දැවැන්තයෙක් වුවත් පෘෂ්ඨයක් නැති ග්‍රහයා: බ්‍රහස්පති

සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්ත ම ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පති බව බොහෝ දෙනෙක් දන්නාවා. කුඩා කාලයේ ඉඳන් ම හුරුපුරුදු බ්‍රහස්පතිගේ ඡායාරූප සහ සිතුවම් ඕනෑම අයකුට හඳුනා ගැනීමට හැකියි. විශේෂයෙන් එහි රතු දුඹුරු පැහැ ඉරි සමුහය සහ විශාල රතු ලපය අනෙක් ග්‍රහලෝකවලින් හොඳින් වෙන් කිරීමට සමත් වනවා. බොහොමයක් ග්‍රහලෝකවලට වඩා වෙනස් ගති ගුණ තියෙන මේ දැවැන්තයා ගැන බොහෝ දෙනා නොදන්නා කරුණු ගොන්නක් මේ ලිපියේ අඩංගුයි.

දැවැන්තයෙක් වුවත් පෘෂ්ඨයක් නැති බ්‍රහස්පති

බ්‍රහස්පති යනු වායුමය ග්‍රහලෝකයක් නිසා ඒ මත නිශ්චිත දැඩි පෘෂ්ඨයක් ඇත්තේ නැහැ. එය මුළුමනින් ම පාහේ සමන්විත වෙන්නේ සුර්යයා මෙන් ම, හයිඩ්‍රජන් සහ හීලියම්වලින්. එයිනුත් 90%ක් පමණ ම හයිඩ්‍රජන් වනවා. එහි වායුගෝලීය පීඩනය පෘථිවියේ ගොඩබිම මට්ටමේ වායුගෝලීය පීඩනය වන bar 1ක අගයට සමාන වන මට්ටම විද්‍යාඥයන් එහි පෘෂ්ඨය ලෙස සලකනවා. මෙම මට්ටමේදී බ්‍රහස්පතිගේ ගුරුත්වය පෘථිවියේ අගය මෙන් 3 ගුණයකට ආසන්නයි.

බ්‍රහස්පති මත විවිධ වර්ණ රටාවලින් යුත් හරස් ඉරි දැකගන්න පුළුවන්. මෙසේ දිස්වන්නේ එහි වායුගෝලයේ හයිඩ්‍රජන් සහ හීලියම්වලට අමතරව ඇති බර වායුන් නිර්මාණය කරන වලා හේතුවෙන්. ඇමෝනියා නිසා ඇතිවන වලා සුදු පැහැයෙන් ද සල්ෆර් මිශ්‍රිත වායුන් නිසා ඇතිවන වලා රතු දුඹුරු පැහැයෙන් ද දැකිය හැකියි. මෙලෙස වායුන් වලා බවට පත් වන්නේ බ්‍රහස්පති පෘෂ්ඨයෙන් ක්‍රමයෙන් ඈතට යද්දී සිදු වන පීඩන අඩු වීම නිසා තුෂාර අංකය පහළ යාම හේතුවෙන්. එවිට වායූන් ඝනීභවනය වීමෙන් වලා නිර්මාණය වනවා. මෙම හරස් ඉරි අපට එක ම මට්ටමකින් දිස් වූවත් සුදු පැහැ ඒවා වඩා ඉහළිනුත් දුඹුරු පැහැ ඒවා පහතිනුත් පිහිටා තිබෙනවා.

zones and strips
බ්‍රහස්පතිගේ වායුගෝලයේ කලාප සහ පටි – ualr.edu

 

