Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු – පාකිස්ථාන උණුසුම් තත්ත්වය දිග හැරුණ අයුරු

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සති දෙකක කාලයක් තිස්සේ පැවති අර්බුදකාරී වාතාවරණය පෙබරවාරි 26, සහ විශේෂයෙන්ම පෙබරවාරි 27 වන දා පුපුරා ගියා.

ඉතින් අපි හිතුවා ඒ සිද්ධීන් දිග හැරුණ ආකාරය පිළිබඳව පොඩි විස්තරයක් කරන්නට​. මේ කියන්න යන්නේ විශේෂයෙන්ම පෙබරවාරි 27 වන දා සිද්ධීන් පිළිබඳව යි.

ආරම්භය

මෑතක දි මෙම උණුසුම් තත්ත්වයට බලපා ඇත්තේ පෙබරවාරි 14 වන දා ඉන්දීය පැරාමිලිටරි සෙබළුන් පිරිසකට කාශ්මීරයේ පුල්වාමාහි දී එල්ල වුණ ප්‍රහාරයක්. මෙයින් සෙබළුන් 40කට අධික පිරිසක් මියගියා. ඉන්පසු දෙපාර්ශවය අතර විවිධ මතභේද හටගත්තා. මෙම ප්‍රහාරය එල්ල කළ ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත සංවිධානයට පාකිස්ථානය ආධාර කරන්නේ ය යන ඉන්දියානුවන්ගේ චෝදනාව දෙරට අතර අර්බුදයට හේතු වුණා.

කාශ්මීරයේ පාලන ප්‍රදේශ (Wikimedia Commons)

කාශ්මීර් ප්‍රදේශය ඉන්දියාව සහ පාකිස්ථානය අතර බෙදී තිබෙන බව අප දන්නවා. එම ප්‍රදේශයෙහි දෙරටෙහි පාලනය යටතේ වන ප්‍රදේශය වෙන් වන්නේ පාලන ප්‍රදේශ සීමාව මඟින්. පෙබරවාරි 26 වන දා අළුයම 3.30ට පමණ ඉන්දීය ගුවන් යානා කිහිපයක් පාකිස්ථාන පාලන ප්‍රදේශය වෙත ඇතුල් වී යම් කිසි ප්‍රදේශයකට පහර දුන්නා. ඉන්දියාව ප්‍රකාශ කළේ ඔවුන් ඉලක්ක කරගත්තේ ජායිෂ්-ඊ-මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමේ කඳවුරක් බව යි.

ඉන්දීය ගුවන් යානා පැමිණි අවස්ථාවේ පාකිස්ථාන යානා ද ගුවන් ගත වූ නමුත් ඉන්දියානුවන් ආපසු හැරී ගිය බව පාකිස්ථානය ප්‍රකාශ කළා. මෙහිදී ඔවුන් තම බෝම්බ වනගත ප්‍රදේශයකට පතිත කළ බව යි පාකිස්ථානය කියා සිටියේ.

ගුවන් යානා දෙකක් ගැන ප්‍රකාශයක්

පෙබරවාරි 27 වන දා ලංකාවේ වේලාවෙන් උදෑසන 11.30ට පමණ ඉන්දීය මාධ්‍යවේදීන් එක් අයකු හෝ දෙදෙනකු ගුවන් යානයක් කඩා වැටීමක් පිළිබඳ වාර්තා කළා. ඒ ඔවුනගේ ට්විටර් පිටු ඔස්සේ යි. ඉන් ස්වල්ප වේලාවකට පසුව පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළා. පාකිස්ථාන ගුවන් හමුදාව විසින් ඉන්දීය යානා දෙකක් බිම දැමුණු අතර එකක් පාකිස්ථාන සීමාවට වැටුණ බවත්, එක් නියමුවකු අත්අඩංගුවට ගත් බවත් ඔහු කියා සිටියා.

ඔහු සඳහන් කළේ පාකිස්ථානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ගුවන් යානා පාකිස්ථාන ගුවන් සීමාව ආක්‍රමණය කළ බව යි.

කියවන්න​: ඉන්දු – පාකිස්ථාන යුද්ධවල ඉතිහාසය​

ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර හේතුවෙන් කිසිදු ඉන්දීය යානයක් කඩා නොවැටුණ බව යි. පාකිස්ථාන ගුවන් යානා තුනක් ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝණය කළ අවස්ථාවේ ඊට තම ගුවන් හමුදාව ප්‍රතිචාර දැක්වූ බවත් ඉන්දියාව කියා සිටියා.

මේ සමගම ඉන්දියාව ශ්‍රී නගර් ගුවන් තොටුපළ වසා දැම්මා. මුලින් පැය තුනකට එය වසා දැමුණ අතර පසුව එය ඇතුළු ගුවන් තොටුපළ කිහිපයක් මාස තුනකට වසා දමන බව නිවේදනය කළා. එහෙත් පැය කිහිපයක් තුළ ඒවා යළි විවෘත කෙරුණා.

