ඊශ්‍රායල – පලස්තීන අර්බුදය: කවුද හරි? කවුද වැරදි?

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ගැටුම් ඇවිලීයාම නිසා මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුව තිබෙනවා. දැනට දශක 7කට වැඩි කාලයක් පුරා පවතින මෙම ගැටුම හේතුවෙන් දෙරටේම දහස් සංඛ්‍යාත ජනතාවකට ජීවිත අහිමි වුණා. තවත් විශාල පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්වුණු අතර සරණාගතයන් විශාල ප්‍රමාණයක් බිහිවුණා. එහිදී පලස්තීන වැසියන් වැඩි ප්‍රමාණයක් සරණාගතයන් බවට පත්වුණේ ඊශ්‍රායලය පලස්තීන භූමියෙන් විශාල කොටසක් යුද්ධකොට අල්ලාගත් නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට පලස්තීනය සතුවන්නේ ඉතාමත් කුඩා භූමි ප්‍රමාණයක් පමණ යි. 

ඇත්තටම මෙතන දී මොකද්ද වුණේ? මේ බිමේ සැබෑ අයිතිකරුවන් කවුද? අපි සොයා බලමු. 

පලස්තීනයේ ඉතිහාසය 

පිලිස්තිවරුන් ක්‍රි. පූ. 12 වන සියවසේ දී, වර්තමානයේ පලස්තීනය සහ ඊශ්‍රායලය පිහිටා තිබෙන ප්‍රදේශය යටත් කරගත්තා. එනිසා “පිලිස්තිය” යන වචනය ඇසුරින් පලස්තීනය යන නම බිහිවන්නට ඇති බව ඉතිහාසඥයන් අනුමාන කරනවා. එම බිම් ප්‍රදේශය මධ්‍යධරණී මුහුදට නැගෙනහිරින් පිහිටා තිබුණු නිසා භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් භූමි ප්‍රදේශයක් වුණා. වසර දහස් ගණනක් තුළ විවිධ ජාතීන් එම භූමි ප්‍රදේශය යටත් කරගෙන එහි පාලන කටයුතු සිදුකළා. ඇසිරියානුවන්, බැබිලෝනිවරුන්, පර්සියන්වරුන්, රෝමවරුන්, ග්‍රීකවරුන්, අරාබිවරුන්, ෆාතිමිඩ්වරුන්, සෙල්ජුක් තුර්කිවරුන්, කතෝලිකයින්, ඊජිප්තුව ඇතුළු බොහෝ කණ්ඩායම් විටින් විට පලස්තීන භූමිය පාලනය කළා. 

1517-1917 කාල සමය තුළ පලස්තීනය පිහිටි භූමිය පැවතුණේ ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනය යටතේ යි. 19 වන සියවසේ අග භාගය වන විට එම භූමියේ ජනගහනය මුස්ලිම්වරුන් 86%ක්, කතෝලිකයන් 10%ක්, සහ යුදෙව්වන් 4%ක් පමණ වුණා. 

යුදෙව් දහමේ පියා ලෙස හඳුන්වන ඒබ්‍රහම්ට “කානාන්” නමැති භූමියේ පදිංචි වන ලෙස දෙවියන්වහන්සේ පැවසූ බව යුදෙව්වන් අතර පවතින විශ්වාසයක්. ශුද්ධ ග්‍රන්ථවල “කානාන්” යනුවෙන් හඳුන්වනු ලැබුවේ වර්තමානයේ ඊශ්‍රායලය තිබෙන ප්‍රදේශය යි. එසේම යුදෙව්වන් එය “පොරොන්දු දේශය” යන නමින් ද හඳුන්වනු ලැබුවා. නමුත් පලස්තීන භූමිය වසර ගණනාවක් පුරාවට විවිධ ජාතීන් විසින් පාලනය කළ අතර යුදෙව්වන් වැඩි පිරිසක් ජීවත් වුණේ යුරෝපා රටවල යි.

