මධ්‍යම ආසියාවේ ISIS තර්ජනය​

ISIS ත්‍රස්ත සංවිධානය ඉරාකය සහ සිරියාව ආශ්‍රිතව ඊනියා ඉස්ලාමීය කලිෆාතයක් නිර්මාණය කරගැනීමට විශාල ප්‍රයත්නයක යෙදුණ බව අප දන්නවා. එම උත්සාහයට ප්‍රබල පහරක් වූයේ, 2019 මාර්තු 23 වනදා එම කලාපයේ ඔවුන් සතුව පැවති අවසන් ප්‍රදේශය වූ බගූස් හි පාලනය ඔවුනට අහිමි වීම යි. ඔක්තෝබර් 26 වනදා එම සංවිධානයේ නායකයා වූ අබුබකර් අල්-බග්දාදි ඇමරිකානු ප්‍රහාරයකින් මරුමුවට පත් වීම ද ඔවුන් පසුබැසීමට තවත් හේතුවක් වනු ඇති.

කියවන්න​: ISIS නායක අල්-බග්දාදි මරා දැමූ ඇමරිකන් මෙහෙයුම

අල්-බග්දාදිගේ මරණය ISIS ත්‍රස්ත සංවිධානයට ඍජු ලෙස කෙතරම් බලපෑමක් කරනු ඇතිදැ යි අනාවැකි පළ කිරීම අපහසු වන නමුත්, එම සංවිධානය ඔහුගේ මරණය නිසාවෙන් කඩා බිඳ වැටෙනු ඇතැ යි සිතීමට අපහසු යි. එහි කටයුතු විවිධ ආකාරවලින් සිදුවනු ඇති.

කියවන්න​: අල්-බග්දාදිගෙන් පසු ISIS සංවිධානයට කුමක් වෙයි ද​?

මේ අතර ISIS ත්‍රස්ත සංවිධානය සිරියාව සහ ඉරාකය යන රටවලට එපිට වන වෙනත් ප්‍රදේශයන් හි ද ක්‍රියාත්මකව පවතින අතර, අල්-බග්දාදිගේ මරණය එම ක්‍රියාකාරකම් සඳහා විශාල බලපෑමක් කරනු ඇතැ යි පෙනෙන්නේ නැහැ. මෙසේ වෙනත් ප්‍රදේශයන් හි ඇති තර්ජනයන්ට හොඳම උදාහරණයක් වන්නේ මධ්‍යම ආසියාව සහ ඇෆ්ඝනිස්ථානය යි.

ඇෆ්ඝනිස්ථානය සහ මධ්‍යම ආසියාව

වර්තමාන ඉස්ලාමීය ත්‍රස්තවාදය සඳහා මූලික හේතු කාරණා සැපයූ ස්ථානය ලෙස ඇෆ්ඝනිස්ථානය සැලකිය හැකියි. 1979 දෙසැම්බරයේ දී සිදු වූ සෝවියට් ආක්‍රමණයට පසු සෝවියට් විරෝධී ඉස්ලාමීය කණ්ඩායම්වලට ඇමරිකානු හමුදා අධාර ලැබුණා. එමෙන්ම විදේශික සටන්කාමීන් ද ඇෆ්ඝනිස්ථානය වෙත පැමිණියා.

අල් කයිඩා සංවිධානය මෙන්ම වෙනත් ඇතැම් අන්තවාදී ඉස්ලාමීය සංවිධාන බිහි වීම සඳහා මූලික වූ සටන්කාමීන් සිය කටයුතු ඇරඹුවේ ඇෆ්ඝනිස්ථානයෙන්. අල් කයිඩා සංවිධානය තුළින් බිහි වූ කණ්ඩායමක් ලෙස ISIS සංවිධානය සැලකිය හැකියි.

සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වූ පසු බොහෝ විදේශික සටන්කාමීන් සිය රටවල් බලා ගියා. නමුත් රට තුළ සිවිල් යුධ තත්ත්වය දිගටම පැවති අතර, එහි ප්‍රතිඵලය ලෙස අලුතින් බිහි වූ තලේබාන් සංවිධානය එහි බලය ලබාගත්තා. 2001 ඇමරිකන් ආක්‍රමණයෙන් පසු ඔවුන්ට බලය අහිමි වුව ද ඔවුන් දිගටම ත්‍රස්ත කටයුතුවල යෙදෙමින් වසර කිහිපයකට පසු යළි සිය බලය වර්ධනය කරගත්තා.

