Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රූපවාහිනී වැඩසටහනක් අත්හිටැ වූ ‘ජෙනී ජෝන්ස්’ ඝාතනය

අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ලේක් ඔරියන් හි විසූ ස්කොට් ඇමීජර් මිය යන්නේ ඔහුගේ අසල්වැසියකු වූ ජොනතන් ෂ්මිට්ස් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙනු යි. ඊට හේතුව අසාමාන්‍ය එකක් වූ අතර, මේ නිසා ජොනතන්ගේ දිවිය ද වෙනස් වුණා.

රූපවාහිනී වැඩසටහනක දී සිදු වූ සිදුවීමක් දුරදිග යාමෙන් මෙය සිදු වූ අතර, මේ හේතුව නිසා එම වැඩසටහන විකාශය නොකර හරින්නට ද එම නාළිකාවේ බලධාරීන් තීරණය කළා.

බලාපොරොත්තු නොවූ හෙළිදරව්වක්

ජොනතන් ෂ්මිට්ස් මිචිගන් හි ජීවත් වූ ඉතා සාමාන්‍ය තරුණයෙක් වුණා. ඔහුට කිසිදු පූර්ව අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවක් හෝ එල්ල වී තිබුණේ නැහැ. මඳක් ලජ්ජාශීලී හා අඩුවෙන් කතා කළ ඔහුගේ ජීවිතය ම සදාකාලික ව වෙනස් වූයේ 1995 වසරේ මාර්තු මස 6 වන දින, එකල අමෙරිකාවේ ජනයා අතර සෑහෙන තරම් ප්‍රසිද්ධ වූ ‘ජෙනී ජෝන්ස්’ නම් රූපවාහිනී වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ආරාධනා ලැබීමත් සමඟ යි. මෙහි දී ඔහු කෙරෙහි කිසිවෙක් හොර රහසේ පෙම් බඳින බවත්, එය වැඩසටහනේ දී හෙළි කරන බවත් ඔහු වෙත දැනුම් දුන්නා. තරුණ රූමත් කාන්තාවක් තමන් කෙරෙහි ආදරයෙන් පසු වන්නේ යැයි සිතූ ජොනතන්, ඊට සහභාගී වන්නට කැමැත්ත පළ කළා.

 ‘ජෙනී ජෝන්ස්’ රූපවාහිනී වැඩසටහන- Paul Natkin/ gettyimages.com

 

මේ වැඩසටහනේ දී ආරාධිතයා වෙත පිරිමින් හා කාන්තාවන් යන දෙකොට්ඨාසයේ ම කිහිප දෙනෙක් ඉදිරිපත් කෙරෙන අතර, ඉඟි වැනි දේ මහින් තමන් වෙත කැමැත්තක් ඇති පුද්ගලයා ආරාධිතයා සොයා ගත යුතු වෙනවා. චිකාගෝ හි පිහිටි රූපවාහිනී මැදිරිය වෙත ඇතුළු වෙද්දී ෂ්මිට්ස් තමන්ගේ අසල්වැසි කාන්තාවක් ද එහි සිටිනු දකින අතර, ඔහු ඉටා ගන්නේ තමන්ට කැමැත්තෙන් පසුවන්නේ මේ කාන්තව විය හැකි බව යි. ඔහුට ද ඇය කෙරෙහි ප්‍රසන්න හැඟීමක් තිබූ නිසා, ඉතා සතුටෙන් ඔහු වැඩසටහනට පිවිසෙනවා.

ෂ්මිට්ස් කෙරෙහි කැමැත්තෙන් පසුවන්නා

ෂ්මිට්ස් සහභාගී වූ ජෙනී ජෝන්ස් රූපවාහිනී වැඩ සටහනේ මුල් භාගය සාර්ථක ව ගෙවී ගිය අතර, ෂ්මිට්ස් කෙරෙහි කැමැත්තෙන් පසුවන්නා කාන්තාවක මෙන් ම පිරිමියකු වුව ද විය හැකි බැව් ප්‍රකාශ කෙරුණත් ෂ්මිට්ස් එම ඉඟිය එතරම් වටහා ගත්තේ නැහැ. අවසානයේ ඔහුට ආදරය කරන පුද්ගලයා හෙළි කරන මොහොත එළැඹුණා. එම මොහොත ඉතා උද්වේගකර වූ අතර, තමන් කෙරෙහි කැමැත්තෙන් පසුවන්නේ කවුදැයි ඇසූ විට, ෂ්මිට්ස් මැදිරිය වෙත ඇතුළු වෙද්දී ඔහු දුටු අසල්වැසි කාන්තාව වෙතට ඔහු පියමැන හාදුවක් ද ලබා දෙනවා.

