දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට විරුද්ධව දේශපාලනය අරගලයක් මෙහෙයවූ, එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා නම් විප්ලවීය නායකයා වෙනුවෙන් කොළඹ නගරයේ ඔහුගේ පිළිරුවක් ඉදිකිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා රජයෙන් මෙම ඉල්ලීම කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය විසින්. 

කළු, සුදු සමේ පැහැය මත මිනිසුන් වර්ග කර, සුදු ජාතිකයන්ට සියලු දේ ලැබෙන, කළු ජාතිකයන් පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළ සමාජයක ඒ  වෙනුවෙන් නොබියව සධාරණත්වය උදෙසා සටන් වැදුණු ලොව පූජිත චරිත කිහිපය ඇතුළට නෙල්සන් මැන්ඩෙලා ද අයත් වෙනවා.

මනුෂ්‍යත්වය නාමයෙන් සටන් කළ එවැනි නායකයන්ව සැමරීම ජාතිය, කුලය ආගම හෝ හමේ පැහැය අනුව තීරණය නොවන බව එවැනි නායකයකුගේ පිළිරුවක් සඳහා ඉඩක් මෙරට තුළ වෙන් කිරීම තුළින් මනාව පැහැදිලි වෙනවා. ඒ අනුව නොබෝ දිනෙකින් නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාවක් කොළඹ නගරයේ දී අපට දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ ආකාරයෙන් ජාත්‍යන්තරය ඔහුව සැමරීමට හේතු වූ කරුණු කාරණා මොනවා ද, ඔහුගේ විස්තර මොනවාද යන්න සොයා බැලීමට යි මේ ලිපිය ලියැවෙන්නේ. 

මැන්ඩෙලාගේ ළමා කාලය 

තරුණ මැන්ඩෙලා (nelsonmandela.org)

1918 ජූලි මස 18 වනදා දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කෙයි පළාතේ උම්ටාටා දිස්ත්‍රික්කයේ පිටිසර ගම්පියසක, තෙම්බු නම් ගෝත්‍රයේ ගම් ප්‍රධානියා වූ ගුඩ්ලා හා නෙසෙක්නි නම් කතට දාව උපත ලැබූ ඔහුගේ මුල් නම වන්නේ රෝලීහාලා දිලිබුන්ගා මැන්ඩෙලා ය. උපතේ දීම තෙම්බු ගෝත්‍රයෙන් ඔහුට උරුම වූ “මඩීබා” යන නාමය පසුකාලීන දකුණු අප්‍රිකානු සුවහසක් කළු ජාතිකයන් ඔහුව ඇමතූ සුරතල් නාමය විය.

කෘෂිකර්මාන්තය ජීවන මාර්ගය කරගත් තෙම්බු ගෝත්‍රිකයන් අඩුම තරමින් අකුරු ලිවීම හෝ කියවීම පිළිබඳව දැනුමක් හෝ නොමැති පිරිසක්. ඉගෙනීමට ඔවුන්ට කිසිදු උවමනාවක් තිබුනේ නෑ.

විශාල ඉඩකඩම් හා ගවපට්ටියකට උරුමකම් කියන මැන්ඩෙලාගේ පියාට සියල්ල අහිමි වන්නේ සුදු ජාතික මහේස්ත්‍රාත්වරයෙකුට අවනත නොවීම හේතුවෙන්. ඉන්පසු කුඩා ඉඩ ප්‍රමාණයක අටවාගත් කාමර දෙකකින් හා තෘණවලින් සෙවිළි කළ කටු මැටි නිවසේ ජීවත් වන්නට කුඩා මැන්ඩෙලා ඇතුළු පවුලේ සාමාජිකයන්ට සිදුවෙනවා. කුඩා ගොවිපළක් තුළ මවට හා පියාට උදව් කරමින් හරිහැටි කෑමක් හෝ ඇදුමක් නොමැතිව මැන්ඩෙලා සිය ළමා විය ගතකරනවා. ක්‍රිස්තියානි පල්ලියක පූජකවරයෙකු මැන්ඩෙලා පාසල් යැවීමට කළ යෝජනාවකට වාසනාවකට මෙන් ඔහුගේ දෙමාපියන් කැමති වෙනවා. එකල දකුණු අප්‍රිකාවේ මිෂනාරි පාසල්වල සම්ප්‍රදාය අනුව ඔහුගේ නමට ඉදිරියෙන් නෙල්සන් නැමති ඉංග්‍රීසි නම යොදන්නේ පාසලේ ගුරුතුමිය විසින්.

අධ්‍යාපනය හා අරගලය

නීතිවේදියෙක් ලෙස (sowetotour.)

