ඊශ්‍රායලයේ ඊළඟ අගමැතිවරයා කවුද?

“පසුගිය සති කිහිපය තුළම මම බෙනී ගාන්ට්ස්ව සාකච්ඡා මේසයට රැගෙන ඒමට විශාල ලෙස උත්සාහ කළා. නමුත් ඔහු එම යෝජනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. පුළුල් එක්සත් රජයක් පිහිටුවීමට ගන්නා සෑම උත්සාහයක්ම, ඒ වගේම තවත් මැතිවරණයක් වැළැක්වීමට ගන්නා සෑම උත්සාහයක්ම මම ගනු ලැබුවා. නමුත් ගාන්ට්ස් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා.” පසුගිය සඳුදා දිනයේ (ඔක්තෝම්බර් 21) ඊශ්‍රායලයේ භාරකාර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එලෙස ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන් ඔහු සභාග ආණ්ඩුවක් තමන්ට පිහිටවිය නොහැකි බව ඊශ්‍රායල ජනාධිපතිවරයාට දන්වා සිටිනවා.

ඊශ්‍රායල් ජනාධිපතිවරයාට ඒ බව ප්‍රකාශ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නියමිත කාලයක් බෙන්ජමින්ගේ ප්‍රතිවාදියා වන බෙනී ගාන්ට්ස්ට ලබා දී තිබෙනවා. යම් හෙයකින් ඔහු ද සභාග ආණ්ඩුවක් පිහිටුවීමට අසමත් වුවහොත්, ඊශ්‍රායලය නැවතත් මහා මැතිවරණයක් කරා ගමන් කරනු ඇත. එසේ වුවහොත් එය, මේ වසර තුළ ඊශ්‍රායලය තුළ පැවැත්වෙන තෙවන මහ මැතිවරණය බවට පත් වෙනවා.

දෙවන වරට පැවති ඊශ්‍රායල් මහ මැතිවරණයෙනුත් කිසිදු පක්ෂයකට බහුතර බලයක් නැත 

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා (cdn.cnn.com)

ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව හෙවත් ක්නෙසට් සභාව මන්ත්‍රීන් 120ක් තෝරාගැනීම සඳහා මේ වසරේ පළමු මහමැතිවරණය අප්‍රේල් මාසයේ දී පැවැත්වෙනවා. මෙම මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වන අතර, හිටපු අගමැති ප්‍රමුඛ ලිකුද් පක්ෂයට 26.46%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වෙනවා. බෙනී ගාන්ට්ස්ගේ හොසෙන් ඊශ්‍රායෙල් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක එකතුවකින් නිර්මාණය වූ නීල ධවල සන්ධානය ද ප්‍රධාන පක්ෂයක් ලෙස තරග වදිනවා. මෙම මැතිවරණයේ දී නෙතන්යාහුගේ ලිකුද් පක්ෂය ඇතුළු අන්ත දක්ෂිනාංශික පක්ෂවලට දැඩි තර්ජනයක් එම සන්ධානය විසින් එල්ල කරමින් ඔවුන් 26.13%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා. මැතිවරණයෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහු එරට අගමැති ලෙස පත් වෙන අතර, ඔහු විසින් අනෙකුත් දක්ෂිණාංශික සුළු පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ උත්සාහය අසාර්ථක වෙන අතර, ඒ හේතුවෙන් නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට තීරණය වෙනවා.

ඒ අනුව 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් කරා ගමන් කිරීමට ඊශ්‍රායලය තීරණය කරනවා. සැප්තැම්බර් මැතිවරණයේ දී ද එකදු පක්ෂයකට හෝ බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වෙනවා. අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ලිකුද් පක්ෂය 25.10%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට ඊට එරෙහිව සිටි මධ්‍යස් ලිබරල් සන්ධානයක් වන නීල ධවල සන්ධානය 25.95%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා. 

