමි වෙනවා. නමුත්, එලෙස පැමිණ සිටින මුස්ලිම් ජාතිකයන්ට ඒ ආකාරයට පුරවැසිභාවය හිමි වෙන්නේ නෑ. එලෙස මුස්ලිම්වරුන් බැහැර කිරීම ඉන්දියාව පුරාම විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.

පාලක භාරතීය ජනතා පක්ෂය විසින් මධ්‍යම රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් බහුතරයක් මුස්ලිම්වරු වාසය කරන ජම්මු කාශ්මීර් ප්‍රාන්තය, ප්‍රාන්තභාවයෙන් අහෝසිකර මධ්‍යම රජයට පවරා ගැනීම සිදුකර ගත වී තිබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ ආකාරයට දිගින් දිගටම මධ්‍යම ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ව බැහැර කිරීම විපක්ෂයේ මෙන්ම විවිධ ප්‍රාන්ත ආණ්ඩුවල හා ඇමෙරිකාවේ මෙන්ම පාකිස්තානයේ ද විවේචනයට බඳුන් වී තිබෙනවා.

ඉන්දියානු මධ්‍යම රජයේ පුරවැසි පනත සංශෝධනය වීම 

රාජ්‍ය සභා (rajyasabha.nic.in)

අසල්වැසි රටවල් වන පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය හා බංගලාදේශය යන රටවල් තුනෙන් අනවසරව ඉන්දියාවට සංක්‍රමණය වී සිටින සියලුම සුළු ජාතිකයන්ට මේ පුරවැසි පනත් සංශෝධනය ඔස්සේ ඉන්දීය පුරවැසිභාවය හිමි වීමට නියමිත යි. හින්දු, බෞද්ධ, ජෛන, සික්, පර්සියන් හා ක්‍රිස්තියානි වැනි සුළු ආගමික ජන කොටස්වලට මේ ඔස්සේ ඉන්දියානු පුරවසිභාවය හිමි වෙනු ඇත.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉහත දැක්වූ රටවල් තුනේ දී ආගමික වශයෙන් හිංසනයට ලක් වී, තම රටට නීතිවිරෝධීව පලා ආ සියලු සුළු ජන හා සුළු ආගමික කොටස්වලට ආරක්ෂිත භූමියක් නිර්මාණය කර දීම මෙහි ප්‍රධාන අරමුණ බව, සංශෝධනය ගෙන ඒමට මුල් වූ එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සඳහන් කරනවා.

මෙම පනත් කෙටුම්පත මීට පෙර පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ සම්මත වී තිබුණු අතර, එය වැඩි ඡන්දයෙන් ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ජාතික රාජ්‍ය සභාවේ සම්මත වෙන්නේ ඊයේ දිනයේ දී යි. ඒ අනුව එරට වසර 64ක් පැරණි පුරවැසි පනත සංශෝධනයට ලක් වී තිබෙනවා.

පුරවැසි පනත සංශෝධනය කෙරෙහි වූ විරෝධතා 

විරෝධතා (cnn)

මෙම පනත ගෙන ඒමට මුල් වූ භාරතීය ජනතා පක්ෂය මේ මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, මුස්ලිම්වරුන්ට වෙනස් කර සැළකීමට උත්සාහ කරන බවත් විපක්ෂය හා වෙනත් සුළු පක්ෂ චෝදනා කරනවා. ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසම (United States Commission on International Religious Freedom) ද මෙම ව්‍යවස්ථා සංශෝධනය මුස්ලිම්වරුන්ට එරෙහි වීමක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

මේ ආකාරයට කළ පනත් සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මෙම පනත අධිකරණයේ දී අභියෝගයට ලක් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සංශෝධනය බහු ජාති, බහු සංස්කෘතියකින් හෙබි ඉන්දියානු දැක්ම බිඳ දැමීමට හින්දූත්වය ප්‍රමුඛ කරගත් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ගත් උත්සාහයක් බව එරට ප්‍රධාන විපක්ෂය වන ජාතික කොන්ග්‍රසයේ භාරකාර සභාපතිනිය වන සෝනියා ගාන්ධි පවසනවා.