සිය ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව ඔහු ෆෝට් හෙය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා. අනතුරුව විත්වොටර්ස්රෑන්ඩ් සරසවියෙන් නීති උපාධිය ලබා ගැනීමට සමත් වෙනවා.

මෙම විශ්වවිද්‍යාලයන් දෙකේ දීම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රටේ නිදහස ලබා ගැනීමටත්,  වර්ණභේදවාදයට එරෙහිවත් කළ අරගල හේතුවෙන් කිහිපවරක්ම ඔහුගේ ශිෂ්‍යභාවය අත්හිටුවනවා.

පසුව ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ යොවුන් පෙරමුණ පිහිටුවා ගැනීමට මූලිකත්වය ගන්නා අතර එම පෙරමුණේ සාමකාමී උද්ඝෝෂණ, 1960 පමණ වන විට ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට පෙරළෙනවා. වර්ණ භේදවාදයට එරෙහිව ආයුධ අතට ගැනීම හේතුවෙන්. මෙහිදී සන්නද්ධ අංශයේ නායක වන මැන්ඩෙලා ඇතුළු පිරිස වරෙක අත්අඩංගුවට පත් වෙනවා. හිරෙන් නිදහස් වී දිගින් දිගටම අරගලයේ යෙදීම හේතුවෙන් 1962 වසරේ රජය විසින් අරගලකරුවන් විශාල පිරිසක් ඝාතනය කර ජාතික කොන්ග්‍රසය තහනම් කර, මැන්ඩෙලාව රාජද්‍රෝහියෙක් ලෙස සිරගෙට නියම කරනවා. නමුත් සිරෙන් පැන යන ඔහුව නැවතත් 1964 ජුනි 12 අත්අඩංගුවට ගන්නා පාලකයන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පමුණවනවා.

හොද මොළයක් හා හොද හදවතක් එක් වූවිට එය බලවත්. ඊට පෑනක් හා හොඳ දිවක් එක් වූවොත් ඔහු වඩා බලවත් වනු ඇත.

ඒ ඔහු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කළ අවස්ථාවේ පැවසීමට දෙයක් ඇත්දැ යි විනිසුරුවරයා ඇසූ පැනයට ලබා දුන් පිළිතුර යි.

සිරගතව

මැන්ඩෙලාගේ සිර කුටිය (insider)

වසර 27ක් පුරාවට වැඩි කාලයක් ඔහුව සිර කර තබා තිබුනේ දකුණු අප්‍රිකාවේ රොබෙන් දූපතේ ඇති සිර කදවුරක. එකල එය කළු ජාතිකයන්ට අමානුෂික වද-හිංසා පමුණවන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධව තිබුණා.

ඔහුව රදවා තිබුනේ අඩි හතක් දිග අඩි හයක් පළල කුඩා කුටියක. එමෙන්ම පිදුරු මෙට්ටයක්, සහ වැසිකිලියක් වෙනුවට කුඩා බාල්දියක් මෙම කුටියේ තිබුණා. නිලධාරීන් විසින් මළමුත්‍රා පිරී ගිය බාල්දිය ඉවත් කලේ දින කිහිපයකට වරක් බව මැන්ඩෙලා පසුව ප්‍රකාශ කරනවා.

මැන්ඩෙලාට ඔහුගේ මවගේ මරණයට හෝ වැඩිමහල් පුතුගේ මරණයට සහභාගී වීමට අවසර නොලැබුණු අතර වසරකට වරක් පවුලේ හිතවතෙකු හමුවීමට පමණක් අවසර තිබූ අතර ලිපියක් ලිවිය හැකි වූයේත් මාස 6කට වරක්. එයත් කදවුරේ නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ යි. මැන්ඩෙලාව මුළු දහවල පුරා හුණුගල් කොරියක වැඩට යොදවා තිබුනා. ඔහුගේ මරණයට මුල් වූ පෙනහළු ආශ්‍රිත රෝගයට හේතුව අධික කාලයක් හුණුගල් කොරියක වැඩ කිරීම බව මතයක් පවතිනවා.

1986 ප්‍රථම වරට,  එරට ප‍්‍රධානතම පුවත්පතක් වූ රැන්ඩි ඩේලි මේල් පුවත්පතේ බෙන්ජමින් පෝග‍්‍රන්ඩ් නම් වාර්තාකරුට මැන්ඩෙලා හමුවීමට අවස්ථාව ලැබෙන්නේ, කිසිදු දේශපාලනිකමය සංවාදයක් වාර්තා නොකරන ලෙස සුදු අධිරාජ්‍යවාදීන් සමග ඇති කරගත් ලිඛිත ගිවිසුමක් මත යි.

