මහ සයුරේ අණසක පැතිරූ මෙගලොඩෝන් දැවැන්තයෝ

වසර මිලියන 20 කට පමණ පෙර මහ සයුරේ දැවැන්ත විලෝපිකයකු සිටි බවට සාක්ෂි පෘථිවියේ ස්ථාන කිහිපයකින් ම හමු ව තිබිණි. මෙම දැවැන්තයන්  වසර මිලියන 13 ක් පුරාවට සාගරයේ තම අණසක පතුරුවාගෙන සිටි පිරිසක් විය. වසර මිලියන 3.5 කට පමණ පෙර වඳ වීමට ලක් ව ඇති බව වාර්තා වන මෙම දැවැන්ත විලෝපිකයා මෝර විශේෂයකි.

ලොව මෙතෙක් ජීවත් වුණු දැවැන්ත ම මෝරුන් ලෙස ද ඔවුන් සැලකේ. මෙම ‘මෙගලොඩෝන් මෝරුන්’ පෘථිවියේ විසූ විශාල ම මත්ස්‍ය විශේෂය ද වන බව පර්යේෂක මතය වේ. තල්මසුන් සහ නිල් තල්මසුන් කෙතරම් විශාල වුවත් ඔවුන් ක්ෂීරපායින් වන අතර මත්ස්‍ය ගණයට අයත් නොවේ.                                               

මෙගලොඩෝන් මෝරා
මෙගලොඩෝන් මෝරා – newatlas.com

මෙගලොඩෝන් යනු ග්‍රීක භාශාවෙන් විශාල දත් (Large Tooth) සහිත යන අර්ථයයි.  මෙගලොඩෝන් මෝරුන් දිගින් මීටර් 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් වන බවට තක්සේරු කරයි. ඒ අනුව මෙගලොඩෝන් මෝරුන්ගේ දිග වර්තමානයේ දී හමු වන විශාලත ම ග්‍රේට් වයිට් මෝරා මෙන් තුන් ගුණයක් පමණ වේ.

මෙගලොඩෝන් මෝරුන්ගේ ව්‍යාප්තිය

මෙම මෝරුන්ගේ ව්‍යාප්තිය ගතහොත් මධ්‍යම මයෝසීන යුගයේ දී කැරිබියන් මුහුද, මධ්‍යධරණී මුහුද, බෙංගාල බොක්ක, කැලිෆෝනියා වෙරළාශ්‍රිත මුහුදු කලාපයේ සිට දකුණු ඕස්ට්‍රේලියානු මුහුද දක්වාත්,  උතුරු යුරෝපා වෙරළ කලාපය, දකුණු අමෙරිකානු වෙරළ කලාපය, දකුණු අප්‍රිකානු මුහුදු කලාපය, නවසීලන්ත මුහුදු කලාපය සහ අග්න්නිදිග ආසියානු මුහුද දක්වා විශාල ප්‍රදේශයක පැතිර තිබෙන්නට ඇති බවට මෙගලොඩෝන් මෝරුන්ගේ පොසිල හමු වුණු ස්ථාන අනුව නිගමනය කර ඇත.

ප්ලයෝසීන යුගය වන විට මෙම දැවැන්තයන්ගේ ව්‍යාප්ති මුහුදු ප්‍රදේශ කෙමෙන් හැකිළී, යුගය අවසාන වනවිට සම්පූර්ණයෙන් ම වඳ වී යන්නට ඇති බව සැලකේ.          

මෙගලොඩෝන් මෝරුන්ගේ ව්‍යාප්තිය සිදු වූ අයුරු
මෙගලොඩෝන් මෝරුන්ගේ ව්‍යාප්තිය සිදු ව තිබූ අයුරු – britannica.com

මෙගලොඩෝන් මෝරුන්ගේ පොසිල බොහොමයක් හමු වී  ඇත්තේ නිවර්තන කලාපයන් හි නොගැඹුරු මුහුදු ආශ්‍රිත ව ය. මෙයින් නිරීක්ෂණය වන්නේ මෙම මෝරුන් නොගැඹුරු මුහුදේ ජීවත් වුණු මත්ස්‍ය විශේෂයක් ලෙස යි.

මෙම පොසිල, ඇන්ටාක්ටිකාව හැරුණු කොට අනෙක් සියලු ම මහාද්වීප ආසන්නයෙන් හමු වී ඇත. පේරු රාජ්‍ය ආසන්න මුහුදේ දී මෙගලොඩෝන් මෝරකුගේ දත් සියල්ල ම සහිත හිස් කබලක් සහ කශේරුකාවේ කුඩා කොටසක් සහිත පොසිලයක් හමු ව තිබිණි.   

