Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කිම් සහ ට්‍රම්ප් අතර හදිසි හමුව සහ කොරියාවේ සාමය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර හදිසි හමුවක් ජූනි 30 වන දා සිදු වුණා. හදිසියේ සිදු වූ නමුත් මෙම හමුව කරුණු කිහිපයක් හේතුවෙන් ඉතිහාසගත වූ හමුවීමක් වුණා. එමෙන්ම මෙය ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා යළි ඇරඹීම පිළිබඳ බලාපොරොත්තු දැල්වීමක් ද වුණා.

කිම් සහ ට්‍රම්ප් අතර මීට පෙර හමුවීම් දෙකක් සිදුව තිබෙනවා. මින් පළමුවැන්න 2018 ජූනි 12 වන දා සිංගප්පූරුවේ දී සිදු වුණා. දෙවන හමුව 2019 පෙබරවාරි 27 සහ 28 යන දෙදින දී වියට්නාමයේ හැනෝයි නගරයේ දී සිදු වූ අතර එහිදී සිදු වූ සාකච්ඡා අතරමැද දී බිඳ වැටුණා. ඉන්පසුව නැවත දෙරට අතර සාකච්ඡා ඇරඹෙන අවස්ථාවක් පිළිබඳ තිබුණේ අවිනිශ්චිතභාවයක්. නායකයින් දෙදෙනා අතර යළිත් මෑතක දී හමුවක් සිදු වීම පිළිබඳ උතුරු කොරියාව ද සැක පළ කර සිටියා.

2018 ජූනි 12 වනදා සිදු වූ පළමු හමුව (Straits Times)

මීළඟ මාසවල ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම කිම් ජොංග්-උන් ද සිය විදේශ ප්‍රතිපත්තියේ දී වැඩි අවධානයක් යොමු කරනු දිස් වූයේ වෙනත් ප්‍රදේශ පිළිබඳව යි. ට්‍රම්ප් චීනය සමග වෙළෙඳ යුද්ධයක පැටලෙමින්, ඉරානයට තර්ජනය කරමින් සිය විදේශ ප්‍රතිපත්ති මෙහෙයවද්දී කිම් ඉතිහාසයේ පළමු වතාවට රුසියාවේ සංචාරය කරමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හමුවුණා.

ට්විටර් ගිණුමෙන් කළ ආරාධනය​

ට්‍රම්ප් සහ කිම් අතර හමුවක් පිළිබඳ කතාබහක් අනපේක්ෂිත ලෙස එක්වරම හටගත්තේ ජූනි 29 වන දා ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම ඔස්සේ තැබුණු පණිවිඩයක් සමග යි. G-20 සමුළුවට සහභාගී වීම සඳහා ජපානයේ ඕසකා නගරයට පැමිණ සිටි ඔහු එම සමුළුවෙන් පසු දකුණු කොරියාවේ සංචාරය කිරීම සඳහා සූදානමින් සිටියා. එම සංචාරයේ දී තමන් කොරියාවේ යුධ මුක්ත කලාපයට සංචාරය කරන බව සඳහන් කළ ට්‍රම්ප් තමන් හමුවීමට පැමිණෙන ලෙස උතුරු කොරියානු නායකයාට ආරාධනා කළා.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමගම ජපානයේ සිට දකුණු කොරියාව වෙත පැමිණි ට්‍රම්ප් ජූනි 30 වනදා යුධ මුක්ත කලාපය වෙත සංචාරය කළේ ද ඔහු සමග යි. මූන් සමග එම ප්‍රදේශයේ සංචාරය කළ ඔහු ඉන්පසු පන්මුන්ජෝම්හි දී උතුරු කොරියානු නායකයා එනතෙක් රැඳී සිටියා. දේශසීමාව වෙත පැමිණි කිම් ජොංග්-උන් සමග ට්‍රම්ප් උතුරු කොරියාවට ද ඇතුල්ව මඳ දුරක් ඇවිද ගියා. පසුව නායකයින් දෙදෙනාම දකුණු කොරියාව දෙසට පැමිණියා.

තරමක වෙලාවක් සාකච්ඡාවල නිරත වූ ඔවුන් අතරට එක් අවස්ථාවක මූන් ජේ-ඉන් ද පැමිණියා. මේ අනුව ඇමරිකා එක්සත් ජනපදය​, උතුරු කොරියාව, සහ දකුණු කොරියාව යන රටවල් තුනේ නායකයින් එකම ස්ථානයක හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වුණා. කිම් සහ ට්‍රම්ප් මාධ්‍ය හමුවේ ද අදහස් දැක්වූ අතර එහිදී ට්‍රම්ප් කියා සිටියේ ඔහු සහ කිම් දෙරට අතර සබඳතා වර්ධනය කිරීමේදී වේගයට වඩා නිවැරදි දේ කිරීම් පිළිබඳ අවධානය යොමු කරන බව යි.

