Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව පරම්පරාව වෙනුවෙන් තනතුර අතහැරි ජනාධිපතිවරයා – නූර්සුල්තාන්

කසකස්ථානයේ වසර තිහකට ආසන්න කාලයක් ජනාධිපති ධූරය දැරූ ජනාධිපතිවරයා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. නූර්සුල්තාන් නසර්බයේව් නම් වූ ඔහු සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිර්මාණය වූ ස්වාධීන කසකස්ථාන රාජ්‍යයේ පළමු ජනාධිපතිවරයා යි. 1991 වසරේ සිට 2019 වසරේ මාර්තු මාසය දක්වා වසර ගණනාවක් එරට ජනාධිපති ධූරය දැරූ නූර්සුල්තාන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම රටේ ජනතාව කිසි ලෙසකින් අපේක්ෂා නොකළ එකක් බව සඳහන්.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳව කසකස්ථානයේ මාධ්‍ය මෙන්ම ලෝක මාධ්‍ය සේවා ද විමතියෙන් යුතුව වාර්තා කර තිබෙනවා. මෙය ඉතා හදීසියේ ගත් තීරණයක් බවයි එම මාධ්‍යවල සඳහන් වෙන්නේ.

වසර තිහකට ආසන්න කාලයක් තම රටේ ආර්ථික හා සමාජීය දියුණුව උදෙසා කටයුතු කළ බවත්, එය ඊළඟ පරම්පරාව වෙත භාර දීම සඳහා තමන් ඉල්ලා අස් වූ බවත් 78 හැවිරිදි ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීමේ නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මෙම තීරණය ගත්තේ ඉතා අපහසුවෙන් බවත් ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

සෝවියට් සංගමය 1991 වසරේ දී බිඳ වැටීමෙන් පසුව කසකස්ථානය සෝවියට් දේශයෙන් වෙන් වෙන අතර එය එම වසරෙන් පසුව ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කරනවා.

නිදහස් කසකස්ථානයේ ප්‍රථම ජනාධිපතිවරයා

නිදහස් කසකස්ථානයේ ප්‍රථම ජනාධිපතිවරයා (The Moscow Times)

කසකස්ථානය සෝවියට් දේශයට අයත්ව තිබූ යුගයක එරට අගමැතිවරයා වීමට අවස්ථාව නූර්සුල්තාන්ට හිමි වෙනවා. ඒ 1984 වසරේ දී යි. පසුව එරට කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා  බවට පත්වීමට නුර්සුල්තාන්ට හැකියාව ලැබෙනවා. සෝවියට් යුගයේ දී කසකස්ථානයේ නායකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයාට යි. 1989 වසරේ දී එරට කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා පත්වෙන ඔහු සෝවියට් සංගමය බිදවැටීමට පෙර පැවති ජනාධිපතිවරණය දක්වා එම තනතුරේ රැදී සිටිනවා.

1991 වසරේ සෝවියට් සංගමය බිඳ වැටීමට ටික කාලයකට ප්‍රථම පැවැත්වූ මැතිවරණයෙන් වැඩිම ජනතා ජන්දයෙන් එරට ජනාධිපතිවරයා බවට පත්වීමට නූර් සුල්තාන්ට අවස්ථාව ලැබෙනවා.  ඒ 91 %කට වඩා වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්.

දිගින් දිගටම පැවති සියලුම මැතිවරණ ඉතා ඉහළින් ජයග්‍රහණය කිරීමට නූර් සුල්තාන් සමත්වෙන අතර 2015 වසරේ පැවති අවසාන මැතිවරණයෙන් ඔහු ජය ගන්නේ 97%කටත් වඩා වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

කසකස්තානය පොහොසත් රටක් බවට

පුටින් සමඟ (President of Russia)

වර්තමානය වන විට මිලියන 18කට ආසනන ජනගහණයක් සිටින කසකස්ථානය චීනයට හා රුසියාවට මායිම්ව පිහිටා තිබෙනවා.

බොරතෙල් හා වෙනත් ඛනිජ සම්පත්වලින් අනූන මේ භූමිය ආර්ථිකමය අතින් සංවර්ධිත භූමියක් ලෙස හැදින්විය හැකි යි. ඒ සඳහා නූර්සුල්තාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති දැඩිව බලපෑ බව එරට ජනතාව විශ්වාස කරනවා. ඒ හේතුවෙන් තමයි ඔහු සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරන්නේ. ඊට අමතරව කසකස්ථානයේ ජන කොටස් අතර සාමය ස්ථාපිත කරමින්, රටවැසියන්ගේ ඕනෑ එපාකම්වලට කන් දෙමින් හා රුසියාව සමගත් යුරෝපා රටවල් සමගත් යහපත් සබඳතා පවත්වා ගැනීමට නූර්සුල්තාන් සමත් වූ බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

ඔහුගේ ජනාධිපති ධූරය අවසන් වී ඊළඟ මැතිවරණය පැවැත්වෙන්නේ 2020 වසරේ වුවත් ඊට පෙර ඔහු තම ඉල්ලා අස්වීම නිවේදනය කර තිබෙනවා.

ඉල්ලා අස්වෙමින් නූර්සුල්තාන් පැවසූ දේ

තම ඉල්ලා අස්වීම නිවේදනය කරමින් (Al Jazeera)

පසුගිය දා තම ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඔහු මෙය මෙම තීරණය ගත්තේ ඉතා අපහසුවෙන් බව කියා සිටිනවා. වසර 30කට ආසන්න කාලයක් තමා මේ රටේ නායකයා ලෙස කටයුතු කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට විශාල වැඩ පිළිවෙලක් දියත් කළ බවත් මේ රට ඉදිරියට රැගෙන යාමට දෙවන පෙළ නායකත්වයක් අවශ්‍ය නිසා තමන් ඉල්ලා අස්වෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

ඊළඟ මැතිවරණය 2020 වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත අතර, එහිදීත් ජනතාව විසින් තමන්ව පත්කරන බව තමන්ට විශ්වාස බව සඳහන් කරන ඔහු ඊට වඩා දෙවන පෙළ නායකත්වයක් නිර්මාණය කිරීම වැදගත් බවත් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූවත් තවදුරටත් පක්ෂයේ ප්‍රධානියා ලෙසත් “ජාතියේ නායකයා” ලෙසත් ඔහුව හැඳින්වීමට එරට ජනතාව සුදානම් බව පැවසෙනවා.

එරට අගනගරයේ නම වෙනස් කිරීමට යෝජනාවක්

ස්තානා නගරය (Adventurous Travels | Adventure Travel)

කසක්ස්තානයේ අගනුවර අස්තානා වන අතර මින් ඉදිරියට අස්තානා නුවර හිටපු ජනාධිපතිවරයාට උපහාරයක් වශයෙන් නූර්සුල්තාන් නුවර ලෙස නම් කිරීමට එරට නව ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

නූර්සුල්තාන්ගේ යෝජනාවට අනුව නව ජනාධිපතිවරයා ලෙස පත් වී සිටින්නේ එරට සෙනට් සභාවේ සභාපති  වශයෙන් කටයුතු කරන කස්‍යම් ජොමාත් නම් දේශපාලකයා යි. ඔහු 2020 ජනාධිපතිවරණය දක්වා එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා ඇති.

කවරයේ පින්තූරය - www.akorda.kz

මූලාශ්‍රයයන් -

aljazeera.com

theguardian.com

www.reuters.com

Related Articles