විරෝධතා (aljazeera.)

සංශෝධිත පුරවැසි පනතට එරෙහිව ප්‍රාන්ත කිහිපයක දී විරෝධතා පැවැත්වෙන අතර, බංගලාදේශය වැනි රටවලින් පැමිණෙන ලේඛනගත නොවූ හින්දුන්ට පුරවැසිභාවය ලබා දීමට එරෙහිව එම ප්‍රාන්තවල පුද්ගලයන් වීදි බසින අතර, ඇසෑම් ප්‍රාන්තයේ විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් අවස්ථා කිහිපයක දී ම කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා. ඊට අමතරව නගර කිහිපයකම ඇවිළී යන විරෝධතා මර්දනය සඳහා අන්තර්ජාල පහසුකම් හා දුරකතන සන්නිවේදන පහසුකම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඊට අමතරව විරෝධතා පැවැත්වෙන ප්‍රදේශ ආසන්නයේ ඉන්දීය හමුදා කණ්ඩායම් ස්ථානගත කිරීමට ද මධ්‍යම ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා කිසිදු නීතිවිරෝධී සංක්‍රමණික ජන කොටසකට හෝ ආගමික කොටසකට තම රටේ පුරවැසිභාවය ලබා දීම නීතිවිරෝධී බව විරෝධතාකරුවන් ගෙන එන ප්‍රධාන තර්කය යි. ඉන්දියාවේ ස්වදේශ සමාජ පද්ධතියට හා සංස්කෘතියට ඒ මඟින් අයහපත් බලපෑමක් එල්ල වන බව ඔවුන්ගේ අදහස යි.

මේ පනත රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එරට නීති විශාරදයන් ද පෙන්වා දෙනවා. පනත අත්තනෝමතික වන්නේ එය සාධාරණ වර්ගීකරණයක් මත පදනම් නොවන නිසාත්, සංශෝධනයේ ගෙන ඇති ක්‍රියාමාර්ගවල තාර්කික පරමාර්ථයක් නොමැති නිසාත්, එය සියලු අසල්වැසියන් ආවරණය නොකරන හා  පීඩා විඳින සියලුම සුළු ජාතීන් ආවරණය නොකරන නිසාත් බව පවසන ඔවුන් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පටහැනි බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

නරේන්ද්‍ර මොදීගේ රජය මුස්ලිම්වරුන්ව ආක්‍රමණිකයන් සේ සලකන බව ද, 2014 වසරේ සිට මුස්ලිම්වරුන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකීම ආරම්භ කර ඇති බව ද බොහෝ මුස්ලිම්වරුන්ගේ මතය වී තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිචාරය 

විරෝධතාකරුවන් විසින් පුළුස්සා දමන නව පුරවැසි පනත 

මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ රාජ්‍ය සභාවේ සියලුම සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරන්නේ; වසර ගණනාවක් තිස්සේ හිංසාවන්ට මුහුණ දුන් බොහෝ දෙනාගේ දුක් ගැහැට මේ සංශෝධනය ඔස්සේ නිමාවට පත් වෙනු ඇති බව යි.

පනත සම්මත කර ගත්තේ පුරවසිභාවයන් ලබා දීමට මිස ලබා දුන් පුරවසිභාවයන් නැවත ලබා ගැනීමට නොවන බැවින්, ඉන්දීය මුස්ලිම් ජනතාව කලබලයට පත් වීම අනවශ්‍ය බව මධ්‍යම ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා ඉන්දීය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනවා. 

නමුත් මෙම පනතේ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන දමිළ ජාතිකයන්, මියන්මාරයේ රෝහින්යා සරණාගතයන් හා චීනයෙන් එන ටිබෙට් ජාතිකයන් පිළිබඳව සඳහනක් කර නෑ.

කවරයේ පින්තූරය- media

මූලාශ්‍රයයන්- 

Aljazeera.com      

bbc.com