මෙහිදී වැඩසටහන් නිෂ්පාදකවරුන් ඇය ඔහුගේ ‘රහසිගත අගය කරන්නා’ නොවන බව පවසා ස්කොට් ඇමීජර් ඉදිරිපත් කරනවා. වැඩසටහන නිමා වූයේ එලෙසිනු යි. සමරිසියකු වූ ඇමීජර් කාලයක පටන් ෂ්මිට්ස් ගේ ඇවතුම් පැවතුම් පිළිබඳ බලා සිට තිබෙනවා.

තමන්ට ආදරය කළ පුද්ගලයා පුරුෂයකු බව හඳුනා ගත්වන ම ෂ්මිට්ස්ගේ සිතෙහි තරහවක් උපන්නා. කෙසේ නමුත් කැමරා අභිමුව සිය තරහ නොපෙන්වා සිටීමට ඔහු සමත් වෙනවා. මඳ වේලාවකින් කැමරා ක්‍රියා විරහිත කොට වැඩසටහන පටිගත කිරීම අවසන් වූ බැව් දැන්වූවන ම තිස් දෙහැවිරිදි ඇමීජර් වෙත යන ෂ්මිට්ස් තමන් ‘අතිශයින් ම විෂම රිසියකු’ හෙවත් කාන්තාවන් කෙරෙහි පමණක් ආකර්ෂණය ඇති අයකු බැව් තදින් පවසා මැදිරියෙන් නික්මෙනවා. මේ ක්‍රියාව එතරම් සුදුසු නොවන දෙයක් ලෙස ප්‍රේක්ෂකාගාරයේ අය සිතුවත්, බොහෝ දෙනා එය සිනහවෙන් භාර ගත්තේ, එය හුදෙක් සුළු සිද්ධියක් බවට පත්වනු ඇතැයි සිතමිනු යි. ඇමීජර් හා ෂ්මිට්ස්ට ‘මධු පාන තොලගාන අවස්ථාවක සිනහවෙමින් මතක් කිරීමට’ කාරණාවක් සිය ජීවිතවලට එකතු වූ බැව් බොභෝ දෙනාගේ මතය වුණා. එය ඛේදවාචකයකින් අවසන් වේ යැයි කිසිවකුත් සිතුවේ නැහැ.

 ස්කොට් ඇමීජර්- screenrant.com

ස්කොට් ඇමීජර් මරා දමයි

එම සිදුවීමෙන් දින තුනකට පසු ෂ්මිට්ස් සිය මිතුරන් දෙදෙනකු සමඟ සවස් වරුවෙහි සිය නවාතැන වෙත පැමිණෙනවා. මෙහිදී, එහි ඉදිරි දොර අසල දමා ගොස් තිබූ ලියමනක් ඔහුගේ නෙත ගැටෙනවා. නමක් සඳහන් නොකර ලියා තිබූ එහි වූ ඉතිරි අන්තර්ගතය කිසිදා හෙළි නොවූ මුත්, මේ නිසා ෂ්මිට්ස් දැඩි ලෙස කෝපයට පත් වෙනවා. සිය ගිනි අවිය අතට ගන්නා ඔහු කෙළින් ම නතර වෙන්නේ ඇමීජර්ගේ නිවස අසල යි. ඔහු එහි දොරට තට්ටු කරන අතර ඇමීජර් පැමිණ දොර හරිනවා. කිසිදු කතාවක් නොමැතිව ෂ්මිට්ස් ඇමීජර්ට වෙඩි පිට වෙඩි තබන අතර, ඇමීජර් එතැන ම මිය යනවා. එකෙණෙහිම එතැනින් පිටවන ෂ්මිට්ස් පොලිසිය අමතා, තමන් ස්කොට් ඇමීජර් ඝාතනය කළ බැව් පවසා, පොලිසියට භාර වෙනවා.

