Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කරුණා අම්මාන්ගේ නව දේශපාලන පක්ෂය​

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය සභාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, නව දේශපාලන පක්ෂයක් පිහිටවූවා.

මේ බව ඔහු විසින් නිල වශයෙන් නිවේදනය කළේ පෙබරවාරි 11 වන සෙනසුරාදා මඩකලපුවේදි.

මෙම නව පක්ෂය දෙමළ එක්සත් නිදහස් පක්ෂය නමින් හැඳින්වෙන බව කරුණා අම්මාන් මඩකලපුවේදි පැවති රැස්වීමකදී කියා සිටියා.

මෙම නව පක්ෂය පිහිටුවීමේ අරමුණ සියලු දමිළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව හඬක් නැගීම බව කරුණා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම දමිළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ එතරම් සැළකිල්ලක් නොදක්වන බවයි.

කරුණාගේ දේශපාලන ගමන​

මඩකලපුවේ කිරන් හි උපන් විනයාගමූර්ති මුරලිදරන් 1980 දශකයේ මුල් කාළයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධ වූ අතර 1987 දී එහි නැගෙනහිර පළාතේ ප්‍රධානියා බවට පත් වුණා. කරුණා එම සංවිධානයේ “කර්නල්” ධූරය දක්වා උසස් වීම් ද ලැබුවා.

කෙසේ නමුත් 2004 මුල දී කරුණා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වූවා. මේ සඳහා විවිධ හේතු බලපෑ බව ප්‍රකට කරුණක්. එල්.ටී.ටී.ය පවසන්නේ කරුණා සංවිධානයේ නීතිවලට පටහැනි ක්‍රියාවන් හි නිරත වූ බවත් ඒ පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඔහු සංවිධානයෙන් ඉවත් වූ බවත්. නමුත් නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ සාමාජිකත්වයට සංවිධානයෙන් අසාධාරණයක් වූ බව කරුණා විසින් ප්‍රකාශ කෙරුණා.

සංවිධානයෙන් ඉවත් වූ පසු කරුණා පාර්ශවය එල්.ටී.ටී.ඊ යට එරෙහිව රජය විසින් ගෙනගිය යුද්ධයට සහය ලබා දුන්නා.

මේ අතර කරුණා විසින් තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් හෙවත් දෙමළ ජනතා විමුක්ති කොටි නම් දේශපාලන පක්ෂයක් නිර්මාණය කළා. මෙය වඩා ප්‍රකට වූයේ ටී.එම්.වී.පී යන ඉංග්‍රීසි අකුරුවලින්. 2008 දී මෙම පක්ෂය එවකට පාලක පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරඟ කර ජය ගත්තා.

කරුණා සහ හිටපු ජනාධිපති රාජපක්ෂ (සුදත් සිල්වා)

කෙසේ වෙතත් කරුණා සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අතර වූ මතභේදයක් හා සමඟ කරුණා ටී.එම්.වී.පී යෙන් ඈත් වුණා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූයේ ඉන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ඔහු කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයකු ද ලෙස ඔහු කටයුතු කළා.

2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිව පවතින බෙදීමේදී කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය ගෙන දිගටම කටයුතු කරනවා. ඔහු ඒකාබද්ධ විපක්ෂය විසින් ජනවාරි 27 වනදා පැවැත්වූ ජන රැළියට ද කථිකයකු ලෙස සහභාගී වුණා.

කරුණාගේ මීළඟ පියවර​

සිය නව පක්ෂය පිහිටුවීම පිළිබඳ අදහස් දක්වමින් කරුණා අම්මාන් ප්‍රකාශ කළේ දෙමළ ජනතාව මේ වනවිට දැඩි ව්‍යාකූල තත්ත්වයක සිටින බවයි. දෙමළ ජාතික සන්ධානය කොටි සංවිධානය විසින් පිහිටවන ලද එකක් බවත් තමන් ඒ පිළිබඳව ඉතා හොඳින් දන්නා බවත් කරුණා තව දුරටත් කියා සිටියා.

කරුණා තව දුරටත් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයට හෝ යහපාලන රජයට හෝ දෙමළ ජනයා පිළිබඳ සැබෑ උවමනාවක් නොමැති බවයි. තමා නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස සිටින සමයේ නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් බලෙන් අල්ලාගැනීම පිළිබඳ ගැටලු නොතිබුණත්, වර්තමානයේ විවිධ කරුණු කියමින් එසේ ඉඩම් පවරාගැනීම් සිදුවන බව කරුණා චෝදනා කළා.

කරුණා අම්මාන් නව පක්ෂයක් අරඹයි (virakesari.lk)

තව දුරටත් අදහස් දක්වමින් කරුණා අම්මාන් කියා සිටියේ මෙතෙක් කල් තමන් නිහඬව සිටි නමුත් තමන්ට මෙවන් පක්ෂයක් පිහිටුවීම සඳහා සුදුසුම අවස්ථාව මෙය බවයි.

 

දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ප්‍රශ්න මතුවී ඇති බවත්, ඒ අතරම ඔවුන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන දක්වන අඩු සැළකිල්ල නිසා, දමිළ දේශපාලනය තුල හිඩැසක් නිර්මාණය වී ඇති බවත් පැවසූ කරුණා සඳහන් කළේ තම පක් ෂය එම හිඩැස පිරවීමට බලාපොරොත්තු වන බවයි.

මුලින් මඩකලපුවේ ක්‍රියාත්මක වන පක්ෂය පසුව උතුරු නැගෙනහිර අනෙකුත් ප්‍රදේශවල ද ව්‍යාප්ත කෙරෙන බව කරුණා අම්මාන් සඳහන් කළා.

දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ප්‍රශ්න කෙසේ වෙතත්, මෙම නව දේශපාලන පක්ෂය විසින් තමන්ට අභියෝගයක් එල්ල කරනු ඇතැයි එම පක්ෂය විශ්වාස කරන්නේ නැහැ.

ඕනෑම පක්ෂයක ශක්තිය සහ ජනතා ප්‍රසාදය ප්‍රජාතන්ත්‍රික සමාජයකදී මැනිය හැකි පහසුම ක්‍රමය මැතිවරණ යි. පළාත් පාලන ආයතන මැතිවරණය බොහෝ විට මේ වසර තුළ දී පැවැත්වෙනු ඇති. එහෙයින් කරුණාගේ පක්ෂය කෙතරම් ජනතාව අතරට යන්නේදැයි අපට අදහසක් ලබා ගැනීමට එම මැතිවරණ ප්‍රයෝජනවත් වේවි.

කවරයේ පින්තුරය: කරුණා අම්මාන්

Related Articles