Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කටාර් අර්බුධයේ ඇතුළාන්තය

ජූනි මස 5 වන දා උදෑසන සෞදි අරාබිය ඇතුලු අරාබි රටවල් කිහිපයක් විසින් කටාර් රාජ්‍යය සමග වන තානාපති සබඳතා අහෝසි කරන බවට කළ නිවේදනයත් සමඟ ම මැදපෙරදිග කලාපය නව අවිනිශ්චිතතාවකින් ඇළලී ගියා කිවහොත් නිවැරදියි. පසුගිය දින කිහිපය තුළ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳ වාර්තා පළ වුණත් මේ ආකාරයෙන් එය පුපුරා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ නැහැ.

සෞදි අරාබිය නිවේදනය කළේ කටාර ජාතිකයන්ට සහ එහි ගුවන් සේවයට සෞදි අරාබියට ඇතුලු වීම පවා තහනම් කරන බවයි. බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව ද සෞදි අරාබිය සමඟ එක් ව තානාපති සබඳතා අහෝසි කරන්නට කටයුතු කළා.

මාලදිවයින සහ යේමනයේ නිල රජය ද පසුව මෙම රටවල් සමඟ එක් වුණා. යේමනයේ අගනුවර මේ වනවිට පාලනය කරන්නේ හූති කැරලිකරුවන් විසින්. සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් ඔවුනට එරෙහිව හමුදා මෙහෙයුම්වල නිරත වනවා. පුදුමයට කරුණ නම් කටාර් රාජ්‍යය ද මෙම සන්ධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමයි.

කෙසේ නමුත් තවදුරටත් එම සන්ධානයේ සාමාජිකයකු ලෙස කටාරය කටයුතු කිරීම අනවශ්‍ය බව ද සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය ප්‍රකාශ කළා.

මෙම පියවර ගැනීමට හේතුව ලෙස සෞදි අරාබිය සඳහන් කළේ සිය ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාවයයි. කටාරය, කලාපයේ අස්ථාවරත්වය ඇති කරන ත්‍රස්ත සංවිධානවලට අනුබල දෙන බව සෞදි අරාබිය ප්‍රකාශ කළා. එහෙත් කටාරය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

කටාර පුවත් සේවය හැකර් ප්‍රහාරයකට ලක් වීම

පසුගිය මැයි මස 24 වනදා තම රාජ්‍ය රුපවාහිනි නාලිකාවේ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ  ග්‍රහණයට හසුවූ බවත් හැකරුන් තම පාලක එමීර්වරයා උපුටා දක්වන ආකාරයෙන් අසත්‍ය පුවතක් ඒ හරහා විකාශනය කර ඇති බවත් කටාර් රජය නිවේදනය කර සිටියා.

හැකර් ප්‍රහාරය පිළිබඳ පසුව කටාර් පුවත් සේවය ට්විටර් මගින් දැනුවත් කළ අයුරු (Al Bidad Daily English)

අසත්‍ය බවට පැවසෙන එම පුවතෙහි හමාස් සංවිධානය යනු පලස්තීන ජනතාවගේ සැබෑ නියෝජිතයා බවත්,  ඉරානය සතුව ඇති ඉස්ලාමික බලය අවතක්සේරු නොකළ යුතු බවත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තම රජය ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවත්,  ඊශ්‍රායලය සමඟ  තම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යහපත් මට්ටමක ඇති බවත් එමිර්වරයා පැවසූ බව සඳහන් වුණා.

හැකරුන් එම පුවත් ආයතනයේ ට්විටර් පිටුවද අත්පත් කරගෙන තිබුණ බව කටාරය නිවේදනය කළා.

මෙකී  පුවත නිසා කෝපයට පත්වූ සෞදි අරාබිය සහ  එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකට අල් ජසිරා ඇතුළු කටාර් මාධ්‍ය එම රටවල් තුළ තහනම් කරනු ලැබුවා.

කටාර් රජය මෙම සිද්ධිය හඳුන්වා දෙන්නේ තම රටට එරෙහිව සිදුවන අන් අරාබි රටවල කුමන්ත්‍රණයක තවත් එක් පියවරක් ලෙසටයි. ඒ බව පැහැදිලි කරමින් කටාර් රාජ්‍යය සඳහන් කළේ තමන් සිය පාලකයාගේ ප්‍රකාශයක් යයි සඳහන් කරමින් පළවූ වාර්තා අසත්‍ය බව පැහැදිලි කර තිබියදීත් ඇතැම් ජනමාධ්‍ය ආයතන ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදුන් බවයි.

