රාජ්‍ය සරසවිවලට ඇතුළත් වන සිසුන් අඩු වන්නේ නවකවදය නිසා ද?

2021 වසරට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල පසුගිය දා නිකුත් වීම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසකට පසුගිය දා එම විශ්වවිද්‍යාලයේ ම ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් පිරිසක් පහර දීම හේතුවෙන් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන නවකවදය පිළිබඳ ව කතිකාවක් නැවතත් ඇති වී තිබේ.

නවකවදය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවී පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව පසුගිය කාලය පුරාවට ඉහළ ගොස් ඇති බව විවිධ අවස්ථාවල නිකුත් වූ වාර්තා හා ප්‍රකාශවලින් ද පැවසී තිබිණි.

නවකවදයට මුහුණ දීමට සිදු වන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂික ව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 2020 ජනවාරි මස දී පවසා තිබිණි.

Ragging gets ugly - The Morning - Sri Lanka News
නවකවදයට මුහුණ දීමට සිදු වන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂික ව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවේ –  www.themorning.lk

නවකවදය හේතුවෙන් විදේශ ගත වීම

මෙරට අපොස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන එක්ලක්ෂ අසූඑක්දහසක සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව විවර වන්නේ 30,000කට පමණි. සෑම වසරක ම විශ්ව විද්‍යාලවලට ඇතුළු වන මෙම සිසුන්ගෙන් 2000 පමණ දෙනා නවක වදය හේතුවෙන් විදේශ ගත වීම, පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යොමුවීම හෝ විශ්ව විද්‍යාල ජීවිතය අතැර දැමීමට පෙලැඹෙන බව පොලිස් කොමිසම වාර්තාවකින් පවසා තිබිණි.

දැනට වසරකට නවක සිසුහු 35,000ක් උසස් අධ්‍යාපනය සඳහා රට හැර යති. ඊට අමතර ව තවත් සිසුන් 70,000 ක් දැනටමත් විදේශ විශ්වවිද්‍යාලවල දෙවන හෝ තුන්වන වසරේ සිසුන් ලෙස උසස් අධ්‍යාපනයේ නියැළී සිටිතියි හිටපු ඇමතිවරයෙක් වන ව්‍යාපාරික ධම්මික පෙරේරා ‘ඩොලර් අර්බුදයෙන් රට ගොඩ ගන්න උපාය මාර්ගික සැලසුම් 12 ක්’ නමින් ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් කරයි.

නවකවදය යනු

රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක වන නවකවදය සමහර අවස්ථාවල පුද්ගලික අධ්‍යාපන ආයතනවල ද යම් තරමකට ක්‍රියාත්මක වේ. බොහෝ විට විශ්වවිද්‍යාල සහ අනිකුත් අධ්‍යාපන ආයතනවලට පැමිණෙන නවක සිසු සිසුවියන් ඉලක්ක කර ගෙන ඒවායේ ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් නවකවදය ක්‍රියාත්මක කරයි. සාමාන්‍යයෙන් නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාල හෝ අදාළ අනිකුත් අධ්‍යාපන ආයතනවලට පැමිණ නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වන නවකවදය ක්‍රියාත්මක වන ආකාර කිහිපයක් වේ.

නවක වදය ආකාර කිහිපයකින් ක්‍රියාත්මක යි – www.counterpoint.lk

 

සුළු නවකවදය

ඉන් එක් ආකාරයක් වන සුළු නවකවදය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන ආයතන පරිශ්‍ර තුළ වේ. එහිදී ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් නවක සිසු සිසුවියන්ට වාචික හිරිහැර සිදු කිරීම දැකිය හැකි ය. අපහසුතාවට පත් වන ආකාරයේ ප්‍රශ්න ඇසීම, තැති ගැන්වීම, බලහත්කාරයෙන් ගරු බුහුමන් ලබා ගැනීමට උත්සහ කිරීම, කතා කිරීමේ අයිතිය සීමා කිරීම, කවට රංගන ඉදිරිපත් කිරීමට බල කිරීම, විශේෂිත ආකාරයන්ට ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීමට බල කිරීම වැනි දෑ ඊට ඇතුළත් වේ. සුළු නවකවදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ශාරීරික හෝ ලිංගික හිංසන ඇතුළත් නොවේ.

