ලොව වටා කිතුණුවන් සමරන “චතාරික සමය”

ලංකාවත් ඇතුළුව ලෝ පුරා කිතුණුවන් මේ දිනවල චතාරික සමය ගෙවමින් සිටිනවා. එහි දී ජේසු තුමන්ගේ දුක්විඳීම, මරණය, හා මරණයෙන් උත්ථානය සැමරෙනවා.

චතාරික සාමය, එහෙමත් නැත්නම් කොරොස්ම කාලය, එක්ක නිතර භාවිතා වන වචනයක් ලෙස “කල්වාරි ගමන” හඳුන්වන්න පුළුවන්. ශුභාරංචි වල සඳහන් වන ආකාරයට ජෙරුසෙලම ආසන්නයේ ගොල්ගොතා, නැත්නම් කල්වාරි, නම් කඳු මුදුනක ජේසුතුමන්ව කුරුසපත් කරනවා. මේ, චතාරික සමය සමඟ ගොඩනැගෙන කතා කිහිපයක්.

කල්වාරි ගමන

ජේසුතුමන් කුරුසිපත් කර තුන් දිනකින් උත්ථානය වූ බව කිතුණුවන් විශ්වාස කරනවා. එතෙක් වන දුක්විඳීමේ ගමන ආරම්භ වන්නේ නායක පූජකයන්ගේ බලපෑමෙන් පිලාත් විසින් මරණයට උන්වහන්සේව තීන්දු කිරීමත් සමඟ යි. එම තීන්දුවෙන් පසුව ජේසුතුමන් කුරුසයත් කර තබාගෙන කල්වාරිය වෙත ගිය ගමන කිතුණුවන් විසින් කල්වාරි ගමන ලෙස හඳුන්වනවා. මෙම ගමන නැවතුම් ස්ථාන 14කින් පමණ සමන්විත යි. එම ගමන අතරතුරේ විශාල කුරුසියේ බර නිසා උන්වහන්සේ තෙවරක් ඇදවැටී තිබෙන බව බයිබලයේ සඳහන්. එම ගමන අතරතුරේ උන්වහන්සේ මරණයට පත්වෙතැයි බියෙන් බරබ්‍බාස් නම් අයෙකු කුරුසිය ඔසවාගෙන යාමට ජේසුතුමන්ට සහාය වෙනවා. එසේම වෙරෝනිකා නම් ස්ත්‍රියක් ඇගේ රෙදි කඩකින් ජේසුතුමන්ගේ මුහුණ පිස දැමූ පසු එහි උන්වහන්සේගේ මුහුණේ ඡායාව සටහන් වූ බවත් බයිබලයේ සඳහන්. කල්වාරි ගමනේ නැවතුම් ස්ථාන ලෙස සිහිපත් කෙරෙන්නේ මේවා යි.

බැතිමතුන් මෙම සියල්ල සිදු වූ දිනය මහා සිකුරාදා ලෙස සලකන අතර, කල්වාරි ගමනට පෙර ජේසුතුමන් නිරාහාරව මල් උයනේ යාඥා කරමින් ගත කළ දින 40ක කාලය චතාරික සමය ලෙස සලකනවා. එය ආරම්භ වන්නේ අළු බදාදා දිනයෙන්.

romeacrosseurope.com

ගොල්ගොතා කන්ද

ගොල්ගොතා කන්ද වගේම ජේසුතුමන්ගේ අවසාන කාලය හා බැඳි බොහොමයක් ස්ථාන ජෙරුසලම අවට පිහිටා තිබෙන බව විශ්වාස කෙරෙනවා. බයිබලයේ “ගොල්ගොතා” යනුවෙනුත්, ඇතැම් ග්‍රන්ථ වල “කල්වාරි” යනුවෙනුත් සඳහන් වන්නේ එකම ස්ථානය යි.

කල්වාරි යනු ලතින් වචනයක් වුණත්, ගොල්ගොතා යනු ඇරමයික් භාෂාවෙන් කපාල යන අරුත දෙන වචනයක්. එම නිසා සමහරක් සිංහල අනුවාදන වල මෙම ස්ථානය “කපාල කන්ද” යනුවෙන් ද හඳුන්වනවා. බයිබලයේ ලූක් 23:33 හී සඳහන් වන ආකාරයට “ඔවුන් කල්වාරිය යැයි හඳුන්වන ස්ථානයකට පැමිණ, ජේසුතුමාව මැදිකොට, අනෙක් සොරුන් දෙදෙනාව කෙනෙක් වම පැත්තෙන් හා තවකෙක් දකුණු පැත්තෙන්” කුරුසපත් කර තිබෙනවා. එමෙන්ම ජොහාන් එය සනාථ කරනු ලබනවා. මේ නිසා ජෙරුසලමේ පිහිටා ඇති මෙම කඳු වැටිය ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වෙනවා.