ඔවුන් මෙම චෝදනාව එල්ල කළ ප්‍රධාන ආයතන දෙකක් වූයේ අල් අරාබියා ටීවී (Al Arabiya) සහ ස්කයි නිව්ස් අරාබියා (Sky News Arabia) යන ආයතන දෙකයි. අල් අරාබියා යනු සෞදි රූපවාහිනී චැනලයක් වන අතර ස්කයි නිව්ස් අරාබියා යනු අබුඩාබි හි පිහිටි බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් සහ අබුඩාබි ජනමාධ්‍ය ආයෝජන සමාගම විසින් පවත්වාගන යන ආයතනයක්. එහි අයිතියෙන් කොටසක් ඇත්තේ අබුඩාබි රජ පවුලටයි. මේ අනුව සෞදිය සහ අබුඩාබිය මෙම ක්‍රියාවලිය පිටිපස සිටින බව කටාරය පවසනවා.

කටාර් එමීර් තමීම් බින් හමාඩ් අල් තානි (Getty)

කටාර් රජය තවදුරටත් කියා සිටියේ මැයි 24 වනදා උදෑසන 12.14 ට සිදුවූ හැකර් ප්‍රහාරයෙන් විනාඩි 20 ක් ඇතුලත පෙරකී ආයතන දෙක විසින් එම හැකරුන් විසින් “එළිකරගත්” බව කියන ප්‍රකාශයන් පළ කල බවත්, ඊළඟ පැය තුනක පමණ කාළය තුළ දේශපාලකයන්, විශ්ලේෂකයන් ආදීන් 11 දෙනෙකුගෙන් ඒ පිළිබඳ සජීවී ප්‍රකාශ ලබාගත් බවත් ය . එවැනි වෙලාවක එවැනි පිරිසකගෙන් එවෙලේ පිටවූ බව කියන ප්‍රකාශ පිළිබඳ අදහස් ලබාගත්තේ කෙසේදැයි කටාර් රජය ප්‍රශ්න කරනවා.

කටාර් රජය පෙරළීම?

ඇතැම් විශ්ලේෂකයන් ප්‍රකාශ කරන පරිදි කටාරය සමග සෞදි අරාබිය ඇති කරගත් ආරවුල පිටුපස තිබෙන්නේ ත්‍රස්තවාදය හෝ ඉරානය හෝ පිළිබඳ ප්‍රශ්නයක් ම නොව කටාර් පාලන තන්ත්‍රය පෙරළා දැමීමේ අවශ්‍යතාවයයි. විශේෂයෙන් ම අරාබි වසන්තය ඇරඹි මුල් කාළයේ කටාර් හි රාජ්‍ය අනුග්‍රහය සහිත අල් ජසීරා රූපවාහිනිය එය වාර්තා කළ අන්දම ආදියෙන් අරාබි රටවල් සමහරක පාලකයන් තුළ කටාරය පිළිබඳ එතරම් පැහැදීමක් නැහැ.

Middle East Eye වෙබ් අඩවියට ලිපියක් ලියන එහි ප්‍රධාන කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ඩේවිඩ් හර්ස්ට් සඳහන් කරන්නේ මෙම ක්‍රියාවලිය අරාබියේ සාම්ප්‍රදායික පාලන පන්තිය විසින් කළක පටන් සිදුකරගෙන යන අරාබි වසන්තයට එරෙහිව මතුවූ ප්‍රතිවිප්ලවයේ තවත් එක දිගුවක් බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ ද සහය ඇතිව එම ප්‍රතිවිප්ලවය සම්පූර්ණ කරගැනීමට සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි රටවල් කිහිපයකට අවශ්‍ය වී ඇති බව ද ඔහු සඳහන් කර සිටිනවා. ඔහු සඳහන් කරන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ රටවල්වලට අවශ්‍ය ව ඇත්තේ 2013 දී ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මෝර්සි බලයෙන් පහ කිරීමෙන් පසු ආරම්භ වූ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම බවයි.

කටාරය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයට සහය පළ කළා. මෝර්සි එහි සාමාජිකයකු වනවා. තව ද හමාස් සංවිධානයේ නායකයා වන කාලඩ් මෙශාල් ජීවත් වන්නේද කටාරයේ යි.