උග්‍ර නවකවදය

අමානුෂික සහ හිංසාකාරී ස්වරූපයක් ගන්නා ක්‍රියාකාරකම් සහිත උග්‍ර නවකවදය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ විශ්වවිද්‍යාලයට අයත් හෝ බාහිර නේවාසිකාගාර තුළදී ය. උග්‍ර නවකවදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා කුලී පදනම මත නිවෙස් ලබා ගත් අවස්ථා පවා පසුගිය කාලයේ වාර්තා විය. නිරුවත් කිරීම, ලිංගික සහ වෙනත් හිංසාකාරී ක්‍රියාකාරකම් සහ ව්‍යායාමවල යෙදවීම, සහ වෙනත් ආකාරයේ කායික හිංසන සිදු කිරීම උග්‍ර නවකවදයට අයත් ක්‍රියාකාරකම් වේ. මෙය නවක සිසුන් සහ සිසුවියන් යන දෙපාර්ශවය ම ඉලක්ක කර ගෙන සිදු වන අතර උග්‍ර නවකවදයට අදාළ සිදුවීම් නිසා සිසු සිසුවියන් මිය ගිය සහ දිවි නසා ගත් අවස්ථා පිළිබඳ පවා තොරතුරු වාර්තා වේ.

කලකට පෙර විශ්වවිද්‍යාලයක නවකවදය ක්‍රියාත්මක වූ අයුරු – www.sundaytimes.lk

 

නවක වදයේ හානිකර බව

විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතර ශාරීරික, මානසික, චර්යාත්මක, සහ සමාජයීය ගැටලු ඇති වීමට ද නවක වදය සෘජුව ම බලපායි. විශේෂයෙන් ම නවකවදය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එය දරා ගැනීමට නොහැකි ව සිය පාඨමාලා හැර යන සිසුන් ගණන බොහොමයකි. නවකවදය ආශ්‍රිත සිදුවීම් දරාගැනීමට නොහැකි වීම සහ එවැනි සිදුවීම් නිසා ඇති වන මානසික පීඩා නිසා සිසුන් සිය දිවි නසා ගැනීමේ සිදුවීම් පවා වාර්තා වේ.

පහරදීම් සහ වෙනත් අන්තරායකාරී ක්‍රියා නිසා ඇති වන ශාරීරික හානි, නිරුවත් කිරීම සහ විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවීම නිසා සිදුවන ලිංගික අතවර, අනිසි බිය, ආතතිය සහ මානසික අවපීඩනය වැනි මානසික සංකූලතා ඇති වීම, මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානයට පෙලැඹීම, සැහැසි මානසිකත්වයක් ගොඩනැඟීම, සියදිවි නසාගැනීමට පෙලැඹීම, පාඨමාලා හැර යාම හේතුවෙන් උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම වැනි දෑ නවකවදය නිසා ඇති වන හානිකර තත්ත්වයන් අතර ප්‍රධාන තැනක් ගනී.

නවක වදය තහනම් කරන්නැයි ඉල්ලමින් පැවති විරෝධතාවක් – www.dailynews.lk

නවකවදයට අදාළ දත්ත

නවකවදය සම්බන්ධ ව මෑතක දී සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ එම අධ්‍යයනය සඳහා සහභාගී වූ සිසු සිසුවියන් 25,586ක් අතරින් 7,397ක්, එනම් 28.91%ක් පමණ උපහාසයට ලක් කිරීම, නවකවදයට අවනත නොවුණහොත් පවුලේ අයට හිරිහැර කරන බවට තර්ජනය කිරීම, බැණවැදීම, සහ විවිධ තර්ජන සිදු කිරීම වැනි වාචික සිදුවීම්වලට මුහුණ පා ඇති බව යි. සිසු සිසුවියන් 38,316ක් අතරින් 5,231ක්, එනම් 13.65%ක් පමණ අන් අයගේ පාලනයට ලක් වීමට සිදු වීම, තනි ව සිටීමට සිදු වීම, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර සිදු කිරීම, කුඩා දරුවකු හෝ මෙහෙකරුවකු ලෙස හැසිරීමට සිදුවීම, ජංගම දුරකථන හරහා වන හිංසන වැනි මානසික පීඩාකාරී සිදුවීම්වලට මුහුණ පා ඇත.

