Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කිම් – ට්‍රම්ප් සමුළුව බිඳ වැටීම සහ සාකච්ඡාවල අනාගතය​

පෙබරවාරි 28 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර සාකච්ඡා බිඳ වැටීමත් සමග කොරියානු අර්ධද්වීපයේ සාම වැඩපිළිවෙල පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති ව තිබෙනවා.

වියට්නාමයේ හැනෝයි නගරයේ දී පැවති සාකච්ඡාවන්හි දෙවන දිනය පිළිබඳ විශාල බලාපොරොත්තු තබා තිබුණා. එහෙත් දෙවන දිනයේ සාකච්ඡා අතරමඟ නවතා දැමීමත් සමග මෙම වැඩපිළිවෙල පිළිබඳ අවිනිශ්චිතතාවයන් මතු වුණා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙය පෞද්ගලික පරාජයක් වූ බවත් සැලකිය හැකියි.

දෙවන සාකච්ඡාව

ට්‍රම්ප් සහ කිම් අතර මෙම සාකච්ඡා වටය ඔවුන් අතර දෙවන හමුවීම වුණා. මීට පෙර​, පසුගිය ජූනි මාසයේ දී දෙදෙනා ඓතිහාසික පළමු හමුව පැවැත්වූ අතර එය සාර්ථක ලෙස අවසන් වුණා. නායකයින් දෙදෙනා නැවතත් හමුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෙළි කරන ලද්දේ මීට සති කිහිපයකට පෙර යි.

කිම් – ට්‍රම්ප් හමුවට දින කිහිපයකට පෙර දකුණු කොරියානුවන් ප්‍රකාශ කළේ කොරියානු යුද්ධය පිළිබඳව බලපාන නිත්‍ය සාම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ද ඇමරිකාව සහ උතුරු කොරියාව එකඟතාවකට එළඹීමේ ඉඩක් ඇති බවයි. මේ අනුව දෙපාර්ශවය අතර එකඟතාවයක් පිළිබඳව බලාපොරොත්තු අලුත් වුණා.

පෙබරවාරි 27 වන දා හමුව ඇරඹීම (Sky News)

නායකයින් දෙදෙනා හැනෝයි නගරයේ දී තම දෙවන හමුව ඇරඹූයේ පෙබරවාරි 27 වනදා සවස යි. එදින දෙදෙනාම එම හමුව පිළිබඳ ධනාත්මක ලෙස කරුණු දැක්වූ අතර රාත්‍රී භෝජනයකට ද සහභාගී වුණා. ඊළඟ දිනයේ දී දෙපාර්ශවය අතර එකඟතාවයක් අත්සන් කෙරෙනු ඇතැ යි ද අදහස් පළ කෙරුණා. කෙසේ නමුත් එම බලාපොරොත්තු සියල්ල කඩා දමමින් 28 වන දා ඔවුන් අතර හමුව කලින් අවසන් වූ අතර ඔවුන් සහභාගී වීමට නියමිත වූ දිවා භෝජන සංග්‍රහය ද අවලංගු කෙරුණා.

පුදුම නොවන බිඳ වැටීම

කෙසේ නමුත් ඇතැම් විචාරකයන් නම් මෙම කඩා වැටීමෙන් අමුතුවෙන් පුදුමයට පත් වූයේ නම් නැහැ. දෙපාර්ශවය එකඟ නොවන තැන් මුල පටන් ම තිබුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උදාහරණයක් ලෙස පසුගිය ජූනි මස මෙම නායකයින් විසින් අත්සන් කරන ලද ගිවිසුමෙහි වැදගත් කරුණු අඩංගු වූ නමුත් එම කරුණු එකක් පිළිබඳව හෝ නිශ්චිත එකඟතා පිළිබඳ සඳහනක් වූයේ නැහැ.

උදාහරණයක් ලෙස ගතහොත්, කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය පිළිබඳ දෙපාර්ශවය කටයුතු කරන බව සඳහන් වූ නමුත්, ඒ පිළිබඳ නිශ්චිත කරුණු එම එකඟතාවය තුළ ඇතුලත් වූයේ නැහැ.