මේ අතර , පසුගිය අප්‍රේල් මාසයේදී, අරාබියේ ප්‍රකට වෙබ් මාධ්‍ය ආයතනයක් වන අල් මස්ඩාර් නිව්ස් ආයතනය විසින් පළ කළ ලිපියක සඳහන් කෙරුණේ කටාරයේ ළඟ එන කුමන්ත්‍රණයක් පිළිබඳ ඇමරිකානු පුවත්පත් වර්තා පළ වීමට පටන් ගෙන ඇති බවයි. එම පුවත් වාර්තාවලින් කටාරය මැදපෙරදිග කලාපය අස්ථාවර කරන අයුරු පිළිබඳ ද විවිධ කරුණු දැක්වුන බව සඳහන් වුණා. අල් මස්ඩාර් නිව්ස් ලිපියෙන් වැඩිදුරටත් කියැවුණේ 2013 දී සිහසුන අතැර ගිය කටාර් හි හිටපු එමීර්වරයා වන හමාඩ් බින් කලීෆා අල් තානි මෙම පුවත් වාර්තා පිටිපස සිටින බවයි. ඔහු වර්තමාන එමීර්වරයා වන සිය පුත් තමීම් බින් හමාඩ් අල් තානි බලයෙන් පහ කර ඔහුගේ තවත් පුතකු වන අබ්දුල්ලා බින් හමාඩ් අල් තානි බලයට පත් කිරීමේ අවශ්‍යතාවයෙන් මෙය කරවනු ලබන බවයි. බටහිර රටවල සහය තමීම්ගෙන් ඈත් කර අබ්දුල්ලා වෙත සහය පළ කරන තැනකට ඔවුන් ගෙන ඒම හමාඩ්ගේ අභිප්‍රාය වන බවට විශ්වාසයක් පවතිනවා.

හිටපු එමීර් හමාඩ් බින් කලීෆා අල් තානි (AFP)

මේ අතර එක් අතකින් කටාරයේ දියුණුවත්, අනෙක් අතින් ඉරානය සමඟ එරටට පවතින බව කියන සබඳතාත් පිළිබඳ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරමක බියකින් සිටින බව සඳහන්. මේ හේතුව නිසා සවුදි අරාබියට කටාරය සිය බලපෑම් කලාපය තුළ පවත්වා ගැනීමේ අවශ්‍යතාව පවතිනවා.

කටාරයට වන බලපෑම

සෞදි අරාබිය සහ අනෙකුත් රටවල් කිහිපයක් විසින් පනවන ලද සංචාරක තහනම හේතුවෙන් කටාර් රාජ්‍යයේ ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වී තිබෙනවා. කටාර් රාජ්‍යයට ගොඩබිමින් සබඳතා ඇත්තේ සෞදි අරාබිය සමඟ පමණක් බැවින් මේ වනවිට කටාරයට ගොඩබිම හරහා භාණ්ඩ හුවමාරු කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන් ම ඇහිරී තිබෙනවා.

එමෙන්ම කටාර් ගුවන් සේවයට ද මෙම සිදුවීම් හේතුවෙන් විශාල පාඩුවක් විඳින්නට සිදු ව තිබෙනවා. කටාර් ගුවන් සේවයේ ගමන්වාර විශාල ප්‍රමාණයක් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන දෙරටට යොමුව තිබෙනවා. වර්තමාන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දිනකට ගමන් වාර 50 ක් අවලංගු කිරීමට කටාර් ගුවන් සේවයට සිදුව තිබෙනවා. එමෙන්ම එමිරේට්ස්, එටිහාඩ්, එයාර් අරාබියා සහ ෆ්ලයි ඩුබායි ආදී ගුවන් සේවා මේ වනවිට කටාර් අගනුවර දෝහා වෙත සිය ගමන් වාර අවලංගු කර තිබෙනවා.

මේ අතර කටාරයෙන් කෙරෙන ඇතැම් අපනයනයන් ද මෙම අර්බුදය නිසා ඇණහිටින තත්ත්වයක් මතුව තිබෙන බව අල් ජසීරා රූපවාහිනිය වාර්තා කළා. විශේෂයෙන් ම කටාර් වෙතින් කෙරෙන ඇලුමිනියම් අපනයනය කෙරුණේ ජෙබෙල් අලී වරාය හරහා යි. මෙය එක්සත් අරාබි එමීර් හි පිහිටි වරායක්. මෙම අර්බුදය හේතුවෙන් එම වරාය කටාරය හා වන සබඳතා ද නැවතී තිබෙනවා.

කලාපීය රටවල් කිහිපයක ක්‍රියාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම නොවුණත් සැළකිය යුතු ප්‍රමාණයක ආර්ථික සම්බාධකවලට කටාර් රාජ්‍යය මුහුණ දී තිබෙනවා.

මූලාශ්‍ර:

  1. Saudi Arabia, UAE, Egypt, Bahrain cut ties to Qatar, Al Jazeera English, June 5, 2017.
  2. Qatar diplomatic crisis: All the latest updates, Al Jazeera English
  3. David Hearst, Three potential motives behind the spat between Qatar and its Gulf neighbours, Middle East Eye, June 5, 2017
  4. Benjamin Zhang, One of the best airlines in the world has been banned from its biggest market, Business Insider
  5. Here’s everything we know about the Qatar situation so far, What’s On
  6. Details of a coup attempt in Qatar, Al-Masdar News

කවරයේ පින්තුරය: කටාරයේ අගනුවර දෝහා (Sam Agnew)

Related Articles