Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරණ කලු සල්ලි අවලංගු කර අලුත් සල්ලි නිකුත් කරන ඉන්දියාව

නොවැම්බර් 09 වැනිදා සිට ඉන්දියාවේ එතෙක් භාවිතයේ තිබුන රු 500 සහ 1000 නෝට්ටු තහනම් කෙ‍රුන අතර මෙය ඉන්දියාව වගේම දකුණු ආසියාව ඇතුළු මුලු ලෝකයේම ප්‍රවෘත්තියක් වුනා. මුදල් නිපදවන කඩදාසි මෙට්‍රික් ටොන් 22,000 ක මුදල් ඉන්දියාව වසරකදී  නිපදවනවා. ජනගහනය බිලියන 1.3 කට ආසන්න ඉන්දියාව ලොව භූමි විශාලත්වය අනුව 7 වන ස්ථානයේ සිටිනවා.

භාවිතයෙන් ඉවත් වූ ඉන්දියන් මුදල් නෝට්ටු (sbs.com.au)

භාවිතයෙන් ඉවත් වූ ඉන්දියන් මුදල් නෝට්ටු (sbs.com.au)

ඉතින් මේ ඉන්දියානු මුදල් තහනම සමස්ථ ඉන්දියානු සමාජයම කෂණික තිගැස්මකට ලක් කරන්නට සමත් වුනා. එවිට පරණ මුදල් නෝට්ටු භාවිත කරන අය බැංකුවල මුදල් තැන්පත් කල යුතුයි. නැතිනම් පැරණි මුදල් බැංකුවට දී අලුතින් නිකුත්කල 500, 2000 නෝට්ටු  ලබාගත යුතුයි. මේ කිසිවක් නොකළහොත් ඔවුන්ගේ පැරණි මුදල් වල වටිනාකම අහෝසි වී යනවා.

අපිට බලපාන හැටි

බැංකු පෝලිම (hindustantimes.com)

බැංකු පෝලිම (hindustantimes.com)

හිමාල බටහිර බෑවුමක පිහිටා ඇති මනරම් නගරයක් වන කුල්ලු මනාලි අවට නරඹන අදහසින් ලාංකික තරුණයෙක් ලංකාවෙන් දිල්ලියට නික්මුනේ නොවැම්බර් 8 වැනිදා. “දිල්ලි ගිහින් එයා පෝට් එකෙන් මම ලංකාවේ කාඩ් එකෙන් ඉන්දියන් රුපියල් 10,000 ක් ඇද්දා. ඊලග දවසේ බලද්දි සල්ලි තහනම් කරලා. ඉන් පස්සේ දවස් කීපයක් බැංකුවල පෝලිමේ ඉදලා තමයි ආයෙත් සල්ලි ගන්න වුනේ. ඉන්දියාවේ ගොඩක් බැංකු වල පෝලිම් තිබුනා. සංචාරක ස්ථාන වල රැදුන සංචාරකයින්ට තැන තැන යන්නට විදියක් නෑ. ඔවුන් ලග තිබෙන මාරු කල ඉන්දියන් සල්ලි වලංගු නෑ.ඩොලර් තිබුනත් මාරු කරන්නෙ නෑ හැමතැනම සල්ලි හිගයි. බැංකුවල දිගට දිග පෝලිම්. ඒ ගියත් රුපියල් 3000 ක් වගේ තමයි ගන්න පුලුවන් වෙන්නේ. මිනිස්සු නම් එච්චරම කුපිත වෙලා කියල පෙනුන් නෑ. ඇතැම් සංචාරක ‍හෝටල, ප්‍රවාහන සේවා ආදිය සංචාරකයින්ට මේ මුදල් සංසිද්ධිය නිසා සහනදායීව සලකන්න ක්‍රියාකරල තිබුනා.” ඒ ඔහුට ඉන්දියාවේ මුදල් අර්බුදය බලපෑ ආකාරය.

මේ ආකාරයෙන් විවිධ ව්‍යාපාරික, තොරතුරු තාක්ෂණ රැකියා ආදී බොහෝ දේට ඉන්දියාවට ගිහින් ඉන්න ලාංකිකයන්ට මේ මුදල් හුවමාරුව බලපෑවා. ඉන්දියාව විදේශිකයන්ට පවා නව මුදල් ලබාගැනීමට ක්‍රමයක් නිර්මාණය කරල නෑ. ඒ නිසා පාස්පෝට් එකට ලබාදෙන මුදල ලබාගන්නත් විදේශිකයන්ටත් බැංකු පෝලිම් වල ඉන්නට සිදු වුනා.

