රටේ නීතිය හා සාමය රැකීම කෙරෙහි ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය සුවිශේෂී වුවද අත් අඩංගුවට ගැනීම්වලදී සැකකරුවන්ට සලකන ආකාරය පිළිබඳව නම් ඔවුන්ට ඇත්තේ එතරම් යහපත් කීර්තිනාමයක් නොවේ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත දකුණු ආසියාව පුරාම ද වසංගතයක් සේ ඔඩු දුවා ඇති මේ තත්වය  පාලනය කිරීමට මේ දක්වා කිසිම රජයකට හැකියාවක් ලැබී නොමැත. මේ නිසා දිනපතාම පාහේ  අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සිය ගණනක් පහර කෑම්වලටත් දරුණු වධ බන්ධනවලට පොලිසිය තුලදී මුහුණ පාන අතර තමාට වඩා බලවත් පොලිසිය හා සටන් වැදීමට නොහැකි බවින් ඒවා විඳ දරාගෙන නිහඬ වෙති.

පොලිසිය තුළ සිදුවන වධ හිංසා පිළිබඳ කතාව නැවත වරක් කරළියට පැමිණියේ පසුගිය පෙබරවාරි 26 වනදා පෑලියගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයෙකු ඊට පැය කිහිපයකට පසු මිය යාමේ සිද්ධියක් නිසාය.

නීතිමය පසුබිම

1924 අංක 22 දරණ පනතට අනුව පොලිස් වධ හිංසාව යනු මෙරට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති දෙයකි. පනතට අනුව ඕනෑම පොලිස් නිලධාරියෙක්, එස්ටීඑෆ් නිලධාරියෙක් සහ රහස් පොලීසියේ නිලධාරියෙක් විසින් වධ හිංසාවක් සිදුකළහොත් එම පුද්ගලයාව වසර 07 ක සිර දඬුවමකට සහ රුපියල් 10,000 දඩයකට යටත් කළ යුතු වේ .

නීතිමය තත්වය එසේ වුවත් පොලිස් වධ හිංසා නැවැත්වීමට එයට හෝ හැකියාවක් ලැබී නැත. මෙයට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ වධ හිංසා කිරීමෙන් තොරව අපරාධ මැඩලිය නොහැකිය යන මතය පොලිස් නිලධාරීන් මෙන්ම පොදුවේ සමාජය තුළ ද මුල් බැසගෙන තිබීම ය.එමෙන්ම නූතන ලෝකයට ගැලපෙන, අපරාධ පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳ මෙරටේ පොලිස් නිලධාරීන්ට විධිමත් පුහුණුවක් නොලැබීම තවත් කාරණාවක් ලෙස දැක්විය හැක.

වධ හිංසාවලට ලක් කිරීම මෙන්ම අත්අඩංගුවට ගැනීම්වලදී ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනා අනුගමනය කරන අදූරදර්ශි ක්‍රියා පිළිවෙත නිසා නිකරුණේ විනාශ වී ගිය ජීවිත සංඛ්‍යාවද අති මහත් ය.

මේ ඒවායින් කිහිපයක් දෙස නැවත හැරී බැලීමකි. අප විසින් මේවා ඔබට ඉදිරිපත් කරන්නේ ඉදිරියේදී මෙවන් ඛේදවාචක සිදු නොවීමට නම් මහජනතාව ඒවා පිළිබඳ දැනුවත්ව සිටිය යුතුයැයි විශ්වාස කරන නිසාවෙනි.

ජෙරාඩ් පෙරේරාගේ කතාව

ජෙරාඩ් පෙරේරා/Asian Human Rights Commission

2002 වසරේදී ජෙරාඩ් පෙරේරා වත්තල පොලිසිය විසින් අත් අඩංගුවට ගැනෙන්නේ මිනීමැරුමක් සම්බන්ධයෙනි. එයින් පසු දිනම පොලිසිය ඔහුව නිදහස් කරනු ලබන්නේ ඔවුනට වැරදීමක් වූ බව පවසමිනි.

නමුත් සිර මැදිරිය තුළදී මුහුණ දීමට සිදූවූ අනේකවිද වධ බන්ධන නිසා ජෙරාඩ් සිටියේ කෙළින් සිටගත හැකි තත්වයකවත් නොවේ. ඔහු වහාම නවලෝක රෝහලට ඇතුළත් කළ අතර දෙඅත් බිඳී යාම නිසා තැලුණ ලේ වකුගඩුවලට බැස තිබුණි. ප්‍රතිකාරවලින් මාස හතරක් පමණ යන තෙක්ම අත් එසවීමට ඔහුට නොහැකි විය.

