අපරාධ කල්ලි මට්ටු කළ චෙරන් නගරයේ යකඩ ගැහැනු

 මෙක්සිකෝව කියන්නේ බොහොම විචිත්‍රවත් සංස්කෘතියක් තිබෙන සුන්දර මිනිසුන් ජීවත් වෙන රටක්. මෙක්සිකානු වැසියන් තම සාමාන්‍ය ජීවන රටාව ගෙන යන්නේ විශාල අරගලයක් කරමින් බව පැවසීම වඩාත් සාධාරණ යි. මත්ද්‍රව්‍ය  ජාවාරම ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ අපරාධ කල්ලි නිසා මෙක්සිකෝවේ සාමාන්‍ය ජන ජීවිතය විටෙන් විට බිඳ වැටෙනවා. ඒ බලපෑම විටෙක අසල්වැසි අමෙරිකා එක්සත් ජනපදයටත් දැනෙනවා.

 ලෝකයේ ප්‍රචණ්ඩ ක්‍රියා වඩාත් ම සිදුවන නගර කිහිපයකට ම මෙක්සිකෝව හිමිකම් කියනවා. ප්‍රධාන නගරවලට සාපේක්ෂව මෙක්සිකෝවේ කුඩා නගරවල ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා බැරෑරුම් බව කියවෙනවා. අපරාධ කල්ලි පාලනය කිරීම සඳහා රජය නිතර නිතර ගන්නා උත්සාහයත් සමඟ මෙක්සිකෝවේ දරුණු ගැටුම් ඇති වෙනවා.

චෙරනනගරයේ දර්ශනයක් – hellotravel.com 

 චෙරන් කියන්නේත් කලකට ඉහත අපරාධ කල්ලි නිසා බරපතළ ලෙස පීඩාවට පත් වූ මෙක්සිකෝවේ පිහිටි කුඩා නගරයක්. පොලීසියෙන් සහ දේශපාලනයෙන් ඔවුන්ගේ ගැටලුවට පිළිතුරක් ලැබුණේ නැහැ. නගරවාසීන් අවසානයේදී අවදානම් සහගත තීරණයකට එළඹුණා. එයින් චෙරන් නගරයේ විශාල පෙරළියක් ඇති වුණා.

දැවෙන කතරේ ක්ෂේම භූමියක්!

 මෙක්සිකෝවේ ප්‍රාන්ත අතුරින් “මිචොවකාන්” කියන්නේ සාපේක්ෂ ව වැඩි අපරාධ අගයක් තිබෙන ප්‍රාන්තයක්. 2017 වර්ෂයේ පළවූ පුවත්පත් වාර්තාවකට අනුව, එම වසරේ ම ජනවාරි සහ මැයි අතර මිචොවකාන් ප්‍රාන්තය තුළ මරා දැමුණු මිනිසුන් සංඛ්‍යාව 599ක් පමණ වෙනවා. පසුගිය වසරේ එම කාල පරාසයට සාපේක්ෂව 40% ක ඝාතන අගය වැඩි වීමක් ලෙස එය දැක්වුණා.

 චෙරන් නගරය, ප්‍රචණ්ඩකාරී මිචොවකාන් ප්‍රාන්තයේ වයඹදිගට වන්නට පිහිටා තිබෙනවා. ප්‍රාන්තයේ සාමකාමීත්වය දැවැන්ත අර්බුදයකට ලක්වී තිබුණත්, 2011 වර්ෂයේ සිට චෙරන් නගරයේ මිනී මැරීමක් හෝ වෙනත් ප්‍රබල අපරාධයක් වාර්තා වුණේ නැහැ. කාන්තාරයක පිහිටි ක්ෂේම භූමියක් මෙන් ප්‍රචණ්ඩත්වය පිරි ප්‍රාන්තය තුළ චෙරන් නගරවාසීන් සාමය තහවුරු කර ගැනීමට සමත් වුණා.

