Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණ දියුණුව මැද වුවත් මානව සම්පත් අත්‍යවශ්‍ය රැකියා

පසුගිය කාලය පුරාවට ඇති වූ තාක්ෂණික දියුණුව සමඟ තවදුරටත් ක්‍රියාත්මක නොවන සහ ඉදිරියේ දී ක්‍රියාත්මක නොවීමේ අවදානමක පවතින රැකියා බොහෝ තිබේ. තාක්ෂණික දියුණුව හේතුවෙන් බලපෑමට ලක් වූ එවැනි රැකියා මෙන් ම, තාක්ෂණය කෙතරම් දියුණු වුවත් බලපෑමට ලක් නොවන රැකියා ද තිබේ.

තාක්ෂණික ක්‍රමවේද සහ මෙවලම් භාවිතයෙන් පහසු කර ගත හැකි, එහෙත්, මිනිස් ශ්‍රමය තව දුරටත් අත්‍යවශ්‍ය එවැනි රැකියා කිහිපයක් පිළිබඳව යි මේ ලිපිය.

පුද්ගලානුබද්ධ රැකියා ලෙස හඳුනාගත හැකි මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ චිකිත්සාව – www.medicalnewstoday.com

මනෝ විද්‍යාඥයෝ

පුද්ගලානුබද්ධ රැකියා ලෙස හඳුනා ගත හැකි මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ චිකිත්සාව වැනි දෑ තාක්ෂණයේ දියුණුවත් සමඟ යටපත් වී යාමේ අවදානමක් නැත. ඊට හේතුව එම රැකියා මානව හැඟීම් මත පදනම් වී තිබීම යි. මානසික සෞඛ්‍ය ගැටලු සඳහා කෘත්‍රිම බුද්ධිය හෝ වෙනත් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් ප්‍රතිකාර කිරීම සුදුසු නොවන අතර, එය ප්‍රයෝගික ද නොවේ.

ඉහත කී වෘත්තීන්වල නියැළෙන වෘත්තිකයන් විවිධාකාර ගති පැවැතුම් ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධතා ඇති කර ගනිමින් සහ ඔවුන්ගේ සංකීර්ණ හැසිරීම් පිළිබඳ ව අධ්‍යයනය කරමින් සිදු කරන ප්‍රතිකාර, තාක්ෂණික ක්‍රමවේද හරහා ක්‍රියාවට නැංවීමට හැකියාවක් නැත.

මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සාව වැනි දෑ තාක්ෂණයේ දියුණුවත් සමඟ යටපත් වී යාමේ අවදානමක් නැත – www.verywellmind.com

ගුරුවරු

මේ වන විට බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අවවවස්ථා පවතිනමුත් සම්පූර්ණයෙන් ම මානව සම්පත්වලින් තොර ඉගැන්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවයි විද්වතුන්ගේ මතය වන්නේ.

විෂය කරුණු ඉගැන්වීමට අමතර ව ඒ ඒ සිසුවාගේ හැකියා සහ දුර්වලතා හඳුනා ගනිමින්, සමීප සම්බන්ධතා ගොඩ නඟා ගනිමින් ඉගැන්වීම් කටයුතු කිරීමට තාක්ෂණික මෙවලම්වලට හැකියාවක් නැත. එබැවින් ඒ සඳහා ගුරුවරුන්, කථිකාචාර්යවරුන් හෝ මහාචාර්යවරුන් වැනි ඉගැන්වීම් කටයුතුවල නිරත වන වෘත්තිකයන් අත්‍යවශ්‍ය වේ. සහකම්පනය වැනි ගුණාංග ප්‍රගුණ කිරීමට මෙවලම්වලට නොහැකි බැවින් ඒවා භාවිතයෙන් ඉගැන්වීම් සිදු කළ හැක්කේ එක්තරා මට්ටමක් දක්වා පමණි.

