මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් ආනයනය මත පනවා තිබූ තහනම ඉවත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 5 දින සිට බලපැවැත්වෙන පරිදි එම තහනම ඉවත් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ 2015 දී ග්ලයිෆොසේට් ආනයනය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තහනම් කරන අවස්ථාව වන විට අග්‍රාමාත්‍ය ධුරයේ දැරුවේ වර්තමාන ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වීම යි.

වසර ගණනාවක් තිස්සේ මෙරට තේ වගාකරුවන් ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි. ග්ලයිෆොසෙට් ජාත්‍යන්තර වශයෙන් පිළි ගෙන ඇති වල් නාශකයක් වීම ඊට හේතුව යි. ඒ නිසා ම සමහර තේ ඇණවුම් කරන රටවල් ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් වල්නාශක යොදා මෙරට ගොවීන් වගා කළ තේ මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා පවා තිබිණි.

ග්ලයිෆොසෙට් පිළිබඳ කතාබ නැවතත් 

වසර ගණනාවක් තිස්සේ මෙරට තුළ තහනම් කර තිබූ ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් භාවිත කිරීමට ගොවීන්ට යළි අවසර ලබා දීම පිළිබඳ සලකා බලමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය ද පසුගිය දා සඳහන් කළේ ය. එම නිවේදනයෙන් පසු, ඉතාමත් ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් පිළිබඳ ව සමාජය තුළ කතාබහක් නැවතත්  නිර්මාණය වී තිබේ.

ග්ලයිෆොසේට් වල්නාශකයක් ලෙස -faithwayfeeds.com 

ග්ලයිෆොසේට් කුමන ආකාරයේ වල්නාශකයක් ද, එය භාවිත කිරීම තහනම් කිරීම සඳහා බලපෑ කරුණු මොනවාද සහ එම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන කතාබහ පිළිබඳ මේ ලිපියෙන් සොයා බලමු.

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ග්ලයිෆොසේට් සංස්ලේෂණය

ස්විට්සර්ලන්ත ජාතික රසායන විද්‍යාඥයෙක් වූ හෙන්රි මාටින්, රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ග්ලයිෆොසේට් සංස්ලේෂණය කළ පළමු පුද්ගලයා ලෙස සැලැකේ. ඔහු 1950 දශකයේ දී 'සිලාග්' නම් සමාගමක සේවය කරමින් සිටි අවධියේ මෙම සොයාගැනීම සිදු කර ඇත. කැල්සියම්, මැග්නීසියම්, මැන්ගනීස්, තඹ, සහ සින්ක් වැනි රසායනික මූලයන් බන්ධනය කිරීම සහ නිස්සාරණය කිරීම මඟින් නිපදවන ග්ලයිෆොසෙට් සඳහා 1964 දී පේටන්ට් බලපත්‍රයක් ද නිකුත් කර තිබේ.

ටික කලකට පසු, එනම් 1970 දශකයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ 'මොන්සැන්ටෝ' නම් කෘෂි රසායන නිෂ්පාදන සමාගමක සේවය කළ රසායන විද්‍යාඥයෙක් වූ ජෝන් ඊ. ෆ්‍රාන්ස් ග්ලයිෆොසේට් නිපදවීම සඳහා අවශ්‍ය රසායනික මූලයන් අවස්ථා 100කට අධික සංඛ්‍යාව දී නිස්සාරණය කර තිබේ. එම අධ්‍යයනය අතරතුර ග්ලයිෆොසේට් භාවිතයෙන් වල් පැළෑටි මර්දනය කළ හැකි බව අනාවරණය විය.

ජෝන් ඊ. ෆ්‍රාන්ස් - www.wikipedia.org

මොන්සැන්ටෝ සමාගම වල්නාශකයක් ලෙස ක්‍රියා කිරීමට ග්ලයිෆොසේට් සතු හැකියාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කළ අතර, එහි ප්‍රතිපලයක් ලෙස ග්ලයිෆොසේට් වල්නාශකයක් ලෙස වෙළෙඳපොළට 1974 දී නිකුත් විය. එය මුල්වරට වෙළෙඳපොළට නිකුත් කර ඇත්තේ 'Roundup' යන වෙළෙඳ නාමයෙනි. වල්නාශකයක් ලෙස සකස් කළ ග්ලයිෆොසේට් සඳහා එම සමාගම ලබා ගෙන තිබූ පේටන්ට් බලපත්‍රය 1991 දී කල් ඉකුත් වූ නමුත් එක්සත් ජනපදය තුළ ග්ලයිෆොසේට් නිෂ්පාදනය කළ ප්‍රමුඛත ම සමාගම බවට 'මොන්සැන්ටෝ' පත් විය.

