Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය රාජකීයයන් දෙපළ අද පාකිස්ථානයට

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා වන විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් කුමරිය ඔක්තෝබර් 14 වන දින, එනම් අද දින පාකිස්ථානයට පැමිණීමට නියමිත යි. මෙලෙස පැමිණෙන විලියම් සහ කේට් දෙපළ 18 වැනිදා දක්වා පාකිස්ථානය තුළ රැඳී සිටිනු ඇත. ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී නොමැත. ඉකුත් සිකුරාදා මෙම රාජකීය සංචාරය පිළිබඳ කෙන්සින්ටන් රාජකීය මාළිගාව සඳහන් කළේ, මේ දක්වා විලියම් සහ කේට් දෙපළ සිදුකර ඇති සංචාර අතරින් මෙය ඉතාමත්ම සංකීර්ණ සංචාරය වනු ඇති බව යි. එයට හේතුව පාකිස්ථානය තුළ පවතින අනාරක්ෂිත වාතාවරණය යි. මේ නිසාම මේ දෙපළ සිදුකරන සංචාරයන් සහ නතර වන ස්ථාන පිළිබඳ නිශ්චිත තොරතුරු මාධ්‍යයට අනාවරණය කර නොමැත. බොහෝදුරට මෙම දෙපළ ග්‍රාමීය ප්‍රදේශයක නවාතැන් ගනු ඇතැ යි සඳහන් වේ. මීට අමතරව ලාහෝර් සහ ඉස්ලාමාබාද් යන නගරවල මොවුන් සංචාරය කරනු ඇත. මෙලෙස බ්‍රිතාන්‍ය රාජකීයයන් පාකිස්ථානය වෙත පැමිණෙන්නේ 2006න් පසුව යි.

2006 දී චාල්ස් කුමරු හා කැමිලා පාකර් කුමරිය පාකිස්ථානය තුළ සංචාරය කර තිබේ. එම සංචාරය ද ඉතාමත්ම මතභේදයට තුඩු දෙන ලදී. එකල පාකිස්ථානය තුළ ත්‍රස්තවාදය ඉතා ඉහළින් පැවති වකවානුවකි.  එලෙස පැමිණි චාල්ස් කුමරු සහ කැමිලා පාකර් කුමරිය ඉස්ලාමාබාද් අගනුවර මෙන්ම 2005 දී භූමිකම්පාවට ලක් වූ ප්‍රදේශ තුළ ද සංචාරය කළහ. 2005 දී එම සිදු වූ භූමිකම්පාව මඟින් 75,000ක් පමණ මියගිය අතර, මිලියන 2.5කට තම වාසස්ථාන අහිමි විය. මෙතෙක් පාකිස්ථානයට බලපෑ දරුණුතම භූමිකම්පාවක් ලෙස මෙය සලකයි. චාල්ස් කුමරු හා කැමිලා කුමරිය එම විනාශය සියැසින් දැක බලා ගත්හ.

මෙයට අමතරව බ්‍රිතාන්‍ය එලිසබත් මහ රැජිණ පකිස්ථානය තුළ දෙවරක් නිල සංචාර සිදුකර ඇත. ඒ 1961 වසරේ දී සහ 1997 දී ය. මීට අමතරව විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය, 1996 දී බ්‍රිතාන්‍ය තුළ සංචාරය කරන ලදී. ඩයනා කුමරිය වේල්ස් ආදිපාදවරිය ලෙස 1991 දී පළමුවරට පාකිස්ථානය තුළ නිල සංචාරයක් සිදු කළා ය. එහි දී ඇය විසින් ඉස්ලාමාබාද් බාලිකා පාසලක්, පවුල් සුභ සාධන මධ්‍යස්ථානයක්, පල්ලියක් සහ ලාහෝර් කාන්තා විද්‍යාලය, බාලදක්ෂ පිරිසක් සහ වයඹ දිග මායිම් යන ප්‍රදේශ තුළ සංචාරය  කරන ලදී . ඊට පසුව ඩයනා කුමරිය නැවත වතාවක් 1996 දී, එනම් දික්කසාද වීමෙන් පසුව තමාගේ පෞද්ගලික සංචාරයක් ලෙස පාකිස්ථානයට පැමිණියා ය. ඒ ඉදිකිරීමට තිබූ පිළිකා රෝහලට අරමුදල් රැස් කිරීමේ අරමුණෙනි. එහි දී ඇය ඉම්රාන් ඛාන් සහ ඇගේ බිරිඳ වන ජෙමීමා හමුවන ලදී. ඉම්රාන් හා ඩයනා කුමරිය ඉතා හොඳ මිතුරන් බව කියැවේ.

