ඉන්දියානු දේශපාලඥයන්ගේ මහා පරිමාණ 2G වංචාව

දකුණු ආසියාව කියන්නේ වසර ගණනාවක් තිස්සේ දියුණු වෙමින් පවතින රටවල් සමූහයක්. මෙම රටවල ආර්ථික ආර්ථික දියුණුවට බලපාන ප්‍රධාන බාධාව ලෙස නිවැරදි දේශපාලන දැක්මක් නොතිබීම හා අකාර්යක්‍ෂම රාජ්‍ය යාන්ත්‍රණය හදුන්වා දිය හැකියි. ජනතා ජන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් රටට සේවය කරනවා වෙනුවට රාජ්‍ය මුදල් අවභාවිතා කරන ජනතා නියෝජිතයන් මෙම කලාපය තුළ බහුලයි.

විශේෂයෙන් ඉන්දියාව, දේශපාලඥයන්ගේ වංචා පිළිබඳව වඩාත් ප්‍රසිද්ධියක් උසුලනවා. 2011 වසරේදී කරලියට පැමිණි ඉන්දියාවේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ඇමතිවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ 2G වංචාව මෑත ඉතිහාසයේ සිදු වූ බරපතල වංචාවක් ලෙස හදුන්වා දිය හැකියි. ඉතින් අද ලිපිය ලියවෙන්නේ ඒ සම්බන්ධවයි.

මොකක්ද මේ 2G වංචාව?

මෙහිදී සිදුව ඇත්තේ රැහැන් රහිත දුරකතන සඳහා වන 2G වර්ණාවලි ග්‍රාහක (2G spectrum subscriptions) සැකසීම සඳහා භාවිතා කෙරෙන සංඛ්‍යාත විභේදන බලපත්‍ර (frequency allocation license) රජය විසින් දුරකථන සමාගම් වලට නිකුත් කිරීමේදී ඇතැම් දුරකථන සමාගම් වලට ඉතා අඩු මුදලකට අලෙවි කිරීමයි.

2010 වසරේදී රැහැන් රහිත පුළුල් පරාස ප්‍රවේශ (broadband wireless access spectrum) සඳහා වෙන්දේසී මිලක් නියම වූවද එම මිලට වඩා අඩුවෙන් දුරකථන සමාගම් වෙත මෙම බලපත්‍ර නිකුත් කිරීමෙන් එක් රැස් කිරීමට බලාපොරොත්තු වූ මුදල් ප්‍රමාණයට වඩා (ඉන්දියන් රුපියල් බිලියන 1766.45) එකතු වූ මුදල් ප්‍රමාණය ඉතා අඩු වූ බවත් එබැවින් සිදු වූ පාඩුව ඉන්දීය රුපියල් මිලියන 309845.5ක් බව ඉන්දීය විඝණන නිලධාරී ජෙනරාල් කාර්යාලය මගින් නිකුත් කරන ලියවිල්ලක සදහන් වෙනවා.

චෝදනා ප්‍රතික්ෂේප කිරීම

(VishwaGujarat.com)

2011 අප්‍රේල් 2වන දින විඝණන නිලධාරී ජෙනරාල් ප්‍රධාන සමීක්ෂක කාර්යාංශය විසින් මෙම වංචාව සදහන් කර චෝදනා පත්‍ර ගොනු කරන අතර ඊට පිළිතුරු සපයන විදුලි සංදේශන පාලන අධිකාරිය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ 2G ගණුදෙනුවේදී ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් බිලියන 30ක ලාභයක් ලැබූ බව සදහන් කරමින්.

දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ මෙම වංචාව 2011 වසරේදී හෙළි වීමත් සමඟම එවකට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණික අමාත්‍ය කපිල් සිබල් (Kapil Sibal) මාධ්‍ය හමුවක් කැදවමින් 2G බලපත්‍ර බෙදාහැරීම මගින් රජයට කිසිදු අලාභයක් සිදු වී නොමැති බව සදහන් කරනවා. ඉන්පසු ඒ පිළිබඳව සියළු විස්තර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඇමතිවරයාට නියෝග ලැබෙනවා.

අධිකරණයේ තීරණය

ඇමති රාජා (Zee News)

අධිකරණය හමුවේ මෙම නඩුව විභාග වීමෙන් අනතුරුව වර්ණාවලි පැවරීමේ කාර්යය ආණ්ඩුක්‍රම විරෝධී හා අන්තනෝමතික බව පවසමින් මෙම ගනුදෙනු සඳහා 2008 වසරේදී සිටි තොරතුරු තාක්ෂණික අමාත්‍ය ඇන්ඩිමධු රාජා (Andimuthu Raja) විසින් නිකුත් කර තිබූ බලපත්‍ර 122කම අවලංගු කරන අතර ඔහුව ප්‍රධාන චුදිතයෙක් ලෙස නම් කරනවා. අධිකරණය විසින් ප්‍රකාශ කරන්නේ රාජා තම පෞද්ගලික වාසිය සඳහා මහා භාණ්ඩාගාර අරමුදල පෞද්ගලික සමාගම් කිහිපයකට පිරිනමා ඇති බවයි.