මයික් පොම්පෙයෝ 2018 ජූලි මස උතුරු කොරියාවේ දී (AP)

මෙම කරුණ දෙරට අතර දිගටම නොගැලපීම් ඇති කළා. පසුගිය ජූලි මාසයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ උතුරු කොරියාව බලා ගියේ න්‍යෂ්ටිකහරණය පිළිබඳ සාකච්ඡා කිරීමට යි. නමුත් එම සාකච්ඡා කඩා වැටුණ අතර, දෙපාර්ශවය අතර න්‍යෂ්ටිකහරණය සඳහා වන කොන්දේසි පිළිබඳව ඇති නොගැලපීම ඊට හේතු වුණා. සිය න්‍යෂ්ටික අවි අත හැරීමට හිලව්වක් ලෙස උතුරු කොරියාවට අවශ්‍ය කරුණු ඉටු කිරීමට ඇමරිකාව සූදානම් නොවීම මෙම තත්ත්වයට හේතු වූ බව යි එවකට වාර්තා වුණේ.

විශේෂයෙන්ම උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ඇමරිකාව විසින් කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදීම උතුරු කොරියාවේ අප්‍රසාදයට හේතු වුණා.

දෙපාර්ශවය අතර වර්තමානයේ දී ද පවතින බෙදීමට මෙම කරුණ හේතු වනවා. හැනෝයි සාකච්ඡා ද කඩා වැටුණේ එම කරුණ මත බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.

සාකච්ඡා කඩා වැටීමෙන් අනතුරුව හැනෝයි නගරයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ට්‍රම්ප් උතුරු කොරියාව එරටට එරෙහිව බලපැවැත්වෙන සියළු සම්බාධක ඉවත් කළ යුතුයැ යි ඉල්ලා සිටි බව ප්‍රකාශ කළා. නමුත් ඊට එකඟ නොවිය හැකි බැවින් සකච්ඡා නතර කිරීමට සිදු වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.

නමුත් ඔහු අවධාරණය කළේ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් සමග වන මිත්‍රත්වය දිගටම පවතිනු ඇති බව යි. එමෙන්ම උතුරු කොරියාව විශාල විභවයක් පවතින රටක් බවත් ඔහු නැවත අවධාරණය කළා. ඔහු මේ බව සාකච්ඡා ආරම්භයේ දී ද ප්‍රකාශ කර තිබුණා.

කිම් ජොංග්-උන් මීට වඩා විවේචනාත්මකව ඇමරිකාව පිළිබඳ අදහස් දැක්වූ බව වාර්තා වුණා. ඒ අනුව කිම් පවසා තිබුණේ ඇමරිකානුවන් තම ගණනය කිරීම් කරන්නේ කිනම් පදනමකින් ද යැ යි තමන්ට නොවැටහෙන බව යි. තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඔහු තුළ උද්‍යෝගය නැතිවී ඇති සෙයක් පෙනෙන බව ද බ්ලූම්බර්ග් හි ධවල මන්දිර වාර්තාකාරිණී ෂැනන් පෙටිපීස් ඇගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ වාර්තා කර තිබුණා.

අනාගතය​

මෙම අවස්ථාවේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් කටයුතු කරන ආකාරය අනාගත සාකච්ඡා සඳහා වැදගත් වනු ඇති. 2018 වසරේ මුල සිට කොරියානු අර්ධද්වීපය සම්බන්ධව සිදු වූ සාම වැඩපිළිවෙලෙහි මූලික කර්තව්‍යයක් සිදු කළේ මූන් විසිනුයි. පළමු කිම් – ට්‍රම්ප් හමුව අවලංගු වීමේ අවදානමක් මතු වූ අවස්ථාවේ ද එයට මැදිහත්ව එය කෙරෙන තැනට පත් කළේ මූන් විසින් බව බොහෝ දෙනාගේ මතකයේ නැති කරුණක් විය හැකියි. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය පිටිපස සිටින ප්‍රබල චරිතයක් වන්නේ ඔහු යි.

කිම් සහ මූන් අතර ඓතිහාසික පළමු හමුව. 2018 අප්‍රේල් 27 (AP)

කිම් – ට්‍රම්ප් දෙවන හමුව අසාර්ථක වූ පසු මූන් ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ එම කතාබහ සාර්ථක කරගැනීමට උතුරු කොරියාව සහ ඇමරිකාව හා එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව යි.

Cover Image: කිම් ජොංග්-උන් වාර්තාකරුවන්ට පිළිතුරු දෙයි (The New York Times)

(Channel News Asia, Reuters, Straits Times, Bloomberg ඇසුරින්)

Related Articles