පේරු මුහුදේ දී හමුවූ මෙගලොඩෝන් පොසිලයෙන් කොටසක්
පේරු මුහුදේ දී හමුවූ මෙගලොඩෝන් පොසිලයෙන් කොටසක් –  reuters.com

මෙගලොඩෝන් මෝරකුගේ දතක් ප්‍රමාණයෙන් අඟල් 5 සිට 7ක් දක්වා වර්ධනය වේ. එක් මෝරකුගේ මුඛයේ දත් 250 ක් පමණ පවතී. මෙම දත් සෑම සතියකට හෝ සති දෙකකට වරක් ම මුඛයෙන් වැටෙන අතර මෙගලොඩෝන් මෝරකුගේ ජීවිත කාලය පුරාවට ම ඒ අයුරින් දත් 40,000 ක් පමණ නැවත නැවත වර්ධනය වේ.

එක් මෝරකුගේ මුඛයේ දත් 250 ක්

මෙගලොඩෝන් මෝරුන්ගේ දත් ඉතා පහසුවෙන් සොයා ගත හැකි වන්නේ මේ නිසා ය. මෙගලොඩෝන් මෝරකුගේ දතක් හැඩයෙන් ග්‍රේට් වයිට් මෝරකුගේ දතකට සමාන ය. මෙම දත්වල රටාවේ පිහිටීමේ සමානතාව අනුව මෙගලොඩෝන් මෝරකුගේ ශරීර සැකැස්ම ද ග්‍රේට් වයිට් මෝරකුගේ හැඩයට සමාන බව පරිකල්පනය කර ඇත.        

මෙගලොඩෝන් මෝරෙකුගේ සහ ග්‍රේට් වයිට් මෝරෙකුගෙ දත්
මෙගලොඩෝන් මෝරකුගේ සහ ග්‍රේට් වයිට් මෝරකුගේ දත් – irishmirror.ie

හොඳින් වැඩුණු මෙගලොඩෝන් පිරිමි මත්ස්‍යයකු දිගින් අඩි 47 ක්  ද බර මෙට්‍රික් ටොන් 30 ක් පමණ ද වේ. හොදින් වැඩුණු ගැහැනු මත්ස්‍යයකු අඩි 60 ක් දක්වා වර්ධනය වන අතර බර මෙට්‍රික් ටොන් 65 ක් පමණ වේ. මෙම මෝරුන්ගේ ගැහැනු මත්ස්‍යයන් සෑම විට ම පිරිමි මත්ස්‍යයාට වඩා දිගින් හා බරින් ප්‍රමාණයෙන් විශාල වේ. 

මෙගලොඩෝන් මෝරකු මුඛය විවෘත කළ විට අපහසුවකින් තොර ව ම ඒ තුළ තනි මිනිසකුට සිටගැනීමට හැකි බව තහවුරු ව ඇත. ආසියානු අලියකු ගිල දැමීමට තරම් දැවැන්ත මුඛයක් ද මෙගලොඩෝන් මෝරකුට පිහිටා ඇත.  

 

දිනකට ආහාර රාත්තල් 1,500 ත් 3,000 ත් අතර ප්‍රමාණයක්

මෙම දැවැන්ත විලෝපිකයන්ට දිනකට ආහාර රාත්තල් 1,500 ත් 3,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මොවුන් ආහාර අවශ්‍යතාව සපුරා ගන්නේ තල්මසුන්, ඩොල්ෆින් මත්ස්‍යයන්, හම්ප්බැක් තල්මසුන්, වෙනත් විශාල මාළුන්, විශාල  ආර්කිලෝන් කැස්බෑවුන් සහ ඇතැම් විට අනෙකුත් මෝර විශේෂ දඩයම් කිරීමෙනි. පොසිල බවට පත්වුණු ඇතැම් තල්මසුන්ගේ අස්ථිවල ඇති විශාල දත් පහරවල් මගින්, මෙගලොඩෝන් මෝරුන් තල්මසුන් දඩයම් කළ බවට සාක්ෂි හමු වී ඇත.

මිනිසෙකු ග්‍රේට් වයිට් මෝරෙකු හා මෙගලොඩෝන් මෝරෙකුගේ ප්‍රමාණයන් සංසන්ධනය කර ඇති අයුරු
මිනිසකු, ග්‍රේට් වයිට් මෝරකු සහ මෙගලොඩෝන් මෝරකුගේ ප්‍රමාණ සංසන්නදය – blog.padi.com

මෙගලොඩෝන් මෝරකු සපා කෑමක දී  රාත්තල් 40,000 ක පමණ බලයක් (Bite Force) යොදවයි. ග්‍රේට් වයිට් මෝරකු සපා කෑමක දී යොදවන්නේ රාත්තල් 4,000 ක බලයකි. මෙය මිනිසකුගේ ගත් විට රාත්තල් 70ක පමණ බලයක් වේ. මෙගලොඩෝන් මෝරකුගේ එක් සපා කෑමකට දැවැන්ත තල්මසකු වුවත් ඉතා පහසුවෙන් අඩපණ කර ගත හැකි ය.