මේ අතර සෝවියට් දේශය 1991 දී බිඳ වැටීමත් සමග මධ්‍යම ආසියාවේ යම් යම් වෙනස්කම් සිදුවුණා. ආගම් ඇදහීම කෙරෙහි වූ සීමා ලිහිල් වීමත් සමග ඇතැම් රටවල ඉස්ලාමීය කණ්ඩායම් වර්ධනය වුණා. මේ අතර මෙම රටවල බලය කොමියුනිස්ට් සමයේ ප්‍රධානීන් අතටම පත් වුණා. ඔවුන් ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතර, පහළ ස්ථරවල දුගී ජනයාට ඔවුන් වෙතින් ලැබුණේ අල්ප වූ සහනයක්. ඒ අනුව එම ජනයා අතරට අන්තවාදී පිරිස්වලට පැතිරීමේ ඉඩක් ලැබුණා.

ISIS සංවිධානයේ පැතිරීම​

අන්තවාදී ISIS ත්‍රස්තවාදීන් විසින් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය පැතිරවීමත් සමග අනෙකුත් රටවල ද අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූවා. එමෙන්ම ISIS ත්‍රස්තවාදීන් ද තමන් නිර්මාණය කළ මෙම ඊනියා කලිෆාතය වෙත පැමිණෙන ලෙස විදේශික ඉස්ලාමීය අන්තවාදීන් පොළඹවන්න පටන් ගත්තා. මෙසේ ඇෆ්ඝනිස්ථානයේ සහ මධ්‍යම ආසියාවේ සිට ද පිරිස් සිරියාව වෙත යන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා. මෙසේ 2015 මුල වන විට සිරියාව වෙත ගිය මධ්‍යම ආසියාතිකයන් සංඛ්‍යාව 2,000ත් 4,000ත් අතර පිරිසක් වේයැ යි අනුමාන කෙරෙනවා.

2015 වසරේ ජලාලාබාද් හි සිදු වූ ISIS බෝම්බ ප්‍රහාරයක් (Reuters)

සිය ඊනියා කලිෆාතය බිඳ වැටෙන විට ISIS ත්‍රස්තයින් නව උපක්‍රම සෙවීමට පටන් ගත්තා. මේ අනුව තවදුරටත් තම පාලන ප්‍රදේශයන් වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, තමන් සිටින ප්‍රදේශයන්හි ම කටයුතු කරන ලෙසත් ඔවුන් සිය අනුගාමිකයන් වෙත දන්වා සිටියා. විදේශයන්හි සිට සිරියාවට සහ ඉරාකයට පැමිණි ISIS සටන්කාමීන් නැවත තම රටවල් බලා යාමට පටන් ගත්තා.

ඇෆ්ඝන් ISIS

මෙසේ සිරියාවෙහි සහ ඉරාකයේ ISIS සංවිධානය දුර්වල වෙමින් පවතිද්දී ඇෆ්ඝනිස්ථානය තුළ එය ශක්තිමත් වන්නට පටන් ගත්තා. මෙසේ එය තලේබාන් සංවිධානයට ද තරගයක් වුණා. නමුත් පිරිස් ශක්තිය අතින් තලේබාන් සංවිධානය ඉතා ඉදිරියෙන් සිටිනවා. එක්සත් ජාතීන් විසින් මීට මාස කිහිපයකට පෙර නිකුත් කළ වාර්තාවක් අනුව තලේබාන් සටන්කාමීන් 60,000 – 65,000 අතර ප්‍රමාණයක වේයැ යි අනුමාන කෙරුණ ද, ISIS සටන්කාමීන් ඇෆ්ඝනිස්ථානයේ සිටින්නේ 2,500ත් 4,000ත් අතර ප්‍රමාණයක් බව විශ්වාස කෙරෙනවා. 2018 වසරේ සිදු වූ යුධ මෙහෙයුම් ඔවුන්ගේ පිරිස් ශක්තිය අඩු කිරීමට හේතු වූ බව සඳහන්. වර්තමානයේ ඔවුන් වැඩිපුර පැතිර සිටින්නේ කුනාර්, නන්ගර්හාර් යන නැගෙනහිර ප්‍රාන්තවල සහ ඒ අවට ප්‍රදේශවල යි. උතුරු ඇෆ්ඝනිස්ථානයේ ISIS පිරිස් ශක්තිය පසුගිය සමයේ තලේබාන් සංවිධානය සමග වූ සටන් හේතුවෙන් මෙන්ම ඇමරිකානු සහ ඇෆ්ඝන් හමුදා ප්‍රහාර ද හේතුවෙන් දුර්වල වී තිබෙනවා.