ජෙරාඩ්ගේ හා ඔහුගේ පවුලේ සහයට පැමිණෙන ආසියානු මානව හිමිකම් කොමිසම ඔහු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය. එහිදී පොලිසිය විසින් ජෙරාඩ්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව සහ ඔහුට ලබාගත හැකි හොඳම ප්‍රතිකාරය සඳහා අයිතියක් ඇති බව ද පිළිගත්තේ ය. පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබනවානම් රෝහල් බිල ගෙවිය යුත්තේ අධිකරණයෙන් බව පැවසුණි. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එබඳු ස්ථාවරයක් ප්‍රකාශ කළ ඉතිහාසයේ ප්‍රථම වතාව එය වෙයි.

ජයග්‍රහණය කළ මූලික අයිතිවාසිකම් නඩුවට අමතරව ජෙරාඩ් විසින්  තමාට වධ හිංසා කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබුණි. ඔහු එහි ප්‍රධාන සාක්ෂි කරුද විය. එම වධ හිංසා නඩුව ආරම්භ වීමට තිබුණේ 2004 දෙසම්බර් 02 වන දා මීගමුව මහාධිකරණයේදී ය.ආසියානු මානව හිමිකම් කොමිසම පවසන අන්දමට එම නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස පොලිස් නිලධාරීන්ගේ පාර්ශවයෙන් කෙරුණු යෝජනා ජෙරාඩ් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ හෝ, නඩුව විභාගයට ගැනීමට දින 10ක් පමණ තිබියදී 2004 නොවැම්බර් 22 දින ජා-ඇළ කොටුව බස්රියේ ගමන් ගනිමින් සිටියදී බසයට නැගි තුවක්කුකරුවෙක් ජෙරාඩ්ව වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

2008.04.22 දිනැති, මීගමුව මහාධිකරණ විනිසුරුවරියගේ වධ හිංසා නඩු තීන්දුව මගින් චූදිතයන් නිදොස් කෙරුණ අතර ජෙරාඩ්ගේ බිරිඳ ආසියානු මානව හිමිකම් කොමිසම හා එක්ව තීන්දුව පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කළාය.

2012 අග භාගයේදී ලද නඩු තීන්දුවට අනුව වධ දුන් බව වසන් කිරීමට පොලිසිය විසින් සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කළ බව පිළිගැනුණ අතර පස්වෙනි සහ හයවෙනි විත්තිකරුවන් හැර අනෙක් විත්තිකරුවන් සිව්දෙනාගේ නිදොස් කිරීම් අවලංගු විය.

2015 ජුනි 23 වන දින මීගමුව මහාධිකරණ විනිසුරු විසින් උප පොලිස් පරීක්ෂක සුරේශ් ගුණරත්න සහ ඔහුගේ සහායක පොලිස් නිලධාරියෙකු ජෙරාඩ් පෙරේරා ඝාතන සිද්ධියට වරදකරුවන් බවට තීන්දුව ලබා දුන් අතර ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි. වධ බන්ධනයන්ට ලක්කිරීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට සහ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව තවමත් විභාග වෙමින් පවතී.

සඳුන් මාලිංග ඝාතනය

මාලිංග වෙනුවෙන් පොලිසිය වෙත එල්ල වූ විරෝධතාවක්/Sunday Times

බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ, එවකට 17 හැවිරිදි සඳුන් මාලිංග 2014 මැයි 07 වන දින අත්අඩංගුවට පත්වන්නේ ඔහුගේ සොයුරු කසුන් මාධව ද සමඟ ය. ඒ ඔවුන් දෙදෙනා විකිණීමට තිබූ ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමට යමින් සිටියදී ය.

දස දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඇසින් දුටු සාක්ෂිවලට අනුව පාරේදීම සොහොයුරන් දෙදෙනාට දැඩිව පහරදී තිබේ.

මාලිංගගේ පියා පවසන අන්දමට පොලිසිය තුලදීත් ඔහු දරුණු ලෙස පහර කෑමට ලක්ව ඇති අතර දහවල් ඔහු බැලීම සඳහා පොලිසියට යන විට දරුණු වේදනාවෙන් කෙඳිරි ගාමින් සිට තිබේ. තම පුත්‍රයාව රෝහල් ගතකරන මෙන් දෙමව්පියන් පොලීසියෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කළ පොලීසිය ඔවුන්ට පවසා ඇත්තේ ඊට පසු දින නැවත පැමිණෙන ලෙසය.

2014 මැයි 09 දින පොලිස් සිර මැදිරිය තුළදීම 17 හැවිරිදි තරුණයා මරණයට පත්වූ අතර මරණයට හේතුව ලෙස අභ්‍යන්තර රුධිර වහනය දැක්විණි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතනය සම්බන්ධව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර නඩු පවරා තිබූ අතර 2017 ජනවාරි 09 දින ලබා දුන් නඩු තීන්දුවෙන් කන්දකැටිය පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරින් 06 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කෙරුණි.