සෞඛ්‍ය සේවකයෝ

පාසල් සහ විශ්වවිද්‍යාලවල මෙන් ම රෝහල් සහ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර කරන ආයතනවල කෘත්‍රිම බුද්ධිය සහ වෙනත් තාක්ෂණික මෙවලම් භාවිත කරන බව අපි දනිමු. තාක්ෂණය කොතරම් දියුණු වුවත් වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකවරුන් සහ වෙනත් සුළු සේවකයන්ගෙන් තොර ව රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රයෝගික නොවේ.

මෙම වෘත්තිකයන් ඉදිරියේ දී දැනට වඩා තාක්ෂණය සමඟ සමීප ව කටයුතු කරනු ඇත. එය ඔවුන්ගේ කාලය ඉතිරි කර ගැනීමට උපකාරී වනු ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවල පැවැත්මට බලපෑමක් ඇති කරන කරුණක් නොවේ. ඊට ප්‍රධාන හේතුව රෝගීන්ගේ කායික මෙන් ම මානසික අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තාක්ෂණික මෙවලම්වලට හැකියාවක් නොතිබීම ය.

සෞඛ්‍ය වෘත්තිකයන් ඉදිරියේ දී දැනට වඩා තාක්ෂණය සමඟ සමීපව කටයුතු කරනු ඇත – www.businesstoday.in

අලෙවිකරුවෝ

සමහර කාර්යයන් සිදු කිරීම සඳහා මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණික මෙවලමක් යොදා ගැනීමට හැකියාව තිබේ. කෙසේ වෙතත් නිර්මාණාත්මක සහ තර්කානුකූල අදහස් මත ක්‍රියාත්මක වීමට එවැනි මෙවලම්වලට හැකියාවක් නැත. අලෙවිකරණය සහ වෙළෙඳ දැන්වීම් නිර්මාණය වැනි කටයුතු සඳහා නිර්මාණාත්මක සහ තර්කානුකූල චින්තනයක් අත්‍යවශ්‍ය වේ. එම වෘත්තීන්වල යෙදෙන තැනැත්තන්ට තාක්ෂණික දියුණුව මහඟු පිටුවහලක් වනු ඇත. කෙසේ වෙතත් ක්‍රියාවට නැංවිය හැකි ආකාරයේ ව්‍යාපෘති පිළියෙළ කිරීම සහ යම්කිසි පණිවිඩයක් සමාජගත කිරීම සඳහා මිනිස් මොළය අත්‍යවශ්‍ය වනු ඇත.

දත්ත විද්‍යාඥයෝ

වර්තමාන දත්ත විද්‍යාඥයකුගේ රැකියාව ඉදිරියේ දී ඇති වන තාක්ෂණික දියුණුව සමඟ යම් යම් වෙනස්වීම්වලට භාජනය වනු ඇත. කෙසේ වෙතත් දත්ත විද්‍යාඥයන්ගේ සේවය සම්පූර්ණයෙන් ම අවශ්‍ය නොවනු ඇතැයි සිතිය නොහැක. ඊට හේතුව පරිගණකය හරහා දත්ත විශාල ප්‍රමාණයක් එක්රැස් කිරීම ඉතා සුළු වෙලාවක් තුළ කළ හැකි වුවත්, එසේ එක්රැස් කරන දත්ත සැබෑ ලෝකයට ගැළපෙන පරිදි සහ අර්ථාන්විත ආකාරයෙන් විශ්ලේෂණය කිරීමට පරිගණකයට නොහැකි වීම යි.

එබැවින් දත්ත එක්රැස් කිරීම සම්පූර්ණයෙන්ම පරිගණකවලට භාර දී, ඒවා විශ්ලේෂණය කිරීමට දත්ත විද්‍යාඥයන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය වනු ඇත.