විලියම් සහ කේට් දෙපළගේ සංචාරය නිල රාජ තාන්ත්‍රික සංචාරයක ස්වරූපය ගනු ඇත. ඒ අනුව විලියම් කුමරු සහ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අතර හමුවක් ද සිදුවීමට නියමිත ය. මේ නිල සංචාරය පිළිබඳ පාකිස්ථාන මහකොමසාරිස් මොහොමඩ් සකාරියා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, 1961 සහ 1997 යන කාලවල දී එළිසබත් මහ රැජිණගේ පැමිණීම තවමත් පාකිස්ථාන ජනතාව ආදරයෙන් සිහිපත් කරන බව යි. එසේම එළඹෙන සංචාරය තුළින් පාකිස්ථානය සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතාවල  වැදගත්කම පිළිබිඹු වන බවත්, එය තවදුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාව උදාවන බවත් තවදුරටත් සඳහන් කර තිබුණි. එක්සත් ජනපදයේ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල දත්තවලට අනුව වාර්ෂිකව බ්‍රිතාන්‍ය වැසියන් දෙලක්ෂ හැටදාහක් පාකිස්ථානයට පැමිණෙයි. එසේම දෙරට අතර ශක්තිමත් වෙළඳ සබඳතා ද ඒ අතර කැපී පෙනේ. 2017 පමණක් එලෙස සිදුකරන ලද ද්විපාර්ශික වෙළඳ සබඳතාවල වටිනාකම ඩොලර් බිලියන 2.9 ඉක්මවයි.

ආරක්ෂක හේතූන් මත බිතාන්‍ය හා පාකිස්ථානය අතර සබඳතා යම් යම් අංශවලින් පළුඳු වීමට ලක් වී පැවැතුණි. විශේෂයෙන්ම දෙරට අතර සෘජු ගුවන් ගමන් මෑතකාලය දක්වාම ආරක්ෂක හේතු මත අත්හිටුවා තිබුණි. බ්‍රිතාන්‍ය ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ ඉකුත් මාසයේ සිට ය. මීට සියවසකට පමණ පෙර මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගුවන් ගමන් නවතා දමන ලදී. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පැවසුවේ; පාකිස්ථානය සහ බ්‍රිතාන්‍ය අතර පවතින සබඳතා ඉතාමත්ම ශක්තිමත් සහ ගැඹුරු  සබඳතා වන බව යි.

නිල සංචාරයේ දී විලියම් කුමරු සහ කේට් කුමරිය විසින් තරුණයන් සවිබල ගැන්වීම, විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධව සොයා බැලීම අරමුණු කොටගෙන ඇත. එහි දී ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ විශේෂ අවධානයට ලක් වනු ඇත. තරුණ කටයුතු, ඔවුන්ගේ විරැකියාව, අධ්‍යාපන කටයුතු පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු වනු ඇත. එසේම, දේශගුණික පාරිසරික වෙනස්කම්වලට පාකිස්ථානයේ දක්වන ප්‍රතිචාර පිළිබඳව ද තවදුරටත් අවධානයට ලක් වීමට නියමිත යි.

සංචාරයේ දී විදේශ කටයුතු කාර්යාලය කේට් කුමරියට නිර්දේශ කර ඇත්තේ, ඇගේ උරහිස සහ කකුල්  සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස ඇදුම් සකසා ගන්නා ලෙස යි. විශේෂයෙන්ම පාකිස්ථානයේ පල්ලිවලට සහ ග්‍රාමීය ප්‍රදේශවලට ගමන් කිරීමේ දී හිස වසා ගැනීමට ද වඩා යෝග්‍ය බව ද, ඇය වෙත දන්වා ඇත. ඒ නිසාම බොහෝ විට ඇය සල්වාර් ඇඳුමකින් සැරසුණු ඇතැ යි මාධ්‍ය විශ්වාස කරයි. ඩයනා කුමරිය ද පාකිස්ථානය වෙත සිදුකරන ලද සංචාරවල දී සල්වාර් ඇඳුම්වලින් සැරසී ගමන් කර ඇත.