සැලකිල්ලට ගත වුතු කාරණාව වන්නේ මෙසේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ‘රයිට් ටු ලයිෆ්’ මානව හිමිකම් සංවිධානය විසින්, රිට් ආඥාවක් ඉල්ලා පවරන ලද පෙත්සමෙන් අනතුරුව වීමය. ඔවුන් එය ඉල්ලා සිටියේ මාලිංගගේ මරණයෙන් වසරක් පමම ගතවන තෙක් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවරක් ගෙන නොතිබීම හේතුවෙන් නීතිපතිවරයාගේ නිහඬතාව අභියෝගයට ලක් කරමිනි.

අඟුලාන ද්විත්ව ඝාතනය

දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදයකාන්ත අපොන්සු 2009 අගෝස්තු 12 රාත්‍රියේදී අඟුලාන පොලිසියේ අත් අඩංගුවට පත්වන්නේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. පැමිණිල්ල කෙරුණේ  මොවුන් දෙදෙනා අඟුලාන පොදු ක්‍රීඩාංගණය අසල මත්පැන් පානය කිරීමට ගොස් එම කාන්තාවගේ නිවසෙන් ගිනිපෙට්ටියක් ඉල්ලීමට ගොස් එහිදී ඇතිවූ තත්වයක් මත ය. පැමිණිලි ප්‍රකාරව එම අවස්ථාවේදීම තරුණයන් දෙදෙනා අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ පසු දිනයේදී එනම් අගෝස්තු 13, මිය ගිය තරංගගේ සිරුර ලුනාව පාලම අසල අසළ තිබීයදීත්, ධනුෂ්කගේ සිරුර මුහුදු වෙරළ අසළ තිබියදීත් සොයා ගන්නා ලදී

තරුණයන් දෙදෙනා ඝාතනය වීමේ සිදුවීම රට පුරා නොසන්සුන්තාවයක් ඇති කරලීමට එම කාල වකවානුවේ සමත් වූ අතර, එවක පොලිස්පතිවරයාගේ නියමය පරිදි ඝාතන සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය විසින් කඩිනමින් ආරම්භ කරන ලදී. ඒ අනූව අඟුලාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 9දෙනෙකු සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට පත්විය.

අඟුලාන පොලිස් ස්ථානාධිපති/gossip lanka news

ඝාතන සම්බන්ධ නඩු විභාගය 2010 අගෝස්තු මස 19 ආරම්භ වූ අතර, අඟුලාන හිටපු පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පිරිසට එරෙහි අධි චෝදනා අටක්‌ යටතේ නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කොට තිබුණි.

2011 වසරේ අගෝස්තු 25 ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්, තරුණයින් දෙදෙනා පැහැරගෙන යාම හා පසුව ඔවුන්ව ඝාතනය කිරීම යන චෝදනා සඳහා, විත්තිකරුවන් 9දෙනා අතුරින් අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු වැරදිකරුවන් කරනු ලබමින් ඔවුන්ට මරණ දණ්ඩනය නියම කරන ලදී. මරණ දඬුවම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අපරාධකරුවන් විසින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අභියාචනයක් 2014 වර්ෂයේ අප්‍රියෙල් 02 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර දමන ලදී.

පසුව නැවතත් නියම කළ මරණ දඬුවමට එරෙහිව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අභියාචනා පෙත්සමක් ගොනුකරනු ලැබූවත්, එම අභියාචනා පෙත්සමද 2015 මාර්තු 26 නිෂ්ප්‍රභ කරන ලදී.

බාලවර්ණන් සිවකුමාර් මරා දැමීම

(Sunday Times)

කිසියම් මානසික සංකූලතාවකින් පෙළුණු මෙම තරුණයා එම තත්වය සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයෙන් නිර්දේශ කළ ප්‍රතිකාර ගනිමින් සිටි තැනැත්තෙකි. ධාවනය කරමින් තිබූ රථවලට ගල් ගසන බවට රියදුරෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය ඔහුව සොයන්නට පටන් ගත්තේය. ඒ වන විට සිවකුමාර් විසින් ගල් පහරවල් එල්ල කිරීම නිසා ගමන් ගත් දුම්රියක් ද නැවැත්වීමට කටයුතු කර තිබුණි.

පොලිසිය සහ මගීන් තමන් පසුපස එනු දුටු තරුණයා ඔවුන් දෙසටද ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර හඹා එන්නන්ගෙන් ගැලවීම පිණිස මුහුදේ පිහිට පැතුවේය.

අනතුරුව පුද්ගලයන් සිව් දෙනෙක් ඔහු පසුපස මුහුදට ද බසින ලදී. ඔවුන් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු වූ අතර ඔවුන් අතේ විශාල මුගුරු තිබුණි.

