
ඊශ්‍රායලයේ මහ මැතිවරණය අප්‍රේල් 9 වන දා පැවැත්වෙනවා. මෙහිදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය බලය රැකගැනීමට සමත් වේ ද යන්න මේ වනවිට දේශපාලන ලෝකයේ කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා. ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව හෙවත් ක්නෙසට් සභාවට මන්ත්‍රීන් 120ක් තෝරාගැනීම සඳහා මේ මැතිවරණය පවත්වනු ලබනවා.
රටේ පැවති දේශපාලන තත්ත්වය මත නෙතන්යාහුට නියමිත කාලයට මාස කිහිපයකට පෙර මැතිවරණයක් කැඳවීමට සිද්ධ වුණා. මෙහිදී ඔහුගේ පාර්ශවය සඳහන් කළේ අන්ත සාම්ප්‍රදායික යුදෙව්වන් යුධ සේවයෙහි යෙදවීමේ ප්‍රශ්නය පිළිබඳ ඇතිවූ මතභේදය මෙම හදිසි මැතිවරණයට හේතු වූ බව යි. නමුත් ඔහුගේ විරුද්ධවාදීන් කියා සිටින්නේ නෙතන්යාහුට එරෙහිව පවතින් අල්ලස්, දූෂණ සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා පිළිබඳ එරට නීතිපති විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම පිළිබඳ තීරණය කිරීමට පෙර මැතිවරණය කැඳවීමට අවශ්‍ය වූ බව යි. කෙසේ වෙතත් නෙතන්යාහුට එරෙහිව චෝදනා ගොනු කරන බව නීතිපති විසින් පෙබරවාරි අවසානයේ දී නිවේදනය කළා. ඒ වසර දෙකක් තිස්සේ පැවති පරීක්ෂණ කටයුතුවලින් පසුව යි.
ඊශ්‍රායල මැතිවරණ ක්‍රමය
ඊශ්‍රායල මහ මැතිවරණය පවත්වන්නේ සමානුපාතික ක්‍රමයකට යි. එනම් පාර්ලිමේන්තු ආසන 120 සඳහා මන්ත්‍රීන් තෝරා ගැනෙන්නේ රටේ ප්‍රකාශිත සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් එක් එක් පක්ෂය ලැබූ ප්‍රතිශතය මත යි. වර්තමානයේ දී තනි පක්ෂයක් ආසන දිනා ගැනීමට නම් රටේ සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 3.25ක අවමයක් ලබාගත යුතු යි.
මේ අතර යම් පක්ෂ දෙකකට හෝ කිහිපයකට හෝ සන්ධානයක් ලෙස ද මැතිවරණයට ඉදිරිපත් විය හැකියි. එවිට එම සන්ධානය එක්ව සියයට 3.25 සීමාව ඉක්මවා යාමෙන් ආසන සඳහා සමස්ථ සන්ධානය සුදුසුකම් ලබනවා.

1988 තෙක්ම මෙම අවම සීමාව සියයට 1 මට්ටමේ තිබුණ අතර එම වසරේ දී එය සියයට 1.5 තෙක් ඉහළ නංවනු ලැබුණා. 2003 දී එම සීමාව සියයට 2 කරනු ලැබ 2014 දී වර්තමාන සීමාව හඳුන්වනු ලැබුණා.
මෙසේ කුඩා සීමාවක් සහිතව පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමෙන් කුඩා දේශපාලන පක්ෂවලට වාසි සැලසෙනවා. එහිම අතුරු ඵලයක් ලෙස ඊශ්‍රායලයේ පත්වන රජයයන් එතරම් ශක්තිමත් වන්නේ නැහැ. මෙවන් සීමාවක් හඳුන්වා දී ඇත්තේ සෑම ආකාරයකම මතයන් සඳහා නියෝජනයක් ලබාදීමටයැ යි ප්‍රකාශ කෙරෙනවා. එමෙන්ම කිසිදු යුදෙව් පක්ෂයක් ඊශ්‍රායල රාජ්‍යය අනිසි ලෙස අස්ථාවර නොකරනු ඇත යන විශ්වාසය ද මෙවැනි පියවරක් සඳහා හේතු වී ඇතැයි සඳහන්.
නෙතන්යාහුගේ රජයට ආසන 30ක් සහිත වූ ඔහුගේ ලිකුද් පක්ෂයත්, ආසන 8ක් නියෝජනය කළ යුදෙව් නිවහන පක්ෂයත්, ආසන 7ක් නියෝජනය කළ අන්ත සාම්ප්‍රදායික ෂාස් පක්ෂයත්, ආසන 6ක් සහිත එක්සත් ටෝරා යුදෙව්වාදී පක්ෂයත්, ආසන 10ක් නියෝජනය කළ මධ්‍යස්ථ කුලානු පක්ෂයත් වූ අතර, 2018 අවසානය වනතෙක් ආසන 6ක් නියෝජනය කළ ඊශ්‍රායෙල් බෙයිටෙනු පක්ෂය ද ඇතුලත් වුණා. හමාස් සංවිධානය සමග සටන් විරාමයක් ඇති කරගැනීමේ සිද්ධිය මත ආරක්ෂක ඇමති අවිග්දෝර් ලීබර්මාන් රජයෙන් ඉවත් වීමත් සමග එම පක්ෂය සභාගයෙන් ඉවත් වුණා. මේ සමග නෙතන්යාහුගේ සභාගය ආසන 61 දක්වා කුඩා වුණා. කෙසේ නමුත් රජය කඩා නොවැටී පවත්වා ගැනීමට ඔහුට හැකි වුණා.

