ප්‍රංශය සුරැකීමට ඉදි කළ මැජිනොට් සීමාව

පළමු ලෝක යුද්ධය නිම වීමෙන් පසු ප්‍රංශය තම දේශයේ ආරක්ෂාව පිළිබඳ විමසා බැලීමක් සිදු කරනවා. එහිදී ඔවුනට තේරුම් යන කාරණයක් වන්නේ ගංගා කිහිපයක් සහ කුඩා කඳු කිහිපයක් හැරුණු කොට ගොඩබිම දෙසින් එන ආක්‍රමණයකට මුහුණ දීමට ප්‍රමාණවත් තරමේ ආරක්ෂක වළල්ලක් ප්‍රංශය සතු ව නොමැති බවයි. පසුගිය සියවස් ගණනාව තුළ 30 වරක් තම රට ආක්‍රමණය කළ ජර්මනිය පිළිබඳඩව ඔවුන්ට බියක් පැවතියා. 19 වන සියවසේ පමණක් ජර්මානු ආක්‍රමණ 5 කට මුහුණ දුන් ප්‍රංශය අනාගතය වෙනුවෙන් ලොව මෑත යුගයේ නිර්මාණය වුණු දැවැන්ත ම ආරක්ෂක බළකොටුව නිර්මාණය කරන්නේ ඒ අනුවයි.

ආක්‍රමණ වැලැක්වීමට බළකොටු තැනීමේ ඉතිහාසය

යුද ආක්‍රමණ වැලැක්වීමට සහ සතුරා මන්දගාමී කිරීමට අතීතයේ සිටම ආරක්ෂක බැමි, පවුරු ආදිය තැනීමට මිනිසා පුරුදු වී සිටියා. වැලි කොට්ට යොදා සැකසු අඩියක් පමණ උස කුඩා බැම්මක සිට චීන මහා ප්‍රාකාරය දක්වා මේ සඳහා උදාහරණ පෙන්වා දිය හැකියි. 1870 දී ප්‍රංශ අධිරාජ්‍යය සහ පර්සියානු අධිරාජ්‍යය යටතේ පැවති උතුරු ජර්මානු සංයුක්ත රාජ්‍යය අතර ඇවිළුණු පර්සියානු යුද්ධයේදී ප්‍රංශය තම ආරක්ෂාව වෙනුවෙන් බළකොටු පද්ධතියක් ඉදි කළා. ඊසාන දිග ප්‍රංශයේ පිහිටි Verdun නගරය ආශ්‍රිත ව ඉදිවූ මෙම බළකොටු අතරින් විශාල ම එක වන්නේ Douaumont බලකොටුවයි.

Douaumont fort
Douaumont බළකොටුව අද දිස්වන ආකාරය – emaze.com

Occupation: The Ordeal of France කෘතියේ සඳහන් ආකාරයට Douaumont බළකොටුවේ එළියට පෙනෙන ලෙස පැවතියේ එහි කොන්ක්‍රීට් වහලය සහ තුවක්කු සවිකළ කුටි පමණයි. කොරිඩෝ, බැරැක්ක කාමර, යුධෝපකරණ ගබඩා සහ නවාතැන් පහසුකම් ආදිය පොළොව යට ඉදි කර තිබුණා. Douaumont බළකොටුව ඒ දක්වා ඉදිවූ විශාල ම සහ සැලසුම් සහගත ම බළකොටුව බවයි පැවසුණේ. බෙල්ජියම් ජාතික යුද ඉංජිනේරුවරයකු වූ Henri Brialmont ද ඉහත බළකොටුවලට සමානකම් දක්වන බළකොටු පද්ධතියක් බෙල්ජියමේ ඉදි කළා. ඔහු විශ්වාස කළේ කාලතුවක්කු ප්‍රහාරවලින් නගර ආරක්ෂා කර ගැනීමට නම් යුද බළකොටු නගරවලට දුරින් ඉදි කළ යුතු බවයි. අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පහසු වන පරිදි ඒවා ඉදිකිරීම ද ඒ අනුව සැලකිය යුතු වුණා.