න්‍යෂ්ටිකහරණය

ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර සාකච්ඡාවල මූලික වශයෙන්ම වැදගත් කරුණ වන්නේ න්‍යෂ්ටිකහරණය පිළිබඳ විවාදය යි. තම රටෙහි ආරක්ෂාව තහවුරු කෙරෙන එකඟතාවක් නොමැතිව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අතහැරීමට උතුරු කොරියාව සූදානම් නැහැ.

පෙබරවාරියේ සාකච්ඡා බිඳ වැටීමට හේතු වූයේ ද මෙම විවාදය යි. උතුරු කොරියාව එරටට එරෙහිව බලපැවැත්වෙන සියළු සම්බාධක ඉවත් කළ යුතුයැ යි ඉල්ලා සිටි නමුත් ඊට එකඟ නොවිය හැකි බැවින් සකච්ඡා නතර කිරීමට සිදු වූ බව සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ට්‍රම්ප් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් පෙබරවාරි සාකච්ඡා බිඳ වැටීම සමස්ථ ක්‍රියාවලියේ අවසානයක් නොවන බව ඇමරිකාව පාර්ශවයෙන් එකලම ප්‍රකාශ වුණා. ට්‍රම්ප් එම අවස්ථාවේ කියා සිටියේ තමන් විසින් කළ බොහෝ ඉල්ලීම්වලට උතුරු කොරියාව එකඟ වූ බව යි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර තෙවැනි හමුවක් නුදුරු අනාගතයේ දී සිදු නොවනු ඇති බව ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පැවසූයේ මාර්තු මාසයේ මුල දී යි. එහෙත් ට්‍රම්ප් සහ කිම් අතර ගොඩනැගී ඇති මිත්‍රත්වය හේතුවෙන් දෙරට අතර සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි බව බෝල්ටන් එකල​ කියා සිටියා.

ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබන අවස්ථාව (USA Today)

ජූනි 30 වන දා සිදු වූ හමුවට කටයුතු සැලසුණේ කෙසේ ද යන්න තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි නැහැ. මේ සඳහා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සම්බන්ධ ඇතැ යි විශ්වාස කළ හැකියි. කිම්-ට්‍රම්ප් සාකච්ඡා සඳහා මුල සිටම ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කළේ මූන් බව ප්‍රකට කරුණක්. දෙදෙනා අතර පළමු හමුව බිඳවැටීමේ අවධානමක් මතු වූ අවස්ථාවේ එම තත්ත්වය සමහන් කළේ ද මූන් විසින්. ජූනි 30 වන දා සිදු වූ හමුව පිළිබඳ සඳහන් කරමින් මූන් කියා සිටියේ එය සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට සිතීම තුළින් ලබාගත් ප්‍රතිඵලයක් බව යි. මේ අතර උතුරු කොරියානු මාධ්‍ය ද මෙම හමුව පිළිබඳ ඉතා ප්‍රශංසාවෙන් කතා කළා.

මේ අතර චීන රජය ද මෙම හමුව පිළිබඳව අදහස් දක්වා සිටියා. G-20 සමුළුව අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු වුණා. එහිදී විශේෂ අවධානය යොමු වූයේ චීනය සහ ඇමරිකාව අතර ඇති ව තිබෙන වෙළෙඳ යුද්ධය පිළිබඳව බව ප්‍රසිද්ධ වුණා. නමුත් මේ අතරවාරයේ උතුරු කොරියාව පිළිබඳව ද සාකච්ඡා වූ බව චීන විදේශ ඇමති වෑංග් යී සඳහන් කළා. ඔහු සඳහන් කරන පරිදි උතුරු කොරියාව සම්බන්ධයෙන් වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ෂී ජින්පිං විසින් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කිම් සහ ට්‍රම්ප් අතර සිදු වූ මෙම හමුව තුළින් දිගු කාලීනව ප්‍රතිඵලයක් හෝ දෙරට අතර කිසිදු එකඟතාවක් ඇති වූයේ නැහැ. එහෙත් දෙරට අතර සාකච්ඡා දිගටම සිදුවීම පිළිබඳව සහ කලාපීය උණුසුම පාලනය වීම පිළිබඳ මෙය හොඳ ප්‍රවණතාවයක් වනවා. ට්‍රම්ප්ම සඳහන් කළ පරිදි ප්‍රතිඵලදායක එකඟතාවක් අද හෙට ඇති නොවුණත්, සාකච්ඡා පවත්වාගෙන යාම ම කලාපීය සාමය සඳහා වැදගත් වනවා.

Cover Image: කිම් සහ ට්‍රම්ප් උතුරු කොරියා භූමියේ දී අතට අත දෙති (AP)

Related Articles