දිනෙන් දින උණුසුම් වන ඉරාන – ඊශ්‍රායල සීතල යුද්ධය

ඉරානය සහ ඊශ්‍රායලය ඔවුනොවුන් කෙරේ දක්වන විරෝධාකල්පය කිසිවකුට අමුත්තක් නොවේ. ඉරානය විසින් ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගන්නේ ද නැහැ. එමෙන්ම ඉරානය කලාපයේ ඊශ්‍රායලයට එරෙහි ඇතැම් සංවිධාන සඳහා දිගු කලක් තිස්සේ සහය දක්වනවා.

කෙසේ නමුත්, මේ දෙරට අතර ඇති සීතල යුද්ධය දැන් නව මුහුණුවරක් ගෙන ඇති බවක් පෙනී යනවා. මීට පෙරත්, ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව රහස් මෙහෙයුම් දියත් කළා. නමුත් වර්තමානයේ දී ඊශ්‍රායලය විසින් ඉරානය සහ ඉරානයේ සහය ලබන සංවිධාන ඉලක්ක කරගෙන ගෙනයන ප්‍රහාර මැදපෙරදිග දේශපාලන තත්ත්වය ව්‍යාකූල කිරීමට සමත්ව තිබෙනවා.

ඉරාන යුධ උපක්‍රම

ඉරානය කලාපීය වශයෙන් සෞදි අරාබිය සහ එරට මිත්‍රයින් සමග ද​, ඇමරිකා එක්සත් ජනපදය සමග ද, ඊශ්‍රායලය සමග ද එදිරිවාදිකම් සහිත රටක්. විශේෂයෙන් ඇමරිකාව සතු අවි ආයුධ සමග සැලකීමේ දී ඉරානය සතු අවි බලය අඩු ශක්තියකින් යුතු වීම පොදුවේ දන්නා කරුණක්. එමෙන්ම, සෞදි අරාබිය ආදී රාජ්‍යයන්ට ද ඇමරිකානුවන් වෙතින් නවීන අවි ලැබෙන බැවින්, ඉරානයට ඊට එරෙහිව යම් ශක්තියක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වුණා. ඔවුන් ඒ සඳහා කරුණු තුනක් දෙස අවධානය යොමු කළා. එකක් වූයේ න්‍යෂ්ටික අවි පිළිබඳ අවධානය යොමු කිරීම යි. දෙවැන්න බැලිස්ටික් මිසයිල දියුණු කිරීම යි. තෙවැන්න නම් කලාපීය රටවල තමන්ට හිතවත් සංවිධාන සවිබල ගැන්වීම යි.

මෙයින් පළමු උපක්‍රමයට 2015 දී තාවකාලිකව නැවතීමේ තිතක් තබන ලද්දේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සමග යි. එහි තත්ත්වය ඉදිරියේ දී කෙසේ වේදැ යි අපැහැදිලි තත්ත්වයක් දැන් පවතිනවා. මේ අතර​, බැලිස්ටික් මිසයිල ව්‍යාපෘති ද සැලකිය යුතු වේගයකින් ක්‍රියාත්මක වනවා.

හිස්බුල්ලා නායක හසන් නස් රල්ලා අගෝස්තු 25 වන දා කළ කතාව බොහෝ අයගේ අවධානය යොමු වූවක් (AFP)

මේ අතර​, තමන්ට හිතවත් සංවිධාන ශක්තිමත් කිරීමේ දී ඉරානය සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා තිබෙන අතර එය කලාපීය වශයෙන් එරට සතු බලපෑම පැතිර යාමට ඉවහල්ව තිබෙනවා. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මෙන්ම ඉරාන සන්නද්ධ අංශයන් ද සිරියානු සිවිල් යුද්ධයට දැක්වූ දායකත්වය සමග සිරියානු රජය වෙනදාටත් වඩා ඉරානය සමග සම්බන්ධ වී තිබෙනවා. එමෙන්ම හිස්බුල්ලා සංවිධානයේ ශක්තිය හේතුවෙන් එය ලෙබනනයේ ද ප්‍රබලම දේශපාලන සංවිධානයක් ලෙස ඉස්මතුව තිබෙන අතර​, ලෙබනන යුධ හමුදාවට වඩා වැඩි සන්නද්ධ ශක්තියක් ද එය සතු යි.