මයෝසීන යුගයේදී මෙගලොඩෝන් මෝරුන්ගේ ව්‍යාප්තිය ශීඝ්‍ර ව පැතිරී ගියත් ප්ලයෝසීන යුගය වන විට මෙගලොඩෝන් ගහණය අඩු වීමක් සිදු ව ඇති බවට අනුමාන කෙරේ. විද්‍යාඥයන් මීට හේතුව ලෙස මුලින් නිගමනය කළේ දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර උෂ්ත්වණයේ සිදු වුණු වෙනස්වීම් සහ වසර මිලියන 3කට පමණ පෙර සිදු වූ මහාද්වීප බෙදී යාම නිසා සාගරවල ඇති වූ වෙනස්කම්, මෙගලොඩෝන් ගහණය පහත යන්නට හේතු වී ඇති බවට ය. 2016 දී සිදු කළ අධ්‍යයනවලින් හෙළි වූයේ මෙගලොඩෝන් ව්‍යාප්තිය උණුසුම් කාලවලදී ඉහළ ගොස්, සීතල කාල වලදී පහත නොගිය බව යි.

මෙක්සිකෝවේ පියුබ්ලා හි පරිණාමීය කෞතුකාගාරයේ මෙගලොඩෝන් මෝර මූර්තියක් – commons.wikimedia.org

 

මෙගලොඩෝන් මෝරුන් වඳ වීමට ලක්වීමට හේතු 

මෙලෙස වඳවීමකට ලක්වීම දේශගුණ විපර්යාස මත පමණක් ම රඳා නො පවතින අතර මෙම අධ්‍යයනයන්ට අනුව ආහාර වෙනුවෙන් තරගකරුවන් වැඩි වීම ද මෙම වඳවීමට බලපෑ හේතුවක් ලෙස පෙරට පැමිණියේ ය. උදාහරණයක් ලෙස ග්‍රේට් වයිට් මෝරුන් සහ Killer Whales (Orca තල්මසුන්) වැනි වෙනත් විලෝපිකයන්ගේ ගහණය වැඩි වීම සහ බැලීන් තල්මසුන් වැනි ප්‍රාථමික ආහාර ප්‍රභව අඩු වී යාමත්, ආහාර සඳහා ඇති වූ තරගකාරීත්වය වැඩිවීමත් නිසා අහාර දාමයේ සිදුවන වෙනස්වීම් ද මෙගලොඩෝන් මෝරුන් වඳ වීමට හේතුවී ඇති බව මේ ඔස්සේ පර්යේෂණ සිදු කළ පිරිස් එළඹුණු නිගමන වෙයි. 

මිනිසෙකු සහ මෙගලොඩෝන් මෝරෙකුගේ මුඛයේ ප්‍රමාණය
මිනිසෙකු සහ මෙගලොඩෝන් මෝරෙකුගේ මුඛයේ ප්‍රමාණය britannica.com

කිහිප දෙනකුගේ මතය වී ඇත්තේ මෙම දැවැන්ත මෝරුන් සැබැවින් ම වඳ වී ගොස් නොමැති බවයි. ඇතැමුන් පවසන්නේ ඉතා ගැඹුරු මුහුදේ තවමත් මෙගලොඩෝන් මෝරුන් ජීවත් වන බවයි. මෙගලොඩෝන් යනු නොගැඹුරු මුහුදේ ජීවත් වන්නට හුරු වූ මෝරුන් විශේෂයක් නිසා ඔවුන්ට ගැඹුරු මුහුදේ ජීවත් වන්නට කිසිදු අවස්ථාවක් නොමැති බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

උණුසුම් සාගර කලාපවල ජීවත් වන්නට හුරු වී සිටි මෙගලොඩෝන් මෝරුන්ට ගැඹුරු මුහුදේ ඇති සීතල ජලය තුළ ජීවත් වීමට නොහැක. මොවුන්ගේ ගොදුරු වන විශාල මත්ස්‍ය්‍යන් පවා බොහොමයක් සිටින්නේ ද නොගැඹුරු මුහුද තුළ ය. එම නිසා මෙම දැවැන්ත මෙගලොඩෝන් මෝරුන්ට මිනිසාගේ අවධානයට ලක් නොවෙමින් ගැඹුරු මුහුදේ හෝ ජීවත් වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව විද්‍යාඥයන් මත පළ කරයි.

කවරයේ පින්තූරය -  පරිගණක ආශ්‍රයෙන් නිම කළ මෙගලොඩෝන් මෝරෙකුගේ ඡායාරූපයක් australiangeographic.com.au

www.nhm.ac.uk

www.britannica.com

www.livescience.com

Related Articles