 2011 වර්ෂයට පෙරාතු ව චෙරන් නගරයේ එවැනි සාමකාමී වාතාවරණයක් තිබුණේ නැහැ. මෙක්සිකෝවේ ප්‍රචණ්ඩත්වය රජ කළ අනෙකුත් නගර මෙන් ම, චෙරන් නගරයත් අපරාධ කල්ලිවල ග්‍රහණයට නතුව තිබුණා. චෙරන් නගරවාසීන්ගේ අනාගතය අපරාධ කල්ලි හමුවේ අවිනිශ්චිත ව පැවතුණු අතර, එක්තරා තීරණාත්මක සිදුවීමක් හමුවේ ජීවිතය හෝ මරණය තෝරා ගැනීමේ අවස්ථාවකට මුහුණ දීමට චෙරන් නගර වැසියන්ට සිදු වුණා.

ජොසෆිනා එස්ට්‍රාඩා කියන්නේ එදා අරගලයට සක්‍රීය නායකත්වයක් දුන් තැනැත්තියක් – www.latimes.com

පිපාසයට වැට බැඳීම

 චෙරන් නගරයේ ජීවත් වෙන්නේ ආදිවාසී ජන කොට්ටාශයකින් පැවතගෙන එන බොහොම දුප්පත් මිනිසුන් පිරිසක්. නගරය අත්පත් කරගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම ආදායම් ක්‍රම විවිධාංගීකරණය කර තිබුණා. කප්පම් ගැනීම්, පැහැර ගෙන යාම් සහ දැව ජාවාරම එයින් කිහිපයක් පමණ යි. වෙස් මුහුණු පැළඳ ගත් අපරාධකරුවන් කුඩා පරිමාණයේ ව්‍යාපාරවලින් කප්පම් ගන්නා සිදුවීම් නගරයේ සුලබ දර්ශනයක් වුණා. ජීවිත අහිමි වීම්, සදාකාලික ආබාධිතයන් බිහි කිරීම් වැනි දරුණු සිදුවීම්වලට අමතරව දුක සේ උපයා ගන්නා ආදායමටත් බලපෑම් එල්ල වීම නිසා චෙරන් මිනිසුන් කබලෙන් ළිපට ඇද වැටුණා.

 නගරයේ ආර්ථිකය මූලික වශයෙන් දැව කර්මාන්තය මත පදනම් ව පැවතුණු අතර, ජාවාරම්කරුවන් දැව කර්මාන්තයත් තමන්ගේ අතට ගැනීම එහි මිනිසුන්ට ඉවසුම් දුන්නේ නැහැ. 2011 වර්ෂය වනවිට දැව ජාවාරම්කරුවන් නගරයට ප්‍රධාන වශයෙන් ජලය සපයා දෙන උල්පතක් කරා වන විනාශය රැගෙන එමින් තිබුණා. මේ අතර නගරයේ එක්තරා කාන්තාවන් කිහිප දෙනෙක් රහස් සාකච්ඡාවක් සංවිධානය කළා.

 “අපි හිටියේ පසුතැවිල්ලකින්. ගස් කැපුවොත් උල්පත සිඳී ගොස් වතුර හිඟ වෙනවා. අපේ ස්වාමි පුරුෂයන් සතුව ගවයන් සිටිනවා. වතුර නැතුව ඔවුන්ව කොහොමද රැක බලා ගන්නේ?”

චෙරන් නගරයේ අනාගතය වෙනස් කිරීමට දායක වූ මාගරිටා එල්විරා රොමේරෝ එලෙස පවසා තිබුණා.

 ඉදිරි අවදානම සැලකිල්ලට ගත් එම නිර්භීත ගැහැනුන් පිරිස සාමකාමී ලෙස සන්නද්ධ දැව ජාවාරම්කරුවන් සමඟ සාකච්ඡා කිරීම පිණිස එදා වනයට ඇතුළු වුණා. එහිදී ගැහැනුන් කණ්ඩායම වාචික ව අපයෝජනයට ලක් කොට පලවා හැරීමට ජාවාරම්කරුවන් ක්‍රියා කළා. උල්පත සම්බන්ධයෙන් වනය තුළ දී වචන හුවමාරුවක් සිදු කර ගැනීම අවදානම් බව ඔවුන් තේරුම් ගත්තා.

