Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවත සියරට බලා එන්නට අවසර පතන ISIS මනාලියෝ

2015 පෙබරවාරි 17 වන දා, බ්‍රිතාන්‍ය ජාතික 15 හැවිරිදි සිසුවියන් වූ ශමීමා බේගම්, අමීරා අබාස්, සහ කදීසා සුල්තානා ගැට්වික් ගුවන්තො‍ටුපළෙන් තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක නැගුනා. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ සිරියාව බලා ගොස් ISIS සංවිධානයේ සටන්කාමීන්ගේ බිරින්දෑවරුන් බවට පත්වී, අන්තවාදී ඉස්ලාමික රාජ්‍යය ගොඩනැගීම යි.

ශමීමා බේගම් සිරියාවට පලා යෑමට පෙර ගත් ඡායාරූපයක් (BBC)

2019 පෙබරවාරි මස දිනෙක සිරියාවේ සරණාගත කඳවුරක වාර්තාකරණය සඳහා ගිය බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකුට මෙයින් ශමීමා බේගම්ව හමුවෙනවා. ඈ එම වාර්තාකරුට පවසන්නේ තමා ගර්භනී බවත්, ප්‍රසූතිය සඳහා නැවත එක්සත් රාජධානියට යෑම තමන්ගේ අපේක්ෂාව බවත්, තමා ISIS සංවිධානයට එක්වීම ගැන කිසිදු පසුතැවීමක් නැති බවත්. මෙම පුවත් ජනමාධ්‍යයන්හි පලවීමත් සමග බොහෝ බ්‍රිතාන්‍යයින් ඇයට නැවතත් සියරට බලා ඒමට අවසර දීමට විරෝධය පලකළා.

ශමීමා බේගම්

The Times සඟරාවේ වාර්තාකරුට ඈ හමුවන විට, වයස අවු. 19ක් වන ශමීමා සිය තෙවැනි දරුවා සමග නවමස් ගර්භනීව සිටියා. 2015 දී රකා නුවරට ළඟා වීමෙන් දින 10කට පසු ශමීමා බේගම් ඇගේ බලාපොරොත්තු පරිදිම ISIS සටන්කාමියෙකු හා විවාහ වුණා. පසු කලෙක ඉස්ලාමය වැළඳගෙන ISIS හා එක්වූ 27 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකු වූ ඔහු හා දරුවන් දෙදෙනෙකු ලදමුත්, රෝගයන් හා පෝෂණ ඌණතා නිසා ඔවුන් දෙදෙනාම මියගිය බව පැවසෙනවා. ඈ සමග ගිය එක් මිතුරියකුත් 2016 දී බෝම්බ ප්‍රහරයකින් මරණයට පත්වූ බවත්, අනෙක් තැනැත්තිය ජීවතුන් අතර බවට ආරංචියක් තමාට ලැබුණු බවත් ඈ සඳහන් කරනවා.

ශමීමා බේගම් (The Times)

සටන් අතරතුරේ දී ශමීමාගේ සැමියා මියගොස් තිබුණා. සිය පළමු දරුවන් දෙදෙනාට අත්වූ ඉරණම තෙවැනියාටත් අත් නොවනු පිණිස, ඔහුගේ උත්පත්තිය සඳහා තමා එක්සත් රාජධානිය වෙත යෑමට බලාපොරොත්තු වන බව වාර්තාකරු හා ඈ පවසා තිබුණා.

කෙසේ නමුත්, පසුගිය 19 වන දා ඇගේ තෙවැනි දරුවා ද උපත ලැබුවේ සිරියාවේ අල්-හවුල් සරණාගත කඳවුරේ දීම යි.

“ISIS හා සම්බන්ධ වීම ගැන පසු නොතැවෙමි”

දරු උපතෙන් පැය කීපයකට පසු ශමීමා බේගම් Sky News වෙත කළ ප්‍රකාශයන් කීපයක්, ඈ වෙත ගොඩ නැගෙමින් තිබූ ජනතා අනුකම්පාව උදුරා දැමුවා. සම්මුඛ සාකච්ඡාව අතරතුරේ, තමා ISIS හා සම්බන්ධ වීමට ප්‍රථමවත් ඔවුන්ගේ කෲරකම් ගැනත්, හිස ගසාදැමීම් ගැනත් දැන සිටි බවත්, එය තමන්ට ගැටළුවක් නොවූ බවත් ඈ ප්‍රකාශ කර තිබුණා.