සදාම් හුසේන්ව 2003 දී ඉරාකයේ නායකත්වයෙන් පළවා හරින ලද පසු ඉරානයේ බලපෑමට කෙමෙන් කෙමෙන් එරට ද ලක් වුණා. වර්තමානය වනවිට ඉරාන – ඉරාක සබඳතා ද යහපත් අතට පත්ව තිබෙන අතර​, හෂෙඩ් අල්-ෂාබි නම් ෂියා මුස්ලිම් මිලීෂියා සංවිධානය ඉරාකයේ ප්‍රබල සන්නද්ධ සංවිධානයක් ලෙස මතු වී තිබෙනවා. එය සංවිධානයට එරෙහිව කළ සටන්වලදී ඉරාක රජයට ප්‍රබල සහයක් ලබා දුන්නා.

යේමනයේ හූති කැරලිකරුවන් ඉරානයට ඉතා වටිනා සහයකයකු බවට පත්ව තිබෙනවා. ඔවුන් මේ වන විට පැරණි උතුරු යේමනයම පාහේ තම පාලනයට ගෙන තිබෙන අතර නිරන්තරයෙන් සෞදි අරාබියට මිසයිල ප්‍රහාර ද එල්ල කරනවා.

ඊශ්‍රායලයේ ප්‍රහාර

ඉරානය මේ ආකාරයෙන් තම බලපෑම කලාපයේ පතුරවා හරින විට​, ඊශ්‍රායලය ද ඊට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. පසුගිය මාස කිහිපයක කාලය තුළ ඊශ්‍රායලය බොහෝ විට අවධානය යොමු කළේ සිරියාව තුළ ඉරාන ක්‍රියාකාරීත්වය පිළිබඳව​ යි. ඉරාන සන්නද්ධ අංශ ඍජුවම සිරියාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ වී සිටීමත්, සිරියාව, සහ ඊශ්‍රායලය අතර දේශසීමාවක් පැවතීමත් හේතුවෙන් මෙම තත්ත්වය තේරුම්ගත හැකියි.

මීට අමතරව විවිධ අවස්ථාවල දී ගාසා තීරයේ හමාස් සංවිධානය ද ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට පසුගිය කාලය මුළුල්ලේම ඊශ්‍රායලය කටයුතු කළා. හමාස් සංවිධානයට ද ඉරානයේ සහය ලැබෙන බව සඳහන් වනවා.

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ඊශ්‍රායලය විසින් සිදු කරන ප්‍රහාර හා සමගාමීව මෑත දිනවල දී ඔවුන් විවිධ ස්ථානයන් හි ප්‍රහාර එල්ල කරන බව පෙනී යනවා. ලෙබනනයේත්, ඉරාකයේත් සිදු වූ ප්‍රහාර කිහිපයක් පිළිබඳව ඊශ්‍රායලය වෙත චෝදනා එල්ල වනවා.

පසුගිය දින කිහිපය තුළ ඉරාකයේ විවිධ සැක සහිත පිපිරීම් කිහිපයක් වාර්තා වූ අතර ඒ පිළිබඳ ඊශ්‍රායලය වෙත චෝදනා එල්ල වුණා. මේ අතර නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාවක් පළ කරමින් කියා සිටියේ එම ප්‍රහාර ඇත්තෙන්ම ඊශ්‍රායලය විසින් සිදු කරන ලද බවට ඇමරිකානු බලධාරියකු තහවුරු කළ බව යි. නමුත් ඊශ්‍රායලය ඒ පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

මේ අතර, අගෝස්තු 25 වනදා සිරියානු දේශසීමාව ආසන්නයේ සිදු වූ ප්‍රහාරයකින් හෂෙඩ් අල්-ෂාබි සංවිධානයේ 45 වන බ්‍රිගේඩයේ ප්‍රධානියකු මියගියා. එම සංවිධානය පවසා සිටියේ ඊශ්‍රායල ඩ්‍රෝන දෙකක් මගින් එම ප්‍රහාරය එල්ල කෙරුණ බව යි.