සිසු සිසුවියන් 19,400ක් අතරින් 2,901ක්, එනම් 14.95%ක් පමණ වේදනාකාරී ක්‍රියාකාරකම්වල නිරත වීමට සිදු වීම, කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදීමට බල කිරීම සහ අධික සීතල හෝ උණුසුම විඳ දරා ගැනීමට සිදුවීම වැනි කායික වශයෙන් පීඩාකාරී සිදුවීම්වලට මුහුණ පා ඇත. සිසු සිසුවියන් 41,328ක් අතරින් 2,303ක්, එනම් 5.57%ක් පමණ ලිංගික වශයෙන් ස්පර්ශ කිරීමට ලක් වීම, ලිංගික ක්‍රියාවල යෙදීමට බල කිරීම, අසභ්‍ය දර්ශන නැරඹීමට බල කිරීම, අසභ්‍ය වචන ලිවීමට හෝ කීමට බල කිරීම වැනි ලිංගිකත්වය පදනම් කර ගත් සිදුවීම්වලට මුහුණ පා ඇත.

විශ්වවිද්‍යාලවල ඒ ඒ පීඨවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව කලා පීඨවල සිසු සිසුවියන් 1,225ක් අතරින් 674ක්, එනම් 55%ක්, කළමනාකරණ පීඨවල සිසු සිසුවියන් 1,766ක් අතරින් 1,058ක්, එනම් 59%ක්, වෛද්‍ය පීඨවල සිසු සිසුවියන් 380ක් අතරින් 259ක්, එනම් 68%ක්, ඉංජිනේරු පීඨවල සිසු සිසුවියන් 426ක් අතරින් 361ක්, එනම් 84%ක් නවක වදයට මුහුණ පා තිබේ.

නවකවදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සකස් කළ වාර්තාවක් – www.ugc.gov.lk

 

නවකවදය සම්බන්ධ කැපී පෙනෙන සිදුවීම්

1975 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක නවකවදය සම්බන්ධ මරණයක් 1997 වසරේ දී සිදු විය. 1975 දී එවක 22 හැවිරිදි වියේ පසු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ රූපා රත්නසීලී ශිෂ්‍යාව, ජ්‍යේෂ්ඨ සිසුවියන්ගෙන් එල්ල වූ ශාරීරික නවක වදය දරා ගත නොහැකිව ඉන් ගැලවීම පිණිස නේවාසිකාගාරයේ දෙවන මහලින් බිමට පැනීම නිසා ආබාධිත තත්වයට පත් වූවා ය. ඊට මොහොතකට පෙර ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව ඒ පිළිබඳ ව සිදු කළ විමර්ශන වාර්තාවල සඳහන් විය. ආබාධිත බව නිසා එක්තැන් වූ ඇය 1997 වර්ෂයේ දී, සිය ආබාධ තත්ත්වය නිසා හට ගත් සිත් තැවුල් හේතුවෙන් සිය දිවි නසා ගත්තා ය.

1993 වසරේ දී, රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි චමින්ද පුංචිහේවා නම් සිසුවා නවකවදයට ගොදුරු වීම නිසා මරණයට පත්විය.

අඟුණකොළපැලැස්ස කෘෂි පාසලෙහි සිදු කෙරුණු නවකවදය සිදුවීමක් හේතුවෙන් ප්‍රසංග නිරෝෂණ සිසුවා මරණයට පත් විය. 1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් ලබා දුන් දරුණු නවකවදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.

රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක නවකවදයේ ප්‍රතිපලයක් ලෙස 1997 වසරේ දී සිය දිවි නසා ගත්තාය.

විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ – www.sjp.ac.lk

 

එම වසරේ දී ම අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙක් වූ කැලුම් තුෂාර විජේතුංග දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇති වූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත් විය. නවකවදයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ, සමන්ත විතානගේ සිසුවා නවකවදය සම්බන්ධ රැස්වීමක් අතරතුර 2002 වසරේ දී ඝාතනය විය. රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයට සම්බන්ධ සිසුවියකගේ එක් ගාත්‍රයක් 2011 වර්ෂයේදී, විශ්වවිද්‍යාලයීය ආපන ශාලාවෙහි සිදු කළ නවක වදය සිදුවීමක් අතරතුර අර්ධ-අඩපණ තත්ත්වයකට පත්විය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ අඩුවක්

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු දත්තවලට අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි. උදාහරණයක් ලෙස, 2018 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් 267,202ක් අතරින් 167,992ක් විභාග ප්‍රතිපල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.

ඉන් සිසු සිසුවියන් 76,559ක් විශ්වවිද්‍යාලවලට අයදුම් කර ඇති අතර අවසානයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත්තේ 30,830ක් පමණි. පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 170,000කට ආසන්න ප්‍රමාණයක් අතරින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව සැලසෙන සංඛ්‍යාව 30,000කට ආසන්න ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලෝක දර්ශකයක හිමි තැන –  www.ft.lk

 

නවකවදය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව තවත් අඩු වෙයි ද?

උසස් පෙළ විභාගය සමත් ව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන බොහෝ සිසු සිසුවියන් නවකවදයට මුහුණ දීමට ඇති බිය නිසා පුද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ ප්‍රවණතාවක් දැන් උද්ගත ව තිබේ. මේ හේතුවෙන් පුද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට විශාල මුදලක් ගෙවීමට ඔවුන්ට සිදු වන අතර, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අකැමැති, එමෙන් ම පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට විශාල මුදලක් ගෙවීමට හැකියාවක් නැති සමහර සිසුහු සිය උසස් අධ්‍යාපන කටයුතු අත්හැර දමා විවිධ රැකියාවන්ට යොමු වෙති.

“මට ඉන්නේ එක පුතයි. ඔහු උසස් පෙළ විභාගය සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්නට සුදුසුකම් ලැබුවා, විශ්වවිද්‍යාලවල සිදු වෙන නවකවදයේ කෲර බව නිසා සහ එවැනි සිදුවීම් ගැන අහලා තියෙන නිසා ඔහු රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරන්නට මට සිත් දුන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ ගණනක මුදල් වැය කරලා ඔහු පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරන්නට මට සිදු වුණා” 

මේ වන විට පුද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවකුගේ පියෙක් එසේ සඳහන් කළේ ය.

පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරෝධය පළ කරන අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය – www.roar.media

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවීම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක ආහාර ගනිමින් සිටි නීති පීඨයේ සිසු සිසුවියන් 11 දෙනකුට එම විශ්වවිද්‍යාලයේ ම ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් පිරිසක් පහර දීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා විය. පහර කෑමට ලක් වූ පිරිස නවකවදයට විරුද්ධ පිරිසක් බැවින් ඔවුන්ට අදාළ ආපනශාලාවෙන් ආහාර ගැනීම තහනම් කර තිබූ බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට පහර දී ඇති බවත් වාර්තා වේ. පහර කෑමෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් සිවු දෙනෙක් රෝහල්ගත කර ඇති අතර, පහරදීමට සම්බන්ධ කලා පීඨයේ සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර තිබිණි.

ශිෂ්‍ය සංවිධාන පිළිබඳ කතාබහක්

නවකවදය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී බොහෝ දෙනෙක් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංවිධානවලට ද චෝදනා කරති. සමහරුන් චෝදනා කරන්නේ මේ වන විට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංගම් යම් යම් දේශපාලන පක්ෂ සහ වෙනත් දේශපාලන කණ්ඩායම්වලට අනුබද්ධව කටයුතු කරන නිසා ඒවායෙන් ඉටු විය යුතු සැබෑ කාර්යභාරය ඉටු නොවන බව ය. අදාළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඔවුන්ගේ දේශපාලන අරමුණු සපුරාගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් සහ ශිෂ්‍ය සංගම් අවභාවිත කරන බව බොහෝ දෙනෙක් චෝදනා කරති.

විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම නවතන ලෙස බල කරන විරෝධතා – www.economist.com

 

 මේ පිළිබඳ අදහස් පළ කරන තවත් සමහරුන්ගේ මතය වන්නේ සැබැවින් ම ශිෂ්‍ය සංගමයක් යනු සිසු සිසුවියන් 15කටත් අඩු සංඛ්‍යාවකින් සැදුම්ලත් කණ්ඩායමක් පමණක් බව යි. අදාළ ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් තේරී පත්වන්නේ සිසුන්ගේ ම ඡන්දයෙන් බැවින්, ඒවායේ ප්‍රමුඛත ම කාර්යභාරය වන්නේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට සිදුවන අසාධාරණයන් සහ ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම බව ඔවුහු සඳහන් කරති. ශිෂ්‍ය සංගම්වල සැබෑ කාර්යභාරය ඉටු කිරීමට, එනම් විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව නියෝජනය කිරීමට ඒවායෙන් ඉල්ලා සිටීමට සිසු සිසුවියන් කටයුතු කරන්නේ නම් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා සිසු සංගම් විශාල පිටුවහලක් වනු ඇති බව ඔවුන්ගේ මතය වේ. විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවේ බහුතරයක් දෙනා පවසන්නේ තමන් නවකවදයට විරුද්ධ බවත්, ශිෂ්‍ය සංගම්වලට එකඟ බවත් ය. (Anti Ragging – Pro Union)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මතය

නවකවදය ශිෂ්‍ය සංගම් අනුමත නොකරන බවත් එවැනි පසුගාමී සංස්කෘතික ලක්ෂණ විශ්වවිද්‍යාලයෙන් මුලිනුපුටා දැමීමට උපරිම මැදිහත් වීම සිදුකරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ පවසයි. පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යම් පිරිසක් උත්සහ කළත් නවකවදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් ශිෂ්‍ය සංගම් සිදු කොකරන බව ද ඔහු කියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම නවකවදය මුල් කරගනිමින් සිදුවූවක් බවට අසත්‍ය ප්‍රචාර යවමින් සමස්ත විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව අපකීර්තියට පත්කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ඔහු කියයි.

කිසිදු අවස්ථාවක කුමන හෝ පාර්ශවයක් අතර සිදුවන ගැටුම් ශිෂ්‍ය සංගම් අනුමත නොකරන බවත් ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වන්නේ සමස්ත විශ්වවද්‍යාල සිසුන්ගේ සුබසෙත සඳහා බවත් කී විදානගේ මෙවැනි සිදුවීම් ශිෂ්‍ය ප්‍රජාවගේ සාමුහික පැවැත්මට බාධාවක් බව ද කියයි.

කිසිදු බළධාරීයෙක් විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡා කර නෑ

 නවකවදය වැලැක්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව කිසිදු බළධාරීයෙක් විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡා කර නොමැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් ටික කලකට පෙර සඳහන් කර තිබිණි. උන්වහන්සේ පැවැසුවේ විශ්වවිද්‍යාලය තුළ නවකවදය සහ ප්‍රචණ්ඩත්වය සිදුවන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප නොකරන බව ය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත් ව පවත්වාගෙන යාම පිණිස නවකවදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් හා බන්දුල ගුණවර්ධන යන අය ද වරින් වර ප්‍රකාශ කර තිබිණි. 

නවකවදය සම්බන්ධයෙන් රජය නව නීති ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහය හිමි වන බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත වරෙක පවසා තිබිණි. 

කවරයේ ඡායාරූපය- විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතර ශාරීරික, මානසික, චර්යාත්මක, සහ සමාජයීය ගැටලු ඇති වීමට නවක වදය සෘජුව ම බලපායි- www.medicaldialogus.in

මූලාශ්‍ර:

www.ugc.gov.lk

www.sundaytimes.lk

www.themorning.lk

 lankasara.com

www.dailymirror.lk

sinhala.lankanewsweb.net

 www.news.lk

Related Articles