සුදු පැහැ කොටස් කලාප (Zone) ලෙසින් හඳුන්වන අතර දුඹුරු පැහැ ඒවා පටි (belt) ලෙසිනුයි හඳුන්වන්නේ. මේවා වායු නිසා කිසිසේත් ම ඒකාකාරී ව පවතින්නේ නැහැ. විවිධ ප්‍රතික්‍රියා නිසා ඒවායේ වර්ණය ද වෙනස් වෙමින් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතිනවා. කලාප සහ පටි භ්‍රමණය වන්නේ ද එකිනෙකට විරුද්ධ දිශාවලටයි. 2010 වසරේදී බ්‍රහස්පතිගේ විශාල ම පටියක් සම්පුර්ණයෙන් ම නොපෙනී ගියා. එම ප්‍රදේශය ඉන්පසු ව දිස්වුණේ විශාල සුදු කලාපයක් ලෙසයි. මාස කිහිපයකට පසු එම පටිය නැවත දිස්වුණු අතර මෙවැනි වෙනස්වීම් සුලබ ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ දැකිය හැකියි.

rotation speed and direction of zones and strips
බ්‍රහස්පතිගේ එක් එක් කලාප සහ පටි වල වායුන්හි භ්‍රමණ වේගය සහ දිශාව – researchgate.net

බ්‍රහස්පතිගේ පෘෂ්ඨය ලෙස සලකන මට්ටමේ සිට තවත් ගැඹුරට යාමේ දී වෙනත් ග්‍රහලෝකවල ඇති ආකාරයට හරයක් ලෙස දැඩි යමක් දක්නට ලැබෙන්නේ ද නැහැ. එහි වායුගෝලයේ පීඩනය, පහළට යන විට ක්‍රම ක්‍රමයෙන් වැඩි වනවා. ඉන්පසු දක්නට ලැබෙන්නේ සෙල්සියස් අංශක 10,000කට අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ පවතින ද්‍රව බවට පත් වූ හයිඩ්‍රජන් සහ හීලියම් කලාපයක්. මෙහි ඇති හයිඩ්‍රජන් පරමාණු තනි තනි ව පවතිනවා වෙනුවට ඉලෙක්ට්‍රොන බෙදා ගනිමින් එකිනෙක බැඳී පවතිනවා. මේ නිසා පරිවාරකයක් වීම වෙනුවට එය පවතින්නේ සන්නායක තත්වයේයි.

inside jupiter
බ්‍රහස්පතිගේ අභ්‍යන්තරය – britannica.com

බ්‍රහස්පති ඉතාමත් වේගයෙන් තමා වටා භ්‍රමණය වනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් වේගවත් ම භ්‍රමණයක් දක්වන ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පති ග්‍රහයායි. පෘථිවියට තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 24ක කාලයක් ගත වුවත් බ්‍රහස්පතිට ඒ සඳහා ගතවන්නේ පැය 9ක් පමණයි. මෙම වේගවත් භ්‍රමණය නිසා බ්‍රහස්පතිගේ සමකය ආසන්නයේ දී උපරිම කේන්ද්‍රාපසාරී බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සමකය ආසන්නයේ දී එහි වායුමය සහ ද්‍රවමය ද්‍රව්‍ය මධ්‍යයෙන් ඉවතට නැඹුරු වනවා. එවිට මෙම ප්‍රදේශයේ බ්‍රහස්පතිගේ විෂ්කම්භය 6%කින් වැඩි බවයි පැවසෙන්නේ.

බ්‍රහස්පතිගේ ගතිගුණ බොහොමයක් තාරකාවකට සමාන ලෙස පෙන්වා දිය හැකියි. එහි ස්කන්ධය සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ම ග්‍රහලෝක වල ස්කන්ධයේ එකතුව මෙන් 2.5 ගුණයක් වුවත් එහි ස්කන්ධය තාරකාවක් බවට පත්වීමට තරම් ප්‍රමාණවත් නැහැ. තාරකාවක ස්කන්ධය අධික වීම නිසා එය තුළ හයිඩ්‍රජන් සහ හීලියම් විලයනය වී ආලෝකය සහ තාපය පිටකරනවා. බ්‍රහස්පති ග්‍රහයාගේ හයිඩ්‍රජන් සහ හීලියම් විලයනය වීමට නම් බ්‍රහස්පති වැනි ස්කන්ධ 80ක් පමණ අවශ්‍යයි.