 බොන වතුර පොද පවා අනාගතයේ දවසක විනාශ වීමට නියමිත නම් තවදුරටත් බියෙන් හෝ ජීවත් වීම පලක් නොවන බව මේ කාන්තාවන් තීරණය කළා. නගරයේ දේශපාලනය සහ පොලීසිය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ නිසා නීතියෙනුත් පිළිසරණක් තිබුණේ නැහැ. ඒ අනුව චෙරන් නගරයේ ඓතිහාසික කැරැල්ලට පිඹුරුපත් සැකසුණා.

පල්ලියේ සීනු හඬ එදා චෙරන් නගරයට නිදහසේ මූලික සංඥාව ලබා දුන්නා – www.latimes.com 

නිදහස කැඳවූ පල්ලියේ සීනුව

 2011 අප්‍රියෙල් 15 වන දින අරුණෝදයත් සමඟ නගරයේ පිරිසක් දේවස්ථානයේ සීනුව නාද කරමින් සහ ගිනි කෙළි දල්වමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළා. වහා ම ක්‍රියාත්මක වූ නගරවැසියන් ළඟ එන අනතුරට මුහුණ දීම සඳහා ආයුධයක් ලෙස භාවිත කළ හැකි යමක් අතැති ව සූදානම් වුණා. ඇතැම් මිනිසුන් සතු ව ගිනිඅවි පවා තිබුණා. අරගලයට මුල පිරූ කාන්තාවන්ගේ නායකත්වයෙන් නගරයට ඇතුළු වන මාර්ග සියල්ල ම බාධක යොදා අවහිර කළා.

“හැමෝම තියුණු ආයුධ අතැතිව වීදි පුරා දුවමින් සිටියා. ඔවුන් සියල්ලන් ම තමන්ගේ මුහුණු ආවරණය කරගෙන සිටියා. මිනිස්සු කෑ ගසමින් සිටින අතරේ පල්ලියේ සීනුව දිගින් දිගට ම නාද වුණා.”

 අරගලයට දායකත්වය දුන් මෙලීසා ෆේබියන්  තීරණාත්මක මොහොත ස්මරණය කළේ ඒ අයුරින්.

දැව තොගයක් පටවා ගත් ජාවාරම්කරුවන්ගේ පළමු ට්‍රක් රථය නවත්වා ගත් නගරවාසීන්, ට්‍රක් රථය තුළ සිටි ජාවාරම්කරුවන් දෙදෙනා ජීව ග්‍රහයෙන් අල්ලා ගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්තා. ටිකෙන් ටික අරගලය වඩාත් උත්සන්න වූ අතර, අවසානයේදී නගරවැසියන්  ජාවාරම්කරුවන් පස් දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ට්‍රක් රථ හතක් ගිනි තබා විනාශ කළා. නගරයට කිසිවකු ඇතුළු නො කර ගැනීමට ඔවුන් දැඩි ව වග බලා ගත්තා.

 කලබල මැද පොලීසිය, නගරාධිපති සහ සන්නද්ධ පිරිස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා පැමිණි අතර, ඒත් සමඟ ම පොලීසිය, දැව ජාවාරම්කරුවන් සහ නගරවාසීන් අතර නොසන්සුන්තාවක් ඇති වුණා. එය අවසන් වූයේ එක්තරා තරුණයෙක් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනකුට තුවාල සිදු කිරීමත් සමඟ යි.
රාත්‍රියේදී ටයර් එකතු කොට සාදා ගත් ගිනිමැල වටා එක් වෙමින් නගරයේ ආරක්ෂාව විසිහතර පැයේ ම තහවුරු කර ගැනීමට චෙරන්  වැසියන් උනන්දු වුණා. සුළු අත්වැරදීමකින් පවා දරුණු ප්‍රතිඵල අත්කර දෙන බව ඔවුන් දැන සිටියා.

නගරයේ පිහිටීම – www.latimes.com

පොලීසිය සහ දේශපාලකයන් චෙරන් අත් හරියි!

