Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියාවට පළමු පහර එල්ල කිරීමට ජපානය සැරසෙයි

දිනෙන් දින ඉහළ යන උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හේතුවෙන් එම රටට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිය හැකියාව වර්ධනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජපානයේ දේශපාලකයින් පිරිසක් කියා සිටිනවා.

උතුරු කොරියාවෙන් තමන්ට ප්‍රහාරයක් එල්ල වේ යයි හැඟී ගියහොත්, ඊට පෙර, එරටට අයත් මිසයිල පද්ධතීන් සහ ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පහර දීම කෙරෙහි ජපානය අවධානය යොමු කළ යුතු බව ඔවුන් පවසනවා.

මෙසේ තර්ක කරන පිරිසට හිටපු ආරක්ෂක අමාත්‍යවරයකු ඇතුලු ප්‍රබලයින් කිහිප දෙනෙකු ද අයත් වනවා.

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම​

ජපන් අගමැති ෂින්සෝ අබේ (Getty)

ජපන් දේශපාලකයන් අතරින් මෙම ඉල්ලීම මතු වීමට බලපෑවේ මාර්තු 6 වනදා උතුරු කොරියාව විසින් සිදු කරන ලද බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමයි. මෙහිදී මිසයිල හතරක් එක විටම ජපන් මුහුද දෙසට එල්ල කළ අතර ඉන් තුනක් පතිත වූයේ ජපන් අනන්‍ය ආර්ථික කලාපය තුළයි. අනෙක් මිසයිලය ද එම කලාපයේ සීමාව ආසන්නයේම පතිත වුණා.

ජපන් ආරක්ෂක ඇමති තොමෝමි ඉනාදා සඳහන් කරන පරිදි මෙම මිසයිල හතරෙන් තුනක් ඔගා අර්ධද්වීපයෙන් කිලෝමීටර 300 – 350 ක් අතර ප්‍රදේශයකට පතිත වී තිබුණා. දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම මිසයිල හතර උතුරු කොරියාවේ ටොංග්චෑංග් – රී ප්‍රදේශයෙන් එරට වේලාවෙන් උදෑසන 7.30 ට පමණ නිකුත් කෙරුණ බවයි. මෙම මිසයිල කිලෝමීටර 1000 ක පමණ දුරක් ගමන් කර තිබුණා.

මෙම මිසයිල අත් හදා බැලීම සිදු කෙරුණ දිනයේදීම ඒ පිළිබඳව අදහස් දැක්වූ ජපන් අගමැති ෂින්සෝ අබේ සඳහන් කළේ මෙය උතුරු කොරියාවෙන් එල්ල වන නව තර්ජනයක් ප්‍රදර්ශනය කරන බවයි.

මේ අතර දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ද උතුරු කොරියාවේ මෙම ක්‍රියාව දැඩි සේ හෙළා දැක්කා.

මිසයිල ආරක්ෂණ පද්ධති

උතුරු කොරියානු මිසයිල අත් හදා බැලීම් හේතුවෙන් සිදුව ඇති ප්‍රධාන ප්‍රතිපලයක් නම් මිසයිල ආරක්ෂණ පද්ධතීන් පිළිබඳ වැඩි අවධානයක් ලොව පුරා යොමු වීමයි. දකුණු කොරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ සිය රටේ ස්ථාපිත කිරීමට සූදානම් වන තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම වේගවත් කරන ලෙසයි. නමුත් අසල්වැසි කලාපීය බලවතා වන චීනය, දකුණු කොරියාවේ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය වීම කෙරෙහි එතරම් පැහැදීමකින් පසු වන්නේ නැහැ.

මේ අතර ජපානය ද තාඩ් මිසයිල පද්ධති සිය රටෙහි ස්ථාපිත කිරීම පිළිබඳ සිතන්නට පටන් ගෙන තිබෙනවා. පසුගිය ජනවාරියේදී ජපන් ආරක්ෂක ඇමතිවරයා තාඩ් පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා ගුවාම් දූපතේ සංචාරයක ද නිරත වුණා.

පළමු පහර

උතුරු කොරියන් මිසයිල ප්‍රහාරයක් (NTDTV)

කෙසේ වෙතත් මේ සමඟම මතු වෙමින් පවතින අනෙක් තර්කය නම් මිසයිලවලට එරෙහි ආරක්ෂණ පද්ධතිය කෙසේ වෙතත් අවශ්‍ය විටෙකදී උතුරු කොරියාවට පළමු පහර එල්ල කිරීම කෙරෙහි ජපානය අවධානය යොමු කළ යුතු බවයි.

