Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිත්තර ආනයනයෙන් අර්බුදය විසඳෙයි ද?

මීට මාස කිහිපයකට පෙර සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් පමණක් වූ බිත්තර මේ වන විට පුවත් මවන මාතෘකාවක් බවට පත් ව තිබේ. ඊට හේතුව පසුගිය මාස කිහිපය ඇතුළත බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ වෙළෙඳපොළේ බිත්තර තොග හිඟ වීම ය. මේ තත්ත්වය හමුවේ බිත්තර හිඟයට සහ අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමට පිළියමක් ලෙස බිත්තර ආනයනය සඳහා අවසර දීමට පවා රජය පසුගිය දා තීරණය කළේ ය. බිත්තර සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තත්ත්වය සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ ව මේ ලිපියෙන් විමසා බලමු.

සත්ත්ව ආහාර හිඟය

එවකට පැවති රජය 2021 අප්‍රේල් සිට ක්‍රියාත්මක වන පරිදි රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය තහනම් කිරීමත් සමඟ විශාල බලපෑමක් එල්ල වූ අංශයකි, සත්ත්ව ආහාර නිෂ්පාදනය. සාමාන්‍යයෙන් දේශීය වශයෙන් වගා කරන වී, බඩඉරිඟු සහ වෙනත් ධාන්‍ය වර්ගවල අතිරික්තය භාවිතයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සිදු කළත් මෙම තහනම හේතුවෙන් එවැනි බෝගවල අස්වැන්න විශාල ලෙස පහළ ගියේ ය. ඒ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ආකාරයේ නිෂ්පාදන අතිරික්තයක් රටේ ඉතිරි නොවී ය.

ආර්ථික අර්බුදය ද සත්ත්ව ආහාර හිඟයට සෘජුව ම හේතු විය – www.femina.in

2021 වසරේ පටන් ක්‍රම ක්‍රමයෙන් උග්‍ර අතට හැරුණු ආර්ථික අර්බුදය ද සත්ත්ව ආහාර හිඟයට සෘජුව ම හේතු විය. සත්ත්ව ආහාර නිෂ්පාදනය පහළ ගිය අවස්ථාවල වෙනත් රටවලින් ඒවා ආනයනය කිරීම සාමාන්‍ය පිළිවෙත වුවත්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ සංචිත පවා නොතිබූ පසුබිමක සත්ත්ව ආහාර ආනයනය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට රජයට හැකියාවක් නොවී ය. ඒ හේතුවෙන් රටේ අනිකුත් බොහෝ භාණ්ඩ මෙන් සත්ත්ව ආහාර හිඟයක් ද නිර්මාණය විය.

ඉන්දියානු ණය පහසුකම් යටතේ සත්ත්ව ආහාර ආනයනය

සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් 2021 වසරේ අගභාගය, විශේෂයෙන් ම නත්තල් සමයේ වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම ආරම්භ විය. එතෙක් රු.15-20ක් වැනි මුදලකට මිල දී ගත හැකි ව තිබූ බිත්තරයක මිල රුපියල් 30-40 දක්වා සහ ඒ වන විට රුපියල් 500-600ක් වැනි මුදලක් ගෙවා මිල දී ගත හැකි ව තිබූ කුකුළු මස් කිලෝවක මිල රුපියල්1,000 ඉක්මවා යාම මෙම කාලසීමාවේ දී සිදු විය.

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව රටේ පැවැති සත්ත්ව ආහාර හිඟය බව නිගමනය කළ රජය ඊට පිළියමක් ලෙස මෙරටට ලැබුණු ඩොලර් බිලියනයක ඉන්දියානු ණය පහසුකම යටතේ සත්ත්ව ආහාර ආනයනය කිරීමට තීරණය කළේ ය. සත්ත්ව ආහාර ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබා දීමට සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කිරීමට ද රජය සැලසුම් කර තිබිණි.

