දිනෙන් දින දරුණු වන ඉරානයේ උද්ඝෝෂණ​

ඉරානයේ මේ දිනවල මතුව ඇති විරෝධතා ව්‍යාපාර කෙරෙහි ජාත්‍යන්තරයේ විශාල අවධානයක් ලැබී තිබෙනවා. දෙසැම්බර් 28 වනදා මෙම විරෝධතා ව්‍යාපාර ආරම්භ වූයේ රටේ ඊසානදිග ප්‍රදේශයෙන්. පසුව එම විරෝධතා අනෙකුත් ප්‍රදේශවලට ද පැතිර ගියා. මෙම විරෝධතා අතරවාරයේ අවම වශයෙන් 20 දෙනෙකු මිය ගොස් තිබෙන අතර සිය ගණනක් දෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විරෝධතා ව්‍යාපාරය මූලික වශයෙන් ඉහළ ගොස් තිබෙන ජීවන වියදමට එරෙහිව ගොඩ නැගී තිබෙන නමුත්, මෙහි ආරම්භය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පදනමක් මත සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ආගමික මුහුණුවරක්

මෙම විරෝධතා ව්‍යාපාර පටන් ගෙන තිබෙන්නේ ඊසානදිග ඉරානයේ මෂාඩ් නගරයෙන්. මෙම නගරය ෂියා මුස්ලිම්වරුන් ගේ පූජනීය නගර හතෙන් එකක් වන අතර 2017 ඉරාන ජනාධිපතිවරණයේ දී ප්‍රතිසංස්කරණවාදී ජනාධිපති හසන් රවුහානිගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ ඊබ්‍රහීම් රයිසිගේ උපන් බිම ද වනවා.

ඔහුගේ මාමණ්ඩිය වන දැඩි මතධාරී පූජක අහ්මඩ් අල්මොල්හොඩා ජීවත් වන්නේ ද මෂාඩ් නගරයේ යි. ඔවුන් ප්‍රතිසංස්කරණවාදී රජයට එරෙහි අතර, දැඩි මතධාරී පාලනයක් ඉරානයේ ගෙන යා යුතු යයි කියා සිටිනවා. එහෙයින්ම රවුහානි රජයේ ඇතැම් ක්‍රියාකලාපයන් ඔවුන් දැඩි ලෙස විවේචනය කරනවා.

ටෙහෙරානයේ විරෝධතාවක් (AP)

දෙසැම්බර් මස අවසන් සතියේ ඉරාන පොලිසිය සඳහන් කළේ මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධ නීති රීති ලිහිල් කරන බවයි. එනම්, එම නීති කඩකරන කාන්‍තාවත් අත් අඩංගුවට නොගන්නා බවත් ඔවුන් ඒ වෙනුවට අධ්‍යාපනික පන්ති කරා යොමු කෙරෙන බවත් ටෙහෙරාන් අගනුවර පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළා. මෂාඩ් හි විරෝධතා ව්‍යාපාර හට ගත්තේ ඉන් අනතුරුවයි.

ආගමික අන්තවාදී මුහුණුවරකින් පටන් ගත්ත ද මෙම විරෝධතා ව්‍යාපාර පසුව වෙනත් මානයක් කරා ගිය අතර මේ වනවිට මූලික වශයෙන්ම ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මේ අතර ආගමික පූජකයන් කෙරෙහි ද ජනතාව විරෝධතාව දක්වන බව සඳහන්. සාමාන්‍ය ජනතාව දුක් විඳින අතරතුර පූජකයින් සැප විඳින බව ඇතැම් විරෝධතාකරුවන් චෝදනා කරනවා.

ඉරාන උප ජනාධිපති එෂාක් ජහන්ගිරි මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන අස්ථාවරභාවය ඇති කරන්නන් ප්‍රවේශම් විය යුතු බවත්, තත්ත්වය බරපතල වූ විට එහි පාලනය ඔවුනගේ අතින් ගිලිහී යාමේ අවදානමක් ඇති බවත් සඳහන් කළා.

විරෝධතාවය දැක්වීමට අයිතිය

මේ අතර හසන් රවුහානි ජනාධිපතිවරයා දෙසැම්බර් 31 වනදා ප්‍රකාශ කළේ විරෝධතාවය දැක්වීමට ජනතාවට අයිතිය ඇති නමුත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වීමට අයිතියක් කිසිවකුට නොමැති බවයි. ඇතැම් ප්‍රදේශවල සාමකාමී උද්ඝෝෂණ පවතිද්දී, තවත් ස්ථානවල උද්ඝෝෂකයින් බැංකු සහ වෙනත් රජයේ ගොඩනැගිලිවලට පහර දුන් බව සඳහන් වුණා.

Reuters

ඉරානයේ වර්තමානයේ පවතින ආර්ථික අපහසුතාවලට තෙල් මිල පහළ යාම, සහ ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙළ පිළිබඳ ඇතිකරගත් ගිවිසුම කෙරෙහි පවතින අවිනිශ්චිතභාවය ද හේතු වී තිබෙනවා. ඇමරිකාවේ ජනාධිපති ධුරයට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වීමත් සමඟ ඇමරිකාව එම ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ අනතුරක් මතු වූ අතර ට්‍රම්ප් සහ ඉරාන නායකත්වය අතර බරපතල වචන හුවමාරුවීම් ද නිතර සිදු වුණා.මේ අතර, පවතින රජය ජනතාවට විශාල බලාපොරොත්තු දුන් නමුත් එය ඉටු නොකළ බව විරෝධතාකරුවන් කියා සිටිනවා. විශේෂයෙන්ම න්‍යෂ්ඨික ගිවිසුමෙන් පසු බටහිර රටවල් ඉරානය මත පනවා තිබූ සම්බාධක ඉවත් වීමත් සමඟ රටේ ආර්ථිකය දියුණු වේ යයි බලාපොරොත්තු පළ වුණා. 2017 ජනාධිපතිවරණයේදී හසන් රවුහානි තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඊබ්‍රහීම් රයිසිව පහසුවෙන්ම පරාජය කළේ ද මෙම බලාපොරොත්තු මතයි. කෙසේ නමුත් මේ වනවිට ද රටේ ආර්ථිකය අයහපත් තත්ත්වයක පැවතීම පිළිබඳ ජනතාව රජයට දෝෂාරෝපණය කරනවා.

ජනතාවගේ විරෝධතා ව්‍යාපාර මෙතරම් වේගයෙන් පැතිර යාමට හේතු වූ මූලික කරුණ නම් ඔවුන් තුළ යටපත්ව පැවති කැකෑරෙන අප්‍රසාදය බවයි විරෝධතාකරුවන් සඳහන් කරන්නේ.

Cover Image: ටෙහෙරානයේ විරෝධතාකරුවන් පිරිසක් (Getty)

Related Articles