ඔව්, මං ඒවා ගැන දැනගෙන හිටියා වුණත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. (සිරියාව වෙත) පිටත්වෙන්න ටික කාලෙකට කලින් මම ආගම වෙත නැඹුරු වුණා. මම අසා තිබූ දේ අනුව ඉස්ලාම් දහමේ දී එවැනි දේ (හිස ගසාදැමීම්) අනුමත යි, ඉතින් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“යි ඈ පැවසුවා.

මාධ්‍යවේදියෙකු හා සාකච්ඡාවක් අතරතුර (ABC)

තමා ISIS හා සටන් නොකළ බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් නොකළ බවත්, ගෘහණියක පමණක් වූ බවත් ඈ සඳහන් කළා. තමා ඔවුන් හා එක්වෙද්දී තමා සම්බන්ධවන්නේ කුමන ආකාරයේ සංවිධානයක් සමගදැ යි ඈ දැන සිටියේ නැති නිසා තමා වෙත ජනතා අනුකම්පාව හිමි විය යුතු බවත්, කෙසේ නමුත් සිරියාවට ගොස් ISIS හා සම්බන්ධ වීම ගැන තමා පසු නොතැවෙන බව ඈ තවදුරටත් සඳහන් කොට තිබුණා.

එක්සත් රාජධානිය ශමීමාගේ පුරවැසිභාවය අත්හි‍ටුව යි.

පසුගිය 19 වන දා ශමීමාගේ පවුලේ නීතීඥවරයා පැවසුවේ එක්සත් රාජධානි අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යයාලයෙන් ශමීමාගේ මව වෙත ලිපියක් යොමු කරමින්, ඇගේ පුරවැසිභාවය අත්හි‍ටුවන බවට දැනුම් දී ඇති බව යි. ශමීමා බේගම්ට මේ තීරණය පිළිබඳව දැනුම් දෙන ලෙසත්, අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයට ඇති අයිතිය ගැන ඈ දැනුවත් කරන ලෙසත් එම ලිපියේ සඳහන් කර තිබුණා.

පුරවැසිභාවය අත්හි‍ටුවීම දැනුම්දීමේ ලිපිය කියවමින් (The Guardian)

ජාත්‍යන්තර නීතියට අනුව යම් තැනැත්තෙකු සිය පුරවැසිභාවය අහිමි වීමෙන් රටක් නොමැති තත්ත්වයකට පත්වන්නේ නම්, ඔවුන්ගේ පුරවැසිභාවය අත්හි‍ටුවීම නීති විරෝධී වනවා. මේ පිළිබඳව එක්සත් රාජධානියේ අදහස වන්නේ ඇගේ දෙමාපියන් බංග්ලාදේශ ජාතික සංක්‍රමණිකයින් වන නිසා නිතැතින්ම ඇයට එම රටෙහි පුරවැසිකම හිමිවන බවත්, ද්විත්ව පුරවැසිභාවය හිමි ඇගේ එක්සත් රාජධානි පුරවැසිකම අහෝසි කිරීම නීති විරෝධී නොවන බවත්. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ ශමීමා බේගම් කිසිදා බංග්ලාදේශය වෙත පැමිණ නැති අතර, ඈ එහි පුරවැසිභාය ද නොදරන බව යි. නමුත් අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරයා වන සජීඩ් ජාවිඩ් තම මතයේ ස්ථාවරව හිඳිමින් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදයට සහාය දුන්නවුන් නැවත සිය රටට කැඳවීමට තමා අවසර නොදෙන බව යි.