රතු ලපය කුණාටුවක් ද?

බ්‍රහස්පතිගේ ඡායාරූප සහ සිතුවම්වල දිස්වන රතු ලපය එහි ඇති වර්ණවත් ඉරි රටාවලට අමතර ව දිස්වන සුවිශේෂී ම ලක්ෂණය බව කිව හැකියි. වෙනත් ග්‍රහලෝකවල තිබෙන ආවට ආදියට වඩා මේ රතු ලපය වෙනස් එකක් වන්නේ මෙය බ්‍රහස්පතිගේ වායුගෝලයේ සිදු වන දැවැන්ත කුණාටුවක් වීම හේතුවෙනි.

giant red spot
බ්‍රහස්පතිගේ රතු ලපය – globalscience.it

සමකය ආසන්න රටවල සාගර කලාපයේ නිරන්තරයෙන් කුණාටු නිර්මාණය වන්නේ සාගර පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ ගොස් ජලය වාෂ්ප බවට පත් වී උණුසුම් ජල වාෂ්ප ඉහළට ගමන් කිරීමත් සමඟයි. එවිට වායුගෝලයේ පීඩනය පහළ යන අතර අවට ඇති සිසිල් ජල වාෂ්ප, එම අඩුව පිරවීමට සෑම දිශාවකින් ම ඇදී එනවා. පෘථිවියේ භ්‍රමණය නිසා සමකය ආසන්න ප්‍රදේශවල දී පෘථිවි පෘෂ්ඨයේ වේගය ඉතාමත් ඉහළයි. එවිට උතුරෙන් සහ දකුණෙන් ඇදී එන සිසිල් ජල වාෂ්ප ප්‍රවාහ වක්‍ර මාර්ගයක ගමන් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි සුළි කුණාටුවක් නිර්මාණය වන්නේ.

පෘථිවියේ ඇති වන සුළි කුණාටු එක තැනක නොපැවතී ගමන් කරන නිසා යම් මොහොතක ගොඩ බිමකට ඇතුළු වූ පසු එයට ජල වාෂ්ප සැපයීමේ කාර්යය ඉටු වෙන්නේ නැහැ. මේ නිසා ක්‍රමයෙන් සුළි කුණාටුවේ වේගය අඩු වී නිෂ්ක්‍රිය වනවා. එබැවින් පෘථිවියේ නිර්මාණය වන සුළි කුණාටුවක් බොහෝවිට දින 3-4ක පමණ කාලයකින් ක්ෂය වී යනවා. මෙම කාලය ඇතැම් විට දින 20-30ක් දක්වා වුවත් වැඩිවන්නට පුළුවන්. පෘථිවිය මත වාර්තා වුණු දීර්ඝත ම සුළි කුණාටුව වන 1994දී පැසිෆික් සාගරයේ නිර්මාණය වුණු “ජෝන්” සුළි කුණාටුව දින 31ක් පැවතුණා. එහෙත් බ්‍රහස්පතිගේ රතු ලපය වසර 100 ගණනක් යනතුරුත් පවතිනවා. එසේ වන්නේ පෘථිවියේ කුණාටුවලට වඩා ප්‍රතිවිරුද්ධ හැසිරීමක් බ්‍රහස්පති මත ඇතිවන සුළි කුණාටු දක්වන නිසාවෙනි.

