ශ්‍රී ලංකා ජනපතිවරයා ඉවත් කළ හැකි නීතිමය පසුබිම කෙබඳු ද?

 ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන මෙන් බල කරන විරෝධතා තවමත් රට පුරා  ක්‍රියාත්මක වෙනවා. එසේ  ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් පවතින කාලවකවානුවක ඔහු එම ධූරයෙන් ඉවත් කළ හැකි නීතිමය පසුබිම සහ ඊට පසු ව ඇති වන තත්ත්වය පිළිබඳයි මේ ලිපිය. 

ජනාධිපති තනතුර පුරප්පාඩු විය හැකි ආකාර

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ ජනරජයේ ජනාධිපතිවරයා පිළිබඳ ව දක්වා තිබෙනවා. ඒ යටතේ ඇති  38 වන වගන්තියේ 1 කොටසේ  ජනාධිපති තනතුර පුරප්පාඩු විය හැකි අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා. ඒවා මෙසේ යි.   

1). ජනාධිපතිවරයා මිය යාම 

2). කතානායකවරයා වෙත සිය අත්සනින් ලිපියක් යවමින් තනතුරින් ඉල්ලා අස්වීම 

3). ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වීම 

4). ජනාධිපති ලෙස තේරී පත්වුණු පුද්ගලයා සති 2ක් තුළ ජනපති ධූරයේ වැඩ භාර ගැනීම හිතා මතාම පැහැර හැරීම 

5). දෝෂාභියෝග චෝදනාවක් මඟින් තනතුරෙන් පහ කිරීම 

6). ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ විට 

ඉහත අවස්ථාවන් අතුරින් ජනාධිපතිවරයා මිය යාම යන අවස්ථාව යටතේ අප රටේ ජනාධිපති තනතුර පුරප්පාඩු වුණා. ඒ 1993 මැයි දින පෙළපාලියක දී සිදු වුණු බෝම්බ පිපිරීමකින් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මිය ගිය නිසා යි. 

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා – ft.lk

 

ඉහත අවස්ථා අතුරින් දෝෂාභියෝගයක් මඟින් ජනාධිපතිවරයකු බලයෙන් පහ කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ ව කසුකුසුවක් මේ දිනවල සමාජය තුළ පවතින නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කිරීමත් වැදගත්. 

දෝෂාභියෝග චෝදනාවක් ගොනු කළ හැකි අවස්ථා 

ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් ගොනු කිරීම සඳහා සාධාරණ හේතු තිබිය යුතු යි. එසේ ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් ගොනු කළ හැකි අවස්ථා පිළිබඳ ව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 38 වන වගන්තියේ (2) (අ) කොටසේ දක්වා තිබෙනවා. එහි දී ජනාධිපතිවරයාට පහත චෝදනාවලින් එකක් හෝ ඊට වැඩි ගණනක් යටතේ දෝෂාභියෝගයක් ගොනු කළ හැකි යි. 

1). මානසික හෝ ශාරීරික ආබාධයකින් පෙලීම 

2). චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම 

3). රාජ්‍යද්‍රෝහී වීම 

4). අල්ලස් ගැනීම 

5). ස්වකීය ධූරයේ බලතල අයුතු ලෙස භාවිත කිරීම 

6). යම් නීතියක් යටතේ චරිත දූෂණය සම්බන්ධ වරදක් ඔප්පු වීම 

දෝෂාභියෝගයක් හරහා ජනාධිපතිවරයා නෙරපන ආකාරය 

ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගය ඉදිරිපත් කළ මොහොතේ සිට ඔහු එම තනතුරින් නෙරපීම දක්වා වන ක්‍රියාවලිය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා. ඒ පියවර මෙසේ යි. 

පියවර 1

ඉහත සඳහන් කළ චෝදනාවලින් එකක්වත් හෝ කිහිපයක් ඇතුළත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාට විරුද්ධ ව පෙත්සමක් සකස් කළ යුතු යි. එම පෙත්සම තුළ ජනාධිපතිට ඇති චෝදනාවේ හෝ චෝදනාවල සම්පූර්ණ විස්තර ඇතුළත් කර තිබිය යුතු යි. එසේ ම ඒ පිළිබඳ පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිය යුතු යි. 