බඩඉරිඟු සහ වෙනත් ධාන්‍ය වර්ගවල අතිරික්තය භාවිතයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සිදු කරයි – www.agrifarming.in

මෙරට බිත්තර අවශ්‍යතාව

සෘජු ආහාරයක් ලෙස සහ වෙනත් විවිධ ආහාර වර්ග, විශේෂයෙන් ම කෙටි කෑම හා කේක් වර්ග පිළියෙළ කිරීමේ දී යොදා ගන්නා බිත්තර බහුල වශයෙන් භාවිත වන පාරිභෝගික භාණ්ඩයකි. මෙරට වාර්ෂික බිත්තර අවශ්‍යතාව ආසන්න වශයෙන් බිලියන දෙකක් ලෙස ගණන් බලා ඇත. වාර්ෂික බිත්තර අවශ්‍යතාව සැලකීමේ දී මාසික ව බිත්තර මිලියන 200ක් පමණ අවශ්‍ය වුවත් බිත්තර නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත ව නිර්මාණය වී ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 50කට අඩු ප්‍රමාණයක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

බිත්තර සඳහා පැනවූ පාලන මිල

2022 වර්ෂයේ මැදභාගය වන විට රටේ නිර්මාණය වූ දැඩි ආර්ථික අවපාතය සහ රුපියලේ වටිනාකම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් බිත්තර මිල තවදුරටත් ඉහළ දැමීමට ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. ඒ හේතුවෙන් බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම අඛණ්ඩ ව සිදු වූ බැවින් බිත්තර සම්බන්ධයෙන් පාලන මිලක් නියම කිරීමට රජයට සිදු විය. මුල් අවස්ථාවේ දී බිත්තරයක මිල රු.43-45 අතර පැවතිය යුතු බවට රජය නියම කළත් ඒ සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන්ගෙන් සහ වෙළෙඳුන්ගෙන් එල්ල වූ විරෝධතා හමුවේ බිත්තරයක උපරිම මිල රු.50ක් වශයෙන් සංශෝධනය කිරීමට රජයට සිදු විය.

පාලන මිල සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹුණු අතර, බිත්තර නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය සමග සැසඳීමේ දී එම පාලන මිල යටතේ බිත්තර අලෙවි කිරීම ප්‍රයෝගික නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර් 15 සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර පාලන මිල සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම අඛණ්ඩව සිදු වූ බැවින් බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයට සිදු විය/ www.adaderana.lk

බිත්තර හිඟය උග්‍ර වෙයි ද?

2021 දී මෙරටට ආනයනය කළ මව් කිකිළියන් සංඛ්‍යාව 80,000ක් වුවත් එම සංඛ්‍යාව 2022 වන විට 40,000 දක්වා පහළ ගොස් ඇති බැවින් 2023 දී බිත්තර හිඟය උග්‍ර අතට හැරෙනු ඇතැයි පසුගිය සැප්තැම්බර් මස දී වාර්තා විය. සත්ත්ව ආහාර හිඟය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සතුන් සඳහා අවශ්‍ය විටමින් වර්ග වැනි දෑ ආනයනය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට එල්ල වී ඇති බලපෑම කොතරම් ද යත් පසුගිය වසරේ පළමු කාර්තුව තුළ මිලියන 220ක් වූ මෙරට බිත්තර නිෂ්පාදනය දෙවැනි කාර්තුව වන විට මිලියන 164ක් දක්වා පහළ ගොස් තිබිණි.

පෝෂණ ගැටලු

රටේ පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල විශාල වශයෙන් ඉහළ යාම හමුවේ පාසල් සිසුන්, තරුණ සහ වැඩිහිටි ප්‍රජාව සහ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් පෝෂණ ඌණතාවට ලක් ව ඇති බව අනාවරණය වී ඇත. ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය මූලික අවශ්‍යතා සපුරා ගන්නා ජනතාවට පැවැති මිල ගණන්වලට වඩා කිහිප ගුණයක මිලක් ගෙවා බිත්තර මිල දී ගැනීම පහසු කටයුත්තක් නොවේ.

අපහසුවෙන් හෝ මුදල් සොයා ගන්නා අයකුට පවා අවශ්‍ය අවස්ථාවට බිත්තර මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඊට හේතුව වර්තමානය වන විට වෙළෙඳපොළේ විශාල බිත්තර හිඟයක් පැවැතීම යි. මෙම ගැටලුව හේතුවෙන් රෝහල්වල නේවාසික ව ප්‍රතිකාර ලබන රෝගීන්ට, පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ලබා දෙන ආහාරවලට අවශ්‍ය බිත්තර පවා සපයා ගැනීම දුෂ්කර වී ඇත.