බ්‍රහස්පති මත ඇති රතු ලපය මුල්වරට සොයා ගත්තේ 1665දී ඉතාලි ජාතික ගණිතඥයෙක් සහ අභ්‍යවකාශ පර්යේෂකයෙක් වන Giovanni Domenico Cassini යි. මෙය වඩාත් තහවුරු වුණේ 1831දී ජර්මානු ජාතික අභ්‍යවකාශ පර්යේෂක Heinrich Schwabe කළ සොයාගැනීමත් සමඟයි. ඔවුන් එය කුණාටු තත්වයක් ලෙස හඳුනා ගෙන නොතිබුණු නමුත් එහි ප්‍රමාණය විස්තර කර තිබුණා. කිලෝමීටර 40,000 ක් දිගින් සහ කිලෝමීටර 14,000ක් උසි යුත් මෙම දැවැන්ත රතු ලපය තුළ පෘථිවි 3 ක් පමණ ඇතුළත් කළ හැකියි.

red spot vs earth
බ්‍රහස්පති රතු ලපයේ විශාලත්වය සමඟ පෘථිවියේ විශාලත්ව සංසන්දනයක් – universetoday.com

1979 දී වොයෙජර්-1 යානය එවූ දත්තවලට අනුව මුල්වරට රතු ලපය යනු වාමාවර්ත ව භ්‍රමණය වන කුණාටුවක් බව තහවුරු වුණා. මෙය නිර්මාණය වූයේ කවර කාලයකදැයි අදහසක් විද්‍යාඥයන්ට නොමැති නමුත් බ්‍රහස්පති මත වායුගෝලීය චලනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස එය බිහි වන්නට ඇතැයි සැලකෙනවා. විශේෂයෙන් එකනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට භ්‍රමණය වන කලාප සහ පටි අතර මෙම රතු ලපය පැවතීමෙන් එහි වාමාවර්ත චලනයට හේතුව පැහැදිලි වනවා. එසේම මෙය නිර්මාණය වී ඇත්තේ අධික පීඩනයක් පවතින කලාපයකයි. සාමාන්‍යයෙන් පෘථිවිය මත සුළි කුණාටු නිර්මාණය වන්නේ අඩු පීඩන කලාපයක දක්ෂිණාවර්තව නිසා මෙම රතු ලපය “ප්‍රති-සුළි කුණාටුවක්” (anti-cyclone) ලෙස හඳුන්වනවා.

මෙම සුළි කුණාටුව කිලෝමීටර 300ක් ගැඹුරට බ්‍රහස්පතිගේ වායුගෝලයේ පවතින බවයි සැලකෙන්නේ. එහි වේගය පැයට කිලෝමීටර 500-700ත් අතර අගයක් ගන්නවා. පෘථිවිය මත සුළි කුණාටුවක් පැයට කිලෝමීටර 250ක වේගයෙන් හමා යාමේදී මෝටර් රථ පවා පොළොවෙන් ඉහළට එසවෙන නිසා පැයට කිලෝමීටර 700ක වේගයක් පිළිබඳ ව උදාහරණ සැපයීම අවශ්‍ය වන්නේ නැහැ. වේගයට අමතර ව මෙම සුළං බ්‍රහස්පතිගේ වායුගෝලයේ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 1000ක පමණ උෂ්ණත්වයකින් ද යුක්තයි. බ්‍රහස්පති මත ගොඩ බිම්, කඳු ආදී කිසිවක් දක්නට නොමැති නිසා මෙම සුළි කුණාටුවට බාධාවක් ඇත්තේ ද නැහැ. නිරන්තරයෙන් උණුසුම් වාතය සහ ද්‍රව අංශු ද සැපයෙන නිසා වසර 100 ගණනක් වුව ද ක්‍රියාත්මක වන බව අනුමාන කළ හැකියි.

බ්‍රහස්පතිගේ වායුගෝලයේ වර්ණ රටා මෙම රතු ලපය තරම් දීප්තිමත් නැහැ. මෙය තද රත් පැහැයක් ගැනීමට හේතුව විද්‍යාඥයන් තවමත් සොයමින් සිටිනවා. ඒ සඳහා පවතින ආසන්නත ම උපකල්පනය වන්නේ ඇමෝනියා සහ ඇසිටලින් දායක වන රසායනික ප්‍රතික්‍රියාවක් හිරුගේ පාරජම්බුල කිරණවල බලපෑම යටතේ සිදුවීමේ දී මෙම රත් පැහැය නිර්මාණය වන බවයි. මෙහි දී සෑදෙන සයනයිඩ් අණුවලින් සුර්යලෝකයේ නිල් සහ නිලට හුරු වර්ණ උරාගෙන රතු ආලෝකයට පමණක් ගමන් කිරීමට සැලැස්වීමෙන් මෙම ලපය රත් පැහැයෙන් දිස්වන බව පැවසෙනවා.