කෙසේ නමුත් 19 වන සියවසේ අග භාගය වෙද්දී යුරෝපයේ සිටි යුදෙව්වන් ඔවුන්ගේ පොරොන්දු දේශය පිහිටා තිබුණු පලස්තීන භූමිය වෙතට පැමිණියේ ඔවුන්ගේම යුදෙව් දේශයක් නිර්මාණය කිරීමේ පරමාර්ථය ඇතිව යි. එලෙස පැමිණි යුදෙව් සංක්‍රමණිකයන් නිසා 1917 වසර පමණ වන විට පලස්තීනයේ යුදෙව් ජනගහනය ලක්ෂයකට ආසන්න වුණා. 1917 වසරේ දී පමණ පලස්තීනයේ බලය බ්‍රිතාන්‍යයන් අතට පත්වුණා. නමුත් ඔවුන් විශ්වාස කළේ යුදෙව්වන්ටත් පලස්තීන භූමියේ යම් උරුමයක් පවතින බව යි. එනිසා 1917 බෝල්ෆර් ප්‍රකාශනය මඟින් බ්‍රිතාන්‍යයන් පොරොන්දු වුණේ පලස්තීනය තුළ යුදෙව්වන්ට ජීවත්වීමට ප්‍රදේශයක් නිර්මාණය කර දෙන බව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයේ සිටි යුදෙව්වන් වරින් වර පැමිණ පලස්තීනයේ පදිංචි වුණා. 1940 වසර පමණ වන විට පලස්තීනයේ සිටි සමස්ත යුදෙව් ජනගහනය 30% දක්වා ඉහළ ගොස් තිබුණා.

දෙවන ලෝක යුද සමයේ දී යුරෝපයේ සිටි යුදෙව් ජාතිකයන් බොහෝදෙනෙකුට මරණය උරුම වුණා. මරණයෙන් බේරුණු යුදෙව් ජාතිකයන් විශාල ප්‍රමාණයක් පලස්තීනය කරා සංක්‍රමණය වීමත් සමග එරට යුදෙව් ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගියා. පලස්තීන භූමියේ යුදෙව් ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙද්දී පලස්තීනයේ විසූ මුස්ලිම් ජාතිකයන් සහ යුදෙව්වන් අතර භූමියේ උරුමය පිළිබඳව ගැටලු මතුවීම ආරම්භ වුණා. එනිසා බ්‍රිතාන්‍යය පලස්තීනයේ ගැටළුව විසඳීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර කළා.

1917 වසර වන විට පලස්තීනයට අයිතිව තිබුණු භූමි ප්‍රදේශය (Al Jazeera)

පලස්තීනය කොටස් දෙකකට බෙදා වෙන්කිරීම 

1947 වසර වන විටත් පලස්තීනයේ බහුතරයක් සිටියේ මුස්ලිම්වරුන්. 1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීනය පිහිටා තිබුණු භූමිය තුළ ඊශ්‍රායලය සහ පලස්තීනය වශයෙන් වෙනම රාජ්‍යයන් දෙකක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එක්සත් ජාතීන් භූමිය බෙදීමට යෝජනා කළේ මෙලෙසින්:

  • පලස්තීනයේ භූමියෙන් 56.47%ක යුදෙව් රාජ්‍යයක් පිහි‍ටුවීම. මෙම භූමියට යුදෙව්වන් 498 000ක් සහ මුස්ලිමුන් 325 000ක් අයත් ය. 

 

  • පලස්තීනයේ භූමියෙන් 43.53%ක මුස්ලිම් රාජ්‍යයක් පිහි‍ටුවීම. මෙම භූමියට මුස්ලිමුන් 807 000ක් සහ යුදෙව්වන් 10 000ක් අයත් ය. 

 

  • ජෙරුසෙලම මේ රාජ්‍යයන් දෙකටම අයත් නොවන අන්තර්ජාතික පාලනයක් යටතේ  තබාගැනීම. මෙම භූමියට මුස්ලිමුන් 105 000ක් සහ යුදෙව්වන් 100 000ක් අයත් ය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය සහ ඊශ්‍රායලය වෙන් කිරීමට ඉදිරිපත් කළ මේ සැලැස්මට යුදෙව්වන් එකඟ වුණත්, මුස්ලිම්වරුන් එකඟ වුණේ නැහැ. ඔවුන්ගේ තර්කය වුණේ පැරණි පලස්තීනයේ මුස්ලිම් ජනයා වැඩිපුර ජීවත් වුණු නිසා, පලස්තීනය බෙදා වෙන්කරන විට වැඩි ප්‍රදේශයක් පලස්තීන කොටසට හිමිවිය යුතු බව යි.

