Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටයිටැනික් අනතුරින් දිවි රැකගත් තවත් තරුණියක්: කේට් ගිල්නාහ්

‘ටයිටැනික්’ යන නම ඇසූ පමණින් අපට සිහිවන්නේ ලොව ම කම්පාවට පත්කරමින් ජීවිත 1,600කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ මහා ඛේදවාචකයක්. වර්ෂ 1912 වසරේ අප්‍රේල් මස 14 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය බලා යාත්‍රා කරමින් තිබුණු ටයිටැනික් නෞකාව විශාල අයිස් පරයක ගැටී මුහුදුබත් වූ අතර ඉතා සුළු පිරිසක් ජීවිතය ගලවා ගත්තත්, නෞකාවේ ගමන් කරමින් සිටි බොහෝ දෙනෙක් මේ ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් විය.

ජැක් සහ ඔහුගේ පෙම්වතිය වූ රෝස්

ටයිටැනික් කියූ පමණින් අපට මතක් වන තවත් දෙයක් නම් ජැක් නමැති නව යොවුන් තරුණයා සහ ඔහුගේ පෙම්වතිය වූ රෝස් නමැති තරුණියයි. එදින ටයිටැනික් නෞකාවේ ගමන් ගනිමින් සිටි ඔවුන් දෙදෙනාගෙන් ජැක් ජීවිතක්ෂයට පත් වූ නමුත් රෝස් දිවි ගලවාගැනීමට සමත් වූවා ය.

පසුව ඔවුන් දෙදෙනා අළලා චිත්‍රපට පවා නිර්මාණය වූ අතර මෙම ලිපියෙන් අප ඔබ හමුවේ තබන්නේ ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් තවත් සුවිශේෂී තරුණියක් පිළිබඳව යි. ඇය ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවා ගෙන අමෙරිකාව බලා ගියත්, ඇය ජීවතුන් අතර සිටින බවට ඇගේ මවට ඒත්තු ගැන්වීම සඳහා ඇගේ ඥාති සොයුරියකට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූවා.

ළමා විය

නමින් කේට් (කැතරින්) ගිල්නාහ් වූ ඇය 1894 වසරේ ඔක්තෝබර් මස 13 දින උපත ලැබුවේ අයර්ලන්තයේ, කෝ ලෝන්ෆෝර්ඩ් ප්‍රදේශයේ පිහිටි ක්ලූනී නම් ප්‍රදේශයේ දී ය. ගොවියකු වූ හ්‍යු ගිල්නාහ් (1865- 1932) සහ ජොආනා ඩෆී (1867- 1941) යන අයගේ දියණිය වූ කේට්ට මේරි ජොආනා (මොලී) (උපත 1893), එලන් (1895), තෝමස් (1897), බ්‍රිජට් (1898), එළිසබෙත් (1900), මාගරට් (1902), ජොආනා (1904) සහ හ්‍යු (1905) යනුවෙන් සහෝදර සහෝදරියන් ගණනාවක් ද විය. ඔවුන් සියල්ලෝම උපතින්ම රෝමානු කතෝලික වූහ.

1901 වසරේ දී ඔවුන් ජීවත් වූ ප්‍රදේශය ආශ්‍රිත ව සිදු කළ සංගණන වාර්තා අනුව ඔවුන් 1901 වසර වන විට ක්ලූනී ප්‍රදේශයේ අංක 18 දරන නිවසේ පදිංචි වී සිට ඇති අතර 1911 වසරේ දී සිදු කර තිබෙන සංගණනයක් අනුව ඔවුන් ඒ වන විට ජීවත් වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පිහිටි අංක හය දරන නිවසේයි. කේට් ගේ එක් සහෝදරියක වූ මොලී 1911 වසරේ අප්‍රේල් 9 වන දින “Laurentic” නම් නෞකාවෙන් අමෙරිකා එක්සත් ජනපදයට පිටත් ව ගොස් තිබූ අතර ඊට ටික කලකට පසු ව ඇය කේට් ද අමෙරිකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළා ය.

කේට් ගේ ටිකට්පත – titanicexperiencecobh.ie

ටයිටැනික් නැවෙන් අමෙරිකාවට පිටත් වීම

එවකට වයස අවුරුදු 18ක පමණ තරුණියක වූ කේට් 1912 වසරේ අප්‍රේල් 11 දින “ක්වීන්ස්ටවුන්” හිදී ටයිටැනික් නෞකාවට ගොඩ වූයේ සිය සොහොයුරිය වෙතට යාමට ය. තුන්වැනි පන්තියේ ටිකට්පතක් (අංක 35851) ලබාගෙන තිබූ ඇය ඒ සඳහා එවකට ගෙවා තිබූ මුදල ස්ටර්ලින් පවුම් 7ක් සහ ශත 14ක් ය.

