ඇමෙරිකානු හමුදා විසින් ඉරාකය ආක්‍රමණය කෙරෙන්නේ 2003 වසරේ දී යි. මෙම යුද්ධයෙන් සදාම් හුසේන්ගේ නායකත්වයෙන් යුක්ත ඉරාකය පරාජයට පත් වෙන අතර ඔහුව 2003 වසරේ දෙසැම්බර් මාසයේ දී අල්ලා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා. 

ඇමෙරිකානු හමුදාව විසින් ඔහුව අල්ලා ගැනෙන්නේ සදාම්ගේ උපන් ගම වන ටික්රිට්හි භූගත බංකරයක සැඟවී සිටිය දී යි. ඉන් පසුව, 2006 වසරේ දී ඇමෙරිකානු හිතවත් දේශීය අධිකරණයකින් සදාම්ට මරණ දණ්ඩනය නියම කරනවා. ඒ සමූල ඝාතන චෝදනාවකට වැරදිකරු කරමින්. සදාම්ගේ මරණයට හේතු වූ ඒ සංහාරය හඳුන්වන්නේ ඩුජායිල් සංහාරය නමින්. සදාම්ගෙන් පසුව ඔහුගේ සහචරයන් පිරිසකට ද මරණ දඬුවම හිමිවෙනවා.

ඩුජායිල් සංහාරය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවේ දී ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි කළ අපරාධ සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවලට සදාම් වැරදිකරු ලෙස අධිකරණයෙන් තීරණය කරන අතර 2006 වසරේ දෙසැම්බර් 30 වන දින ඔහුව එල්ලා මැරීමට විනිසුරුවන් තීරණය කරනවා.

සදාම් එල්ලා මරණ විටත් ඔහුට හා ඔහුගේ සහචරයන්ට විරුද්ධව තවත් නඩුවක් විභාග වෙමින් පැවතුනා. ඒ, 1986 – 1989 කාල වකවානුව තුළ සදාම්ගේ උපදෙස් මත උතුරු ඉරාක් කුර්දිස්තාන් වැසියන් 50 000 – 180 000ත් අතර ප්‍රමාණයක් මරා දැමීම පිළිබඳ සිද්ධියකුයි. එය වර්ග සංහාරයක් ලෙස ලෝක ප්‍රජාව විසින් හැඳින්වූ අතර මේ සඳහා ඉරාක හමුදා විසින් විශාල ප්‍රමාණයේ රසායනික ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙය අන්ෆාල් වර්ග සංහාරය (Anfal genocide) ලෙස ද හඳුන්වනවා.

අන්ෆාල් වර්ග සංහාරයේ නියමුවා 

කෙමිකල් අලී (wikimedia.org)

සදාම් එල්ලා මැරීමෙන් පසුව ද අන්ෆාල් වර්ගවාදී ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග වන අතර එහි ප්‍රධාන චූදිතයා ලෙස නම් කෙරෙන්නේ අලී හසාන් අල්-මජීඩ් නම්, සදාම්ගේ ඥාති සොහොයුරෙක්. මොහුගේ අන්වර්ථ නාමය වන්නේ “කෙමිකල් අලි” යන්න යි. නඩු විභාගය අවසානයේ දී අලී හසාන්ට මෙන්ම, වර්ග සංහාරය වෙන සමයේ ඉරාකයේ සිටි ආරක්ෂක ඇමතිවරයාට හා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට මරණ දණ්ඩනය නියම වෙනවා. ඒ අනුව 2010 වසරේ දී කෙමිකල් අලී ව එල්ලා මරා දමනවා.

අන්ෆාල් වර්ග සංහාරය

ඝාතනයන්ට ලක් වූ කුර්දි වැසියන්ගේ සොහොන් කොත් (anfenglish.com)

අන්ෆාල් වර්ග සංහාරය සිදුවුණේ ඉරාන - ඉරාක යුද සමයේ අවසන් සමයේ දී යි. මෙම සංහාරය සඳහා අණ ලබා දෙන්නේ අලී හසාන් අල්-මජීඩ් විසිනු යි. 1986 සිට 1989 කාල සීමාව දක්වා සංහාරය ක්‍රියාත්මක වූ අතර, එහි උච්චතම වර්ෂය ලෙස සඳහන් වන්නේ 1988 වසර යි. එම වසරේ දී මෙම ප්‍රදේශයේ වර්ගවාදී ඝාතන ක්‍රියාදාමයන් රැසක් සිදු වූ බව ස්වීඩනය, නොර්වේ හා එක්සත් රාජධානිය පවසා සිටිනවා.