ජොනතන් ෂ්මිට්ස්, ස්කොට් ඇමීජර් මරා දැමීම ලැව් ගින්නක් සේ අමෙරිකාව පුරා පැතිර ගියා. මාධ්‍ය මෙයට විවිව්ධ අර්ථකථන දුන්නා. අයකු පැවසුවේ කිසිවකුත් අපහසුතාවයට පත් වන ලෙස ප්‍රසිද්ධ මාධ්‍යවල වැඩසටහන් කිරීම නැවැත්විය යුතු බව යි. වැඩසටහන පටිගත කරන ස්ථානයේ සිටි කිහිප දෙනකු ම පසුකාලීනව පවසා තිබුණේ, එහිදී ෂ්මිට්ස් දැඩි ලෙස අපහසුවට පත්ව සිටි බව යි. තවත් මාධ්‍ය කිහිපයක් පවසා සිටියේ සැබවින් ම ෂ්මිට්ස් හා ඇමීජර් අතර සම්බන්ධයක් තිබෙන්නට ඇති බව යි. ඔවුන්ගේ පෞද්ගලික කෝන්තරයක් දුරදිග යාමෙන් මෙලෙස ඇමීජර් ඝාතනය වන්නට ඇති බැව් තව දුරටත් ඔවුන් පැවසුවා.

ෂ්මිට්ස්ට ‘සමරිසි භීතිකාවක්?’

ෂ්මිට්ස් ගේ නීතීඥවරුන් චෝදනා කළේ වැඩසටහන් නිෂ්පාදකයන්ට යි. ෂ්මිට්ස්ට ‘සමරිසි භීතිකාවක්’ ඇති බවත්, එවැනි තත්ත්වයේ සිටින්නෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ අපහසුතාවට පත් කිරීම නිසා ඇති වූ ‘මානසික ව්‍යාකූලත්වය’ නිසා මෙවන් තත්ත්වයක් ඇති වූ බවත් ඔවුන් තර්ක කළා. මේ සියල්ල මධ්‍යයේ නඩු විභාගය පැවති අතර, ෂ්මිට්ස්ට වසර 25 සිට 50 දක්වා වූ සිර දඬුවමක් ලැබුණා. පසුකාලීනව එය ලිහිල් වූ අතර, 2017 වසරේ දී නිදහස ලැබීමෙන් අනතුරු ව ඔහු අප්‍රසිද්ධ ජීවිතයක් ගෙවමින් සිටිනවා.

 ජොනතන් ෂ්මිට්ස් 2017 දී – Michigan department of corrections /AP.com 

 

ඇමීජර්ගේ ඥාතීන්ට විශාල වන්දියක්

ඇමීජර්ගේ ඥාතීන් ජෙනී ජෝන්ස් වැඩසටහනට එරෙහි ව නඩු පැවරූ අතර, එහිදී යම් පමණකට ෂ්මිට්ස් අපහසුතාවට පත් වූ බවත්, කිසිදු අයකුගේ පසුබිම පිළිබඳ නොසොයා වැඩසටහනට ආරාධනා කළ බවත් හෙළි වුණා. මෙවැනි සංවේදී කාරණා සහිත වැඩසටහනකට ආරාධනා කිරීමට පෙර ෂ්මිට්ස් ඇතුළු සියලු දෙනාගේ පසුබිම නිසිලෙස අධ්‍යයනය කළානම් මෙලෙස අවාසනාවන්ත සිදුවීමක් සිදු නොවනු ඇති බැව් ඔවුන්ගේ තර්කය වුණා. අවසානයේ ඇමීජර්ගේ ඥාතීන් ජය ගත් අතර, විශාල වන්දියක් ජෙනී ජෝන්ස් වැඩසටහන සිදු කළ නිෂ්පාදන කණ්ඩායමෙන් ඔවුන්ට හිමි වුණා.

කවරයේ ඡායාරූපය - ජොනතන් ෂ්මිට්ස්- thecinemaholic.com

මූලාශ්‍ර:
Allthatsinteresting.com
Thecinemaholic.com
Screenrant.com

Related Articles