හිටපු ආරක්ෂක අමාත්‍යවරයකු සහ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රික පක්ෂයේ ප්‍රබලයකු වන ඉට්සුනොරි ඔනොදෙරා ප්‍රකාශ කරන්නේ ජපානය බිය වැද්දීම සඳහා මිසයිල ප්‍රහාර එල්ල කිරීම ම උතුරු කොරියාවට පහර දීම සඳහා ප්‍රමාණවත් කරුණක් බවයි. ගුවනින් බෝම්බ ප්‍රහාරයකට හෝ නාවික යාත්‍රාවකින් එල්ල වන ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ යම් සේ ද​, මෙවන් මිසයිල ප්‍රහාරයකට ද ඒ අයුරින් ම ප්‍රති ප්‍රහාර දිය යුතු බව ඔහු පවසනවා.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරක්ෂක ප්‍රතිපත්ති කමිටු සාමාජික හිරෝෂි ඉමාසු එම අදහස ස්ථිර කරනවා. ඔහුගේ අදහස නම් ජපානය උතුරු කොරියාව වෙත පහර දීමට අවශ්‍ය අවි ආයුධවලින් සන්නද්ධ වීම අත්‍යාවශ්‍ය බවයි. එය බැලිස්ටික් මිසයිල ද​, කෲස් මිසයිල ද ගුවන් යානා ද යන්න කෙසේ වෙතත් කිනම් හෝ අයුරකින් සන්නද්ධ වීම අත්‍යාවශ්‍ය බව ඔහු පවසනවා. එසේ නැතහොත් උතුරු කොරියානුවන් ජපානය දුබලයකු සේ සළකනු ඇති බවයි ඉමාසු පෙන්වා දෙන්නේ.

ජපානය සන්නද්ධ වීම සහ යුධ කටයුතුවල යෙදීම පිළිබඳ දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු අද වනතුරු පවතින්නේ විවාදයක්. 1947 දී ඇමරිකානු හමුදා පාලනාධිකාරිය විසින් එරටට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අනුව ජාතීන් අතර ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යුද්ධය සුදුසු ක්‍රමයක් නොවන බව පවසයි. එහෙයින් ජපානය යුධමය කටයුතු සඳහා සිය හමුදා යෙදවීමක් සිදු නොකරන අතර ස්වදේශ ආරක්ෂාව සඳහා හමුදා පවත්වාගෙන යයි.

කෙසේ නමුත් මෙම වගන්තිය පිළිබඳ විවාදය එකළ පටන්ම පැවතෙන එකකි. රටේ ජාතිකවාදී කොටස් මෙම වගන්තිය ඉවත් කළ යුතු බව පවසන අතර ඇතැම් රජයන් විවිධ අවස්ථාවලදී එම වගන්තිය විවිධ අයුරින් අර්ථ නිරූපණය කරමින් හමුදා බලය වැඩි කරගැනීමට කටයුතු කර තියෙනවා.

එසේ වුවද මෙම නව ප්‍රවණතාව​, එනම් තවත් රටකට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය අවි බලය ගොඩ නගා ගැනීම පිළිබඳ කරුණ​, විවාදාත්මක එකක්. කෙසේ වෙතත් උතුරු කොරියානු තර්ජනය ප්‍රබල වත්ම, ජපානයේ එම අදහස තව දුරටත් ප්‍රචලිත වීමේ ඉඩක් පවතී.

මෑතදී කළ මිසයිල හතරක් එකවිට එල්ල කිරීමෙන් ජපානය බිය වී ඇති තවත් හේතුවක් වන්නේ වර්තමානයේ එරට පිහිටුවා ඇති බැලිස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතියට එකවර එතරම් මිසයිල සංඛ්‍යාවක් පිළිබඳ කටයුතු කළ නොහැකි බැවිනි. මේ හේතුවෙන්, පවතින ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ සිට නව අවි ආයුධ ලබා ගැනීම දක්වා විවිධ උපක්‍රම කෙරෙහි ජපානයේ අවධානය යොමු ව තියෙනවා​.

නමුත් මෙම අදහසට එරෙහිව අදහස් දක්වන්නෝ ද සිටිති. යුධ විරෝධී කඳවුර කිනම් හෝ ආකාරයේ මිලිටරීකරණයකට එරෙහි ය​. නමුත් තවත් පිරිසක් මෙවන් යෝජනාවක ප්‍රායෝගිකත්වය ද ප්‍රශ්න කරති. රොයිටර්ස් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් නම සඳහන් කිරීමට අකමැති වූ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පක්ෂ මන්ත්‍රීවරයකු කියා සිටියේ සිය ආරක්ෂාව සඳහා වුවුද උතුරු කොරියානු මිසයිල පද්ධති ඉලක්ක කරගෙන පහර දීම අසාර්ථක විය හැකි බවයි.

එවන් ප්‍රහාරයක් එල්ල කළ ද එමගින් උතුරු කොරියානුවන් සතු සියලු මිසයිල විනාශ කළ හැකි වෙතැයි සහතිකයක් නොවන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එවන් ප්‍රහාරයකින් පසුව ද ජපානයට තර්ජනයක් විය හැකි තරම් මිසයිල ප්‍රමාණයක් උතුරු කොරියාව සතුව ඉතිරි විය හැකි බවත් එහෙයින් ජපානය ප්‍රබල ප්‍රතිප්‍රහාරයකට ඉලක්ක විය හැකි බවත්.

ජපානය මෙසේ සිය ඉදිරි පියවර විවාදයට ලක් කරන අතරතුර උතුරු කොරියානු පාලක කිම් ජොන්ග් – අන්ගේ ඊළඟ පියවර දෙස ලෝකයම දෑස් දල්වා බලා සිටිනවා.

මූලාශ්‍ර​: North Korea fires four missiles into sea near Japan, The Guardian, March 6, 2017,  As North Korea missile threat grows, Japan lawmakers argue for first strike options, Reuters, March 8, 2017

කවරයේ ඡායාරූපය​: දකුණු කොරියානු රූපවාහිනිය මිසයිල ප්‍රහාරය වාර්තා කරයි (Reuters)

Related Articles