දත්ත විශ්ලේෂණය කිරීමට දත්ත විද්‍යාඥයන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය වනු ඇත – www.forum.huawei.com

සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ

සෑම වෘත්තියක ම පාහේ තාක්‍ෂණය යොදා ගැනීම ඉහළ යන විට, සයිබර් ආරක්‍ෂාව සඳහා අවශ්‍යතාව ද වැඩි වේ. බොහෝ සමාගම් මේ වන විට දත්ත පද්ධති සහ තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් වෙනත් ක්‍රමවේද යොදා ගනී. එබැවින් ඒවා සයිබර් ප්‍රහාරවලින් සුරක්ෂිත බව සහතික කිරීම ඉතා වැදගත් වේ. වැඩබිම් වැඩි වැඩියෙන් ඩිජිටල් මෙහෙයුම් මත රඳා පැවතීම හේතුවෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ට වැඩි ඉල්ලුමක් පවතී. කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් මෙවලම් සකස් කරන්නේ ද සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුමක් ඇති තැනැත්තන් බැවින් ඔවුන්ගේ රැකියා, තාක්ෂණයේ දියුණුව සමඟ අවසන් නොවේ.

දන්ත වෛද්‍යවරු

දන්ත වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ගැනීමට සිදුවීම ප්‍රිය කරන කිසිවකුත් නැත. හැකි උපරිම මට්ටමට වේදනාව අවම කරමින් අදාළ ප්‍රතිකාර කිරීමට දන්ත වෛද්‍යවරයා උත්සහ කරන බව දන්නා නමුත්, දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ දෙනෙක් විශාල බියක් දක්වති. එවැනි පසුබිමක වෛද්‍යවරයෙක් වෙනුවට රෝබෝවරයෙක් දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ නම් කී දෙනෙක් එහි යනු ඇති ද?

මේ හේතුව නිසා දන්ත වෛද්‍ය වෘත්තීයේ පැවැත්මට තාක්ෂණික දියුණුව බලපෑමක් ඇති නොකරනු ඇත. ප්‍රතිකාර කිරීමේ දී තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සාමාන්‍ය වුවත්, සම්පූර්ණයෙන් ම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් දන්ත වෛද්‍ය ප්‍රතිකාර කිරීම ප්‍රයෝගික නොවේ. ඊට හේතුව රෝග තත්ත්වය විනිශ්චය කොට, ලබා දිය යුතු ප්‍රතිකාරය කුමක්ද යන්න තීරණය කිරීමට එම මෙවලම්වලට හැකියාවක් නොතිබීම යි.

දන්ත වෛද්‍ය වෘත්තීයේ පැවැත්මට තාක්ෂණික දියුණුව බලපෑමක් ඇති නොකරයි – www.dentistrytoday.com

කලාකරුවෝ

මානව ස්පර්ශයක් වඩාත් ම අවශ්‍ය ක්ෂේත්‍ර අතර කලා ක්ෂේත්‍රය ඉහළින් ම පසු වේ. චිත්‍ර ශිල්පීන්, රංගන ශිල්පීන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, සංගීතඥයන්, ලේඛකයන් සහ අනෙකුත් සියලු කලාකරුවන් සිදු කරන නිර්මාණ, යන්ත්‍ර සහ වෙනත් මෙවලම් භාවිතයෙන් කළ හැකි ඒවා නොවේ.

විශේෂයෙන් ම මනඃකල්පිත ලෝක සහ කථා නිර්මාණය කර ඒවාට ජීවයක් ලබා දිය හැක්කේ කලාකරුවකුට ම පමණි. සමහර කලා නිර්මාණ ප්‍රතිනිර්මාණය කිරීමට තාක්ෂණික මෙවලම්වලට හැකි වනු ඇති නමුත්, මානව හැඟීම් හෝ නිර්මාණශීලිත්වය කැටි නොවූ යමක් සැබැවින් ම අර්ථවත් නිර්මාණයක් වනු ඇති ද යන්න ගැන බොහෝ දෙනෙක් සැක පළ කරති.