මෙම කාල සීමාව තුළ විශාල පිරිසක් රාසයනික අවි ප්‍රහාර හා විෂ වායු ප්‍රහාරයන්ට හසු වී මිය යන අතර 1988 වසරේ දී උතුරු ඉරාකයේ හලබ්යා නම් කුර්දි නගරයට විෂ වායු ප්‍රහාරයක් එල්ල කිරීමට අණ කිරීමෙන් 5000කට අධික කුර්දි වැසියන් ප්‍රමාණයක් මරණයට පත් වෙනවා.

1988 වන විට උතුරු ඉරාක කුර්දි ගම් 400කට අධික ප්‍රමාණයක් අලී හසාන් අල්-මජීඩ්ගේ මෙහෙයවීම මත විනාශ කරන අතර ඒවාගේ සිටින ඕනෑම කුර්දි වැසියෙක් මරා දැමීමට හමුදාවට අණ කරමින් ලියවිල්ලකට ද ඔහු විසින් අත්සන් තබනවා. විෂ රසායනික ප්‍රහාරවලට අණ දුන් බැවිනුයි ඔහුව “කෙමිකල් අලී” ලෙස හදුන්වන්නේ.  තවද “කුර්දිස්තානයේ මස් වැද්දා” ලෙස ද අලී හසාන් අල්-මජීඩ්ව හදුන්වනු ලබනවා.

ඉන් පසුව සදාම් විසින් 1990 වසරේ දී  ආරම්භ කළ කුවේටය ආක්‍රමණය කිරිමේ යුද්ධයේ දී ද කෙමිකල් අලී සදාම් හුසේන් වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. 1995 වසරේ දී ඉරානය හා සම්බන්ධතා පැවැත්වීම යන නීති විරෝධී කරුණු හේතුකරගෙන සදාම් විසින් කෙමිකල් අලිව සේවයෙන් පහ කරනු ලබනවා. නමුත් 1998 වසරේ දී නැවතත් කෙමිකල් අලීව හමුදාවට ඇතුලත් කරගන්නා සදාම් ඔහු ඉරාකයේ දකුණු දිග ප්‍රදේශයේ හමුදාව මෙහෙයවීමේ අණදෙන නිලධාරී ලෙස පත් කරනවා.

කෙමිකල් අලී ඇමෙරිකානු හමුදාවේ අත් අඩංගුවට පත්වේ 

කෙමිකල් අලී යුද හමුදා නිලධාරියෙක් ලෙස (mcclatchydc)

ඉරාකය ආක්‍රමණය කරන ඇමෙරිකානු හමුදාව 2003 වසරේ අප්‍රේල් මාසයේ දී එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කෙමිකල් අලී මිය ගිය බව ප්‍රකාශ කරනවා. නමුත් එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට වාසනාවන්තව සිටි අලී පසුව ඇමෙරිකානු හමුදාවේ අත්අඩංගුවට පත් වෙනවා. ඒ එම වසරේ අගෝස්තු මාසයේ දී යි. ඉරාකයෙන් ඇමෙරිකානුවන්ට අවශ්‍යම සිටි පුද්ගලයන්ගෙන් පස්වැන්නා කෙමිකල් අලී බව පවසන ඇමෙරිකා එක්සත් ජනපදය ඔහුට විරුද්ධව දේශීය අධිකරණයක් තුළ නඩු පවරනු ලබනවා. ඒ අන්ෆාල් වර්ග සංහාරයට එරෙහිව යි.

විෂ වායු එල්ල කර කුර්දි වැසියන් ඝාතනය කිරීම හා ෂියා වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර අවසානයේ දී ඒවා සාධාරණය ලෙස ඔප්පු වෙනවා. ඒ හේතුවෙන් කෙමිකල් අලීට මරණ දඬුවම ලබා දීමට අධිකරණය තීරණය කරනවා. ඊට විරුද්ධව ඔහු විසින් 2007 වසරේ දී අභියාචනාවක් ගොනු කළ ද අධිකරණය විසින් අභියාචනාව ප්‍රතික්ෂේප කරනවා. එම අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් 2010 වසරේ ජනවාරි 10 වන දා ඔහුව එල්ලා මරා දැමීමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් වෙනවා. ඒ සමගම කෙමිකල් අලි විසින් සිදුකළ සමූල ඝාතනයට සම්බන්ධව චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ඇමතිවරයා සහ හිටපු නියෝජ්‍ය හමුදා නායකයකු ද එල්ලා මරා දැමීමට නියම වෙනවා. තීන්දුව ප්‍රකාශ වී දින අටකට පසුව එනම් 2010 වසරේ ජනවාරි 25 වන දින කෙමිකල් අලීට හිමි මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. 

කවරයේ පින්තූරය - rferl.org

මූලාශ්‍රයයන් - 

nytimes.com

aljazeera.com