හිතමිතුරන් මුණ ගැසේ

නෞකාව තුළ දී ඇයට ලෝන්ෆෝර්ඩ් සිට ම පැමිණි තවත් තරුණියන් තිදෙනකු සමඟ හිතවත් වූවා ය. ලෝන්ෆෝර්ඩ් සිටම පැමිණි ජේම්ස් ෆැරල්, තෝමස් මැක්කෝමක් සහ ජෝන් සහ පිලිප් නම් සහෝදරයන් සමඟ ද හිතවත් වූ ඇය ඉයුජින් නම් තවත් අයර්ලන්ත ජාතික තරුණියක සමඟ ද මිතුරු වූවා ය.

නෞකාව මුහුදුබත් වූ දින කේට් සහ ඇගේ හිතවතුන් නෞකාවේ තුන්වැනි පන්තියේ ටිකට්පත් ලබාගත් මගීන් සඳහා වෙන් වූ කොටසේ පැවැත්වුණු සාදයකට එක් වූ අතර නෞකාවේ ඒ කොටස හරහා සැරිසැරූ මීයකු නිසා භියට පත් වූ ඇය සහ ඇගේ කාමරයේ සිටි අනිකුත් තරුණියෝ කාමරවලට ගොස් නිදා ගත්හ.

ටයිටැනික් ගිලුණු දා

කෙසේ වෙතත් ඊට සුළු වේලාවකට පසුව ඔවුන් සමඟ හිතවත් වූ එක් තරුණයකු පැමිණ ඔවුන්ගේ කාමරයේ දොරට තට්ටු කර දැනුම් දුන්නේ නැවේ යම්කිසි දෙයක් සිදු වන බැවින් හැකි ඉක්මනින් කාමරයෙන් පිටතට පැමිණෙන ලෙසයි. තරුණියන් සිවු දෙනා ඒ අනුව නෞකාවේ ඉහළ තට්ටුවට දිව ගිය නමුත් නෞකාවේ සේවකයෝ ජීවිතාරක්ෂක බෝට්ටු වෙත යන ගමන් මග අවහිර කරගෙන සිටියහ. එවැනි එක් බාධකයක් පසුකරමින් ඇය ඉදිරියට දිව යන්නට තැත් කරන අවස්ථාවේ එක් සේවකයකු ඇගේ ගමන්මඟ අවහිර කරමින් ඇය නැවැත්වූ නමුත් ජේම්ස් ෆැරල් නම් තරුණයා කටුවක් ද අතැති ව එම සේවකයාට තර්ජනය කරමින් පැවැසුවේ ඇයට යන්නට හරින ලෙසයි.

ජීවිතය ගලවා ගත් සුරදූතයා

මේ හේතුව නිසා ම කේට් පසුකාලීන ව ෆැරල් හැඳින්වූයේ ඇගේ ජීවිතය ගලවා ගත් සුරදූතයකු ලෙසයි. අවසානයේ ඇය ජීවිතාරක්ෂක බෝට්ටුවක් නවතා තිබුණු ස්ථානයකට ආසන්න ව පිහිටි නෞකාවේ එක්තරා ස්ථානයකට ළඟා වූ අතර ජීවිතාරක්ෂක බෝට්ටුවට ළඟා වීමට කිසිදු මගක් තිබුණේ නැත. කෙසේ වෙතත් එතුළ සිටි අයකු ඔහුගේ උරහිසට ගොඩවන ලෙස ඇයට ආරාධනා කළ අතර ඇය ඔහුගේ උරහිසට නැග බෝට්ටුවට ගොඩ වූවා ය.

මේ අවස්ථාවේ එම බෝට්ටුව තුළ අවශ්‍ය ගණනට වඩා පිරිසක් සිටින බව දන්වමින් එක් සේවකයකු නැවැතත් ඇය වැලැක්වූ නමුත් ඇය හැඬුම්බරව පැවසුවේ තම සහෝදරිය ද එහි සිටින බවයි. පසුව සානුකම්පිත වූ සේවකයා ඇයට යන්නට ඉඩ හැරියේ ය. එම ව්‍යසනය සිදු වන අවස්ථාවේ ඇය කොතරම් කලබලයට පත්ව සිටියේ ද යත් පසුකාලීන ව ඇය සඳහන් කළේ එදින තමන් සිතුවේ අමෙරිකාවට ගොඩබසින සාමාන්‍ය ක්‍රමය එය වන්නට ඇති බවයි.

ටයිටැනික් නැව ගිලෙන අයුරු දැක්වෙන සිතුවමක් – thoughtco.com

අමෙරිකාවට ළඟා වීම

අවසානයේ දින කිහිපයක් ගත වූ පසු කේට් තවත් අයගේ උපකාරයෙන් අමෙරිකා එක්සත් ජනපදයට ළඟා වූ අතර ඇගේ සොයුරිය වූ මොලී වෙත ගියා ය. ඒ වන විට සිදු වූ මහා ව්‍යසනය හේතුවෙන් කේට් මිය යන්නට ඇතැයි සිතූ ඇගේ මව ඇතුළු පවුලේ අයට ඇය ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා කළ හැකි දෙයක් පිළිබඳ ව මොලී සහ කේට් කල්පනා කළ අතර පසුව ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් ගෙන එය තැපැල් මගින් අයර්ලන්තයේ සිය පවුලේ අය වෙත යැවීමට ඔවුන් කටයුතු කළෝ ය.