මෑතක දී ඔහුට බන්ධනාගාර පරිශ‍්‍රය වටා මෝටර් රථයකින් ගමන් කිරීමට හා තණකොළ මත ඇවිද යන්නට අවස්ථාවක් ලැබිලා. 1964 දී රොබෙන් දූපතට ගිය දා සිට ඒ දක්වා ඔහු තණකොළ මත ඇවිද ගොස් තිබුනේ නෑ. ඔහු කියවිය යුතු පතපොත මොනවාදැ යි තීරණය කරන ලද්දේ බන්ධනාගාර බලධාරීන්. මගේ කැල්කියුලේටරයක් සහිත ඔරලෝසුව දැක කුඩා ළමයෙකු මෙන් මැන්ඩෙලා සතුටු වුණා. මම හිතන්නේ ඔහු නවීන තාක්ෂණික ලෝකයෙන් හුදෙකලා වී ඉන්නට ඇති”යි බෙන්ජමින් සදහන් කරනවා.

ජයග්‍රාහි අරගලය 

දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා ලෙස (watch)

ඉන්පසු ටිකෙන් ටික මැන්ඩෙලා වෙනුවෙන් එහෙම මෙහෙන් හඬක් නැගෙන්නට වුණා. මැන්ඩෙලාව නිදහස් කරන ලෙස ලොව නොයෙකුත් රටවල් කියා සිටින්නට වුණා. එක්සත් ජාතින් වැනි සංවිධානයන් විසින් වර්ණභේදවාදයට විරුද්ධව සම්බාධක පවා මේ වන විට පනවන්නට වුණා. සමාජවාදී මෙන්ම ධනවාදී රටවල් සියල්ල පාහේ මැන්ඩෙලාව පිළිගැනීමට සූදානම් වුණා.

ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ කොන්දේසි මත 1990 පෙබරවාරි මාසයේ දී  මුළු රටම සතුටට පත් කරමින් අප්‍රිකානු සිංහයාට නිදහස හිමි වූ අතර, 1994 අප්‍රේල් මාසයේ දී දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම වර්ගවාදී නොවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය පවත්වනු ලැබුවා. අප‍්‍රිකානු කොංග‍්‍රසය රටේ ඡන්දායකයන්ගෙන් 62.6ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබමින් මැන්ඩෙලා ජනාධිපතිවරයා බවට පත්වන්නේ මෙහිදී යි.

සුදු ජාතිකයන්ගෙන් පළිගැනීම වෙනුවට ඔවුන් හා මිත්‍රශීලි ප්‍රතිපත්ති අනුගමනය කරන අයුරු දුටු මුළු ලොවම ඔහු වෙනුවෙන් අත්පොලසන් නගනවා.

එක්සත් දකුණු අප්‍රිකාවක් බිහි කිරීමට මැන්ඩෙලාගේ තිබූ උත්සාහය ඔහු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන විට මෙන්ම ජනාධිපති වීමෙන් පසුව ද දකින්නට පුළුවන්.

1995 ලෝක රග්බි ශූරතාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විට එක් කළු ජාතික ක්‍රීඩකයෙක් පමණක් සිටි දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමට ප්‍රීතිඝෝෂා කිරීමට කළු ජාතිකයෝ කිසිදු උනන්දුවක් දැක්වූයේ නෑ. නමුත් මැන්ඩෙලා එක්සත් දකුණු අප්‍රිකාවක් පිළිබඳ තම මතය ක්‍රියාවෙන් ඔප්පු කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම් ජර්සියකින් සැරසී තරග නැරැඹීමට එනවා. ඒ සමග මැන්ඩෙලාට රට තුළ තිබූ පිළිගැනීම හේතුවෙන් මුළු රටම දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ප්‍රීතිඝෝෂා කරන පිරිසක් බවට පත්වනවා.

1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව තවත් ගෞරව සම්මාන 250කට වැඩි ප්‍රමාණයක් මැන්ඩෙලාට හිමිව තිබෙනවා.

අවසන් ගෞරව (ctvnews)

1999දී අඩු ගණනේ දෙවැනි ධූර කාලයක්වත් බලයේ නොරැඳී ජනාධිපතිධූරයෙන් හා ක්‍රියාකාරී දේශපාලනයෙන් වෙන්වන්නේ වර්තමාන බල-ලෝභී දේශපාලනයට පාඩමක් උගන්වමින්. පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පිඩා විඳි මේ අසහාය නායකයා 2013 දෙසැම්බර් පස් වනදා දිවියෙන් සමුගන්නවා. මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන ජූලි 18 වැනිදා “මැන්ඩෙලා දිනය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන්නේ මේ අසහාය පුද්ගලයාට ගෞරවයක් ලෙස යි. 

කවරයේ පින්තූරය - wikimedia

මූලාශ්‍රයයන් 

Salcn.com

History.com