Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර තුනක් තිස්සේ ISIS ත්‍රස්තයින් වටලා සිටි ඩෙයර් එස්-සෝර් නගරය මුදා ගනී

2017 සැප්තැම්බර් 5 වනදා ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) හෙවත් “ඉස්ලාමීය රාජ්‍යය” (“Islamic State”) ත්‍රස්ත සංවිධානයට එරෙහිව ගෙනයනු ලබන සටනෙහි ඓතිහාසික දිනයක් වුණා.

එදින සිරියාවේ වේලාවෙන් දහවල් 2 ට පමණ, වසර තුනක් තිස්සේ ත්‍රස්ත වටලෑමට ලක්ව සිටි ඩෙයර් එස්-සෝර් (Deir Ez-zor) නගරයෙහි සිටි සිරියානු සේනාංක සමඟ සම්බන්ධ වීමට පිටතින් පැමිණි සිරියානු හමුදා සමත් වුණා. සිරියානු හමුදා මෙසේ ඩෙයර් එස්-සෝර් නගරය වෙත ගොඩබිම් මාර්ගය විවර කරගත්තේ 2014 ජූලි මාසයට පසුවයි.

බටහිර මාධ්‍යවල එතරම්ම කතාබහට ලක් නොවූවද මෙය ISIS ත්‍රස්තයින්ට එරෙහිව ලබාගත් විශාල වැදගත්කමකින් යුත් විශාල ජයග්‍රහණයක් වනවා. ඇතැම් අංශවලින් බලන කළ මෙය දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් හමුදා විසින් වටලාගෙන සිටි ලෙනින්ග්‍රෑඩ් නගරය මුදවාගැනීම හා සමාන සිද්ධියක් ලෙස දැකිය හැකියි.

ඩෙයර් එස්-සෝර් නගරය​

ඩමස්කස් අගනගරයට කිලෝමීටර් 450 ක් ඊසානදිගින් පිහිටි ඩෙයර් එස්-සෝර් නගරය සිරියාවේ හත්වන විශාලම නගරය ලෙස සැළකෙනවා. යුප්‍රටීස් නදිය අසබඩ පිහිටි මෙය ඩෙයර් එස්-සෝර් පළාතේ අගනුවර ද වනවා. 2004 දී මෙහි ජනගහනය 211,857 ක් වුණා.

මෙම නගරයේ ඉතිහාසය රෝමන් යුගය දක්වාම දිවෙන නමුත් වර්තමාන නගරය පිහිටුවන ලද්දේ 19 වන සියවසේදී මෙම ප්‍රදේශය ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනයට නතුව තිබියදී බවයි සඳහන් වන්නේ.

නගරය වටලෑම​

2013 සිට මෙම ප්‍රදේශයේ සටන් පැවති අතර ඊට සිරියානු රජයේ හමුදා මෙන්ම ත්‍රස්තයින් සහ වෙනත් කැරලි කණ්ඩායම් සම්බන්ධව සිටියා. කෙසේ වෙතත් 2014 මැද භාගය වනවිට ප්‍රදේශයේ රජයේ හමුදා ඩෙයර් එස්-සෝර් නගරයට සීමා වෙද්දී අනෙකුත් කැරලි කණ් ඩායම් පරයමින් සංවිධානය ඩෙයර් එස්-සෝර් පළාතේ බලය තහවුරු කරගත්තා. මේ අනුව 2014 ජූලි මාසය වනවිට සිරියානු හමුදා ත්‍රස්තයින් විසින් වටලනු ලැබුණා.

රජයේ හමුදා සතුව පැවති ප්‍රදේශයට ඩෙයර් එස්-සෝර් නගරය සහ ගුවන් තොටුපල අයත් වුණා. 2012 සිටම ඩෙයර් එස්-සෝර් හි සටන් වැදුණ සිරියානු 17 වන ඩිවිෂනයට අයත් හමුදා කණ්ඩායම් තවමත් මෙහි රැඳී සිටිනවා. ඒ අතර වඩාත් ප්‍රමුඛව පෙනී සිටින්නේ 137 වන යාන්ත්‍රික බ්‍රිගේඩයයි.

