ජාත්‍යන්තර මූල්‍යය ස්ථාවරත්වය පිළිබඳ කටයුතු කරන G20 සංවිධානය

G20 සංවිධානය යනු ලෝකයේ ප්‍රධානම ආර්ථික බලවතුන් 20 දෙනකු විසින් එක්ව පිහිටුවා ගන්නා ලද අන්තර්ජාතික එකමුතුවක්. ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් හිමි රටවල් 19ක සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් යුක්ත G20 සංවිධානය නිත්‍ය මූලස්ථානයක් හෝ නිත්‍ය අරමුදලක් හෝ නැහැ. ඊට වෙනම ම ව්‍යවස්ථාවක් හෝ නීති මාලාවක් හෝ නොමැති අතර, එහි ක්‍රියාකාරකම්වලට පිටින් යන සාමාජිකයන්ට දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් ද නැහැ​. සරල ව ම කිවහොත් මෙය රටවල් 19ක සහ යුරෝපා සංගමයේ සාකච්ඡා මණ්ඩපයක් විදියට විස්තර කරන්නට පුළුවන්.

නමුත් මෙම රටවල්වල ආර්ථික බලය හේතුවෙන් මෙම රටවල් අතර යම් එකඟතාවයක් ඇති වුණහොත් එය ලෝක ආර්ථිකය කෙරෙහි බොහොම තදින් බලපාන්නට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙම රටවල් වෙනත් අන්තර්ජාතික සංවිධානවල ද ප්‍රබල සාමාජිකයන් වන නිසාවෙන් ඔවුන් අතර ඇති වන එකඟතාවයන් බොහෝ වැදගත් වීමට ඉඩ තිබෙනවා.

G20 සංවිධානයේ ආරම්භය සිදුවුණේ 1999 දී යි. ඒ විශේෂයෙන් ම නැගෙනහිර ආසියාතික මූල්‍ය අර්බුදය ආදී ලෝක මූල්‍ය ක්ෂේත්‍රය අස්ථාවර කරන සිදුවීම්වලට ප්‍රතිචාරයක් ලෙස යි. ලෝක මූල්‍ය ස්ථායීථාව ආරක්ෂා කරගැනීම පදනම් කර ගනිමින් බිහි වූ මෙම සංවිධානය, මුලින්ම ඒ ඒ රටවල මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතීන් අතර සිදුවන සමුළුවලට සීමා වුණා. යුරෝපා සංගමය නියෝජනය කිරීම යුරෝපා කොමිසම විසින් සහ යුරෝපීය මහ බැංකුව විසින් සිදුකෙරුණා.

21 වන සියවස මුල් දශකයේ ඇමරිකාව ආදී රටවල ඇති වූ ආර්ථික අවපාතයත් සමග G20 සමුළුව වඩා පුළුල් වුණා. මේ අනුව 2008 පටන් එහි සාමාජික රටවල රාජ්‍ය නායකයන් අතර ද සමුළුවක් සංවිධානය කිරීම ඇරඹුණා. මෙසේ පළමු G20 රාජ්‍ය නායක සමුළුව පවත්වන ලද්දේ ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. අගනුවර යි. 2018 සමුළුව මෑතක දී ආර්ජන්ටිනාවේ පවත්වනු ලැබුණා. මීළඟ වසරේ දී එය ජපානයේ පැවැත්වෙනවා.

ඇතැම් අවස්ථාවන් හි මෙම සමුළුව සඳහා මූලස්ථානයක් හෝ ලේකම් කාර්යාලයක් වැනි යම් සංවිධානාත්මකභාවයක් පිහිටුවිය යුතු ය යි යෝජනා පළ වුණ ද, තවමත් එවැන්නක් ක්‍රියාත්මක වී නැහැ.

ආර්ථික ශක්තිය

G20 සමුළුවට සහභාගී වන රටවල් 19න් 18ක් දළ ජාතික නිෂ්පාදිතය අතින් ලෝකයේ පළමු රටවල් 21 අතර සිටිනවා. ඊට අමතර ව සිටින සාමාජිකයා වන්නේ දකුණු අප්‍රිකාව යි. සමස්ථ රටවල් 19 සහ යුරෝපා සංගමය එක්ව සැලකූ කළ, ලෝක දළ දේශීය නිෂ්පාදිත එකතුවෙන් සියයට 85ක් ද ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් ද මෙම G20 රටවලට අයත් වනවා.

මෙම සාමාජිකයන් අතර ඇමරිකා එක්සත් ජනපදය​, ප්‍රංශය​​, රුසියාව​, ජර්මනිය​​, ජපානය​, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, සහ ඉතාලිය යන පැරණි G8 රටවල් ද වනවා. ආසියාතික කලාපයේ චීනය​, ඉන්දියාව, සහ ඉන්දුනීසියාව මෙන්ම දකුණු කොරියාව ද මීට අයත් වනවා.

G20 සාමාජික ධජ​ (ceres.org)

G20 සාමාජිකයන් වන්නේ: ආර්ජන්ටිනාව​, ඔස්ට්‍රේලියාව​, බ්‍රසීලය​, කැනඩාව​, චීනය​, ප්‍රංශය​, ජර්මනිය​, ඉන්දියාව​, ඉන්දුනීසියාව​, ඉතාලිය​, ජපානය​, මෙක්සිකෝව​, රුසියාව​, සෞදි අරාබිය​, දකුණු අප්‍රිකාව​, දකුණු කොරියාව​, තුර්කිය​, එක්සත් රාජධානිය​, එක්සත් ජනපදය​, යුරෝපා සංගමය​.

