Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කියෝතෝ ඇනිමේෂන් හි චිත්‍රාගාරයක් ගිනි ගනී

පසුගිය ජූලි 18 වන දින ජපානයේ කියෝතෝ හි පිහිටි සජීවීකරණ චිත්‍රාගාරයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 34 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. 18 වන බ්‍රහස්පතින්දා උදෑසන 10.30ට පමණ යම් පුද්ගලයෙකු කිසියම් රසායනික ද්‍රව්‍යයක් (පෙට්‍රල් වැනි) ගොඩනැගිල්ලට විසිකර එම රසායන ද්‍රව්‍ය වෙත ගිනි තැබූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් පවසා තිබෙනවා. මේ අවස්ථාව වන විට තෙමහල් ගොඩනැගිල්ල තුළ 70කට වඩා වැඩි පිරිසක් රැඳී සිටි බව සඳහන්. ගින්නට නිශ්චිතම හේතුවක් මේ වන තුරු අනාවරණය කරගෙන නොමැති අතර, සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා ද මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

මියගිය සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වූ අතර සෝදිසි මෙහෙයුම් අතරතුරදී ද මළසිරුරු හමු වූ බව ද කියෝතෝ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා.

කියෝතෝ ඇනිමේෂන් 

ගින්න පැතිරී යාම (Malay Mail)

1981 වසරේ දී ආරම්භ කරන ලද කියෝතෝ ඇනිමේෂන් ආයතනය ජපානයේ මෙන්ම ලෝකයේම ප්‍රසිද්ධියට පත්වෙන්නේ එම ආයතනය විසින් නිර්මාණය කරන ලද ටෙලිනාට්‍ය චිත්‍රපට හා පරිගණක ක්‍රීඩා හේතුවෙනුයි. 

පසුගිය දා ගින්න ඇති වෙන්නේ එම ආයතනයේ පළමු චිත්‍රාගාරයේ යි. මෙම ගින්න හේතුවෙන් තෙමහල් චිත්‍රාගාරය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, පරිගණක හා අනෙකුත් උපකරණ සියල්ලම ද විනාශ වී තිබෙනවා. එය 2001 වසරේ දී ජපානයේ තෝකියෝ නගරයේ Myojo 56 ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නට පසුව ජපානය තුළ ඇති වූ විශාලතම ගොඩනැගිලි ගින්න ලෙස හැඳින්විය හැකියි. 2001 වසරේ එම ගින්නේ දී මියගිය ප්‍රමාණය 44ක් වන අතර තුවාල ලැබූ පිරිස පස්දෙනෙක් පමණ වන බව සඳහන්.

ගින්න නිර්මාණය වීම 

ගලවා ගැනීමේ මෙහෙයුම් (TVNZ)

18 වන දා උදෑසන 10.30 ට පමණ පිපිරුමක් සමග මෙම ගොඩනැගිල්ල තුළ ගින්නක් හටගන්නවා. ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයකට පෙට්‍රල්වලට සමාන දියරයක් වත්කර යම්කිසි පුද්ගලයෙකු විසින් ඒවාට ගිනිතැබූ බවත්, ඒ හේතුවෙන් ආරම්භයේ දී පුපුරායාමක් සමග ගින්න ඇති වූ බවත් සාක්ෂිකරුවෙකු විසින් පොලීසියට පවසා තිබෙනවා.

ගින්න ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව දෙසට පැතිර ඒමේ දී ගින්නෙන් බේරීම සඳහා සේවකයන් බොහෝ ප්‍රමාණයක් ඉහළම තට්ටුව වෙත දිවගොස් තිබෙනවා. නමුත් ගින්න අවසානාවන්ත ලෙස මුළු ගොඩනැගිල්ලම ආක්‍රමණය කිරීම හේතුවෙන් අවසානයේ දී ඉහළම මහලෙන් මළසිරුරු 19ක් පමණ සොයාගෙන තිබෙනවා.

පොලීසියේ හා ගිනි නිවන හමුදා ඒකක විසින් අධික පරිශ්‍රමයක් දරා දහවල් 3.20 වන විට ගින්න නිවා දැමීමට කටයුතු කරනවා. ඒ වන විටත් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්. මෙතරම් ජීවිත ප්‍රමාණයක් නැති වීමට හා දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වීමට ප්‍රධානතම හේතුව, සුදුසු ආරක්ෂක පුර්වෝපාය සැලසුමක් මෙම ආයතනය සතුව නොමැතිවීම බව පොලීසිය පවසනවා.

ගින්නට හේතුව 

සම්පූර්ණයෙන්ම විනාශ වූ ගොඩනැගිල්ල (The Canberra Times)

ගින්නට හේතුව සම්පූර්ණ වශයෙන් අනාවරණය නොවී ඇති අතර පෙර සඳහන් කළ පරිදි පුද්ගලයෙක් යම් රසායන ද්‍රව්‍යයක් ගොඩනැගිල්ල තුළට දමා ගිනි තැබූ බව යි මෙතෙක් කළ පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙන්නේ. සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති නමුත්, ඔහු ද පිළිස්සුම් තුවාල ලබා ඇති බැවින් මේ වන විටත් රෝහල්ගතව යි පසුවෙන්නේ.

එම පුද්ගලයාට මානසික ආබාධ ඇති බවත්, ඔහු මීට ප්‍රථමව ද විවිධ අපරාධවලට සම්බන්ධ වූවෙකු බව ද හෙළි වී තිබෙනවා. ඔහු මෙම ආයතනය සමග කලක පටන් යම්කිසි පෞද්ගලික වෛරයකින් පසු වූ බව ද තවදුරටත් හෙළි වී තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වෙන බවත්, විපතට පත්වූවන් වෙනුවෙන් රජයෙන් සැලසිය හැකි උපරිම පහසුකම් සලසන බව ජපන් අගමැතිවරයා වන ෂින්ෂෝ අබේ ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ අවම රටක් ලෙස සැලකෙන ජපානය, මෙවැනි හදිසි අපරාධයකින් දැඩිව කම්පාවට පත්වෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මියගිය අය සිහිකිරීම (Malay Mail)

මෙවැනි අඳුරු අවස්ථාවක එළියක් වීමට තමන් සමග අත්වැල් බැඳගත් සියලු පාර්ශව සඳහා තම හදපිරි ස්තූතිය  පිරිනමන බව කියෝතෝ ඇනිමේෂන් ආයතනයේ ප්‍රධානියා සඳහන් කර තිබෙනවා.

කවරයේ පින්තූරය- Axios

මූලාශ්‍රයයන්- 

aljazeera.com

reuters.com

dw.com

Related Articles