ත්‍රිකෝණාකාර සහ ත්‍රපීසියම් හැඩයෙන් යුත් Brialmont ගේ බළකොටු ඉදි කළේ කොන්ක්‍රීට් සහ ලෝහ යොදාගෙනයි. ඒවා ප්‍රථම වරට භාවිතයට ගැනුණේ පළමු ලෝක මහා සංග්‍රාමය අවධියේ දී ජර්මනිය, බෙල්ජියම ආක්‍රමණය කළ අවස්ථාවේදීයි. ඒ වන විට Brialmont ජීවතුන් අතර නොසිටි අතර ඔහුගේ බළකොටු යුද්ධයේ දී සාර්ථක වුයේ ද නැහැ. විශේෂයෙන් ජර්මානු හමුදා සතුව පැවති මිලිමීටර 420 – බිග් බර්තා කාලතුවක්කු සහ ඔස්ට්‍රියානු මිලිමීටර 305 කාලතුවක්කු උණ්ඩවලට ඔරොත්තු දීමට බළකොටුවල කොන්ක්‍රීට් බිත්ති සවිමත් වුයේ නැහැ. මෙම බළකොටු අතරින් සමහරක් දෙවන ලෝක යුද්ධයේදී ද නැවත භාවිත කෙරුණා.

Brialmont's fort
ත්‍රපීසියම් හැඩයෙන් යුත් Brialmont ගේ බළකොටුවක හරස්කඩ – wikimedia.org

මැජිනොට් සීමාව (Maginot Line) ඉදිකිරීමට ප්‍රංශය සැලසුම් කරන්නේ ඉහත අත්දැකීම් උපයෝගී කරගෙනයි. විශේෂයෙන් Brialmont ගේ සැලසුම්වල තිබූ බිත්තිවල ශක්තිය ප්‍රමාණවත් නොවීම සහ බළකොටු අතර ගමන් කිරීමට අගල් කපා තිබීම වැනි අඩුපාඩු ප්‍රංශ හමුදා අධ්‍යයනය කර තිබුණා. අඩු පිරිස් බලයක් සිටීම නිසා Douaumont බළකොටුවේ වේගවත් බිඳ වැටීම වැනි දෙයක් නැවත සිදු නොවීමට වග බලා ගැනීමටත් ඔවුන් සැලසුම් කළා.

මැජිනොට් සීමාව ඉදිකිරීමේ අවශ්‍යතාව

ආරක්‍ෂිත බළකොටු සහිත පවුරක් ඉදිකිරීමේ ප්‍රධාන ම අරමුණ ආක්‍රමණ වැලැක්වීම වුවත් ප්‍රංශය එම තත්ත්වයට පත් වීමට තවත් හේතු කිහිපයක් බලපෑවා. පළමු ලෝක යුද්ධයෙන් පසු විශාල වශයෙන් ප්‍රංශයේ උපත් අනුපාතිකය පහළ ගිය අතර ප්‍රංශ හමුදාවේ පිරිස් බලය ද අවම අගයක පැවතීම නිසා විශාල ආක්‍රමණයකට මුහුණ දීම සඳහා ප්‍රංශ හමුදා සතු ව ශක්තියක් පැවතියේ නැහැ. ආරක්‍ෂිත පවුරක් නිර්මාණය කිරීම වැදගත් වන්නේ එය පසුකර සතුරු හමුදාවන්ට ඉදිරියට පැමිණීම සඳහා ගතවන කාලය තුළ මුළු ප්‍රංශ හමුදාව ම අවශ්‍ය තැන්වලට යොමු කිරීමට හැකි වීමයි.

පළමු ලෝක යුද්ධය ජයගත්තේ සම්පුර්ණයෙන් ම පාහේ බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා ශක්තියෙන් බව ප්‍රංශය දැන සිටියා. මේ නිසා අනාගතයේ දී එන තවත් ආක්‍රමණයක දී පෙර පරිදි ම ඔවුන්ගේ සහාය ප්‍රංශයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිවීම නිසා තමන්ගේ ආරක්ෂාව තමන් ම සපයා ගැනීමක් ලෙස ආරක්‍ෂිත පවුරක් නිර්මාණය වැදගත් වනවා. ප්‍රංශයේ කර්මාන්ත ශාලා ආදී බොහොමයක් පිහිටුවා ඇත්තේ ප්‍රංශයේ ඊසාන දිග දේශ සීමා ආසන්නයට වන්නටයි. එම නිසා ජර්මානු ආක්‍රමණයකදී තම කර්මාන්ත ශක්තිය ආරක්ෂා කරගැනීම සඳහාත් හොඳ ම විකල්පය වන්නේ බළකොටු සහිත ආරක්ෂක පවුරක් නිර්මාණය කිරීම බව ප්‍රංශ යු විශේෂඥයන් වටහා ගෙන තිබුණා.