බිත්තර හිඟය පාසල් සිසුන්ට ලබා දෙන ආහාර වේලට ද බලපා ඇත – www.colombogazette.com

බිත්තර අලෙවියට විශේෂ වැඩසටහනක්

බිත්තර මිල ගණන් පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම නිසා අවම මිලක් යටතේ බිත්තර අලෙවි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය මස අගභාගයේ දී විශේෂ වැඩසටහනක් සකස් කර තිබිණි. එම වැඩසටහන යටතේ ජංගම රථ භාවිතයෙන් කොළඹ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ස්ථාන කිහිපයක රු. 55කට බිත්තර අලෙවි කිරීම සිදු විය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, හෝමාගම, වත්තල, ජාඇළ, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

බිත්තර ආනයනයට සැලසුම්

අධික ලෙස ඉහළ යන බිත්තර මිල සහ වෙළෙඳපොළේ පවතින බිත්තර හිඟය හමුවේ බිත්තර ආනයනය කිරීමට අවසර දෙන ලෙස පාර්ශව කිහිපයක් පසුගිය මාස කිහිපය පුරාවට රජයෙන් ඉල්ලා සිටියහ. ඔවුන් පෙන්වා දුන්නේ ඉන්දියාව සහ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් රුපියල් 30-35 අතර මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව ඇති බව යි. එම ඉල්ලීම් සහ බිත්තර ආශ්‍රිත ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍ය මණ්ඩලය මෙම මස පළමු සතියේ දී බිත්තර ආනයනය සඳහා අවසර දීමට තීරණය කළේ ය. වෙළෙඳ අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට එසේ අනුමැතිය හිමි විය.

තවත් තීරණයක්

පසුගිය වසරේ මව් කිකිළියන් ආනයනය කිරීම සැලකිය යුතු ලෙස පහළ යාම සත්ත්ව ආහාර හිඟයට අමතර ව බිත්තර හිඟයක් ඇති වීමට බලපෑ තවත් හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් මව් කිකිළියන් ආනයනය කළහොත් බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් ලෙස අභිජනනය කළ බිත්තර 200,000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

බිත්තරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ – www.femina.in

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මිරිස්වත්ත හා මාරවිල  ගොවිපොළවල පිහිටි අභිජනනාගාර දෙක උපයෝගී කර ගනිමින් ආනයනය කෙරෙන අභිජනනය කළ බිත්තර මඟින් මව් සතුන් ලබා ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත ය. අභිජනනය කළ බිත්තර පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම ආනයනය කළහොත් මැයි හා ජූනි වන විට මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇත.

බිත්තර ආනයනයට ඉඩ නොලැබෙයි ද?

කුරුළු උණ මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බැවින් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය දා සඳහන් කළේ ය. බිත්තර, කුකුළු පැටවුන්, කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිමට අවසර ලබා දෙන්නේ මාස හයකට පෙර අදාළ රටේ කුරුළු උණ නොමැති බවට තහවුරු වුවහොත් පමණක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. බිත්තර ආනයනය කරන්නේ නම් අවසර දිය හැක්කේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් පමණක් බව ද දෙපාර්තමේන්තුව පවසා තිබේ.

බිත්තර ආනයනය කිරීමට නිර්දේශය ලබා නොදීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මතු කරන තර්කය පිළිගත නොහැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් පෙන්වා දී තිබේ. නිසි පරීක්ෂාවන්ට ලක් කළ බිත්තර ආනයනයෙන් ගැටලුවක් ඇති නොවන නමුත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ නිසි අධ්‍යයනයකින් පසුව බව ඔවුන් පෙන්වා දී ඇත.

විශේෂයෙන් ම යම්කිසි රටකින් බිත්තර ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම රටවල අදාළ බලධාරීන්ගෙන් කුරුළු උණ තත්ත්වය පිළිබඳ ව විමසීමට සහ සහතිකයක් ලබා ගැනීමට මෙරට ආයතන කටයුතු කළ යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ.

බිත්තර ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි විය – www.taste.com

මෙවැනි පසුබිමක ඉදිරි සති දෙක තුළ අනිවාර්යෙන් ම බිත්තර ආනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගිය දා ප්‍රකාශ කළේය. ඒ බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අධිකරණයට දැනුම් දුන් පසුව ය.

ඉදිරි සති දෙකක කාලය ඇතුළත බිත්තර ආනයනය කිරීම සම්බන්ධ තීරණය පෙබරවාරි 8 වන දා පැවැත්වීමට නියමිත කැබිනට් අනුකාරක සභාවේ දී ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

කවරයේ ඡායාරූපය - බිත්තර හිඟයට සහ අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමට පිළියමක් ලෙස බිත්තර ආනයනය සඳහා අවසර දීමට පවා පසුගියදා රජය තීරණය කළේය/ www.tastingtable.com

මූලාශ්‍ර - www.themorning.com
www.dailymirror.com
www.news.lk
කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදන

Related Articles