ගොවීන් අතර ජනප්‍රිය වූ ග්ලයිෆොසේට්

දශක ගණනාවක් තිස්සේ රටවල් ගණනාවක විවිධ බෝග වර්ග වගා කරන ගොවීන් අතර ග්ලයිෆොසේට් ඉතා ප්‍රසිද්ධ ය. වගාවන් අතර වැවෙන පළල් පත්‍ර සහිත වල් පැළෑටි සහ තණකොළ විශේෂ ඉක්මනින් මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසේට් යොදා ගත හැක. විශේෂයෙන් ම වල් පැළෑටියක ඕනෑම කොටසකට ග්ලයිෆොසේට් යෙදීමෙන් එය (පැළෑටිය) විනාශ වී යන බැවින් අනිකුත් වල්නාශකවලට වඩා ග්ලයිෆොසේට් සඳහා ඉල්ලුමක් තිබේ.

ග්ලයිෆොසේට්වල ක්‍රියාකාරීත්වය දැක්වෙන සටහනක් - www.MDPI.com

වල්නාශකයක් ලෙස ග්ලයිෆොසේට් හි ක්‍රියාකාරීත්වය 2008 දී අධ්‍යයනය කළ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥ ස්ටීවන් බී. පෝල්ස් සඳහන් කළේ ග්ලයිෆොසෙට් 'අතිශයින් ම යෝග්‍ය' වල්නාශකයක් බව යි. සිය මතය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු 2010 දී සඳහන් කළේ රෝග සුව කිරීම සඳහා පෙනිසිලින් ඖෂධය සොයා ගැනීම වැදගත් වන්නේ යම් සේ ද, ග්ලයිෆොසෙට් සොයා ගැනීම ගෝලීය ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට එතරම් වැදගත් වන බව යි.

කැනේඩියානු කෘෂිකර්ම බලධාරීන් සඳහන් කළේ 2017 වන විට එරට වැඩියෙන් ම භාවිත වන වල්නාශකය ග්ලයිෆොසේට් බව යි. එහි POEA අගය (යම්කිසි වල්නාශකයක, කෘමිනාශයක, හෝ දිලීරනාශකයක ඇති විෂ සංඝටක මැනීම සඳහා භාවිත කරන ඒකකයක්) 20% හෝ ඊට අඩු අගයක පවතින්නේ නම් ඉන් මිනිසාට හෝ පරිසරයට හානියක් සිදු නොවන බව ද කැනේඩියානු පර්යේෂණ ආයතන සොයා ගෙන තිබේ. 2017 සහ ඒ ආසන්න කාලය වන විට කැනඩාව තුළ භාවිතා වූ ග්ලයිෆොසේට් නිෂ්පාදන සියල්ලෙහි ඉහත අගය 20%, හෝ ඊට පහළ මට්ටමක පැවතිණි.

වගාවන්හි වැවෙන තෘණ වර්ග-  www.livescience.com

ශ්‍රී ලංකාව තුළ තේ වගාව සඳහා ප්‍රචලිත වූ ග්ලයිෆොසේට් 

තේ පර්යේෂණ ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට 1977 දී  හඳුන්වා දුන් ග්ලයිෆොසේට් මුලින් ම භාවිතා කළේ මහාමාර්ග දෙපස, විශාල ඉඩම්වල සීමා සහ අත්හැර දමා ඇති තේ වතුවල වැවී තිබුණු වල් පැළෑටි විනාශ කිරීම සඳහා පමණි. එය භාවිතය ගොවීන් අතර ඉතා වේගයෙන් ප්‍රචලිත විය. තේ පර්යේෂණ ආයතනය කප්පාදු කළ සහ දළු නෙලන තේ වගාවන්හි වල් පැළෑටි මර්දනය සඳහා ග්ලයිෆොසේට් භාවිතය 1988 දී නිර්දේශ කර තිබේ. ඉන් අනතුරු ව 1994 දී සාමාන්‍ය වල් මර්දනය සඳහාත්, 1998 දී තේ වගාව සඳහා බිම සකස් කිරීම සඳහාත් ග්ලයිෆොසෙට් භාවිතය ආරම්භ විය.