ගොල්ගොතාව – (panoramio.com)

ශුද්ධ වූ කුරුසය

කල්වාරි ගමන අවසානයේ ජේසුතුමාව කුරුසයේ ඇණ ගසා මරණයට පත් කරනු ලැබුවා. එනිසා කිතුණුවන් ඉතාමත් භක්තියෙන්, කුරුසය තමන්ගේ ආගමික සලකුණක් ලෙස සළකනු ලබනවා. ජේසුතුමා කුරුසය මත උදෑසන 9 සිට සවස 6 දක්වා පැය 6ක කාලයක් ජීවත්ව සිටින්නට ඇතැයි අනුමාන කෙරෙනවා. වාර්තා වලට අනුව මෙම කුරුසය යැයි සැලකෙන්නක් ක්‍රි.ව. 320 සැප්තැම්බර් 14 වෙනිදා සොයාගෙන තිබෙනවා. ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන චාල්ස් රෝල්ට් පවසන ආකාරයට මෙම කුරුසය බරෙන් කිලෝ 74ක් හා මීටර් 4ක පමණ උසකිනුත්, මීටර 2ක පමණ හරස් කොටයකිනුත් යුතු වී තිබුණා. අද වන විට එම කුරුසයේ යැයි සැලකෙන කොටස් ලොව පුරා දේවස්ථාන වල තැම්පත් කර තිබෙනවා.

ශුද්ධවූ කුරුසයේ කොටසක් එසේ තැම්පත් කර ඇති අයුරු – (.wordpress.com)

ශ්‍රී සළුව

ජේසුස් වහන්සේ කුරුසයේ මරණයට පත් වූ පසුව එතුමාගේ දේහය ලිනන් රෙද්දක ඔතා, ගල්ලෙනක තැම්පත් කරනු ලැබුවා. දේහය ඔතන ලද මළ වැස්ම, එසේ නැතිනම් සළුව, ජේසුතුමන්ගේ ශ්‍රී සළුව ලෙස සැලකෙනවා. එහි පිටපතක් නුවර ජාතික දෙව් සත්හලෙත් තබා තිබෙනවා. එතෙක් මෙතෙක් වැඩි වශයෙන්ම විවාදයට පාත්‍ර වූ සළුව මෙය ලෙසයි සැලකෙන්නේ.

ශ්‍රී සළුව ප්‍රමාණයෙන් 14’ 5” x 3’ 7” ප්‍රමාණයේ ලිනන් සළුවක්. අදටත් මෙම සළුව පිළිබඳව විවිධාකාර පර්යේෂණයන් පැවැත්වෙනවා. මෙම සළුව වර්ෂ 1200 දී පමණ ගින්නකට ලක්ව හානි වුණා. 2013 මේ පිළිබඳව කරන ලද පර්යේෂණයකින් එය ක්‍රි.පූ. 300ත් ක්‍රි.ව. 400 ත් අතර කාලයේ නිපදවූවක් බව සොයා ගැනුනා. මේ රෙද්ද මත ජේසුතුමන්ගේ සිරුරේ ඡායාව සටහන්ව ඇති බව කියවෙනවා.

මෙම ඡායාව සත්‍යයක් නොව, අඳින ලද එකක් වූ බවට මතයක් තිබූ නමුත්, පසුව එහි ඇති රුධිරය ඉතා පැරණි බවට තහවුරු කෙරුණා. තවත් කරුණක් වුණේ මෙම සළුවේ තැවරී තිබූ පරාග ජෙරුසලම අවටින් පමණක් සොයාගත හැකි මල්වල ඒවා බවට අනාවරණය වීම යි. මේ හේතූන් නිසා එය බොහෝදුරට බයිබලයේ සඳහන් සළුව වන්නට හැකි බවට අනුමාන කෙරෙනවා.

ශ්‍රී සළුව – (www.thesun.co.uk)

ගුහාව

ජේසුතුමන්ගේ සිරුර මරණයෙන් අනතුරුව ගුහාවක තැම්පත් කෙරුණු බව ඔබ දන්නවා. දින තුනකට පසු ඔහුගේ අනුගාමිකයින් එහි යන විට ගුහාවේ දොර විවර වී, දේහය අතුරුදන් වී තිබූ බව කියවෙනවා. ජේසුතුමා තමා මරණයෙන් පසුව උත්ථාන වන බවට ගෝලයන්ට පවසා තිබුණ බවයි බයිබලයේ සඳහන් වන්නේ.

ජෙරුසලමේ පිහිටා ඇති, උන්වහන්සේව තැම්පත් කළා යැයි සැළකෙන ගල් ගුහාව මේ වන විට ජනතාවගේ වන්දනාවට පාත්‍ර වෙනවා. මෙම ගුහාව ඇසුරෙන් මේ වන විට සාදා ඇති දෙව් මැදුර මූලික වශයෙන් කොටස් තුනකට අයිති වෙනවා. ඒ ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව, ආමේනියානු ඔර්තඩොක්ස් සභාව, හා රෝමානු කතෝලික සභාවට යි.

එම දෙව් මැදුර (timesofisrael.com)

මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ මේ දිනවල කිතුණුවන් ගත කරමින් සිටින චතාරික සමය හේතුවෙනුයි. චතාරික සමයට අදාලව කිතුවන් විශේෂ වත්පිළිවෙත් වලත් නිරත වෙනවා. නිරහාර ශිලය රැකීම, දානමය කටයුතු වලට සභාගී වීම ඒවායින් කිහිපයක්. ඔවුන් චතාරික සමයේ අවසානය පාස්කු ඉරිදා දිනයේ මහත් ඉහළින් සමරනු ලබන අතර එමගින් ඔවුන් ජේසුතුමන් මරණය ජය ලබා උත්ථාන වීම සමරනවා.

Cover – denofgeek.com

allaboutjesuschrist.org

golgotha.eu

cnn.com

Related Articles