ඉදිකිරීම් ඇරඹෙයි

මැජිනොට් සීමාව ඉදිකිරීම සඳහා වූ යෝජනාව මුලින් ම ඉදිරිපත් කරන්නේ පළමු ලෝක යුද්ධයේ දී ප්‍රංශ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ Joseph Joffre ය. එය බලවත් ඉල්ලීමක් බවට පත්ක ර ප්‍රංශ රජය ඒ සඳහා යොමු කරවීමේ ප්‍රධාන කාර්යභාරය සිදුකරන්නේ ප්‍රංශයේ යුද අමාත්‍යවරයා ව සිටි Andre Maginot ය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මැජිනොට් සීමාවේ ඉදිකිරීම් 1929 දී ආරම්භ වුණා. Andre Maginot 1932 දී මිය ගිය අතර වසර 9ක් ගතවූ ඉදිකිරීමේ අවසානය දැක බලා ගැනීමට ඔහු ජීවතුන් අතර නොසිටියත් මෙම පවුර ඔහුගේ නමින් නම් කිරීමට ප්‍රංශ රජය තීරණය කරනවා.

Joseph Joffre & Andre Maginot
Joseph Joffre සහ Andre Maginot – wikimedia.org

මැජිනොට් සීමාව චීන මහා ප්‍රකාරය මෙන් තනි ඉදිකිරීමක් නොවේ. ඒ වෙනුවට එය වෙන වෙනම පිහිටුවා තිබූ ගොඩනැගිලි 500ක පමණ එකතුවක් වනවා. මේවා එකට සැලකුවහොත් ස්විස්ටර්ලන්තයේ සිට ජර්මානු දේශ සීමාව දිගේ ලක්සම්බර්ග් දක්වා ද එතැනින් බෙල්ජියම් දේශ සීමාව ඔස්සේ ඉංග්‍රීසි ඕඩය දක්වා ද දිවෙනවා. මෙම සම්පුර්ණ සැතපුම් 800 ක දුර ම එක ම ආකාරයට බලගැන්වීමට ප්‍රංශ රජය සුදානමින් සිටියත් 1936 දක්වා ඉදිකිරීම් අවසන් කෙරුණේ ස්විස්ටර්ලන්තයේ සිට ලක්සම්බර්ග් දක්වා කොටස පමණයි. එතැන් සිට උපරිම ආරක්ෂාවක් සපයන පරිදි මැජිනොට් සීමාව ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රංශ රජය සතුව පැවතියේ නැහැ.

බෙල්ජියම මිත්‍ර හෝ අක්ෂ පාක්ෂිකයන්ට සහයක් නොදක්වමින් උදාසීන ස්ථාවරයක පසුවීමත් ඔවුන් ප්‍රංශය හා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කිරීමත් නිසා ලක්සම්බර්ග් සිට ඉංග්‍රීසි ඕඩය දක්වා කොටසේදී මැජිනොට් සීමාව සාමාන්‍ය ආරක්ෂක වළල්ලක් ලෙස ඉදිකරන්නට ප්‍රංශය සැලසුම් කළා. මෙය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ අතර ජර්මනිය ආක්‍රමණයක් දියත් කළහොත් බොහෝවිට එය ප්‍රංශ – ජර්මානු දේශ සීමාව හරහා මිස බෙල්ජියම හරහා නොපැමිණෙනු ඇතැයි ප්‍රංශ රජයේ පිළිතුර වුණා. ජර්මනිය, බෙල්ජියම හරහා ප්‍රංශයට ඇතුළු වීමට උත්සාහ දැරුවහොත් බ්‍රිතාන්‍ය නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී එම උත්සාහය මැඬලනු ඇති බවයි ඔවුන් විශ්වාස කළා.

maginot line
මැජිනොට් සීමාව දැක්වෙන සිතියමක්: මෙහි කඩ ඉරි වලින් පෙන්වා ඇත්තේ දුර්වල ආරක්ෂක පවුරක් පැවති ප්‍රදේශ වන අතර කොළ පැහැයෙන් Ardennes වනාන්තරය ලකුණු කර ඇත – medium.com

ජර්මානු දේශ සීමාව ඔස්සේ ඉදිවූ මැජිනොට් සීමාවේ ඇතැම් ස්ථාන පරමාණු බෝම්බයකට පවා ඔරොත්තු දිය හැකි ලෙස සකස් කර තිබූ බව සඳහන්. කොන්ක්‍රීට් ඝන මීටර මිලියන 1.5 ක් සහ යකඩ ටොන් 150,000ක් සම්පුර්ණ ඉදිකිරීමට වැය වී තිබුණා. වැයවූ මුදල ෆ්‍රෑන්ක් බිලියන 3.3 ක් පමණ වූ අතර එය වර්තමාන මුදල් වටිනාකම් හා සැලකීමේදී අමෙරිකානු ඩොලර් බිලියන 200 කට පමණ සමාන වනවා.