red spot shrinking
රතු ලපය කුඩාවෙමින් පවතින ආකාරය – slate.com

1831දී ප්‍රකාශ කර තිබූ රතු ලපයේ ප්‍රමාණයට වඩා වොයෙජර්-1 යානය මගින් 1979 දී එය නිරීක්ෂණය කරන විට එහි ප්‍රමාණය අර්ධයකින් අඩු වී තිබෙනවා. හබල් දුරේක්ෂය මගින් මෑත කාලයේ දී සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ බ්‍රහස්පතිගේ රතු ලපය වසරකට කිලෝමීටර 1000 බැගින් කුඩා වන බවයි. මෙම ශීඝ්‍රතාවයෙන් ක්ෂය වුවහොත් 2030 ගණන්වලදී එය සම්පුර්ණයෙන් නැති වී යා හැකියැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. බ්‍රහස්පතිගේ වායුගෝලයේ හැසිරීම පිළිබඳ ව විද්‍යාඥයන් සතුව ඇති දැනුම අල්ප වීම නිසා ඉහත උපකල්පනය 100% ක් නිවැරදි යැයි පැවසීමට නොහැකියි.

බ්‍රහස්පති වටාත් වළලු

සෞරග්‍රහ මණ්ඩලයේ දර්ශනීය ම ග්‍රහලෝකය වන්නේ සෙනසුරු බවට කිසිම සැකයක් නැහැ. එම ආකර්ෂණීය බව සෙනසුරු ග්‍රහයාට ලැබී ඇත්තේ ඒ වටා දිස්වන වළලු හේතුවෙන්. මෙම වළලු දුවිලි අංශු, කුඩා ග්‍රාහක කොටස් සහ අයිස්වලින් සමන්විතයි. මෙම අයිස් නිසා සුර්යයාලෝකය ඒවා මතට වැටී හොඳින් පරාවර්තනය වනවා. ඒ නිසයි පියවි ඇසෙන් හෝ සාමාන්‍ය දුරේක්ෂයකින් පෘථිවියේ සිට නිර්ක්ෂණය කරන විටත් එම වළලු පැහැදිලි ව දිස්වන්නේ. මේ ආකාරයට ම නොවුණත් බ්‍රහස්පති ග්‍රහයා වටාත් වළලු පවතිනවා.

1979දීම වොයෙජර්-2 යානය බ්‍රහස්පති සතුව වළලු ඇති බව මුල්වරට අනාවරණය කරගත්තා. එහිදී ලබා ගත් දත්ත අනුව මෙම වළලු මුලික වශයෙන් නිර්මාණය වී ඇත්තේ දුවිලිවලින් බවයි සොයාගෙන ඇත්තේ. මේ නිසා ඒවා පෘථිවියේ ඇති විශාල ම සහ බලවත් ම දුරේක්ෂවලින් බැලු විට පමණක් දර්ශනය වනවා. එසේම අධෝරක්ත දුරේක්ෂයකින් පරික්ෂා කිරීමේදී ද එම වළලු හොඳින් නැරඹිය හැකියි.