1947 දී පලස්තීනයට ලැබීමට නියමිතව තිබුණු බිම් කොටස (Al Jazeera)

ඊශ්‍රායෙල්-පලස්තීන අර්බුදය ආරම්භ වුණු හැටි 

1948 මැයි මාසයේ දී බ්‍රිතාන්‍යයන් පලස්තීන භූමියෙන් ඉවත්වුණා. ඒ සමගම ඊශ්‍රායලය තමා නිදහස් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කළා. එයට විරුද්ධ වුණු ජෝර්දානය, ඊජිප්තුව, ලෙබනනය, ඉරාකය, සහ සිරියාව යන රටවල් පහ පසුදාම ඊශ්‍රායලය සමග යුද වැදුණා. 1949 ජූලි මාසයේ එම යුද්ධය අවසන් වෙද්දී කලින් පැවති පලස්තීන බිම් ප්‍රදේශවලින් 2/3ක් ඊශ්‍රායලය අයත් කරගෙන තිබුණා. එසේම ඊජිප්තුවට ගාසා තීරයේ බලයත්, ජෝර්දානයට බටහිර ඉවුරු ප්‍රදේශයේ බලයත් හිමිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පලස්තීනයේ ජනයාට උරුම වුණේ ඉතාමත් කුඩා බිම් ප්‍රදේශයක් පමණ යි. එනිසා ලක්ෂ 7කට වැඩි පලස්තීන වැසියන් පිරිසක් අසල්වැසි අරාබි රටවල්වලට සරණාගතයන් ලෙස සංක්‍රමණය වුණා. 

1948 වසර වන විට පලස්තීනයට අයිතිව තිබුණු බිම් ප්‍රමාණය (Al Jazeera)

පලස්තීන විමුක්ති සංවිධානය බිහිවීම 

ඊශ්‍රායලය සමග බද්ධ වෛරයෙන් සිටි පලස්තීන ජාතිකයන් 1964 වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානය පිහිටවනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අරාබි ලීගය විසින් ලබාදුන්නා.  ඒ අයුරින් බිහිවුණු විමුක්ති සංවිධානයේ සභාපති තනතුර යසර් අර්ෆත්ට හිමිවුණා. 1965 වසරේ වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර මාලාවක් ආරම්භ කරනු ලැබුවා. 1965 වසරේ දී ප්‍රහාර 35කුත්, 1966 වසරේ දී ප්‍රහාර 41කුත් ඔවුන් ඊශ්‍රායලය වෙත එල්ල කර තිබුණා. එසේම මෙම විමුක්ති සංවිධානය 1967 වසරේ පළමු කාර්තුව ඇතුළත ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් දියත් කළා. නමුත් එම ප්‍රහාරයන් එල්ල වුණේ ඊශ්‍රායෙලයේ සාමාන්‍ය ජනයා ඉලක්ක කරගෙන. එනිසා  පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිබුණු වෛරය තවත් වැඩි වුණා.

යසර් අර්ෆත් (Anadolu Agency)

1967 වසරේ සිදුවුණු දින 6ක යුද්ධය 

1967 වසරේ දී ඊශ්‍රායලය ඒ අවට පිහිටි සිරියාව, ජෝර්දානය, සහ ඊජිප්තුව යන රටවල් සමග යුද්ධයකට පැටළුණා. එදා යුද්ධය මෙහෙයවූ මෝෂේ දයාන් නම් ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමතිවරයා සාර්ථක යුද උපක්‍රම අනුගමනය කරමින් සටනේ ජයග්‍රහණය ඊශ්‍රායලය වෙත හිමිකර දුන්නා. සය දින යුද්ධය නමින් හැඳින්වුණු එම යුද්ධයෙන් පසුව ඊශ්‍රායලයට නැගෙනහිර ජෙරුසලම, ගාසා තීරය, බටහිර ඉවුර, ගෝලාන් කඳුකරය, සහ සීනයි අර්ධද්වීපය යන ප්‍රදේශවල බලය හිමිවුණා. එනිසා තවත් දහස් සංඛ්‍යාත පලස්තීන වැසියන් පිරිසකට සරණාගතයන් ලෙස ඒ අවට පිහිටි රටවල්වලට ගොස් පදිංචි වන්නට සිදු වුණා. දශක 2කට ආසන්න කාලයක් තුළ ඊශ්‍රායෙල් හමුදා ඔවුන්ගේ යුද ශක්තිය භාවිතා කරමින් පලස්තීනයේ කොටස් අල්ලාගත් නිසා 1967 වසර වන විට පලස්තීනයට ඉතිරිව තිබුණේ ඉතාමත් කුඩා බිම් කොටසක්.