මැජිනොට් සීමාවේ යුද ශක්තිය

මැජිනොට් සීමාවේ ඉදිරියෙන් ම පැවතියේ ඔත්තු බැලීම් සඳහා ඉදිකර තිබූ කුලුනු ය. මෙවැනි ස්ථාන 5000ක් පමණ මැජිනොට් සීමාව දිගේ ම ඉදි කර තිබුණා. ඒවා මගින් සතුරු ප්‍රහාරයක් පැමිණෙන බවට පළමු පණිවිඩය ලබාදෙනවා. ඒවාට කිලෝමීටර 5ක් පමණ පිටුපසින් යුද ටැංකි නාශක අවි සවිකර ඇති අතර තවත් කිලෝමීටර 5ක දුරකින් යුද ටැංකි ගමනාගමනයට බාධා පැමිණවීම සඳහා සිරස් අතට පොළවේ සවිකළ යකඩ කොටස් පැවතුණා. කිලෝමීටර 1000 ගණනක් දිග කටුකම්බි ද සතුරාගේ ගමන අඩාල කිරීම සඳහා ඇද තිබුණා. කොන්ක්‍රීට් යොදා නිර්මාණය කළ බංකර සහ බළකොටු ආදිය හමුවන්නේ මේ සියල්ලට ම පසුවයි.

anti tank rails
යුද ටැංකි ගමනාගමනයට බාධා පැමිණවීම සඳහා පොළවේ සවිකළ යකඩ පීලි – militaryhistorynow.com

පළමු කොන්ක්‍රීට් ඉදිකිරීම වන්නේ කුඩා ප්‍රමාණයේ බංකර (Casemate) වන අතර මේවයේ සෙබළුන් 20-30 ක් පමණ රැඳවිය හැකි ලෙස සකස් කර තිබුණා.මහල් දෙකකින් සමන්විත වූ මෙම බංකරවල ඉහළ මහලේ ප්‍රහාර සිදු කිරීමට යොදාගැනෙන අතර පහළ මාලය සැපයුම් ගබඩා ද, සෙබළුන්ට ආහාර ගැනීම සහ නිදාගැනීමට ඉඩ පහසුකම් ද සපයා තිබුණා. මෙවැනි බංකර 352 ක් මැජිනොට් සීමාවේ තිබූ බව සඳහන්.

casemate maginot line
කුඩා ප්‍රමාණයේ බංකර – tellnoo.com

මැජිනොට් සීමාවේ බළකොටු වර්ග දෙකක් දැකිය හැකියි. වඩා කුඩා ප්‍රමාණයේ බළකොටු ප්‍රංශ බසින් හැඳින්වුණේ Petit Ouvrages යන නමින්. මේවා 100 ක් පමණ මැජිනොට් සීමාවේ දැකිය හැකි වූ අතර උමංමාර්ග වලින් එකිනෙක සම්බන්ධ කර තිබුණා. Gros Ouvrages නමින් හැඳින්වූ විශාල ප්‍රමාණයේ බළකොටු 45 ක් මැජිනොට් සීමාව පුරාවට පැවති අතර වඩා වැදගත් ම ගොඩනැගිල්ල වූයේ මේවායි. වෙනම බලශක්ති සැපයුමක් ද සහිත වූ මෙයින් එකක සෙබළුන් 1000 ක් පමණ රැඳවිය හැකි වුණා. වායුසමීකරණය කළ මහල් 6ක් පොළොව යටට පවතින සේ සමන්විත මෙවැනි විශාල බළකොටුවක පහතම මහලේ සැපයුම් සහ සෙබළුන් ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ගයක් ද අඩංගුයි. ඊට අමතර ව සන්නිවේදන කාමර, රෝහල් සහ වෙනත් ගබඩා පහසුකම් ද විශාල බළකොටුවක පවතිනවා.

maginot line cross section
විශාල බළකොටුවක් සමඟ මැජිනොට් සීමාවේ හරස්කඩක් – historycollection.com