වඩා ලාභදායි 'පැරකට්' නම් වල්නාශකය ඒ වන විට වෙළෙඳපොළේ බහුල ව තිබූ බැවින් මුල් කාලයේ දී වී ගොවීන් අතර ග්ලයිෆොසෙට් භාවිතය ප්‍රචලිත වූයේ නැත. 1987 දී පැරකට් කිලෝග්‍රෑම් 120,000 ක් මෙරටට ආනයනය කර තිබේ. කෙසේ වෙතත් එම වසරේ දී ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වා තිබුනේ කිලෝග්‍රෑම් 16,000ක් පමණි. ඉන් 10%ක් පමණ තේ වගාව සඳහා යොදා තිබූ නමුත්, තේ වගාවන්ගෙන් බහුතර ප්‍රමාණයක් සඳහා යොදාගෙන තිබුනේ පැරකට් ය.

තේ වගාවක් - Buddhika Weerasinghe/Bloomberg via Getty Images

වී වගාව සඳහා

1980 දශකයේ අගභාගය වන විට මෙරටට ආනයනය කළ පැරකට් කිලෝග්‍රෑම් 50,000ක් හෙක්ටයාර 250,000ක වී වගාවන් සඳහා යොදාගෙන තිබේ. ඒ වන විට වී වගාවන් සඳහා ග්ලයිෆොසේට් යොදාගත් බවට තොරතුරු නැත. කෙසේ වෙතත් 1990 දශකයේ අගභාගය වන විට මෙරට වාර්ෂික ග්ලයිෆොසේට් ආනයනය කිලෝග්‍රෑම් එක් ලක්ෂ විසි නව දහස (129,000) දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සමග ම පැරකට් ආනයනය කිලෝග්‍රෑම් විසි එක් දහස (21,000) දක්වා පහළ බැස තිබීම විශේෂ කරුණකි. මෙම කාලය තුළ පැරකට් වෙනුවට ග්ලයිෆොසේට් භාවිතය ගොවින් අතර වඩාත් ප්‍රචලිත විය.

විවිධ රෝග තත්ත්වයන්ට හේතු වන බවට මත

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක, විශේෂයෙන් ම අනුරාධපුර සහ පොලොන්නරුව වැනි දිස්ත්‍රික්කවල වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් ගණන ඉහළ යාමට ප්‍රධාන හේතුව එම ප්‍රදේශවල පානීය ජලයේ අඩංගු වන ග්ලයිෆොසේට් රසායනය බව පසුකාලීන ව මත ඉදිරිපත් විය. ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රමාණය වකුගඩු රෝග ඇති වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බවට මත ඉදිරිපත් වුවත්, එම රෝග තත්ත්වයන් ඉහළ යාම සඳහා ප්‍රධාන හේතුව කැඩ්මියම් නොව, ග්ලයිෆොසේට් අඩංගු පානීය ජලය බව පර්යේෂකයෝ ප්‍රකාශ කළහ.

ඔවුන් පෙන්වා දුන්නේ කිවුල් ජලය සහිත ප්‍රදේශවල ජල මූලාශ්‍රවල තැන්පත් වන ග්ලයිෆොසෙට් එම ජලය භාවිත කරන පුද්ගලයන්ගේ ශරීරගත වන බව යි. කැඩ්මියම්, වකුගඩු රෝග උත්සන්න වීම සඳහා හේතු වුවත්, රෝගය හට ගන්නා මුල් සාධකය එය නොව ග්ලයිෆොසේට් බව ඔවුන් සඳහන් කර තිබේ.