ඩෙයර් එස්-සෝර් වෙත එල්ල වූ ISIS ප්‍රහාර​

ISIS ත්‍රස්තවාදීන් විසින් 2014 සිටම විවිධ අවස්ථාවල ඩෙයර් එස්-සෝර් හි රැඳී සිටි රජයේ හමුදා වෙත පහර දුන්නා. එම ප්‍රහාර සමහරකින් ඔවුන් ඇතැම් ප්‍රදේශ අල්ලාගත් නමුත් සිරියානු හමුදා සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට ත්‍රස්තයින් කිසිදු අවස්ථාවක සමත් වූයේ නැහැ.

2015 මැයි මාසයේදී පැල්මයිරා නගරය ත්‍රස්තයින් විසින් අල්ලාගැනීමෙන් පසු ඩෙයර් එස්-සෝර් නගරයෙන් සිරියානු හමුදා ඉවත්වනු ඇතැයි කටකතා පැතිරුණද ඔවුන් දිගටම එම ප්‍රදේශයේ රැඳී සිටියා. මේ අතර ගුවනින් එම හමුදා වෙත දිගටම ආධාර එවනු ලැබුණා.

2017 ජනවාරියේදී නගරයේ රජයේ හමුදාවලට අයත් ප්‍රදේශ ත්‍රස්තයින් විසින් දෙකඩ කිරීමෙන් පසු. රෝස පැහැයෙන් රජයේ පාලන ප්‍රදේශ දැක්වේ (Wikimedia Commons)

2016 මාර්තු මාසයේදී රුසියානු විශේෂ බලකා සහ ගුවන් හමුදා සහයද ඇතිව සිරියානු හමුදා විසින් පැල්මයිරා නගරය අල්ලාගනු ලැබුණා. ඒ සමඟම ඩෙයර් එස්-සෝර් සහ රඛා නගර දෙක නිදහස් කරගන්නා බලාපොරොත්තුවෙන් සිරියානු හමුදා පැල්මයිරා සිට නව ප්‍රහාරයන් ආරම්භ කළා. ඊට සමගාමීව ඩෙයර් එස්-සෝර් හි සිටි සිරියානු හමුදා නගරයට දකුණු දෙසින් වූ තයියෙම් තෙල් ළිං අල්ලාගත්තා.

නමුත් එම අවස්ථාවේ ත්‍රස්තයින් රඛා ප්‍රදේශයේ ප්‍රබල තත්ත්වයක සිටි හෙයින්, සිරියානු ප්‍රහාර පරාජය කොට එම හමුදා නැවත පැල්මයිරා ආසන්නයට පසු බැස්සවීමට ත්‍රස්තයින්ට හැකි වුණා. මේ සමඟම ඩෙයර් එස්-සෝර් වෙතද කෙරුණ ප්‍රහාර අත් හිටවීමට රජයේ හමුදාවලට සිදු වුණා.

මේ අතර 2016 දෙසැම්බර් 11 වනදා පැල්මයිරා නගරය නැවතත් ත්‍රස්තයින් අතට පත් වීමත් සමඟ යුධ පෙරමුණේ තත්ත්වය වෙනස් වුණා. දෙසැම්බර් – ජනවාරි මාසවල ඩෙයර් එස්-සෝර් දෙසට ත්‍රස්තයින් විසින් පහර පිට පහර දෙනු ලැබුණා. මෙම ප්‍රහාරයන් බොහෝවිට එල්ල වූයේ රාත්‍රී කාළයේයි. ත්‍රස්තයින් 137 වන බ්‍රිගේඩයේ මූලස්ථානය​, ගුවන් කඳවුර සහ තර්ඩෙහ් කඳු ප්‍රදේශය අල්ලාගැනීමේ උත්සාහයන් හි නිරත වුණා.