සියලුම බංකර සහ බළකොටුවල ඉදිරිපස සහ පැති බිත්තිවල ඝනකම අඩි 12ක් පමණ වූ අතර පිටුපස බිත්ති සාමන්‍ය ඝනකමකින් නිර්මාණය කර තිබුණා. ඒ නිසා යම්හෙයකින් මේවා සතුරු හමුදා යටතට පත්වුවහොත් ඒවා යළි අත්පත් කර ගැනීමට පිටුපසින් පැමිණෙන ප්‍රංශ හමුදාවලට පහසුවනවා. කොන්ක්‍රීට් ඉදිකිරීම්වලට අමතර ව සාම්ප්‍රදායික දිය අගල් ද මැජිනොට් සිමාවේ දැකිය හැකියි. ඒවාට අවශ්‍ය වූ විට ජලය පුරවා සතුරන් ඇතුළු වීම වළක්වා ගත හැකි ලෙසත් සකස් කර තිබුණා.

gros ouvrages
විශාල බළකොටුවක් පොළොව මතුපිටට දිස්වන ආකාරය – nolongerset.com

මැජිනොට් සිමාවේ ඇති ගොඩනැගිලිවලට සම්පුර්ණ ධාරිතාවයෙන් සෙබළුන් යොමු කිරීමට සැලසුම් කර තිබුණේ යුද්ධය පවතින අවස්ථාවකදී පමණයි. එසේ හදිසි තත්වයක් නොමැති අවස්ථාවල සෙබළුන් ආරක්‍ෂිත නිවස්නවල රඳවා තැබුණා. මේවා දුම්රිය මාර්ගවලින් මැජිනොට් සීමාවේ බළකොටුවලට සම්බන්ධ වන නිසා ඉතාම කෙටි කාලයකින් හමුදාව ඉදිරියට ප්‍රවාහනය කළ හැකි වුණා.

දෙවන ලෝක යුද්ධයේ ජර්මානු ආක්‍රමණය

මැජිනොට් සීමාව පිළිබඳ ව ප්‍රංශ රජය ඇතුළු මිත්‍ර පාක්ෂික රටවල් බොහෝ විශ්වාසයක් තබා තිබුණා. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් පවා ජර්මානු ආක්‍රමණයක් පිළිබඳ අදහස් දැක්වීමේදී වරෙක ප්‍රකාශ කළේ “වාසනාවකට අපට මැජිනොට් සීමාව තිබෙනවා” යන්නයි. නමුත් තවත් බොහෝ දෙනා මැජිනොට් සීමාව ගැන විශ්වාස කළේ නැහැ. 1939 දී බ්‍රිතාන්‍ය හමුදා සහාය ද ඇති ව ලක්සම්බර්ග් සිට ඉංග්‍රීසි ඕඩය දක්වා කොටසේ ආරක්ෂාව තර කිරීමට ප්‍රංශ හමුදා කටයුතු කළා. නමුත් Ardennes වනාන්තරය ආශ්‍රිත කොටසේ එතරම් යුද බලයක් යෙදවුණේ නැහැ. ප්‍රංශ හමුදා විශ්වාස කළේ වනාන්තරය මඟින් සැකසෙන ස්වභාවික බාධකය නිසා ජර්මානු හමුදාවලට ඒ හරහා ප්‍රංශයට ඇතුළු වීම අසීරු බවයි.

කෙසේවෙතත් මැජිනොට් සීමාවේ යුද ශක්තිය පළමු වරට දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ උරගා බැලුණා. 1940 දී පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු නාසීන් ගේ මීළඟ ඉලක්කය වූයේ ප්‍රංශයයි. ඔවුන් සිය හමුදා කොටස් තුනකින් ප්‍රංශය වෙත මෙහෙයවූවා. එක් කණ්ඩායමක් බෙල්ජියම හරහාත් තවත් කණ්ඩායමක් ජර්මානු – ප්‍රංශ දේශ සීමාව ඔස්සේ එනම් මැජිනොට් සීමාවේ වඩා බලවත් කොටස හරහාත් අනික් කණ්ඩායම ඉහත කණ්ඩායම් ද්විත්වයට මැදින් Ardennes වනාන්තරය හරහාත් වන පරිදියි ඒ.

german attack to france
ජර්මානු සොල්දාදුවන් වැඩි පිරිසක් Ardennes වනාන්තරය ආශ්‍රිත කොටස හරහා ප්‍රංශයට ඇතුළු වූ ආකාරය: මෙහි නිල් පැහැ ඊතලවලින් දක්වා ඇත්තේ මිත්‍ර හමුදාවයි – quora.com

