Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරාන පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය සඳහා පාවහන් නැති වෙයි

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා රුසියාවට පැමිණි ඉරාන කණ්ඩායමට මොරොක්කෝව සමග පවත්වන ලද සිය පළමු තරගයට පෙර ක්‍රීඩා පාවහන් සපයා ගැනීමට​ සාප්පු සවාරි යාමට සිදු වූ බව රුසියාවෙන් වාර්තා වුණා.

මීට හේතු වී ඇත්තේ ඔවුනට තරග කිරීම සඳහා පාවහන් සපයා දීමට සුප්‍රසිද්ධ නයිකි සමාගම කටයුතු නොකිරීම යි. මේ අනුව ඉරාන කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට පාවහන් මිල දී ගැනීම සඳහා රුසියාවේ දී සාප්පු සවාරි යාමට සිදු වී තිබෙනවා.

මොරොක්කෝව සමග ජූනි 15 වන දා පවත්වන ලද තරගය සඳහා ඇතැම් ඉරාන ක්‍රීඩකයන් නයිකි පාවහන් පැළඳ තරග කළ නමුත් අනෙක් ක්‍රීඩකයන් වෙනත් පාවහන් පැළඳ සිටියා. කණ්ඩායමේ අනෙකුත් ඇඳුම් පිළිබඳව ප්‍රශ්නයක් මතු නොවූයේ ඔවුන් ජර්මනියේ අඩිඩාස් සමාගමෙන් ජර්සි මිලට ගත් නිසා යි.

ඉරාන ක්‍රීඩකයින්ට අවසන් මොහොතේ පාවහන් මිලට ගන්නට සිදු වුණා. (Pic: Reuters)

පාවහන් නොදීමේ හේතුව​

නයිකි සමාගම මෙසේ ක්‍රීඩා පාවහන් ලබා නොදීමට කටයුතු කළේ ඉරාන න්‍යෂ්ටික එකඟතාවයෙන් ඉවත් වන බවට, සහ ආර්ථික සම්බාධක එරටට එරෙහිව පනවන බවට මැයි මස 8 වන දා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හේතුවෙන්.

ට්‍රම්ප් කියා සිටියේ 2015 දී ඇති කරගත් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ වූ බහුපාර්ශවික එකඟතාව තමන් ජීවිතයේ දුටු නරකම එකඟතාව බව යි. ඒ අනුව වෙනත් විකල්ප එකඟතාවයක් සඳහා සාකච්ඡා කළ යුතු බව ඔහු කියා සිටියා. එතෙක් ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක පනවන බවටත් ඉරානය සමඟ ගනුදෙනු කරන වෙනත් රටවලට එරෙහිව ද කටයුතු කරන බවටත් ට්‍රම්ප් තර්ජනය කළා.

කෙසේ නමුත් මෙම ගිවිසුමේ අනෙකුත් පාර්ශවයන් වන චීනය​, රුසියාව​, ජර්මනිය​, ප්‍රංශය​, මහා බ්‍රිතාන්‍යය, සහ යුරෝපා සංගමය මෙන්ම ඉරානයත් මෙම තීරණය හා එකඟ වූයේ නැහැ.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි.

මෙම සම්බාධක නිල වශයෙන් ක්‍රියාත්මක වනු ඇත්තේ මැයි මාසයේ කළ නිවේදනයෙන් මාස හයක් ගතවූ පසුවයි. ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව යම් අයකු මෙම සම්බාධක උල්ලංඝණය කළහොත් ඇමරිකානු ඩොලර් මිලියනයක් දක්වා වන්දි සහ වසර 20 ක් දක්වා වන සිර දඬුවමක් පැනවීමට අවශ්‍ය නෛතික පියවර ගැනෙනු ඇති.

ඉරාන පුහුණුකරුගේ අප්‍රසාදය​

ඉරාන පුහුණුකරු වන පෘතුගීසි ජාතික කාර්ලෝස් ක්වේරෝස් නයිකි සමාගමේ මෙම තීරණය පිළිබඳ තම දැඩි අප්‍රසාදය පළ කර සිටියා. ඔහු කියා සිටියේ මෙම විකාර සහගත ක්‍රියාව සම්බන්ධයෙන් එම සමාගම ඉරාන පාපන්දු කණ්ඩායමෙන් සමාව ගත යුතු බවයි.

ක්‍රීඩකයන් ඔවුනගේ උපාංගවලට හුරුවන බැවින් යම් හෙයකින් වෙනස් මාදිලියක උපාංග භාවිතා කරන්නට සිදුවීම ඔවුනට අපහසුවක් බව ඔහුගේ අදහස යි. ඉතාම වැදගත් තරගයකට සතියකට කලින් මෙවැනි දැනුම් දීමක් කිරීම නිවැරදි නොවන බව ක්වේරෝස් කියා සිටියා.