පියවර 2

එවැනි චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ 2/3ක විශේෂ බහුතරයකින් සම්මත කිරීමෙන් පසුව කතානායකවරයා වෙත භාර දිය යුතු යි. ඇතැම් විට පාර්ලිමේන්තුවේ 1/2ක් සම්මත කළ චෝදනා පත්‍රයක් වුණත් කතානායකවරයා වෙත ඉදිරිපත් කළ හැකි යි. එවිට කතානායකවරයාට එම චෝදනා පත්‍රය භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකි යි. නමුත් 2/3ක විශේෂ බහුතරයකින් සම්මත කොට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ විට කතානායකවරයාට එය ප්‍රතිකේෂ්ප කිරීමට බලයක් නැහැ. එවිට ඔහු එය පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු යි. ඒ එම චෝදනා පත්‍රය පිළිබඳ ව පාර්ලිමේන්තුව තුළ නැවත සාකච්ඡා කිරීමට සහ එය සම්මත කිරීම සඳහා යි. 

පියවර 3

ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝග චෝදනා පත්‍රයක් කතානායකවරයාට ලැබුණු සැණින් ඔහු ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතු යි. එවිට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අහිමි වෙනවා. 

පියවර 4

කතානායකවරයා එම චෝදනා පත්‍රය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යි. ඉන් අනතුරු ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය සාකච්ඡා කොට නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 2/3ක විශේෂ බහුතරයකින් එය නැවත සම්මත කළ යුතු යි. 

පියවර 5

එසේ සම්මත කිරීමෙන් අනතුරු ව කතානායකවරයා එම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු යි. ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පරිදි පරීක්ෂණයක් පවත්වා ස්වකීය තීරණය සහ ඊට අදාළ හේතු ද දැක්වෙන වාර්තාවක් පාර්ලිමේන්තුවට සැපයිය යුතු යි. එම පරීක්ෂණයේ දී ජනාධිපතිවරයාට පෞද්ගලිකව හෝ නීතිඥයෙක් මාර්ගයෙන් පෙනී සිටි හේතු දැක්විය හැකි යි. 

පියවර 6

ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වැරදිකරුවෙක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බව පාර්ලිමේන්තුවට වාර්තාවකින් ඉදිරිපත් කිරීමෙන් පසුව එම ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළත් ව 2/3ක විශේෂ බහුතරයකින් සම්මත කළහොත් ජනාධිපතිවරයා ධූරයෙන් නෙරපා දැමිය හැකි යි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව – punchat.in

 

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගයකින් රටේ ජනාධිපතිවරයා නෙරපා දැමීම එතරම් ලෙහෙසි පහසු නැහැ. ඒ එම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකක් නිසා යි. අප රටේ ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණු අවස්ථාවක් වාර්තා වන්නේ 1991 වසරේ දී යි. එදා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක සහ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහි ව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා. 

ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කළ දෝෂාභියෝගය

මන්ත්‍රීවරුන් 127 දෙනකුගේ අත්සනින් දෝෂාභියෝග චෝදනා පත්‍රයක් කතානායක එම්.එක් මොහොමඩ් වෙත 1991 අගෝස්තු 9 වැනිදා ඉදිරිපත් කළා. ඒ වන විට පාර්ලිමේන්තුවේ දිවුරුම් දී සිටියේ කතානායකවරයා ද සමඟින් මන්ත්‍රීවරුන් 212ක් පමණ යි. ඊරෝස් කණ්ඩායමේ උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කළ මන්ත්‍රීවරුන් 13ක් එතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී තිබුණේ නැහැ.

එනිසා දෝෂාභියෝග යෝජනාව සම්මතයට මන්ත්‍රීවරුන් 2/3කට වඩා වැඩිවීමට මන්ත්‍රීවරුන් 141 දෙනකු එහි අත්සන් කළ යුතු ව තිබුණා. නමුත් එම චෝදනා පත්‍රය පිළිබඳ කතානායකවරයා සෑහීමකට පත් වුණු නිසා ඔහු එම දෝෂාභියෝගය භාර ගත්තා.

එවකට කතානායක ධූරය දැරූ එම්.එච් මොහොමඩ් – news.lk

 

එම දෝෂාභියෝගයේ දී ප්‍රේමදාස ජනාධිපතිවරයාට හිතාමතා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, අල්ලස් ගැනීම, රාජද්‍රෝහී වීම, ස්වකීය ධූරයේ බලතල අයථා ලෙස භාවිත කිරීම, චරිත දූෂණය කිරීමේ වරද යන චෝදනා එල්ල කර තිබුණා. එම වාර්තාවේ අදාළ චෝදනාවල සම්පූර්ණ විස්තර ඇතුළත් කර තිබුණා. ඒ අයුරින් ඉදිරිපත් වුණු දෝෂාභියෝගයත් සමඟින් රට තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේ ජනාධිපතිවරයා දෝෂාභියෝගය බල රහිත කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වුණා. එහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාව පිළිබඳ ඔහු මුලින් ම සොයා බැලුවා. ව්‍යවස්ථාවට අනුව එය කිරීමට නොහැකි තත්ත්වයක් පැවති නිසා පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීමට ජනාධිපතිවරයා තීරණය කළා.