විශේෂ රැස්වීම්

මේ සිද්ධීන් සමගම ඉන්දියාවේ සහ පාකිස්ථානය විශේෂ රැස්වීම් පැවැත්වුණා. ඉන්දීයා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක් රැස්වීමක් පැවති අතර එහිදී දේශසීමා ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබා දෙනු ලැබුණා. ඉන්පසුව අගමැති මෝදි සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූ රැස්වීමක් මෝදිගේ නිල නිවසෙහි පැවැත්වුණා.

මේ අතර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.

නියමුවාගේ සිද්ධිය

ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙබරවාරි 27 වන දා සවස තුන වීමට පෙර පාකිස්ථානයේ මාධ්‍ය හරහා අල්ලාගත් නියමුවා බව කියන අයකුගේ දර්ශන ප්‍රදර්ශනය කෙරුණා. මේ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ඉන්දියානු නියමුවෙකු ද යන්න තහවුරු කරගැනීමට ස්වාධීන ක්‍රමයක් වූයේ නැහැ. මේ අතර ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය එරට වෙලාවෙන් (ලංකාවේ ද වෙලාව එයම ය​) සවස 3.15ට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මෙම මාධ්‍ය හමුවේ දී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රවීශ් කුමාර් තම ගුවන් හමුදාවට මිග්-21 යානයක් අහිමි වූ බව පිළිගත්තා. ඔවුන් පාකිස්ථාන F-16 යානයක් ද බිම දැමූයේයැ යි ප්‍රකාශ කළා. එමෙන්ම නියමුවකු අතුරුදහන් බව ද ඔහු පිළිගත්තා. එතෙක් ඉන්දියාව එවැන්නක් පිළිගත්තේ නැහැ.

නමුත් මෙම නියමුවා පාකිස්ථාන අත්අඩංගුවේ පසුවේ යයි ඔහු සනාථ කළේ නැහැ. පාකිස්ථානය විසින් එම නියමුවාව අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළ ද ඒ බව සොයා බලමින් සිටින බව පමණක් ප්‍රකාශකයා කියා සිටියා.

වින්ග් කමාන්ඩර් අභිනන්දන් පාකිස්ථානයේ දී අල්ලාගැනීමෙන් පසු

නමුත් සවස් වෙද්දී මෙම නියමුවා පිළිබඳ තොරතුර සත්‍ය බව සොයාගනු ලැබුණා. ඔහු අල්ලාගත් අවස්ථාවේ ඔහුට පහර දෙන අවස්ථාවක් ද, ඉන්පසු පාකිස්ථාන හමුදා විසින් ඔහුව ප්‍රශ්න කරන අවස්ථාවක් ද වීඩියෝ දර්ශන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

වින්ග් කමාන්ඩර් ආභිනන්දන් නම් වන ඔහු මේ වන විට ඉන්දියාවේ ජාතික වීරයකු තත්ත්වයට සැලකෙනවා.

ඉම්රාන් සහ මෝදිගේ ප්‍රකාශ

පෙබරවාරි 27 වන දා සවස් යාමයේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් ඉන්දියාවට සාමය සඳහා ඇරයුම් කළා. පාකිස්ථාන ක්‍රියාන්විතය දියත් කළේ අවශ්‍ය නම් තමන්ට ද ඉන්දියානුවන් මෙන් ප්‍රහාර කරා යාමේ හැකියාව ඇති බව පෙන්වීම පමණක් බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දීය කාශ්මීරයට කඩා වැටුණ ඉන්දීය යානයේ කොටස් (Ieshan Wani)

යුද්ධයක් ඇති වුවහොත් එය කොයි අතට ඇදෙනු ඇති ද යන්න කලින් කිව නොහැකි බව ඔහු අවධාරණය කළා. ඉන්දීය අගමැති මෝදි ද මෙම සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වූවා. ඔහු වඩා දැඩි ස්ථාවරයක් ගත් අතර ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ලෙස ස්ථානෝචිතව කටයුතු කිරීමේ අවසරය ලබා දුන් බව ද සඳහන් කළා.

නමුත් පෙබරවාරි 27 සවස වෙද්දී තත්ත්වය මඳක් සන්සුන් වුණා. මේ අතර ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් පාකිස්ථාන විදේශ ඇමතිවරයා අමතා ඉන්දු-පාකිස්ථාන සාම සාකච්ඡා සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය නම් ඊට සූදානම්යැ යි කියා සිටියා. මේ කරුණ වාර්තා කළේ ඉරානයේ Press TV විසින්.

Cover Image: පෙබරවාරි 14 පුල්වාමා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක භටයෙක් (PTI)

(NDTV, The Hindu, DAWN, BBC, Reuters, Press TV මාධ්‍ය ආයතන ද​, පාකිස්ථාන් තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය​, මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් යන අයගේ නිල ට්විටර් ගිණුම් ද ඇසුරිනි)

Related Articles