2012 අගෝස්තු මාසයේදී පැවති නඩු විභාගයේදී 2G වර්ණාවලි විඝණනය සඳහා වන මූලික මිල නැවත සංශෝධනය කරන අතර එය ඉන්දීය රුපියල් බිලියන 140 දක්වා ඉහළ දමනවා.

ප්‍රධාන පෙත්සම්කරුවන්

සුබ්‍රමනියම් ස්වාමි (YouTube)

මෙම වංචාවට එරෙහිව ප්‍රධාන ලෙස හඩ නැගූ පුද්ගලයෙක් ලෙස ඉන්දියානු දේශපාලඥයකු මෙන්ම නීතිඥයෙකුද වන සුබ්‍රමනියම් ස්වාමි හැදින්විය හැකියි .මෙම වංචාව පිළිබඳව මුලින්ම ජනතාව දැනුවත් කරන්නේ පත්තර වාර්තාකරුවෙක් වන පරන්ජෝයි ගුහා ඨාකුර් (Paranjoy Guha Thakurta). මීට අමතරව හිටපු ප්‍රධාන ජන්ද කොමසාරිස් J.M ලියන්ඩෝග්, හිටපු මධ්‍යම පරීක්ෂක අධිකාරී P ශංකර් යන පුද්ගලයන්ද නඩුවේ පෙත්සම්කරුවන් ලෙස පෙනී සිටිනවා.

2008 වසරේ සුබ්‍රමනියම් ස්වාමි විසින් මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මොහාන් සිංට ලිපියක් මගින් දැනුම් දෙන අතර නඩු පැවරීමට ප්‍රථම තවත් ලිපි හතරක් මගින් රාජා ඇමතිවරයාගේ මෙම වංචාව පිළිබඳව අගමැතිව දැනුවත් කරනවා. නමුත් මේ කිසිදු ලිපියක් සම්බන්ධයෙන් පියවර නොගැනීම හේතුවෙන් 2010 වසරේ නොවැම්බර් මාසයේ අධිකරණයට යාමට සුබ්‍රමනියම් තීරණය කරනවා.

බලපත්‍ර ලබා දීම සඳහා සියළුම සමාගම් වලට අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීමට රාජා ඇමතිවරයා ලබා දී තිබුනේ පැයක කාලයක් බවත් ඔහුට කොමිස් මුදල් ගෙවූ සමාගම් වලට කලින් එය දන්වා සිටි බවත් නඩු විභාගයේදී හෙළි වෙනවා. එවැනි සමාගම් වල ප්‍රධාන නිළධාරීන්ද මෙහි චුදිතයන් ලෙස නම් කරනු ලබනවා.

ඇමති රාජාට දඩුවම් හිමි වීම

ඇමතිවරයා නිදහස් කරන ලෙස ඉල්ලන ආධාරකරුවන් (Getty Images)

2008 වසරේ 2G වර්ණවලි සඳහා ඇමතිවරයා විසින් 2001 වසරේ මිල මත පදනම් කරගෙන මුදල් හා නීතිය අමාත්‍යංශ වල අවවාද පිළිබඳව තැකීමක් නොකර කිහිපදෙනෙකුගේ වාසිය උදෙසා ලංසු කැදවීමකින් තොරව ඔහුට හිතවත් සමාගම් කිහිපයකට ලබා දීම හේතුවෙන් ඔහු විසින් සිදු කරන ලද පාඩුව පිළිබඳව පාලනාධිකාරී හා විඝණන ජෙනරාල් වරයා විසින් නිකුත් කල වාර්තාවේ සටහන් වන අතර මෙම වාර්තාව මගින් සන්නිවේදන හා තොරතුරු තාක්ෂණික අමාත්‍යවරයාව දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කරනවා.

පැමිණිලි පාර්ශව තුලින් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇමති රාජා 2G වංචාව සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් කර අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. මෙහිදී ඔහුට හිතවත් වූ දුරකථන සමාගම් ලෙස bharati, vodafone, Idea, BSNL හා aircel වැනි සමාගම් හදුන්වා දෙන්නට පුළුවන්.

වංචාවට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන්

වංචාවට හසුවූ අනෙකුත් පුද්ගලයන් (Daily Mail)

හිටපු ඇමති රාජාට අමතරව තවත් දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා සම්බන්ධ වී ඇති බව අධිකරණය විසින් පෙන්වා දෙනවා. 2003 වසරේ සිටි විදුලි සංදේශ ඇමති අරුන් ශෝයිරි (Arun Shourie), 2002 වසරේ විදුලි සංදේශ ඇමති ප්‍රමෝද් මහජාන් (Pramod Mahajan), හිටපු විදුලි සංදේශ අමාත්‍යංශ ලේකම් සිද්ධාර්ථ බෙහූරා ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වෙනවා.

ඉන්දියාවේ දේශපාලඥයන් විසින් මෙහෙයවූ 2G වංචාවේ සුල මුල හෙළි වුයේ ඒ ආකාරයටයි. ඉතින් මෙය ඉන්දියාවේ සිදු වූ විශාලතම දේශපාලනික වංචාවක් ලෙස ඉතිහාසගත වෙනවා.

මුලාශ්‍ර – Wikipedia, www.quora.com, www.indianmirror.com, www.bbc.com

Related Articles