IR photo shows jupiters rings
බ්‍රහස්පති වටා ඇති වළලු දිස්වන අධෝරක්ත ඡායාරූප: මෙහි සුදු පැහැ කුඩා තිත් දෙකක් කරන්නේ එහි චන්ද්‍රයින් දෙදෙනෙක් – apod.nasa.gov

බ්‍රහස්පතිගේ මධ්‍යයේ සිට කිලෝමීටර 225,000ක් පමණ දුරකට එනම් චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුරෙන් අඩක දුරකට විහිදෙන මෙම වළලු 4ක් පවතින බවයි විද්‍යාඥයන් සොයා ගෙන ඇත්තේ. එහි පිටතින් ම ඇති වළලු ද්විත්වය Gossamer වළලු ලෙසත්, ඇතුළත වළලු පිළිවෙළින් Main සහ Halo ලෙසත් හඳුන්වනවා. බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් යුගළක් වන Thebe සහ Amalthea යන චන්ද්‍රයන්ගේ කක්ෂය පිහිටා ඇත්තේ Gossamer වළලුවල වන අතර එම චන්ද්‍රයන් කුඩා ග්‍රාහක සමඟ නිරන්තර ඝට්ටනවලට ලක්වීම නිසා ඒවායේ පෘෂ්ඨවල කොටස් වළලු වලට එකතු වනවා.

jupiters moons and rings
බ්‍රහස්පතිගේ වළලු සහ චන්ද්‍රයන්ගේ පිහිටීම – mooneast.com

පෘථිවිය රැක ගන්නා බ්‍රහස්පති

බ්‍රහස්පති ග්‍රහයාගේ අතිශය බලවත් ගුරුත්වය විශාල දුරකට පැතිරෙනවා. මේ නිසා සෞරග්‍රහ මණ්ඩලයේ ගමන් කරන ඇස්ටරොයිඩ සහ වල්ගා තරු බොහොමයක් බ්‍රහස්පතිගේ ගුරුත්ව බලයට නතු වනවා. විද්‍යාඥයන් පවසන්නේ ඇතැම් ඇස්ටරොයිඩ සහ වල්ගා තරු පෘථිවියේ ඝට්ටනය වීමට පැමිණෙන අවස්ථාවලදී ඒවායේ ගමන් මාර්ගය බ්‍රහස්පතිගේ ගුරුත්වය හේතුවෙන් වෙනස් වී එවැනි ඝට්ටන වැලකෙන බවයි.

විෂ්කම්භය කිලෝමීටර 1.5-2ක් පමණ වූ Shoemaker-Levy 9 නම් වල්ගා තරුව 1992 ජුලි 7 වනදා බ්‍රහස්පති ග්‍රහයා අසලින් ගමන් කළා. මෙම සමීප ප්‍රවේශය සිදුවන අවස්ථාවේ දී වල්ගාතරුවේ ආසන්න හා දුරස්ථ පැති අසමාන බ්‍රහස්පති ගුරුත්වාකර්ෂණයට නතුවී කොටස් 21කට බිඳී ගියා. වල්ගා තරුවක් බහුවිධ කොටස් වලට වෙන් ව යාම අසාමාන්‍ය සිදුවීමක් වන අතර, වල්ගාතරුවක් ග්‍රහලෝකයක් සමඟ ගැටී එය සිදුවීම තවත් අසාමාන්‍ය සිදුවීමක් ලෙසයි හැඳින්වෙන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්පුර්ණයෙන් ම හබල් දුරේක්ෂය මගින් ඡායරූප ගත කළ අතර එහිදී නිරීක්ෂණය වුණේ වෙන්වූ කොටස් 21 කිලෝමීටර මිලියන 1.1ක දුරක් තුළ එකම රේඛාවක පැතිරී වේගයෙන් බ්‍රහස්පති වෙත ඇදීයන බවයි. ඒවා එකින් එක බ්‍රහස්පතිගේ වායුගෝලයේ ගැටීම නිසා එහි විශාල ගිනි ජාලා හටගත් අතර පරමාණු බෝම්බ මිලියන ගණනක් පිපිරීමේ දී පිටවන ශක්තියක් මෙහිදී නිදහස් වී තිබෙනවා. එයින් එහි වායුගෝලයේ උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 30,000 සිට 40,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Shoemaker-Levy 9 hitting jupiter
Shoemaker-Levy 9 නම් වල්ගාතරුව බ්‍රහස්පතිගේ ගැටීම හා සම්බන්ධ ඡායාරූප – nasa.gov