නොනැවතී එල්ල වූ මුගුරු ප්‍රහාරයන්ගෙන් ගැලවීමට සිවකුමාර් මුහුදේ ගැඹුරටම ඇදුණ අතර ඉන් මොහොතකට පසු පහර කෑම සහ දියේ දිලීම නිසා අඩපණ වූ ඔහුගේ සිරුර මුහුදේ පාවෙනු දකින්නට ලැබුණි.

අසල ගොඩනැගිල්ලක සිට මේ සියළු සිද්ධීන් රූ ගත කිරීමට TNL නාලිකාවේ මාධ්‍යවීදියෙකු ක්‍රියා කර තිබුණි.

අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු වැලිකඩ බන්ධනාගාරය තුළදී ජීවිතක්ෂයට පත්වූ අතර  අනෙක් පොලිස් නිලධාරියා ඇප මත නිදහස් කෙරිණි. සාමාන්‍ය වැසියන්ගෙන් එක් අයෙකුද එසේ නිදහස් කෙරුණි. ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වූ අනෙක් වැසියා මේ වන තෙක් රිමාන්ඩ් බාරයේ පසුවේ.

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න

2016 ජනවාරි 07 වන දින රාත්‍රියේ ඇඹිලිපිටිය පොලිසියට අනියුක්ත නිලධාරින්න් කිහිප දෙනෙකු රාත්‍රී සාදයකට කඩා වදින්නේ අධික ශබ්දය නිසා අසල්වාසීන් විසින් පැමිණිල්ලක් කළ බව පවසමිනි.

සාදයේ සිටි පිරිස සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුරදී සුමිත් ප්‍රසන්න අඩක් නිමකරන ලද ගොඩනැගිලි උඩු මහලෙන් ඇද වැටී මරණයට පත්විය. සුමිත්ගේ බිරිඳ ඇතුලු තවත් අයෙක් පවසන්නේ පොලිසිය විසින් සුමිත්ව උඩු මහලේ සිට පහතට තල්ලු කරනවා දුටු බවයි. එමෙන්ම පොලිසිය සාදයට පැමිණියේ මත්පැන් බෝතල් ඉල්ලමින් බවයි. එහෙත් පොලිසිය මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කළේය. සිද්ධිය සම්බන්ද නඩුව තවමත් විභාග වෙමින් පවතී

කවිරාජ් රවිචන්ද්‍රන්

කවිරාජ් 2016 සැප්තැම්බර් 17 මිය යන්නේ පුස්සැල්ලාව පොලිස් සිර මැදිරිය තුල ඇඳ සිටි කමිසයෙන් ගෙල සිර කර ගනිමිනි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද කියැවුණේ එය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවය.

නමුත් කවිරාජ්ගේ ඥාතීන් පවසන්නෙ සිර මැදිරිය තුළදී පොලිසිය විසින් ඔහුව කෲර ලෙස සැලකූ බවයි.

ඇදුම වැළදුණ චාදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි

42 හැවිරිදි දෙදරු පියෙකු වූ චාදික් 2017 පෙබරවාරි 25 පෑලියගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගැනෙන්නේ නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ලඟ තබාගෙන සිටින්නේයි චෝදනා කරමිනි. ඒ අනුව පොලිසියට රැගෙන යන චාදික් ඉන්පසුව හමුවන්නේ කොළඹ ජාතික රෝහලේ මිනී කාමරයෙනි.

පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව චාදික් මිය යන්නේ විජලනය හෝ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙනි. මරණයට පෙර වධ හිංසාවට ලක් වූ බව පෙන්වන සලකුණු ඔහුගේ සිරුරේ දක්නට ඇතැයි එම වාර්තාවෙන් කියවුණි.

කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි පවසා සිටියේ සැකකරුට ඇදුම රෝගය වැළඳී රෝහල් ගත කළ පසුව මිය ගිය බවයි.

මේ සම්බන්ධව පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මේවාට අමතරව පොලිසිය විසින් සිදුකරණ ලද අදූරදශී අත් අඩංගුවට ගැනීම් නිසා ද විනාශ වී ගිය ජීවිත බොහොමයකි. ආසන්නම උදාහරණය ලෙස 2015 වසරේ කොටදෙණියාවේ සිදුවූ සේයා සදෙව්මි ඝාතන සිද්ධිය දැක්විය හැක.

ස්වාධීන පොලිස් සේවයක් වෙනුවෙන් ජාතික පොලිස් කොමිසම වැනි ආයතන පවා පිහිටුවා ඇති තත්වයක මෙවන් තත්වයන් වෙනස් කිරීමට ද රජයේ දැඩි අවධානය යොමු විය යුතුය. දඬුවම් දීමෙන් පමණක් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලැක්වීමට නොහැකි අතර ඒ සඳහා පොලිස් නිලධාරීන්ට කාලයට ගැලපෙන පුහුණුවක් ලබා දිය යුතුය.

කවරයේ පින්තුරය: deschide.md