සිරියානු වෙලාවෙන් අගෝස්තු 24 සෙනසුරදා රාත්‍රියේ ඊශ්‍රායල ප්‍රහාරයක් සිරියාවේ අර්කබා නගරය දෙසට එල්ල කෙරුණා. ඊශ්‍රායලය පවසා සිටියේ තමන් සිරියාවෙහි සිටින ඉරාන විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ කුද්ස් බලකායෙහි සේනාංක ඉලක්ක කර ප්‍රහාරය දියත් කළ බව යි. එම බලකාය ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන ප්‍රහරයක් එල්ල කරන්නට සූදානමින් සිටි බව ද ඔවුන් සඳහන් කළා.

කුද්ස් බලකායේ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් වූ හානි චන්ද්‍රිකා රූපයක් මගින් (ImageSat Intl.)

අගෝස්තු 25 වන දා ලෙබනනයේ බීරූට් අගනුවර දකුණුදිග ප්‍රදේශයේ ඩ්‍රෝන දෙකක් කඩා වැටුණ අතර ඉන් එකක් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය අංශය වෙත කඩා වැටී එයට හානි සිදු කළා. හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා එදින සවස රූපාවාහිනිය මඟින් කතාවක් සිදු කරමින් ඊශ්‍රායලයට අනතුරු අඟවා සිටියේ ප්‍රවේශම් වන ලෙස යි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අගෝස්තු 27 වන දා කළ කතාවක දී ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ හිස්බුල්ලා සංවිධානයේත් ලෙබනනයේ සහ ඉරානයේත් නායකත්වය සිය ක්‍රියාකාරකම්වලදී ප්‍රවේශම් විය යුතු බව යි.

ඊශ්‍රායලය විවිධ අවස්ථාවල දී සිරියානු භූමියේ ස්ථාන ඉලක්ක කරගැනීම සඳහා ලෙබනන ගුවන් සීමාව උල්ලංඝණය කර තිබෙනවා. එහෙත් 2006 යුද්ධයෙන් පසු බීරූට් වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ පළමු වතාව මෙය වුණා.

හිස්බුල්ලා සංවිධානයේ ගොඩනැගිල්ලට වූ හානිය (Reuters)

මීට අමතරව ඊශ්‍රායලය විසින් අගෝස්තු 26 වන දා ගාසා තීරයට ද ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. එරට ප්‍රකාශ කළේ ගාසා දෙසින් එල්ල වූ රොකට් ප්‍රහාරයන්ට පිළිතුරු දීමක් ලෙස එය සිදුකළ බව යි. එම රොකට් ප්‍රහාර ඊශ්‍රායලයේ අයර්න් ඩෝම් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කළේයැ යි ඊශ්‍රායලය ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය සමග, තත්ත්වය පාලනය කිරීමට සහාය වන ලෙස, අගෝස්තු 27 වනදා ලෙබනන අගමැති සාද් හරීරි රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. රුසියාව දෙසින් ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බව යි රුසියානු මාධ්‍ය වාර්තා කළේ. මේ අතර​, ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු දෙන්නේ කෙසේදැ යි හිස්බුල්ලා සංවිධානය සලකා බලමින් සිටිතැ යි තවත් මාධ්‍ය වාර්තාවකින් කියැවුණා. එකට එක කිරීම් හමුවේ කලාපයේ තත්ත්වය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකියැ යි බියක් බොහෝ දෙනා සතුව තිබෙනවා.

Cover Image: ඊශ්‍රායල අයර්න් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය (AP)

Related Articles