 අරගලයට නායකත්වය දුන් කාන්තාවන්ගේ නොපසුබස්නා උත්සාහය සහ නගරවාසීන්ගේ ප්‍රචණ්ඩත්වය හමුවේ ජාවාරම්කරුවන්ට නගරයෙන් මෙන් ම අවට වනාන්තරයෙන් පවා පසු බසින්නට සිදු වුණා. ඉන්පසු ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට අරගලයට නායකත්වය දුන් ජොසෆින් එස්ට්‍රාඩා, මාගරිටා එල්විරා රොමේරෝ ඇතුළු කාන්තාවන් තීරණය කළා. නමුත්, අරගලය තවමත් අවසන් ව තිබුණේ නැහැ. ජාවාරම්කරුවන්ගේ පසුබැසීම තාවකාලික බව ඔවුන් දැන සිටියා. ජාවාරම්කරුවන් ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරිය සහ පොලීසිය සමඟ සමීප සබඳකම් පවත්වන බවට වූ සාධාරණ සැකය නිසා එම ගැටලුවටත් ඔවුන් පිළිතුරු සෙව්වා.

“අපිට අපිවම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් මුළු පද්ධතියම වෙනස් කරන්න සිදු වෙනවා. දේශපාලන පක්ෂ, නගර පරිපාලනය, පොලීසිය, මේ හැමදෙයක්ම වෙනස් කරන්න සිදුවෙනවා. ජීවිතය ආරක්ෂා කරගන්න ඕනෑ නම් අපිට අපේම ක්‍රමයක් අවශ්‍ය බව අපිට වැටහුණා”

ගුරුවරයකු සහ ප්‍රජා නායකයකු වූ පෙද්රෝ චාවේස්, චෙරන් නගරයේ වර්තමාන පරිපාලන ස්වභාවයේ මූලාරම්භය ගැන එලෙසින් අදහස් ප්‍රකාශ කළා.

චෙරන් නගරයට පොලීසියක් වෙනුවට ඇත්තේ නගර වාසීන්ගේ සහභාගීත්වයෙන් සාදාගත් ආරක්ෂක බළකායක් – www.bbc.com 

ඒ අනුව චෙරන් නගරයේ ස්වයං පාලනයක් පිහිටුවා ගැනීමේ සටනත් ඇරඹුණා. දැඩි විරෝධතා සහ ප්‍රචණ්ඩ හැසිරීම් මධ්‍යයේ පොලීසිය සහ දේශපාලකයන් චෙරන් නගරය අතහැර දැමූ අතර, චෙරන් වැසියන් දේශපාලන පක්ෂ සියල්ල ම ප්‍රතික්ෂේප කළා. මිනිසුන් අතර භේද ඇති වන බවට වූ විශ්වාසය නිසා පක්ෂ දේශපාලනය අදටත් මේ නගරයේ නොපවතින බව සඳහන්. මෙක්සිකෝ රජයෙන් පරිබාහිර ව ගොඩනැඟූ මේ ස්වයං පාලනය නිල වශයෙන් පිළි ගත් එකක් නොවෙයි. ස්වයං පාලනයට නිල පිළිගැනීමක් ලබා ගැනීම සඳහා සැලකිය යුතු පරිශ්‍රමයක් දරන්න ඔවුන්ට සිදු වුණා.

රජය ස්වයං පාලනය පිළි ගනියි

 ස්වදේශික ජන කොට්ටාශයකින් පැවත ගෙන එන්නන් ලෙස තම සම්ප්‍රදායයන් සහ ආවේණික සිරිත් විරිත්, භාවිතයන් ඇතුළත් වූ නීති ක්‍රමවේදයක් ගොඩ නැඟීමට ඔවුන් උත්සහ කළා. ඒ සඳහා මෙක්සිකානු නීති පද්ධතියේ ඇති ඉඩකඩ ගැන සොයා බැලීම සඳහා ඔවුන් නීති විශාරදයන්ට මුදල් ගෙවා සේවය ලබා ගත්තා.

Cheran's militia rehearse for a parade
චෙරන් නගර ආරක්ෂක බළකාය – www.bbc.com 

චෙරන් වැසියන්ගේ උත්සාහය රැඩිකල් පරිවර්තනයකට අර ඇඳීමක් සේ සලකා බොහෝ දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන් තම විරුද්ධත්වය ප්‍රකාශ කළා. ගැටලුව කෙමෙන් කෙමෙක් උත්සන්න වූ අතර, චෙරන් වැසියන්ගේ ස්වයං පාලන ඉල්ලීම මෙක්සිකෝවේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණියා.