2017 මුලදී නගරය සහ ගුවන් කඳවුර අතර වූ ගොඩබිම් සම්බන්ධතාව කපා හැරීමට සමත් වීම ත්‍රස්තයින් මෙහිදී ලද ප්‍රධානම ජයග්‍රහණයයි. ඔවුන් තර්ඩෙහ් කඳුකරය ද අල්ලාගත් අතර මේ අනුව ගුවන් කඳවුර අසළ ප්‍රදේශ බොහොමයක් ඔවුන් අතට පත් වුණා.

ඩෙයර් එස්-සෝර් නගරයට පිවිසෙන ස්ථානයක සිරියානු හමුදා (AFP)

අප්‍රේල් මාසයේදී, ඩෙයර් එස්-සෝර් ගුවන් කඳවුර සමඟ සම්බන්ධතාව යළි ඇති කරගැනීම සඳහා සිරියානු හමුදා කළ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා. මෙම සටන් බොහොමයක් සිදු වූයේ ඩෙයර් එස්-සෝර් සුසාන භූමිය ආසන්න ප්‍රදේශවලයි.

නගරය මුදා ගැනීම​

කෙසේ නමුත් මේ වනවිට යුධ පෙරමුණේ තත්ත්වය වෙනස් වෙමින් පැවතුණා. එක් පසෙකින් ඉරාකයේ මෝසුල් නගරය දෙසට හමුදා ප්‍රහාර එල්ල වෙමින් පැවතුණ අතර අනෙක් පසින් ඇමරිකානු ආධාර ලද කුර්දි සටන්කාමීන් සංවිධානය සිය “අගනුවර​” ලෙස සළකන රඛා නගරය වටලමින් සිටියා.

2017 මාර්තුවේදී සිරියානු හමුදා පැල්මයිරාවේ බලය යළි තහවුරු කරගත්තා. රඛා නගරය ගලවා ගැනීම සඳහා වන මෙහෙයුමේ අවසන් අදියර තමන් ඇරඹූ බව කුර්දි සේනාංක ප්‍රකාශ කළේ ජූනි මාසයේ 11 වනදා. මේ අතර 2017 ජූලි 9 වනදා ඉරාකයේ මෝසුල් නගරය ISIS සංවිධානයෙන් මුදාගත් බව ඉරාක රජය ප්‍රකාශ කළා.

ජූලි මාසයේදී හොම්ස් සහ හමා ප්‍රදේශවල පාලනයේ තිබුණ ප්‍රදේශවලට සිරියානු රජයේ හමුදා පහර දුන්නා. මේ අතර අගෝස්තු 27 වනදා සිරියානු හමුදා සුඛ්නා සිට ඩෙයර් එස්-සෝර් වෙත වැටී ඇති මාර්ගය ඔස්සේ මෙහෙයුම් ඇරඹුවා. එහි ප්‍රතිඵලයක් ලෙස සැප්තැම්බර් 5 වනදා ඩෙයර් එස්-සෝර් වෙත සිරියානු හමුදා ළඟා වුණා.

මීළඟ ඉලක්කය​

සිරියානු හමුදා අබියස ඇති මීළඟ අභියෝගය වන්නේ ඩෙයර් එස්-සෝර් ගුවන් තොටුපල වටලා සිටින ත්‍රස්තයින් පරාජය කිරීමයි. එහිදී ඔවුනට එල්ල විය හැකි ප්‍රධාන අභියෝගය නම් තර්ඩෙහ් කඳුවල රැඳී සිටින ත්‍රස්ත හමුදාවයි. ඔවුන් පරාජය කළහොත් ඉන්පසු අවට ප්‍රදේශයේ බලය තහවුරු කිරීම එතරම් අපහසු වන්නේ නැහැ. නමුත් තර්ඩෙහ් ප්‍රදේශයේදී සටන්කාමීන් යටත් නොවී සටන් වැදීමට තීරණය කළහොත් දිගු මෙන්ම දෙපක්ෂයටම හානිකර සටනක් ඇතිවීමේ ඉඩක් පවතිනවා.

Cover Image: සිරියානු හමුදා යුධ ටැංකියක් (Syrian Arab Army)

Related Articles