සය දින යුද්ධය අතරතුර (Brookings Institution)

ගෙවුණු දශක පහ තුළ ඊශ්‍රායෙල්-පලස්තීන අර්බුදයේ ගමන්මඟ 

1967 වසරෙන් පසුව නැවතත් 1973 වසරේ දී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර යොම් කිපූර් නමින් යුද්ධයක් ඇතිවුණා. එම යුද්ධය නිසා දෙපාර්ශවයටම දැඩි ලෙස හානි සිදුවුණා. අනතුරුව ගෙවුණු දශක 5කට ආසන්න කාලය තුළ පලස්තීනය තුළ ක්‍රියාත්මක වුණු ත්‍රස්තවාදී කණ්ඩායම් සහ ඊශ්‍රායෙල් හමුදා අතර විටින් විට සටන් ඇතිවුණා. මුල් යුගයේ සිට පලස්තීන විමුක්ති සංවිධානයත්, පසු කලෙක හමාස් සංවිධානය සහ ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාරය ඊශ්‍රායෙල් හමුදාවට එරෙහිව සටන් වැදුණු ප්‍රධානතම ත්‍රස්තවාදී කණ්ඩායම්. 

ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන නැගිටීම් හෙවත් ඉන්ටිෆාඩාවන් දෙකක් (ඉන්ටිෆාඩාවන් ගැන මේ ලිපියෙන් කියවන්න) 1987-2005 කාල සමය තුළ සිදුවුණා. ඉන් පළමු නැගිටීම 1987-1993 කාලයේ දීත්, දෙවන නැගිටීම 2000-2005 කාලයේ දීත් සිදුවුණා. එම කාල වකවානුවල දී විශාල පිරිසකට සිය ජීවිත අහිමිවුණු අතර මියගිය වැඩි පිරිස පලස්තීන වැසියන්. එසේම දැනට දශක කිහිපයක සිට දෙපාර්ශවය අතර සාමය ස්ථාපිත කිරීම සඳහා විවිධ පාර්ශව උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. ඒ අතරතුර කාලයේ දී පලස්තීනය සතුව තිබුණු තවත් කුඩා බිම් ප්‍රදේශ ඊශ්‍රායලයේ ග්‍රහණයට නතුවුණා.  

1917-2021 කාල සමය තුළ පලස්තීන භූමි ප්‍රමාණය අඩුවුණු හැටි (It’s All One Thing)

ඊයේ පෙරේදා හදිසියේම ගැ‍ටුම් ඇරඹුනේ ඇයි?

මැයි මුල් සතිවල හදිසියේම පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැ‍ටුම් ඇරඹීමට හේතු වුණේ, දක්ෂිණාංශික යුදෙව්වන් ජෙරුසෙලමේ විසූ පලස්තීන පවුල් ඉවත් ‏කිරීමට තැත් කිරීම, පලස්තීන ජාතිකයින් අල්-අක්සා පල්ලියේ වන්දනාමාන කරමින් සිටිය දී ඊශ්‍රායල පොලීසිය විසින් පල්ලිය වටලෑම, සහ දක්ෂිණාංශික ඊශ්‍රායල ජාතිකයන් විසින් දියත් කෙරුණු විරෝධතා ආදියත්, ඊට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල නගර කීපයකට රොකට් ප්‍රහාර එල්ල කිරීමත්. ඊශ්‍රායලය මෙයට පිළිතුරු දුන්නේ ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින්. 

දෙපාර්ශවයම එකිනෙකාට ප්‍රහාර එල්ල අරගමිනින් සිටින අතර, බොහෝ දෙනෙකු මියගොස්, දේපල බොහෝ විනාශ වී තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- Vox

මූලාශ්‍රයයන්- history.com

                        Un.org 

                        BBC

                        The Hindu

Related Articles