නැවතත් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට නෙතන්යාහු සැරසේ 

බෙන්ජමින් නෙතන්යාහු (s.abcnews.com)

නැවතත් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ බලය නෙතන්යාහුට ලැබෙන අතර, දින 28ක් ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දෙනවා. ඔහු සභාග ආණ්ඩුව සඳහා තම ප්‍රධාන සටන් සගයා වන බෙනී ගාන්ට්ස් ප්‍රමුඛ නීල ධවල සන්ධානයට ආරාධනා කරනවා 

නෙතන්යාහුට එරෙහිව පවතින අල්ලස්, දූෂණ සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා පිළිබඳ නඩු ගොනු කර ඇති බැවින් සන්ධානගත වීම බෙනී ගාන්ට්ස් ප්‍රමුඛ නීල ධවල සන්ධානය විසින් ප්‍රතික්ෂේප කරනවා. ලිකුද් පක්ෂය ඇතුළු තවත් කුඩා ඡන්ද ප්‍රතිශතයක් හිමි දක්ෂිනාංශික පක්ෂ කිහිපයක් එකතු වූවත්, නව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බැවින් තමා ඒ අවස්ථාව අතහරින බව බෙන්ජමින් නෙතන්යාහු විසින් ඊශ්‍රායල ජනාධිපතිවරයාට දන්වා සිටිනවා. ඒ ඔහුට ලබා දී තිබූ අවසන් දිනට, දින දෙකකට ප්‍රථමව යි. 

සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ බලය බෙනී ගාන්ට්ස්ට

බෙනී ගාන්ට්ස් (images.axios.com)

හිටපු ඊශ්‍රායල් හමුදා (IDF) මාණ්ඩලික ප්‍රධානී බෙනී ගාන්ට්ස්ගේ ඉදිරිපත් වීම මෙම මැතිවරණ දෙකේම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හැදින්විය හැකි යි. ජනවාරි මාසයේ දී පළ වූ අනාවැකියක් වූයේ ගාන්ට්ස්ගේ පක්ෂය ආසන 15කට ආසන්න ප්‍රමාණයක් ලබාගනු ඇති බව යි. නමුත් පාර්ලිමේන්තු මැතිවරණ දෙකේ දී ම ඊට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඔහුගේ සන්ධානය සමත් වෙනවා.

අප්‍රේල් මාසයේ මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය නියෝජනය කළ සන්ධානය විසින් ආසන 35ක් ද සැප්තැම්බර් මාසයේ දී එම නීල ධවල සන්ධානය විසින් ආසන 33ක් ද දිනාගන්නවා. සැප්තැම්බර් මාසයේ මැතිවරණයේ දී ලිකුද් පක්ෂය විසින් දිනාගන්නේ ආසන 32ක් පමණයි. එනම් අවසන් මැතිවරණයේ දී ලිකුද් පක්ෂයට වඩා ස්වල්පයක් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නීල ධවල සන්ධානය සමත් වෙනවා. ජාතිකවාදී ස්ථාවරයක සිට ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ උත්සාහයක නිරත වූ නෙත්න්යාහුට මෙවර මැතිවරණය එතරම් වාසිදායක නොවීමට නිල ධවල සන්ධානය විසින් දිගින් දිගටම නෙතන්යාහුගේ දුෂණ වංචා කතා කිරීම හේතු වන්නට ඇති බව මැතිවරණ විචාරකයන් පෙන්වා දෙනවා.

බෙනී ගාන්ට්ස්ට නොහැකි වුවහොත්

ඊශ්‍රායල් පාර්ලිමේන්තුව (www.jpost.com)

ඊශ්‍රායල් ජනාධිපතිවරයා විසින් සඳුදා දිනෙන් (ඔක්තෝම්බර් 21) පසුව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බෙනී ගාන්ට්ස්ට ආරාධනා කරන අතර, ඒ සඳහා ද ඔහුට දින 28ක කාල සීමාවක් ලබා දී තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය බෙනී ගාන්ට්ස් ලබාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි ක්‍රියාමාර්ගයක් දකින්න ලැබෙන්නේ නෑ. යම් හෙයකින් ඔහුට ද සභාග ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොලැබුණහොත් මේ වසරේ දී ම තෙවන පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා ඊශ්‍රායලය ගමන් කරනු ඇත.

කවරයේ පින්තූරය- static.timesofisrael.com 

මූලාශ්‍රයයන්- 

dw.com

aljazeera.com

jpost.com

 

Related Articles