නේපාලයට බලපෑ හැටි

ඉන්දීය බැංකුවක් තුල. (dnaindia.com)

ඉන්දීය බැංකුවක් තුල. (dnaindia.com)

නේපාල ජාතික පාසැල් ගුරුවරයෙක් සිය මවගේ සැත්කමක් සඳහා ඉන්දීය රුපියල් හැට දහසක් පමණ එකතුකොට තබාගත්තේ දිල්ලියට ගොස් මවගේ සැත්කම කරන අදහසින්. දෙරට අතර ලිහිල් දේශසීමා තිබෙන නේපාලය තුල ඉන්දීය මුදල් භාවිත වන අතර නේපාලය තුල ඉන්දීය මුදල් 30%ක් සංචරණය වුනා. ඒ ගුරුවරයා සිය මවට සැත්කම කිරීමට අපහසුවෙන් රැස්කරගත් ඉන්දීය මුදල් රුපියල් 60,000 ඉන්දීය මුදල් නෝට්ටු තහනමත් එක්ක වලංගු නැතිව ගියා. ඉන්දීය හැඳුනුම්පත් හෝ ඉන්දීය බැංකු ගිණුම් රහිත නේපාල ජාතිකයින්ට ඔවුන් භාවිත කල ඉන්දීය 500,1000 නෝට්ටු වල අගයක් නැතිව ගිහින්.

සමාජීය බලපෑම්

රෙඩ්ඩිගේ දුවනියගේ රාජකීය විවාහය. (im.rediff.com)

රෙඩ්ඩිගේ දුවනියගේ රාජකීය විවාහය. (im.rediff.com)

නේපාල ජාතිකයින්ට පමණක් නොවෙයි සිය මංගල උත්සව අවශ්‍යතා, හදිසි අවශ්‍යතා සහ සැත්කම් වැනි වෛද්‍යමය දේ සදහා මුදල් රැස්කර තබාගත් ‍ඉන්දී්‍ය ජාතිකයින් බොහෝ දෙනෙක් මේ නිසා අසරණ වෙලා තිබෙනවා. සගවාගෙන තිබෙන දූෂිත මුදල් ආර්ථිකයට එකතු කරගැනී‍ම මෙම මුදල් තහනමේ එක් අරමුණක්. ඒ අතර දේශපාලකයකු සහ අපකීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ජනර්ධාන රෙඩ්ඩි ඉන්දීය රුපියල් බිලියන 5ක් වියදම් කර ඔහුගේ දියණි‍යගේ විවාහ උත්සවය සුවිසල් ලෙස සැමරීම, ඉන්දීය ජනයා ප්‍රකෝප කරවන සිද්ධියක් බවට පත්ව තිබුනා. මිනිසුන් අමාරුවෙන් උපයාගත් මුදල් වලංගු නොමැතිව පෝලිම් වල සිටිද්දී රෙඩ්ඩිගේ දුවණියගේ ආභරණ වල වටිනාකම පමණක් රුපියල් මිලියන 900ක් වී තිබුනා.

අපේ ආච්චිල සීයලාගේ වන්දනා සිහිනය

නේපාලය ලොව වටා ජනප්‍රිය කඳුනගින්නන්ගේ ක්ෂේමභූමියක් ලෙස ප්‍රසිද්ධ වුවත් නේපාලයට චීනය සහ ඉන්දියාව හැරුන විට වැඩිපුරම සංචාරකයින්  පැමිණෙන්නේ ලංකාවෙන්. ඒ ලුම්බිනිය නම් වූ සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ස්ථානය වැඳ පුදා ගැනීම සදහා. දඹදිව වන්දනාවේ ගිය විශාල පිරිසක් දිල්ලියේ මුදල් මාරුකරගැන්මේ පෝලිම් වල සිටින බවක් බී බී සී සිංහල අඩවිය වාර්ථා කොට තිබුනා. ජේෂ්ඨ පුරවැසියන් ලෙස සිය ජීවිතයේ සැඳෑ සමයේ අපහසුවෙන් මුදල් එකතුකරගෙන දඹදිව වන්දනාවේ ගිය ඔවුනට එසේ සිය වන්දනාව පසෙක ලා  බැංකු පෝලිම් වල රස්තියාදු වන්නට සිදු වීම සංවේදී සිදුවීමක්. මේ ගැන ලංකාවේ  විදේශ අමාත්‍යාංශය මැදිහත් වීම අවශ්‍යම කාරණාවක්.