මෙසේ ISIS සංවිධානය වර්ධනය වීමට බලපෑ කරුණු අතර සිරියාවෙහි සහ ඉරාකයේ සිට පැමිණි සටන්කාමීන් හැරුණු කල වෙනත් හේතු කිහිපයක් ම වුණා. දේශීය වශයෙන්, තලේබාන් සංවිධානයෙහි අභ්‍යන්තර ගැටුම් සහ වෙනත් කරුණු මත එම සංවිධානයෙන් බිඳී ගිය කොටස් ISIS සංවිධානය හා එක් වීම ඉන් වැදගත් කරුණක් වනවා. මේ අතර මධ්‍යම ආසියාතික සහ දකුණු ආසියාතික සටන්කාමීන් ඔවුන් හා එක් වීම ද වැදගත් බඳවා ගැනීමේ ක්‍රමයක් වනවා. ඇතැම් අනුමානයන්ට අනුව ඇෆ්ඝනිස්ථානයේ ISIS සටන්කාමීන් අතුරින් සිරියාවේ සටන් බිමෙහි අත්දැකීම් ඇත්තේ සියයට දහයක පමණ ප්‍රමාණයකට පමණයි. මොවුන්ට පහසුවෙන් පාකිස්ථානය හා අවි ආයුධ මෙන්ම පිරිස් ද ගෙන්විය හැකියි. එය එම සංවිධානයෙහි කල් පැවැත්මට වැදගත් කරුණක් වනවා.

මධ්‍යම ආසියාව

මධ්‍යම ආසියාවේ දී ISIS ත්‍රස්තවාදීන්ට ක්‍රියාත්මක වීම ඇෆ්ඝනිස්ථානයේ තරම් ම පහසු නැහැ. ඊට හේතුව නම් මධ්‍යම රජයයන්ගේ පාලනය ශක්තිමත් වීම යි. එහෙත් එම රටවල ඒකාධිපති පාලනයට අභියෝග කිරීමට පෙළඹෙන පුද්ගලයන් අන්තවාදී සංවිධාන කරා නැඹුරු වීමේ ඉඩක් පවතිනවා. ඇෆ්ඝනිස්ථානයට යාබද උස්බෙකිස්ථානයේ සහ විශේෂයෙන්ම තජිකිස්ථානයේ මෙම තත්ත්වය බරපතල තර්ජනයක් වීමට ඉඩ තිබෙනවා.

තජිකිස්ථානයේ විදෙස් බයිසිකල්කරුවන් ඝාතනය කළ බව කියන පිරිස (Video Grab)

කලකට පෙර උස්බෙකිස්ථානයේ ප්‍රබල ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වුණා. එය අල් කයිඩා සංවිධානයට සහාය දැක්වූ අතර, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදු වූ හමුදා මෙහෙයුම් හමුවේ එම සංවිධානය බරපතල ලෙස දුර්වලව ගියා. නමුත්, උස්බෙකිස්ථානයේ පවතින ඒකාධිපති පාලනයට එරෙහි ඇතැම් පිරිස් ISIS සංවිධානය දෙසට නැඹුරු වෙමින් පවතින බවට ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා.

තජිකිස්ථානයේ පසුගිය වසර දෙකක පමණ කාලය තුළ විටින් විට සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ISIS සංවිධානය එම රට තුළ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වනවා. 2018 දී බටහිර රටවලින් පැමිණි සංචාරක බයිසිකල්කරුවන් සිව් දෙනෙකු ඝාතනය කිරීමෙහි වගකීම පිළිගත් පුද්ගලයින් තමන් ISIS හි අනුගාමිකයන් බව සඳහන් කළා. නමුත්, එම අවස්ථාවේ තජිකිස්ථාන් රජය එම ප්‍රහාරයෙහි වගකීම පැවරූයේ තහනම් කරන ලද ඉස්ලාමීය පුනරුද පක්ෂය වෙත යි.

උස්බෙක් දේශසීමාවේ ප්‍රහාරය (Tajikistan Interior Ministry)

මේ අතර මෑතක දී තජිකිස්ථානයේ උස්බෙක් දේශසීමාව අසල මුරපොලක් වෙත එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ISIS සංවිධානය වෙත චෝදනා කෙරුණා. එහෙත් දින දෙකක් යන තුරුත් ISIS සංවිධානය එහි වගකීම බාරගෙන තිබුණේ නැහැ.

ඇෆ්ඝනිස්ථානයේ ද උතුරුදිග ප්‍රදේශයන් හි තජික් සහ උස්බෙක් ජනයා වාසය කරනවා. එහෙත් මෑත කාලීනව එම ප්‍රදේශයන් හි ISIS ක්‍රියාකාරකම් අඩුව ඇති හෙයින් මධ්‍යම ආසියාවේ ක්‍රියාත්මක පිරිස් එම රටවල් තුළින්ම මතු වූ අන්තවාදීන් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

කවරයේ ඡායාරූපය: ඇෆ්ඝන් කමාන්ඩෝ භටයෙක් ඈත එන හමුදා කණ්ඩායමක් නිරීක්ෂණය කරමින්. (Public Domain)

Related Articles