ඉරානය විසින් ඉරාකය ග්‍රහණයට ගත් බව කියන රහස්‍ය ලේඛන​

ඉරානය විසින් ඉරාකය තම ග්‍රහණයට ගත් ආකාරය විස්තර කරනු ලබන රහස්‍ය ලේඛන ගොන්නක් මහජනතාවට නිකුත් වීම, මැදපෙරදිග දේශපාලනය අලුත් මානයකට ගෙන යෑමට ඉඩක් තිබෙනවා.

පසුගිය සමයෙහි ඉරාකය කෙමෙන් කෙමෙන් ඉරානය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් තිබුණා. දේශපාලනික අර්ථයෙන් එය පුදුම වීමට කරුණක් නොවෙයි. එහෙත්, ඉරාක බුද්ධි තොරතුරු ඉරානය වෙත ලබා දීම පිළිබඳ චෝදනා මෙන්ම ඉරාන බුද්ධි අංශ සහ ඉරාක නායකත්වය අතර සබඳතා තිබීම පිළිබඳ චෝදනා ඊට වඩා බෙහෙවින් බරපතල වනවා.

මොනවද මේ ලියවිලි?

නම හෙළි නොවූ තැනැත්තෙකු හෝ කණ්ඩායමක් විසින් පිටු 700ක පමණ වූ මෙම වාර්තා ලබා දී තිබුණේ The Intercept නම් වෙබ් මාධ්‍ය ආයතනයට යි. ඔවුන් එය නිව් යෝර්ක් ටයිම්ස් ආයතනය සමග බෙදාගෙන තිබුණා. මෙය ලබා දුන් පාර්ශවය සඳහන් කර තිබුණේ, “මාගේ දේශය වන ඉරාකයට, ඉරානය විසින් සිදුකරන දේ පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමට​” මෙම ලේඛන හෙළි කරන බව යි.

මෙම ලේඛන ලැබුණේ කාගෙන්දැ යි තමන් නොදන්නා බව The Intercept ආයතනය කියා සිටිනවා.

ප්‍රධාන කරුණු

මෙම ලේඛන මඟින් ප්‍රධාන කරුණු කිහිපයක් හෙළිදරව් වන බව වාර්තා වුණා. ඒ අතර​, එක් වැදගත් කරුණක් වන්නේ ඇමරිකන් හමුදා 2011 දී ඉවත් කරගත් පසු එතෙක් CIA සංවිධානය වෙනුවෙන් සේවය කළ ඉරාක ජාතිකයන් තම සේවයට බඳවා ගැනීමට ඉරානය කටයුතු කළ ආකාරය යි.

2011 දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කරගැනීම සම්පූර්ණ කෙරුණා. මෙහි දී සියලු ඇමරිකන් හමුදා ඉවත් කරගනු ලැබුණේ නැහැ. හමුදා සාමාජිකයන් 6,000ක් පමණ එහි තවදුරටත් රැඳී සිටියා. එහෙත් ඔවුන් උපදේශන සහ අනෙකුත් කටයුතු සඳහා රැඳුණ අතර, ඉරාකයේ ක්‍රියාකාරී යුධ සේවයෙන් ඇමරිකන් හමුදා ඉවත් වුණා. ඒ සමගම CIA සංවිධානයට තොරතුරු ලබාදුන් ඉරාක ඒජන්තයින් සමහරකුගේ සේවය නවතා දමන ලද බව පෙනී යනවා. එයින් සිදුවූයේ ඔවුන්ට එතෙක් ලැබුණ වරදාන නොලැබී යාම යි. මේ අයව සොයා ගත් ඉරාන ඔත්තු සේවා, මොවුන්ව සිය සේවයට බඳවාගත් බව යි සැලකෙන්නේ.

හයිදර් අල්-අබාඩි, ඉරාන ජනාධිපති හසන් රවුහානි හමු වූ අවස්ථාවක් (Prime Minister’s Office, Iraq)

මීට අමතරව​, ඉහත ලේඛන​ සඳහන් කරන පරිදි ඉරාන – ඉරාක හමුදා නිලධාරී හමුවක දී ඉරාක හමුදා බුද්ධි තොරතුරු සියල්ල ඉරානයට දීමට ඉරාකය එකඟ වී තිබෙනවා. තමන් සතු සියලු තොරතුරු ඉරානය සතු දේ ලෙස සලකන ලෙස ඉරාක හමුදා නිලධාරීන් සඳහන් කළ බවට මෙම ලේඛන චෝදනා කරනවා.

හිටපු ඉරාක අගමැති හයිදර් අල්-අබාඩි ඉරාන බුද්ධි සේවා සමග එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති අතර, 2015 ජනවාරියේ දී බුද්ධි නිලධාරියකු සමග වූ සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු ද මෙම ලේඛනවල අඩංගු යි. කෙසේ වෙතත්, මෙම චෝදනාව අබාඩි ප්‍රතික්ෂේප කරනවා.

තවද​, ඉරාකය විසින් සංවිධානයට එරෙහිව කරන ලද යුද්ධයට ඉරානය විසින් උපදෙස් දුන් බවට ද මෙම ලේඛන මඟින් චෝදනා කෙරෙනවා.