වී වගාවකට ග්ලයිෆොසේට් යොදන අයුරු - www.dailymirror.lk

ග්ලයිෆොසේට් තහනම

මෙවැනි වාර්තා හමුවේ 2014 දී ග්ලයිෆොසෙට් භාවිතය මෙරට තුළ තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් විය. 2014 දෙසැම්බර් 22 දිනැති, 1894/4 දරන එම ගැසට් නිවේදනය මඟින් ග්ලයිෆොසේට් ඇතුළු වල්නාශක වර්ග පහක් භාවිතය හෝ අලෙවි කිරීම තහනම් කර තිබිණි. එම තහනම අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සහ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය, රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළ ක්‍රියාත්මක විය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 එම තහනම හේතුවෙන් 2015, 2016 සහ 2017 වසරවල වගා කළ බෝගවල අස්වැන්න විශාල වශයෙන් පහළ ගිය බවත්, ඒවාට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණු බවත් කියැ වේ. කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයන් චෝදනා කළේ එවකට පැවැති රජය කිසිදු සොයා බැලීමකින් තොරව ගත් එම තීරණය හේතුවෙන් අස්වැන්න අඩු වීම, විදේශ විනිමය අහිමි වීම, සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ග්ලයිෆොසෙට් භාවිතය ඉහළ යාම වැනි අහිතකර ප්‍රතිපල ගණනාවක් ඇති වූ බව යි. මෙම තහනම පැනවූයේ විද්‍යාත්මක කරුණු අධ්‍යයනය කිරීමෙන් තොර ව ඒ සඳහා පැවැති සමාජ සහ දේශපාලන බල කිරීම නිසා බව බොහෝ දෙනකුගේ මතය යි.

ග්ලයිෆොසේට් තහනම පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවක්- www.sundayobserver.lk

තහනම ඉවත් කිරීම පිළිබඳ ව කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය 

කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය දා නිවේදනය කළේ ඉදිරි මාස කිහිපය තුළ පුළුල් බෝග වගා වැඩසටහනක් ඇරඹීමට සැලසුම් කර ඇති බව යි. කෙසේ වෙතත් එම වැඩසටහන සාර්ථක කරගනිමින්, ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් මේ වන විට වල්නාශක කිහිපයක් මත පනවා ඇති තහනම ඉවත් කළ යුතු බව පාර්ශව ගණනාවක් වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ අනිකුත් අදාළ බලධාරීන්ට පෙන්වා දී තිබිණි.

 බඩඉරිඟු, තේ, වී, මිරිස්, ධාන්‍ය වර්ග, අර්තාපල් සහ කෙසෙල් වැනි වගා සාර්ථක කරගැනීමට නම් ග්ලයිෆොසේට් වල්නාශකය භාවිතය සඳහා අවසර ලබා දිය යුතු බව ගොවීන්, ගොවි සංවිධාන, සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් පෙන්වා දී තිබිණි. ඔවුන් පෙන්වා දී ඇත්තේ නීතිමය වශයෙන් ග්ලයිෆොසේට් භාවිතය තහනම් කර තිබුනත්, විවිධ නීති විරෝධී ක්‍රම මඟින් ඉන්දියාව වැනි රටවලින් මෙරටට ගෙන්වන ග්ලයිෆොසේට් ඉතා ඉහළ මිල ගණන්වලට ගොවීන්ට අලෙවි කරන බව යි.

බඩ ඉරිඟු වගාවක් - www.nerdnomads.com

අදාළ පාර්ශව කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ග්ලයිෆොසේට් භාවිතයට අවසර ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මේ වන විට අවධානය යොමු කර ඇති බව යි. ඒ අනුව  ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබූ බව ද වාර්තා වේ.

ග්ලයිෆොසේට් ආනයන තහනම ඉවතට

 මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ග්ලයිෆොසේට් ආනයනය මත පනවා තිබූ තහනම අගෝස්තු 5 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඇති බව වාර්තා විය. යම් හෙයකින් ග්ලයිෆොසෙට් නැවැත ආනයනය කරන්නේ නම් එය පුද්ගලික අංශයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිත බවත්, මිල ගණන් සහ ප්‍රමිතිය පිළිබඳ නියාමන කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කර තිබිණි.

වල් පැළෑටි වර්ග www.livescience.com

කවරයේ ඡායාරූපය- ග්ලයිෆොසෙට් ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා ගොවීන් අතර ප්‍රචලිත විය - www.asyousow.com

මූලාශ්‍ර:

www.MDPI.com

www.themorning.lk

www.sundayobserver.lk

www.dailymirror.lk

 economynext.com 

කෘෂිකර්ම අමාත්‍යංශය