Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප අත්විඳින මූලික මිනිස් අයිතිවාසිකම් සහ ඒවායේ සීමා

ශ්‍රී ලංකාවේ මේ දිනවල ඇති වී තිබෙන දේශපාලනික, ආර්ථික සහ සමාජමය ගැටලු නිසා නිතර ම පාහේ හදිසි නීතිය බලාත්මක කිරීම, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම සිදු වුණා. මේ හේතු නිසා සාමාන්‍යයෙන් මෙරට මිනිසුන් භුක්ති විඳින සමහර දේ යම් සීමා කිරීමකට ලක් වුණා. උදාහරණයක් ලෙස තැනකින් තැනකට ගමන් කිරීමේ අයිතිය වැනි දේට, එක් රැස් වීම ආදී දේට යම් ආකාරයකින් එමඟින් බාධා ඇති වුණා.

මේ ගැටලුව පසුගිය කොවිඩ් වසංගත සමයේ දී ද අත්දැකිය හැකි වුණා. මෙලෙස සීමා වීම් දිගින් දිගට ම සිදු වෙද්දී, සමහර පිරිස් යම් ආකාරයකින් ඒවාට අනුගත වී සිය ජීවිතය පවත්වා ගෙන යාමට උත්සාහ කළ අතර, තවත් සමහරෙක් එම සීමාවලට විරුද්ධ ව හඬ නගන්නට පටන් ගත්තා. ඔවුන්ගේ ප්‍රධානත ම චෝදනාවක් වූයේ, මේ ආකාරයේ සීමා කිරීම් තුලින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය

නිරායුද අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සාමකාමී සිවිල් පුරවැසියන්ට ජනාධිපති කාර්යාලය අසළ අරගල භූමියේදී යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ජූලි 22 වැනි දා අලුයම එල්ල කළ ප්‍රහාරය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කළ ක්‍රියාවක් ලෙස ජාතික මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජනමාධ්‍ය සංවිධාන හා විපක්ෂ දේශපාලනඥයන් හෙළා දුටුවා.

 එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් එළිදක්වා තිබෙනවා- Shutterstock.com

 

යම් සැකකරුවකු හෝ පිරිසක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවක අදාළ තැනැත්තා යොදන ප්‍රතිරෝධයට සමානුපාතික බලයක් යොදා එම තැනැත්තා මර්දනය කිරීමේ බලය පොලිසිය හා ආරක්ෂක අංශ සතුව පවතිනවා. එම බලය භාවිත කිරීමට ඇති හැකියාව අවසාන විග්‍රහයේ දී අත්අඩංගුවට ගැනෙන පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් භුක්ති විදීමට ඇති අයිතියේ සීමාවට යටත් වනවා. 

යම් සීමාකාරී හෝ ගැටුම්කාරී අවස්ථාවක දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදු වූවා ද නැද්ද යන්න පිළිබඳ මෙන් ම මිනිස් මූලික අයිතිවාසිකම් පිළිබඳව ද මෙරට බොහෝ දෙනකු තුළ නියමාකාර අදහසක් පවතින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූලික මිනිස් අයිතිවාසිකම් සහ ඒවායේ සීමා පිළිබඳ ව කතා කරන්නට අප අදහස් කළේ ඒ නිසාම යි.

ලොවක් පිළි ගත් මානව අයිතිවාසිකම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව අයිතිවාසිකම් පිළිබඳ ව විශ්ව ප්‍රකාශනය එළි දක්වන්නට යෙදුණේ 1948 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින යි. මෙහිදී ලොව වෙසෙන සියලු ම ජනයාට භුක්ති විඳීමට අයිතියක් තිබෙන, මානව අයිතිවාසිකම් සියල්ල ම පිළිබඳව විස්තර කැටි කොට දක්වා තිබෙන අතර, එම විශ්වීය ප්‍රකාශය පිළිගත් රටවලට, ඒ ඒ රටවලට අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තීන්, නීති වැනි දේ සැකසීමේ දී මාර්ගෝපදේශක් ලෙස යොදා ගැනෙනවා.