මීට අමතර ව විවිධ ආයතන සහ රටවල්වලට ද G20 සමුළුව සඳහා නිරීක්ෂක මට්ටමෙන් සහභාගී වීමේ ආරාධනා ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය​, ආසියාන් සංවිධානය​, අප්‍රිකානු එකමුතුව​, අන්තර්ජාතික මූල්‍ය අරමුදල​, අන්තර්ජාතික කම්කරු සංවිධානය​, මූල්‍ය ස්ථාවරත්ව කමිටුව​, ලෝක වෙළෙඳ සංවිධානය​, ස්පාඤ්ඤය ආදී සංවිධාන, සහ රටවල් මෙසේ ආරාධනා ලබනවා. ස්පාඤ්ඤය ලෝකයේ පළමු ආර්ථිකයන් 20 අතරින් එකක් වුව ද, එය G20 සාමාජිකයකු නොවේ. නමුත් සෑම G20 සමුළුවකට ම එය ආරාධිතයෙකු ලෙස සහභාගී වනවා.

සෑම වසරක ම G20 රාජ්‍ය නායක සමුළුවක් පවත්වන අතර, ඒවායේ තේමාවන් ඒ ඒ අවස්ථාවේ තීරණය කෙරෙනවා. සාමාන්‍යයෙන් මූල්‍ය ස්ථායීතාව​, ආර්ථික වර්ධනය​, ධරණීය සංවර්ධනය​, ජාත්‍යන්තර වෙළෙඳාම​, ආර්ථික ආධාර​, ඩිජිටල්කරණය​, සුබසාධනය, සහ කාන්තාවන් බලාත්මක කිරීම ආදී කරුණු පිළිබඳ ව මෙම තේමාවන් කේන්ද්‍ර වනවා. ඇතැම් විශ්ලේෂකයන් කියා සිටින්නේ 2008 ආර්ථික අවපාතය සාපේක්ෂ ව කඩිනමින් විසඳීමට G20 එකමුතුව ඉවහල් වූ බව යි.

ආර්ජන්ටිනාවේ G20 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් ඇතුළු පිරිස (Reuters)

ආර්ථික ශක්තිය හේතුවෙන් G20 රටවල් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කළ ද ඇතැම් අවස්ථාවන් හි ඔවුන් අතර වන වෙනස්කම් ඊට වඩා කරළියට එන බවක් පෙනෙනවා. ආර්ජන්ටිනාවේ පැවති 2018 සමුළුවේ දී චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තීරුබදු යුද්ධය ඉස්මතු වීම එවන් එක් උදාහරණයක් ලෙස දකින්නට පිළිවන්.

විවේචන

G20 සමුළුව පිළිබඳ ව පවතින ප්‍රධානම විවේචනය වන්නේ, එය එක්තරා කණ්ඩායමකට සීමා වූ සමුළුවක් යන්න යි. විශේෂයෙන් ම ලෝක ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීම විශාල ආර්ථිකයන් හිමි රටවල් කිහිපයක් මත රඳා පැවතීම අනෙක් රටවල්වල විවේචනයට හේතු වී තිබෙනවා. වරක් නෝර්වේ රාජ්‍යය කියා සිටියේ G20 යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ එක් ප්‍රධානතම පසුබැසීමක් බව යි.

G20ට අයත් නොවන නමුත් සැලකිය යුතු ආර්ථික ශක්තියකින් හෙබි රටවල් මේ අතර ප්‍රබලම විවේචකයන් අතර වනවා. නෝර්වේ සහ පෝලන්තය ඒ සඳහා විශේෂිත යි. පෝලන්තය අවස්ථා කිහිපයක දී ම මෙම එකතුවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉල්ලීම් කර තිබෙනවා. ආර්ජන්ටිනාව ඉවත් කර, ඒ වෙනුවට පෝලන්තයට අවස්ථාව ලබා දිය යුතු බවට මතයක් පළ වී තිබෙනවා.

මේ අතර​, G20 පිළිබඳ තවත් චෝදනාවක් වන්නේ එහි කටයුතු සහ සාකච්ඡා බොහොමයක් රහසිගත ව සිදුවීම යි. එනම් ඔවුනගේ තීරණ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලැබෙන්නේ නැහැ. එහෙයින් මෙය ධනවතුන්ගේ සහ බලවතුන්ගේ සංගමයකට වඩා වැඩි යමක් නොවන බවට වන චෝදනාව නිතිපතා පවතිනවා.

මේ කාරණා නිසා ම මෙවන් සමුළුවක් පැවැත්වීම අනවශ්‍ය වියදමක් වන බවට එහි සත්කාරක රටවල ජනතාව අතරින් විරෝධතා මතුවීම ද නිරන්තරයෙන් සිදුවනවා. 2018 දී ආර්ජන්ටිනාවේ පැවති G20 සමුළුවේ දී ද එම තත්ත්වය මතු වුණා. වාමාංශික සංවිධාන, විපක්ෂ කණ්ඩායම්, පරිසර සංවිධාන යනාදී විවිධ පිරිස් එක්ව මෙවන් උද්ඝෝෂණ සංවිධාන කරනු ලබනවා.

කවරයේ පින්තූරය: ආර්ජන්ටිනාවේ පැවති G20 සමුළුව අතරතුර පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අවස්ථාවේ රාජ්‍ය නායකයින් සහ ඔවුනගේ කලත්‍රයින් (AP)

Related Articles