“ඉරාන පිළේ ක්‍රීඩකයන් 23 දෙනා කෙරේ ඔවුන් දැක්වූ මුරණ්ඩු ආකල්පය විකාර සහගත මෙන්ම කිසිසේත් අවශ්‍ය නොවූවක්” ක්වේරෝස් කියා සිටියා.

කාර්ලෝස් ක්වේරෝස් (Reuters)

නමුත් නයිකි සමාගම පවසන්නේ ඇමරිකානු සමාගමක් ලෙස තමන්ට ඉරාන පිළට අවශ්‍ය උපාංග ලබාදීම ප්‍රශ්නයක් විය හැකි බව යි. ඔවුන් විසින් පහත ආකාරයේ ප්‍රකාශයක් මේ පිළිබඳව නිකුත් කළා.

“ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවූ හෙයින්, ඇමරිකානු සමාගමක් වන අපට ඉරාන ජාතික පිළ වෙත​ මෙම අවස්ථාවේ පාවහන් සැපයීම කළ නොහැකි යි. නයිකි සමාගම වෙත බලපාන සම්බාධක වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක අතර එය නීති මගින් ද බලාත්මක කර තිබේ.”

නමුත් හාස්‍යයට කරුණ වන්නේ ඉරාන පිළ සඳහා 2014 දී ද දැඩි සම්බාධක පනවා තිබිය දී නයිකි සමාගම ඉරානයට පාවහන් සැපයීම යි.

සම්බාධක ගැටළුව​

සම්බාධක හේතුවෙන් කාලයක පටන්ම ඉරානය සමග නිල මට්ටමෙන් ගනුදෙනු කිරීමට විදෙස් සමාගම් මැළි වුණා. සාමාන්‍යයයෙන් ලෝක මට්ටමේ තරගාවලියකට සහභාගී වන කණ්ඩායම්වලට ඔවුනගේ උපාංග සඳහා අනුග්‍රාහකයින් ලැබෙනවා. ඒ අනුව ඇතැම්විට ඩොලර් මිලියන ගණනේ ගනුදෙනු සඳහා එම කණ්ඩායම් එළඹෙනවා. නමුත් ඉරානයට මේ කිසිත් ලැබුණේ නැහැ.

එමෙන්ම සම්බාධක හේතුවෙන් ලෝක කුසලානයට පෙර හරි ආකාරව පුහුණු තරග සංවිධානය කරගැනීමටත් ඔවුනට නොහැකි වුණා.

ඉරාන ක්‍රීඩකයන්ට ජර්සි ලබා දීමට ඉතාලි සමාගමක් ඉදිරිපත් වුණත් ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ක්‍රීඩකයන් සෑහීමකට පත් වූයේ නැහැ. ඒ හේතුවෙන් ඔවුන් අඩිඩාස් සමාගමෙන් ජර්සි මිලට ගන්නට තීරණය කළා. අඩිඩාස් සමාගම ද ඔවුනට නිල වශයෙන් අනුග්‍රාහකත්වයක් දැක්වූයේ නැති අතර ඉරාන ක්‍රීඩකයන්ට එම ජර්සි මිලට ගන්නට සිදු වුණා. නමුත් එම සමාගම ඔවුනට 70%ක සහනයක් ලබා දී තිබුණා.

මේ පිළිබඳ වැඩි විස්තර මෙම වීඩියෝවෙන් ඔබට දැනගත​ හැකියි.

කෙසේ නමුත් මොරොක්කෝව සමග සාන්ත පීටර්ස්බර්ග් නුවර දී පවත්වන ලද තරගයෙන් ඉරානය ගෝල 1-0 ක් ලෙස ජය ගත්තා. ඒ 90+5 මිනිත්තුවේ දී (සම්පූර්ණ කාලය අවසන්ව පස් වැනි විනාඩියේ දී) මොරොක්කෝවේ අසීස් බූඅඩූස් විසින් තම දැල වෙතම එල්ල කළ ගෝලයකින් ඉරානයට ගෝලයක් ලබා දීමෙන්.

දෛවයේ සරදමකට මෙන් මෙම ජයග්‍රහණය ඉරානය ලෝක කුසලානයක දී වසර 20කට පසු ලද පළමු ජයග්‍රහණය වූ අතර මින් පෙර 1998 දී ඔවුන් ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යි.

මොරොක්කෝව පරාජය කළ පසු ඉරාන පාපන්දු රසිකයන් මෙන්ම නයිකි සමාගමේ තීරණය විවේචනය කළ අනෙකුත් ඇතමුන්ගේ ද සරදමට නයිකි සමාගම ලක් වූ බව සමාජ මාධ්‍ය පිරික්සීමේ දී පෙනී ගියා.

Cover Image: ඉරාන පිළ ලෝක කුසලානයට පෙර​ (AP)

මූලාශ්‍රයයන්

1. Iranian Players Shop For Boots as US Sanctions Leave Them Barefoot at World Cup (Sputnik)

2. Nike Should Apologize to Iran: Carlos Queiroz (Tasnim)

Related Articles