ඉරාන – ඉරාක සබඳතා

ඉරානය, සිය යාබද රාජ්‍යය වන ඉරාකය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට බලපාන කරුණක් වන්නේ තම රාජ්‍යය මෙන්ම ඉරාකයේ ද බහුතරය ෂියා මුස්ලිම්වරුන් වීම යි. ෂියා මුස්ලිම්වරුන් සිය ශුද්ධ වූ ස්ථාන ලෙස සලකන ස්ථාන ඉරාකයේ ද පිහිටා තිබෙනවා. එමෙන්ම ෂියා මුස්ලිම් ලෝකයේ ප්‍රධාන නායකයින් සමහරෙක් ද වාසය කරන්නේ ඉරාකයේ යි.

ඉරාකය බිහි වූයේ පළමු ලෝක යුද්ධයෙන් පසුව යි. මුල් කාලයේ පටන්ම එහි පාලනය ගෙන ගියේ සුන්නි පාලකයින් විසින්. එහෙයින් රටේ බහුතරයක් වූ ෂියා මුස්ලිම් ජනතාවට දේශපාලන බලයක් වූයේ නැහැ. 1958 දී එරට රාජාණ්ඩුව කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණ පසු ද එම තත්ත්වය එසේ ම පැවතුණා. 1968 දී බලය අල්ලා ගත් බාත් පක්ෂයේ ද නායකයින් වූයේ සුන්නි මුස්ලිම්වරුන් පිරිසක්.

එම පාලනයෙහි අගමැති වූ සදාම් හුසේන් 1979 දී ඉරාක ජනාධිපති ලෙස පත් වුණා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවය සිදුවූයේ ද මේ සමයේ යි. බටහිර රටවල ද සහායෙන් ඉරාකය, ඉරානයට එරෙහිව 1980 දී යුද්ධයක් ඇරඹුවා. එය වසර අටක් ඇදී ගියා.

ෂියා ජනයා තමන්ට එරෙහිව කැරලි ගැසීම වැළැක්වීමට දැඩි පාලනයක් ගෙන ගිය සදාම්ට හැකි වුණා. අනෙක් අතට​, අන්තවාදී ඉස්ලාමීය පාලනයකට ද ඉරාක ෂියාවරුන් බහුතරය විශේෂ කැමැත්තක් දැක්වූයේ නැති බවත් සිතිය හැකියි. 1991 ගල්ෆ් යුද්ධයෙන් පසුව ද සදාම් දිගටම සිය රට තුළ බලය රැකගත්තා. ඉරාක කුර්දීන්ට වෙනම පාලන ප්‍රදේශයක් ලැබුණ ද, ෂියාවරුන්ට එවැන්නක් වූයේ නැහැ.

ෂියාවරුන් දේශපාලනිකව බලවත් වූයේ 2003 ඇමරිකන් ආක්‍රමණයෙන් පසුව ඉරාකයේ මැතිවරණ පැවැත්වීමත් සමග යි. ඒ අනුව ෂියාවරුන් යටතට දේශපාලන බලය ලැබුණා. ඒ සමගම කෙමෙන් කෙමෙන් ඉරානය සමග ද සබඳතා වර්ධනය වුණා. මෙසේ ඉරානයට සමීප රජයක් ඉරාකයේ බිහිවීම ඇමරිකන් ආක්‍රමණයේ ඇමරිකාවටම අහිතවත් වූ එක් ප්‍රතිඵලයක් වනවා.

අල්-හෂ්ද් අෂ්-ෂාබි මිලීෂියා කණ්ඩායම (Reuters)

ඉරානයේ සහාය ලබමින් එළිපිටම කටයුතු කළ සංවිධානයක් වූයේ අල්-හෂ්ද් අෂ්-ෂාබි මිලීෂියා කණ්ඩායම​ යි. ISIS ත්‍රස්ත සංවිධානයට එරෙහි සටනේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ ඔවුන්, ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකා නිලධාරීන්ගේ උපදෙස් ලබාගත් බව ප්‍රකට කරුණක්.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ

ඔක්තෝබර් මාසයේ මුල සිටම ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පවතිනවා. ඊට මූලිකවම හේතු වූයේ විරැකියාව​, අයහපත් සේවා සහ දූෂණය යි. මෙම උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා පොලිසිය ගත් පියවර හේතුවෙන් එරට සිය ගණනක් මරණ වාර්තා වුණා. උද්ඝෝෂකයින් කියා සිටින්නේ රජය ඉල්ලා අස්විය යුතු බව යි. මේ අතර ඉරානයේ බලපෑමට රජය යටවීම පිළිබඳව ද විරෝධතාකරුවන් රජයට චෝදනා කරනවා. ඔවුන් පවසා සිටින්නේ රහස්‍ය ලේඛන මඟින් ඔවුන් ඒ වන විට ද දැන සිටි කරුණක් සනාථ වූවා පමණක් බව යි.

මේ අතර පසුගිය නොවැම්බර් 14 වන දා තෙල් මිල ඉහළ නැංවීමට ඉරානය ගත් පියවර ද සමග එරට ද උද්ඝෝෂණ මාලාවකින් ඇළලී ගියා. පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් දරුණු අතට හැරී තිබෙන අතර, සියයකට අධික පිරිසක් එයින් ද මියගොස් ඇතැ යි වාර්තා වනවා.

මෙම අවස්ථාවේ ඉරාන කටයුතු පිළිබඳ රහස්‍ය ලේඛන බව කියන වාර්තා පිටවීම, දෙරටේම අස්ථාවර තත්ත්වය තවත් බරපතල අතට හැරවීමට හේතු විය හැකියි.

කවරයේ පින්තූරය: ඉරාකයේ විරෝධතාවක් අතරතුර (Reuters)

Related Articles