මේ සංචාරය සඳහා විලියම් සහ කේට් යුවළගේ දරුවන් වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය, සහ කුඩා ලූවිස් කුමරුන් බොහෝදුරට සහභාගි නොවනු ඇත. ඉකුත් මාසයේ දී හැරී කුමරු සහ මේගන් කුමරිය සිදුකළ දකුණු අප්‍රිකානු සංචාරයේ දී කුඩා ආචී කුමරු ද ඇතුළත් විය. නමුත්, මේ සංචාරයට ආරක්ෂක හේතු මත කුඩා දරුවන් සහභාගි නොවන බව සඳහන් වේ.

රාජකීය ‍නිල සංචාරයක දී අනුගමනය කළ යුතු නීති රීති

බ්‍රිතාන්‍ය රාජකීයයන් යම් රටකට නිල සංචාරයක් සිදුකරන විට ඔවුන් විසින් අනුගමනය කළ යුතු සම්ප්‍රදායයන් කිහිපයක් පවතී.

  1. රාජකීයයන්ට වුව ද සියලු සංක්‍රමණික නීති අදාළ වේ. ඒ අනුව සෑම රාජකීයෙකුම ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගත යුතු ය. කුඩා අත දරුවෙකුට වුව ද එය අදාළ ය. නමුත්, බලපත්‍රයක් නොමැතිව ගමන් කළ හැක්කේ බ්‍රිතාන්‍ය මහ රැජිණට පමණි.
  2. රාජකීයයන් නිල සංචාරයකට යන විට සැහැල්ලු ඇඳුම් පැළඳුම්වලින් සැරසී යා නොහැකියි. සියලු දෙනා විධිමත් සහ විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම්වලින් සැරසී ගමන් කිරීම අනිවාර්ය‍ යි. වියළි කාලගුණයක් සහිත ප්‍රදේශයක් වුව ද, විධිමත් ලෙස සැරසී ගමන් කිරීම අනිවාර්ය යි.
  3. විශේෂයෙන්ම ගමන් බෑගයේ කළු පැහැති ඇඳුමක් තබාගත යුතු ය. ඊට හේතුව වන්නේ යම්කිසි නිල සංචාරයක නිරත වී පැමිණෙන විට රජ පවුලේ කිසිවෙකු මියගොස් සිටියොත් යන උපකල්පනය මත ය.
  4. රාජකීය නිල සංචාර සිදුකරනු ලබන්නේ ගුවන්යානා තුළින් පමණක්ම නොවේ. රාජකීය සංචාරයන් සඳහා යොදා ගන්නා දුම්රිය සේවාවක් ද එරට තුළ පවතී.
  5. රාජකීය උරුමකරුවන් දෙදෙනෙකුට එකට ගමන් කළ නොහැකි යි. නමුත්, මේ නීතිය බොහෝදුරට කඩ වන ආකාරය දැක ගත හැකිය. රැජිණගේ අවසරය මත මෙම නීතිය සංශෝධනය කර ගත හැකියි.
  6. රාජකීයයන් සඳහා වෙනම ම වෙන්වූ ගමන්මලු පවතී. රාජකීය පවුලේ සෑම සාමාජිකයෙකුටම වෙනස් වර්ණ ලේබලයක් සහිත සංවිධානාත්මකව සකස් කළ ගමන්මලු පද්ධතියක් පවතී.
  7. ආරක්ෂාවට විශේෂ අවධානයක් යොමු වේ. ආරක්ෂක අංශයක් ඔවුන් සමග ගමන් කරයි. නමුත් එය ප්‍රමාණයෙන් ඉතාමත්ම සීමිත ය. (2016 දී විලියම් සහ කෙට් දෙපළ සිදුකළ කැනඩා සංචාරයේ දී ආරක්ෂකයන් ලෙස ගමන් කළේ දොළොස් දෙනෙක් පමණි.)
  8. මෙලෙස සිදුකරන ගුවන් සංචාරවල දී බොහෝදුරට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආකාරය දැකගත හැකිය. මීට අමතරව වාණිජ ගුවන් සේවා පිළිගැනීමේ අයිතිය ද රාජකීයයන්ට පවතී.

මේ මස 14 වෙනි දින, එනම් අද දින විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්ථානයට පැමිණෙනු ඇත. එය  පාකිස්ථාන සහ මහා බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික සබඳතාවල තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත් වනු නොඅනුමාන ය. එසේ ම එරට ආරක්ෂාව පිළිබඳ වඩා හොඳ ජාත්‍යන්තර සහතිකයක් ලබාදීමට ද මෙය පාකිස්ථානයට අපූර්ව අවස්ථාවකි.

Related Articles