ප්‍රංශය සමඟ ජර්මනියේ ගැටුම් ආරම්භ වූයේ 1940 මැයි 10 වන දා වන අතර එතැන් සිට දින 5 ක් ඇතුළත ජර්මානු හමුදා මිලියනයක පමණ සංඛ්‍යාවක් සමඟ යුද ටැංකි 1500ක් Ardennes වනාන්තරය හරහා ප්‍රංශයට ඇතුළු වනවා. මෙම ප්‍රදේශයේ රැඳී සිටියේ ඉතාම කුඩා ප්‍රංශ හමුදාවක් පමණක් වන අතර ඔවුන්ට ගුවන් සහාය ද ලැබුණේ නැහැ. මැජිනොට් සීමාව වෙත සෘජුව ම පැමිණි ජර්මානු භට කණ්ඩායම් සිදු කළේ නොමඟ යැවීමක් බව ප්‍රංශ හමුදාව එමඟින් තේරුම් ගන්නවා. උතුරු දෙසට ගමන් කළ ජර්මානු හමුදා මැයි 24 වනදා Dunkirk වෙත ළඟා වනවා. ජූනි 09 වනදා වන විට මැජිනොට් සීමාව පිටුපසින් පැමිණි ජර්මානු හමුදාව එය අත්පත් කරගන්නා අතර ජූනි 24 වනදා ප්‍රංශය තම යටත්වීම ප්‍රකාශයට පත් කරනවා. වසර 10 ක් තිස්සේ ප්‍රංශය සුදානම් වුණු යුද්ධය සති 6 කදී අවසාන වන්නේ ඒ ආකාරයටයි.

යුද්ධයෙන් පසු මැජිනොට් සීමාව

මැජිනොට් සීමාව යම් ගැටුම් ප්‍රමාණයකට දායකත්වය සැපයුවත් ප්‍රංශය ජර්මානු ආක්‍රමණයෙන් මුදා ගැනීමට එයට හැකිවුණේ නැහැ.  මැජිනොට් සීමාව මගින් ජර්මානු හමුදා වෙනත් මාර්ගයකට යොමු කිරීම සහ ආක්‍රමණය කල් යැවීම තරමක් දුරට හෝ සිදුකළ බව පැවසිය හැකියි. සම්පුර්ණ ඉදිකිරීම මුලින් සැලසුම් කළ ආකාරයට ම සිදු කළේ නම් ජර්මනිය සම්පුර්ණයෙන් ම පරාජය කිරීමට එහි යුද ශක්තිය ප්‍රමාණවත් බව බොහෝ දෙනාගේ අදහසයි. සමහර පුද්ගලයන් පවසන්නේ ලක්සම්බර්ග් දක්වා පමණක් උපරිම ආරක්‍ෂිත ලෙස මැජිනොට් සීමාව ඉදි කළේ ජර්මානු හමුදාව බෙල්ජියම ඔස්සේ පැමිණීම බලාපොරොත්තුවෙන් බවයි. එම කොටසේදී මිත්‍ර හමුදා යුද්ධයට දැක්වූ සුදානම මදිකම පරාජයට හේතු වූ බව පැවසෙනවා.

ලෝක යුද්ධය 1945 අවසන් වීමෙන් පසු නිර්මාණය වුණු සීතල යුද සමයේදී න්‍යෂ්ටික අවි ස්ථාන ගත කිරීම සහ පාලනය කිරීම සඳහා මැජිනොට් සීමාව සතු ඇතැම් විශාල බළකොටු භාවිත කළ නමුත් 1969 දී ඒවා ද අත්හැර දැමුණා. පසුව මෙම ගොඩනැගිලි සමහරක් පුද්ගලික ගැනුම්කරුවන් මිලට ගත් අතර ඒවා වයින් සාප්පු සහ රාත්‍රී සමාජ ශාලා ලෙස භාවිතයට ගැනෙනවා. එසේ ම මහජනතාවට නැරඹීමට හැකිවන පරිදි විවෘත කර ඇති මේවා තවමත් කිසිදු හානියකට පත් නොවී පැවතීමෙන් ම ඒවායේ ශක්තිමත් බව ලොවට කියාපානවා.

 කවරයේ පින්තූරය - මැජිනොට් සීමාවේ ඇති බලකොටුවක් - thoughtco.com

මූලාශ්‍රථ

thoughtco.com

dailyhistory.org

history.com

nationalinterest.org

europeanfocus.com

meusetourism.com

Related Articles