වල්ගා තරු කොටස් ගැටීම නිසා බ්‍රහස්පති වායුගෝලයේ කිලෝමීටර 2000-3000ක් විශ්කම්භයෙන් යුත් කළු පැල්ලම් කිහිපයක් ම නිර්මාණයවූ බව සොයා ගැනුණා. 2009 වසරේදී ද එවැනි පැල්ලම් කිහිපයක් බ්‍රහස්පති පෘෂ්ඨය මත දැකගත හැකි වූ අතර එය ද ඒ ආසන්න කාලයේ ඇතිවූ වල්ගා තරු ගැටුමකින් හටගත් ඒවා යැයි විශ්වාස කරනවා.

shoemaker-levy 9 hitting jupiter explain
වල්ගාතරුවේ ගැටීම විස්තර කෙරෙන සටහනක් – annescamilla.com

මෙවැනි වල්ගා තරුවක් පෘථිවියට වැටුණේ නම් පෘථිවියේ විශාල කොටසක් මිනිත්තු කිහිපයකින් අළු බවට පත්වන බවයි විද්‍යාඥයන්ගේ මතය වන්නේ. එසේම එවිට නිර්මාණය වන දුවිලි වලා නිසා මුළු පෘථිවිය ම දින කිහිපයක් අඳුරු වනු ඇති බව ද කියැවෙනවා. සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ අවධියේ සිට ඈත විශ්වයේ සිට පැමිණි ග්‍රාහක හෝ වල්ගා තරු ප්‍රමාණය ගණනය කළ නොහැකියි. නමුත් බ්‍රහස්පති සහ අඟහරු අතර ඇති ඇස්ටරොයිඩ පටිය තුළ බහුතරයක් අත්තේ බ්‍රහස්පති සුණු විසුණු කර දැමු එවැනි ග්‍රාහක හෝ වල්ගා තරුවල ඉතිරි වූ කොටස් සහ දුවිලි අංශු බවට විශ්වාස කෙරෙනවා.

2009දී Brian G. Marsden නම් බ්‍රිතාන්‍ය අභ්‍යවකාශ විද්‍යාඥයා පැවසුවේ බ්‍රහස්පති පෘථිවිය බේරාගැනීමට අමතර ව ඇතැම් අවස්ථාවල වෙනත් දිශාවක ගමන් කරන ග්‍රාහක හෝ වල්ගා තරු සුර්යයා දෙසට ද යොමු කරන බවයි. එවිට ඒවා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට හෝ පෘථිවියේ ගැටීමට ඉඩකඩ ඇති බව ඔහු පෙන්වා දෙනවා. 1770දී පෘථිවියට කිලෝමීටර මිලියන 1.6ක් පමණ ආසන්නයට පැමිණි Lexell වල්ගා තරුව එවැන්නක් බව ඔහු ගණනය කිරීම්වලින් පෙන්වා දෙනවා. එය පළමු ව බ්‍රහස්පති, සුර්යයා දෙසට හරවා යැවීම නිසා පෘථිවියට ඉතා ආසන්න ව ගමන් කළ බවයි ඔහුගේ අදහස. මේ නිසා ග්‍රාහක, වල්ගා තරු හෝ වෙනත් අභ්‍යවකාශ වස්තූන්ගෙන් පෘථිවිය ආරක්ෂා කිරීම මෙන් ම පෘථිවිය අනතුරේ දැමීමත් බ්‍රහස්පති මගින් සිදුවන බව පැවසිය යුතුයි.

කවරයේ පින්තූරය: Juno අභ්‍යාවකාශ චන්ද්‍රිකාවෙන් ලබාගත් බ්‍රහස්පතිගේ ඡායාරූපයක් - missionjuno.swri.edu

මූලාශ්‍ර:

 earthsky.org

ducksters.com

thegreatcoursesdaily.com

nasa.gov

oca.eu

rmg.co.uk 

Related Articles