පවුලේ අයට යැවීම සඳහා ලබාගත් ඡායාරූපය (අසුන්ගෙන සිටින්නේ කේට් ය)/www.encyclopaediatitanica.org 

 

තවත් සොහොයුරු සොහොයුරියන් අමෙරිකාවට

කේට්ගේ සොහොයුරියක් වූ මාගරට් (පසුකාලීනව ෆ්‍රෑන්ක් මර්ෆි) සහ සොහොයුරකු වූ විලියම් ද පසුකාලීන ව අමෙරිකාවට පැමිණි අතර විලියම් 1917 වසරේ දී මිය ගියේ ය. ඇගේ සොහොයුරිය වූ මොලී (පසුකාලීනව ෆ්‍රැන්සිස් වින්සන්ට් බොශෙල් මහත්මිය) 1933 වසරේ ඔක්තෝබර් 12 දින මිය ගියා ය.

පසුකාලීනව ඇය වරින් වර අයර්ලන්තය බලා ගොස් සිය පවුලේ අය හමු වූ නමුත් දීර්ඝකාලීන ව වාසය කළේ සහ රැකියාවේ නිරත වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ ය.

කේට් මහලු වියේ දී –  getty images 

විවාහය

අනතුරුව කේට්ට ඇගේ පෙම්වතා වූ ජෝන් ජෝසප් මැනිං හමු වූ අතර වසර ගණනාවක පෙම් සබඳතාවකින් පසුව ඔවුන් දෙදෙනා විවාහ විය. විවාහයෙන් ජෝන් (උපත- 1919), කැතරින් (1921) සහ ඉයුජින් (1929) යනුවෙන් දරුවන් තිදෙනකු ලද ඔවුන් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කළෝ ය. ඔවුන් නිව්යෝක් නගරයේ ජීවත් වූ අතර 1955 අප්‍රේල් 19 දින කේට්ගේ සැමියා වූ මැනිං මිය ගියේ ය.

පසුකාලීනව “Titanic Enthusiasts of America,” එනම් Titanic Historical Society, යනුවෙන් අමෙරිකාවේ පිහිටුවූ සංවිධානයක සාමාජිකත්වය ලබාගත් කේට් රූපවාහිනී වැඩසටහන් දෙකකද පෙනී සිටියා ය. ටයිටැනික් ඛේදවාචකය අලළා 1958 වසරේ දී නිර්මාණය කළ “A Night to Remember” නම් චිත්‍රපටය නිෂ්පාදනය කළ රෝයි බේකර්ට සිය අත්දැකීම විස්තර කළා ය.

මරණය

කේට් ගිල්නාහ් මැනිං වයස අවුරුදු 76 දී පමණ මිය ගියා ය. ඒ වන විට නිව්යෝක් හි ලෝන් අයිලන්ඩ් සිටි හි පදිංචි වී සිටි ඇයගේ දේහය ඇගේ සැමියාගේ දේහය මිහිදන් කළ “වුඩ්සයිඩ්” නම් සුසාන භූමියේ මිහිදන් කෙරිණි.

කේට් සහ ඇගේ සැමියාගේ සොහොන්කොත – ඇගේ සහෝදරයා ද මෙම ස්ථානයේ මිහිදන් කර ඇත – encyclopaediatitanica.org

“A Night to Remember” චිත්‍රපටය

ටයිටැනික් ඛේදවාචකය අලළා 1958 වසරේ දී නිර්මාණය කළ “A Night to Remember” නම් චිත්‍රපටයේ කේට්ගේ චරිතය රඟපෑවේ නිළියක වන මේරි මොනාහාන් ය. මෙම චිත්‍රපටයේ කේට්ගේ චරිතය තරමක ප්‍රබන්ධයක් බව සැලකිල්ලට ගත යුතු ය. මෙම චිත්‍රපටයේ කේට් තවත් අයර්ලන්ත ගැහැනු ළමයින් කිහිප දෙනකු සමග නෞකාවේ සිටින අයුරු නිරූපණය වන අතර ටයිටැනික් ව්‍යසනය අවස්ථාවේ ඇය දිවි ගලවාගත් ආකාරය තරමක ප්‍රබන්ධාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කරයි.

A Night to Remember – චිත්‍රපටයrottentomatoes.com

 

කවරයේ ඡායාරූපය-ටයිටැනික් නැව - www.rottentomatoes.com

මූලාශ්‍ර:

www.irishcentral.com

www.titanicexperiencecobh.ie

www.pinterest.comcom

 

Related Articles