  චෙරන් නගරයේ මිනිසුන් 2011 වසරේදී ආරම්භ කළ අරගලය සැබෑ ලෙස ම අවසන් වුණේ 2014 වසරේදී යි. ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ ස්වයං පාලන ඉල්ලීමට එකඟ වෙමින් තම තීන්දුව ප්‍රකාශ කළා. අද චෙරන් නගරය යනු මෙක්සිකෝවට අයත් වෙනම පාලන ක්‍රමවේදයක් භාවිතා කරන ප්‍රදේශයක්.

සාමයේ අරුණලු මැද චෙරන් නගර වැසියන් අද තෘප්තියෙන් කල් ගෙවනවා – www.bbc.com 

සාමකාමීත්වයේ අරුණලු

සුළු වැරදි සඳහා චෙරන් නගරය තුළ ම තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් යටතේ යුක්තිය ඉටු කරන අතර, බරපතල ගණයේ නීති කඩ කිරීම් පමණක් නීතිපතිවරයා වෙත යොමු කරනවා. පසුගිය වසර කිහිපය තුළ මිනීමැරීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් වැනි දරුණු ගණයේ අපරාධ චෙරන් නගරය තුළ සිදු වී නැහැ. චෙරන් නගරයේ බොහෝවිට සිදුවන්නේ බීමත්කම හේතුවෙන් ඇතිවන සුළු ගැටුම් පමණ යි.

 “මට ආරක්ෂාව ගැන හැඟීමක් දැනෙනවා. මොකද මට රාත්‍රියේ වුණත් චෙරන් වීදි වල ඇවිදින්න පුළුවන්. නරක දෙයක් සිදුවේයැ යි මම බිය වෙන්නේ නැහැ”

 18 හැවිරිදි යුවතියක වූ මෙලීසාට නගරයේ වර්තමාන තත්ත්වය ගැන තිබෙන්නේ එවන් අදහසක්.

 චෙරන් නගරවැසියන් එකිනෙකා සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගැනීමට උත්සහ කරනවා. ඔවුන් කැපවීමකින් ලබාගත් ස්වයං පාලන අයිතිය රැකගත හැකි එකම ක්‍රමය අන්‍යෝන්‍ය අවබෝධය බව ඔවුන් තදින් විශ්වාස කරනවා. නිරතුරුව ම කිසියම් බීමක් තොලඟාමින් සතුටු සාමිචියේ යෙදීම ඔවුන්ගේ පුරුද්දක්.

දේශපාලන සටන් පාඨ හෝ ලාංඡන චෙරන් හි දකින්න නැහැ

 මෙක්සිකෝවේ අනෙක් ප්‍රදේශවල මෙන් දේශපාලන සටන් පාඨ හෝ ලාංඡන චෙරන් හි දකින්න ලැබෙන්නේ නැහැ. පිටතින් නගරයට ඇතුළුවන අය පවා මැතිවරණ ප්‍රචාරක දැන්වීම්, සලකුණු ඉවත් කිරීමට හෝ ආවරණය කිරීමට බැඳී සිටිනවා. නගර සීමාව තුළ ඡන්ද පැවැත්වීමක් පවා සිදු වන්නේ නැහැ. ඔවුන්ට මැතිවරණ අයිතිය නොමැති බව එයින් අදහස් නොවන අතර, පදිංචිකරුවන්ට ප්‍රාන්ත හා ජාතික මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් අවට නගරවල පිහිටුවා ඇති විශේෂ කුටිවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි යි.

 ජාවාරම්කරුවන් අතින් සිදුවූ දැවැන්ත වන විනාශය නිසා නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් පවා ඔවුන් අරඹා තිබෙනවා. එදා රහසේ ම සාකච්ඡා කොට රහසේ ම ජාවාරම්කරුවන් මුණගැසීමට වනයට වැදුණු ඒ නිර්භීත කාන්තාවන් පිරිස නොවන්නට, චෙරන් කියන්නේ අදටත් ලේ වගුරුවන නගරයක්.

කවරයේ පින්තූරය : චෙරන් නගරයේ මිනිස්සු - intercontinentalcry.org 

මූලාශ්‍ර

 www.usatoday.com

 www.businessinsider.com

 www.latimes.com 

 www.bbc.com

Related Articles