පාර්ලිමේන්තු විපක්ෂයෙහි වූයේ කම්කරු පක්ෂයත්, හත්නුවා පක්ෂයත් යන දෙක විසින් පිහිටුවාගත්, ආසන 24ක් හිමි සයොන්වාදී එකමුතුවත්, මධ්‍යස්ථ මතධාරී යෙෂ් අතිද් පක්ෂය (ආසන 11) සහ වාමවාදී මෙරෙට්ස් පක්ෂය (ආසන 5) සමග ආසන 13ක් හිමි ඒකාබද්ධ අරාබි ලැයිස්තුව යි.
මෙවර තරගකරුවන්
මෙවර මැතිවරණය සඳහා ලිකුද් පක්ෂය තවත් දක්ෂිණාංශික පක්ෂ තුනක් සමග සන්ධානගතව තරග වදිනවා. මෙම පක්ෂ තුන ඔවුනගේම සන්ධානයක් ගොඩ නගාගෙන සිටින අතර එය හා ලිකුද් පක්ෂය මෙවර එක්ව තරග කරනු ඇති. යුදෙව් නිවහන පක්ෂය සහ තවත් අන්ත දක්ෂිණාංශික පක්ෂ දෙකක් මෙම දක්ෂිණාංශික පක්ෂ එකමුතුව නම් සන්ධානයේ සාමාජිකයන් වනවා. මේ අතර නව දක්ෂිණාංශය සහ ඊශ්‍රායල් බෙයිටෙනු පක්ෂය ද තවත් සන්ධානයක් ගොඩ නගාගත්තා. මේ අතර එක්සත් ටෝරා යුදෙව්වාදීන් සහ ෂාස් පක්ෂ ද සන්ධානයකට ඇතුල් වුණා.
කම්කරු (ලේබර්) පක්ෂය සහ හත්නුවා පක්ෂය අතර වූ සන්ධානය බිඳී යාම මෑතක දී සිදු වූ පුදුම දනවන සිදු වීමක් වුණා. මේ අනුව මධ්‍ය වාමාංශික කඳවුර නියෝජනය කරමින් ලේබර් සහ මෙරෙට්ස් අතර සන්ධානයක් ද, බෙනී ගාන්ට්ස්ගේ හොසෙන් ඊශ්‍රායෙල් පක්ෂය ද, යාර් ලෙපිඩ්ගේ යෙෂ් අටිඩ් පක්ෂය ද වනවා. ගාන්ට්ස්, ලෙපිඩ් සහ ලේබර් නායක අවී ගබ්බේයි යන තිදෙනාම වාම කඳවුරේ නායකත්වය පිළිබඳ සටනක නියැලී සිටියා. පසුව ගාන්ට්ස් සහ ලේබර් පක්ෂය නෙතන්යාහුට එරෙහිව එක්ව සටන් කිරීමට එකඟ වුණා.

හිටපු ඊශ්‍රායල් හමුදා මාණ්ඩලික ප්‍රධානී බෙනී ගාන්ට්ස්ගේ සම්ප්‍රාප්තිය මෙවර විශේෂම ලක්ෂණයක් වනවා. ජනවාරි මාසයේ දී පළ වූ අනාවැකියක් වූයේ ගාන්ට්ස්ගේ පක්ෂය ආසන 15කට ආසන්න ප්‍රමාණයක් ලබගනු ඇති බවයි. ඔහු හා නෙතන්යාහු අතර දෙපාර්ශවය වෙත ඇඟිලි දිගු කිරීම් පසුගිය සති කිහිපයේම සිදු වුණා. අවසන් ප්‍රතිඵලය පිළිබඳ තවම යමක් කිව නොහැකි නමුත් ගාන්ට්ස්ගේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට මඳක් පසුබා තිබෙනවා. මේ අතර නෙතන්යාහු ජාතිකවාදී ස්ථාවරයක සිට ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ උත්සාහයක නිරත වනවා. රටේ ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා හැකියාව ඇත්තේ තමන්ට බව ජනතාව වෙත ඒත්තු ගැන්වීම ඔහුගේ අභිප්‍රාය යි.