ලොව බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඒ ඒ රටවල ජීවත් වන පුරවැසියන්ට භුක්ති විඳීමට අයිතිය ඇති මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව සටහන් කොට තිබෙනවා. මේවා බොහොමයක් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය අනුගමනය කරමින් සකසා ඇති අතර,  එහි සඳහන් නොවන සමහර අයිතිවාසිකම් ද සමහරක් රටවලදී  ඒවායේ පුරවැසියන්ට භුක්ති විඳීමට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමනයේ බලාත්මක ව්‍යවස්ථාවෙහි ද, ශ්‍රී ලාංකික පුරවැසියකුට භුක්ති විඳිය හැකි මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව සටහන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පුරවැසියෙක් භුක්ති විඳින මූලික මිනිස් අයිතිවාසිකම්

ශ්‍රී ලංකා පුරවැසියකුට අයිතිවාසිකමක් ලෙස ලැබිය යුතු මූලික මිනිස් අයිතිවාසිකම් රාශියක් පිළිබඳ ව මෙරට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සවිස්තර ව දක්වා තිබෙනවා. සිතීමේ නිදහස ඉන් ප්‍රමුඛ එකක් වන අතර, නිදහස් චින්තනයට කිසිවකුත් කිසිදු තැනකදී බාධා නොකළ යුතු වෙනවා. හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහසත් මෙරට ඕනෑ ම  පුරවැසියකුට ඉහළින් ම ලැබිය යුතු අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවෙහි දක්වා තිබෙනවා. වධ හිංසාවලට ලක් නොවීමේ නිදහසත් කෲර, අමානුෂික අවමන් සහගත දඬුවම් හෝ සැලකිලිවලින් වැලකීමේ නිදහසත් මෙරට පුරවැසියකුට තිබෙනවා. කිසිදු වරදක් කළ පුද්ගලයකුට ඉහත ආකාරයෙන් සැලකීම, මෙරට නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා.

 භාෂණයේ නිදහස ලොව බොහෝ රටවල මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සැලකෙනවා- oercommons.org

 

නීතිය පසිඳලීම, ක්‍රියාත්මක කිරීම සහ නීතියේ රැකවරණය ලැබීමත් මෙරට පුරවැසියන් සියල්ලන්ගේ ම අයිතිවාසිකමක් වන අතර, ආගමික, වාර්ගික, භාෂාමය, කුළය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය වැනි කිසිදු ආකාරයකින් මෙරට පුරවැසියන් වෙනස්කමකට ලක් නොවිය යුතු බව මෙරට ව්‍යවස්ථාවෙහි සඳහන් වනවා., මේ හේතු නිසා කිසිදු පොදු ස්ථානයකට ඇතුළු වීමට කිසිවකුට බාධාවක් නොවිය යුතු යි. යම් අයෙක් අත් අඩංගුවට ගන්නා විට, එලෙස අත් අඩංගුවට ගන්නට හේතුව හරියාකාර ව දැනගන්නට මෙරට පුරවැසියනට අයිතිවාසිකමක් තිබෙනවා. 

එලෙස අත් අඩංගුවට ගන්නා ඕනෑම අයෙක් යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයක් ඉදිරියට හැකි ඉක්මනින්  ගෙන ආ යුතු වෙනවා. ඕනෑම චූදිතයකුට එරෙහි ව සාධාරණ නඩු විභාකයක් පැවැත්වීමේ අයිතිවාසිකමක් එම චූදිතයාට ඇති අතර, නඩු විභාභයකින් තොර ව දීර්ඝ කාලීන ව යමෙක් රඳවා ගන්නේ නම් එය නීතියේ සඳහන් ආකාරයට සිදු විය යුතු වෙනවා. නීතිය ඉදිරියේ වරදකරුවෙක් වන තුරු, ඔහු හෝ ඇය නිවැරදිකරුවෙක් සේ හැඳින්වීමට අදාළ මූලික මිනිස් අයිතිවාසිකමක් ද මෙරට ව්‍යවස්ථාවෙහි සඳහන් වෙනවා.

භාෂණයේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහස

මෙරට ඕනෑම පුරවැසියකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහස සඳහා වූ අයිතිවාසිකමක් ද තිබෙනවා.  සාමකාමීව රැස් වීමේ නිදහසත්, සමාගමයේ නිදහසත් මෙරට පුරවැසියන්ට තිබිය යුතු වෙනවා. මෙරට ඕනෑම වෘත්තීය සමිතියකට බැඳීමේ නිදහස, ඒවා පිහිටුවීමේ නිදහස මෙන් ම තමන් කැමති ආගම ප්‍රකාශ කිරීමේ නිදහසත් මෙරට මූලික මිනිස් අයිත්වාසිකම් ගොන්නට අයත් වෙනවා. මෙය ඒ ඒ වැසියන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙනුත් අදාළ වෙනවා. 