පෝෂණවේදියෝ

බාල, තරුණ සහ මහලු වැනි ඕනෑම වයස් ඛාණ්ඩයකට අයත් පුද්ගලයන්ගේ සෞඛ්‍ය ගැටලු අවබෝධ කර ගැනීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම් වූ පෝෂණ සැලැසුම් නිර්මාණය කිරීමට පෝෂණවේදීහු කටයුතු කරති. තරබාරු බව, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තන් සඳහා පවා පෝෂණ සැලසුම් සකස් කරන බැවින් සේවාලාභීන් සමඟ සමීප ව ගනුදෙනු කිරීමේ හැකියාවක් ඔවුන් සතු විය යුතු ය.

ස්වයංක්‍රීය ක්‍රමවේදයක් භාවිත කර ආහාර වේලක් හෝ මෙනුපතක් සකස් කළ හැකි නමුත් ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව එය කිරීමට අනිවාර්යයෙන් ම පෝෂණවේදියෙක් අවශ්‍ය වේ. රොබෝවරුන්ට හෝ යන්ත්‍රවලට වඩා සෞඛ්‍ය සම්පන්න පෝෂණ සැලසුම් සකස් කිරීමට මිනිසුන්ට හැකි වන්නේ ඔවුන් සතු ව ඒ පිළිබඳ ව පුද්ගලික අත්දැකීම් ද තිබෙන බැවිනි.

එකිනෙකාගේ අවශ්‍යතා මත පදනම් වූ පෝෂණ සැලැසුම් නිර්මාණය කිරීමට පෝෂණවේදීහු කටයුතු කරති – www.fenrichfinancial.com

සූපවේදියෝ

රොබෝවරු පෑන්කේක් සහ ඔම්ලට් වැනි සරල ආහාර වර්ග සකසන අයුරු ඔබ දැක ඇති. රෝබෝවරයෙක් ආහාරයක් පිළියෙළ කරන අයුරු දැකීම තරමක් අපූරු අත්දැකීමකි. එසේ වුවත් ඔවුන් සකස් කරන ආහාර, තවකකුට රසවත් ආහාරයක් පිළියෙළ කර දීමේ අරමුණින් සූපවේදියෙක් ඉතා ආසාවෙන් සහ සිය වෘත්තීමය ප්‍රවීණත්වය සහ නිර්මාණශීලිත්වය යොදාගෙන පිළියෙළ කරන යමකට නම් සම කළ නොහැක.

ආහාර පිළියෙළ කිරීම කාර්යක්ෂම කිරීමට රොබෝවරුන්ට සහ වෙනත් තාක්ෂණික මෙවලම්වලට හැකි නමුත් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය යොදා ගෙන නව ආහාරපාන සකස් කිරීම සඳහා සූපවේදීන්ට ඇති හැකියාව අනුකරණය කිරීමට ඔවුන්ට හැකියාවක් නැත.

යෝග්‍යතා පුහුණුකරුවෝ

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා බොහෝ අය ඔරලෝසු හෝ ස්වයංක්‍රිය ව ක්‍රියාත්මක වන යෝග්‍යතා වැඩසටහන් සහිත මෙවලම් භාවිත කරති. කෙසේ වෙතත්, යෝග්‍යතා පුහුණුකරුවකුගේ වටිනාකම අභිබවා යාමට එම මෙවලම්වලට හැකියාවක් නැත.

ඊට හේතුව යම්කිසි අයෙක් ක්‍රීඩාවක් හෝ වෙනත් යමක් සඳහා පුහුණු කිරීමේ දී අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන් අභිප්‍රේරණය කිරීමට සහ ඔවුන්ට පුද්ගලාරෝපිත පුහුණුවක් ලබා දීමට පුහුණුකරුවකුට හැකි වීම යි.

යෝග්‍යතා පුහුණුකරුවකුගේ වටිනාකම අභිබවා යාමට තාක්ෂණික මෙවලම්වලට හැකියාවක් නැත – www.newskillsacademy.com

කවරයේ ඡායාරූපය - තාක්ෂණික කොතරම් දියුණු වුවත් මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය රැකියා ගණනාවක් ඇත - www.theconversation.com

මූලාශ්‍ර ත
www.willrobotstakemyjob.com
www.fastcompany.com
www.cnbc.com
www.bbc.com

Related Articles