බැංකු සහ ඒ ටී එම්

පෝලිමේ සිට නව නෝට්ටු  ලබා ගෙන සතුටුවන ඉන්දී්‍ය තරුණයෙක් (i.amz.mshcdn.com)

පෝලිමේ සිට නව නෝට්ටු  ලබා ගෙන සතුටුවන ඉන්දී්‍ය තරුණයෙක් (i.amz.mshcdn.com)

ලංකාවේ බැංකු පද්ධතිය සීඝ්‍රයෙන් තොරතුරු තාක්ෂණය සමග දියුණුවට යොමු වූ අතර ලංකාවේ ජනතාව බහුතරයකට බැංකු ගිණුම් තිබේ. පෙනුම අතින් පවා ඉන්දීය බැංකු සහ ඒ ටී එම් යන්ත්‍ර ඇත්තේ ලංකාවට වඩා පහල ස්ථානයකය. ලංකාවේදී කුඩා උපනගරයක බැංකු ශාඛාවකින් වුවද ලෙහෙසියෙන්ම විදෙස් මුදල් මාරුකරගත හැකි අතර ඉන්දියාවේ දිල්ලියේ වුවද ඇතැම් පළාත්වලදී විදෙස් මුදල් හුවමාරුව අපහසු කාර්යයකි. ඔන්ලයින් සහ කාඩ් ගෙවීම්වලට හුරු නොවූ  බහුතර ජනතාවක් සිටින,  තවමත් නෝට්ටු මත මූලික වූ මූල්‍ය ක්‍රමයක් ඇති ඉන්දියාවේ මෙම මුදල් තහනම ජනයාගෙන් 90%කට වඩා සෘජුවම ගනුදෙනු වලට බලපාන සාධකයකි.

ඇන් ඇම් සහ නික්සන්

1970 දී එවකට ලංකාවේ මුදල් ඇමති වූ ඇන් ඇම් පෙරේරා මහතාද එවකට පැවති රු 50 හා රු100 නෝට්ටු තහනම් කල අතර එතෙක් මුදල් සගවාගෙන නිධන් කරගෙන සිටි බොහෝ දෙනෙකුට මුදල් මාරුකරගැනීමට සිදු වූයේ පෝලිම් වල වරු ගනන් සිටීමෙනි. මුදල්‍ ගොඩගසාගත් ඇතැමුන්ට වැඩිපුර බදු මුදල්ට ගෙවන්නට එකල සිදු වුනි. ඇමරිකානු මූළ්‍ය ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වෙනසක් කල රිචඩ් නික්සන් ජනාධිපති තුමා 1969 දී එවකට ඇමරිකාව භාවිතා කල ඩොලර් 500,1000,10,000 ආදී නෝට්ටු තහනම් කොට උපරිම ‍නෝට්ටුව ඇමරිකානු ඩොලර් 100ක් බවට පත් කලේය. ඒ ඔස්සේ නික්සන් ඇමරිකානු බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය නංවා ජනතාව බැංකුකරණයට දායක කරගැනීමට සහ ඩොලරයේ අගය රැකගැන්මට වැඩපිලිවෙල රැසක් ගනු ලැබීය.

වත්කම් සඟවාගැනීම බදු ගෙවීම පැහැර හැරීම සිදුවන එකම ක්‍රමය මුදල්‍ පොදි ගසාගැනීම නොවේ. එහෙත් ජනතාව බැංකු හරහා ගනුදෙනු වලට යොමුවීම රටක මූල්‍ය ස්ථාවරත්වයට වැදගත් සාධකයක්. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ මේ ගැන විරෝධතා රැසක් පැනනැගුනු නමුත් රජය නිර්භීතව මෙම ක්‍රියාමර්ගය අඛන්ඩව ගෙන යෑමට සමත්ව තිබෙනවා.

ලංකාවද කලු සල්ලි සහ මූල්‍ය අර්බුධ රැසක සිටින රටක්. ලංකාවේද මූල්‍ය හා බදු පද්ධතිය නවීකරණය කිරීමට නම් ජනප්‍රිය සහ දේශපාලනිකව වාසිදායක නොවන තීරණ රැසක් රජයට ගැනීමට සිදුවන බව ආර්ථික විශේෂඥයින් කලක පටන් පෙන්වාදෙන කාරණාවක්.

මේ ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද? ඒ ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.

Related Articles