මෙරට වෙසෙන ඕනෑම අයකුට සිය භාෂාව භාවිත කිරීමේ නිදහසත්, ඕනෑම නීත්‍යනුකූල රැකියාවක් කිරීමේ නිදහසත්, ශ්‍රී ලංකාව තුළ ගමනාගමනය කිරීමේ නිදහසත්, වාසය කිරීමේ නිදහසත් පවතිනවා. විදේශ ගත වූ අයකුට පෙරළා මෙරටට පැමිණීමේ නිදහස, අයිතිවාසිකමක් සේ ලැබිය යුතු බව මෙරට ව්‍යවස්ථාවෙහි සඳහන් වෙනවා. මේ සියල්ලට අමතර ව මෑතක දී තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ නිදහසත් මෙලෙස ලක්වැසියන් සතු අයිතිවාසිකමක් ලෙස සම්මත කරගෙන තිබුණා.

 කොවිඩ් වසංගත සමයෙහි මිනිසුන්ගේ ගමනාගමන අයිතිවාසිකම් හා එක් රැස් වීමේ අයිතිවාසිකම් සීමා කරනු ලැබුවේ, ඔවුන්ගේම සෞඛ්‍ය සම්බන්ධ සුබසිද්ධිය වෙනුවෙනු යි- newsradio.lk

 

මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව වූ සීමා

මූලික මිනිස් අයිතිවාසිකම් වුවද යම් යම් විශේෂිත තත්ත්වයන් යටතේදී සීමා කරන්නට රජයන්ට සිදු වී තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීමට, වාර්ගික සහ ආගමික  සහයෝගීතාව  තහවුරු කර ගන්නට  මෙන්ම අධිකරණයට අපහාස කිරීම, අපහාසයට හෝ  වරදකට පෙලඹවීම වැලැක්වීම සඳහා ද මෙලෙස වූ සීමා පැනවීම සිදුකෙරෙනවා. 

ජාතික ආර්ථිකය, මහජන සෞඛ්‍යය හෝ සදාචාරය, අන් අයගේ නිදහසට වන බාධා වීම් අවම කිරීම සඳහා ද මෙලෙස සීමා පැනවීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස පසුගිය පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහාත්, කොවිඩ් ව්‍යසනයේදී මහජන සෞඛ්‍ය හොඳ ස්ථානයක රඳවා තබාගැනීම සඳහාත් ඇඳිරි නිති පනවා, මූලික මිනිස් අයිතිවාසිකමක් වන ගමනාගමනයේ නිදහස සීමා කිරීමට බලධාරීන්ට සිදුවුණා.

මේ දිනවල වැඩි ම කතිකාවකට පත්ව ඇති එක්තරා සීමා කිරීමේ නිරණායකයක් වන්නේ ‘පාර්ලිමේන්තු වරප්‍රසාද තහවුරු කිරීම සඳහා’ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සීමාවකට ලක් කිරීම යි. මෙහිදී ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ’ ගමන්බිමන්, වැනි දේවලදී පවා සාමන්‍ය ජනතාවට යම් යම් දුෂ්කරතාවලට මුහුණ පන්නට සිදුවෙනවා.

ඔබේ මානව හිමිකම් කඩවන්නේ යැයි හැඟුණහොත්?

යම් කිසි ස්ථානයකදී, යම් කිසි අවස්ථාවකදී ඔබේ මානව හිමිකම් කඩවන්නේ යැයි හැඟුණහොත්, නොපමාව ඔබ නීතියේ සහය පැතිය යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ ඒ සඳහා වෙන් වූ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර, ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ, දුරකථන අංක 1996 ඇමතීමෙන් ඔබේ ගැටලුව ඉදිරිපත් කළ හැකි වෙනවා. ඉතා සාධාරණ සහ කාර්යයක්ෂ්ම සේවයක් ඔබ වෙත ලබා දෙන්නාට ඔවුන් බැඳී සිටිනවා.

මෙම ලිපියත් කියවන්න.

පොලිසියට අවම බලය යෙදිය හැක්කේ කෙලෙස ද?

කවරයේ ඡායාරූපය - sidebysideconsulting.com 

මූලාශ්‍ර:

 www.parliament.lk/files/pdf/constitution-si.pdf

තරග විභාග සඳහා නෛතික සාමාන්‍ය දැනීම - චතුර නිෂාන් උමගිලිය

cpalanka.org

bbc.com

Related Articles