දෝෂාභියෝගය ගෙන ඒමට මුල් වුණු ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි  – life.lk

 

එලෙස පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීම දෝෂාභියෝගයේ කටයුතු ඉදිරියට කරගෙන යාම නැවැත්වීමට හැකි වුණා. ඒ අතරතුර ජනාධිපතිවරයා දෝෂාභියෝගයට අත්සන් කළ මන්ත්‍රීවරුන් තමාගේ පැත්තට නම්මවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. එපමණක් නොව එවකට රජයේ ප්‍රබල ඇමතිවරයකු වුණු සෞම්‍යමූර්ති තොණ්ඩමන් කතානායකවරයා සමඟ පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කළා. 

හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්ඩමන් – dailymirror.lk

 

එම සාකච්ඡාවලින් පසුව 1991 ඔක්තෝබර් 6 වැනි දින ගුවන් විදුලිය හරහා මඟින් රජය ප්‍රචාරය කළේ දෝෂාභියෝගයට අදාළ අත්සන් ගැන කතානායකවරයා සෑහීමකට පත් නොවන නිසා දෝෂාභියෝගය තවදුරටත් වලංගු නොවන බව යි. ඉන් අනතුරු ව ඒ පිළිබඳ ව අදහස් දැක්වූ කතානායකවරයා පවසා සිටියේ තමන් දෝෂාභියෝගය පිළිබඳ ව සොයා බැලූ බවත් එහි ප්‍රමාණවත් තරම් අත්සන් නොමැති නිසා එය පිළිගත නොහැකි බවත් ය.

එනිසා එම දෝෂාභියෝගය ඉදිරියට ගෙන යාම අවශ්‍ය නොවන බව කතානායකවරයා පැවසූ නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් කළ එක ම දෝෂාභියෝගය පරාජය වුණා. 

වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම 

ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුණු සැණින් ම වැඩ බලන ජනාධිපතිවරයකු පත් කර ගැනීම සිදු කළ යුතු යි. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (ඇ) වගන්තියට අනුව වැඩ බලන ජනාධිපති තනතුර අගමැතිවරයාට හිමි වෙනවා.ඒ මොහොතේ ඔහු, අගවිනිසුරුවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරුවරයකු ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව වැඩ භාර ගත යුතු යි.

අගමැතිවරයා නොමැති නම් කතානායකවරයා ද,  ඔහුට ද එම තනතුර දැරීමට නොහැකි නම් අගවිනිසුරුවරයාට ද වැඩ බලන ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. 1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වුණු අවස්ථාවේ අගමැති තනතුර දරමින් සිටි ඩී.බී විජේතුංගට වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට සිදු වුණා. 

කලක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය දැරූ ඩී.බී විජේතුංග- dailynews.lk

 

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම

වැඩ බලන ජනාධිපතිවරයා පත්කර ගැනීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු යි. එතැන් සිට මාසයක කාලයක් තුළ අනුප්‍රාප්තික ජනාධිපති කෙනකු තෝරා ගත යුතු යි. ජනාධිපති ධූරය හිස් වන විට පාර්ලිමේන්තුව විසුරුවා තිබුණොත් නව පාර්ලිමේන්තුවක් පත් කරගෙන ඒ හරහා මාසයක් ඇතුළත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගත යුතු යි. එහි දී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ රහස් ඡන්දයක් පැවැත්විය යුතු වනවා.

එම ඡන්දයෙන් ඒකාන්තර බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පුද්ගලයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්වෙනවා. ඉන් පසු ව ඔහුට ජනාධිපති ධූරයේ ඉතිරි නිල කාලය තුළ බලයේ සිටීමට අවස්ථාව ලැබෙනවා. 1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වුණු අවස්ථාවේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඩී.බී විජේතුංග තේරී පත් වුණා. 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගැබ - policy.lk

මූලාශ්‍ර:

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

තිස් වසරක නොනිමි සටහන් - ලාල් සමරසිංහ

දෝෂාභියෝගයේ ඇතුළු පැත්ත- වරුණ කරුණාතිලක

Related Articles