සිරියාවට පළාගිය ශමීමා සහ ඇගේ මිතුරියන් දෙදෙනා (BBC)

කෙසේ නමුත්, ශමීමා පසුගිය දිනෙක උපත ලබාදුන් ඇගේ පුත්‍රයාට බ්‍රිතාන්‍ය පුරවැසිකම අහිමි නොවන බව ඔහු පවසනවා. දෙමාපියන්ගේ වැරදිවලට දරුවන් දඬුවම් විඳීමට අවැසි නැති බවත්, මවුපියන්ගේ පුරවැසිකම අත්හිටවුණ ද, දරුවාගේ පුරවැසි අයිතිවාසිකම්වලට එයින් බලපෑමක් නොවන බවත් ඔහු 20 දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ISIS මනාලියෝ

2014 ජුනි මාසයේ දී, එවක ISIS ප්‍රකාශකයා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් තමන් ශුද්ධ වූ ඉස්ලාමික රාජ්‍යය බිහිකිරීමට සූදානම් වන බව ප්‍රකාශ කළා. ඉස්ලාමික රාජ්‍යයට සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන ලෙසත්, ඉස්ලාමික රාජ්‍යයේ පදිංචියට පැමිණෙන ලෙසත් ඔහු විවෘත ආරාධනාවක් නිකුත් කළා. ඉන් දින ගණනකට පසු ඉස්ලාමික රාජ්‍යයේ නායකයා විසින් නිකුත් කෙරුණු තවත් ආරාධනයක් ද සමග දහස් ගණනක් විදේශීය වෘත්තිකයින්, මිනිසුන්, සහ ගැහැණුන් ඉස්ලාමික රාජ්‍යයට සහාය පලකිරීමට ඉරාකය හා සිරියාව කරා පිටත් වුණා. පුරුෂයින් සටන්කාමීන් බවට පත්වීමට එහි ගිය අතර, මේ සඳහා ගිය කාන්තාවන්ගේ අරමුණ වූයේ ඉස්ලාමික රාජ්‍යය සඳහා සටන් වදිනා එම පුරුෂයින්ගේ මනාලියන් බවට පත්වීම යි. එවකට පසළොස් හැවිරිදි වූ ශමීමා හා ඇගේ මිතුරියන් වැනි ලාබාල දැරියන් ද ඒ අතර බොහෝ වුණා.

හොදා මුතානා (Yahoo)

කෙසේ නමුත් ISIS සංවිධානය දිනෙන් දින දුර්වල වීමත් සමග ඉස්ලාමික රාජ්‍යය ගැන සිහින බිඳ වැටුණු මේ බොහෝ දෙනා සිරියාවේ සරණාගතයින් වශයෙන් රැඳෙමින්, නැවත සිය රට බලා ඒමට අපේක්ෂා කරනවා.

2014 දී ISIS මනාලියක වීමේ අරමුණෙන් සිරියාවට ගිය හොදා මුතානා නම් ඇමරිකානු ජාතික කාන්තාවක ද පසුගිය දා නැවත එක්සත් ජනපදය බලා එන්නට අවසර ඉල්ලුවත්, එරට රාජ්‍ය ලේකම් හා ජනපති විසින් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනා. ඇලබාමා වාසී තරුණියක වූ ඇය 2014 දී සියරට අත්හැර යෑමට පෙර ඇමෙරිකානුවන්ට එරෙහිව ට්විටර් හරහා බොහෝ ද්වේශසහගත ප්‍රකාශයන් නිකුත් කර තිබූ අයෙක්. එකල ජනපති වූ ඔබාමා ඝාතනය කරන ලෙස ද ඈ වරක් ප්‍රසිද්ධියේම අන්තවාදීන්ගෙන් ඉල්ලා තිබුණා.

හොදා මුතානා එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බවටත්, ඈව එක්සත් ජනපදයට බාර නොගන්නා බවත් ප්‍රකාශ කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය (twitter.com/Joyce_Karam)

වර්තමානයේ ඔවුන් තම පෙර ක්‍රියාවන් සම්බන්ධයෙන් පසුතැවුන ද, ඔවුනට නැවතත් මවුරටවල් වෙත පැමිණීමට අවසර දීම එම රටවල ආරක්ෂාවට තර්ජනයක් බව යි එම රටවැසියන් බොහෝමයකගේ අදහස වන්නේ.

මූලාශ්‍රයයන්:

CNN

BBC

Al Jazeera

The Washington Post

The Week

Express

Combating Terrorism Center

cover image: spiked-online.com

Related Articles