Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැලේසියාවේ හිටපු අගමැතිට දූෂණ චෝදනා​

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් අත්අඩංගුවට ගැනීම දේශපාලන ලෝකයේ කැළඹීමක් ඇති කිරීමට සමත් වුණා.

ජූලි මස 3 වන දා ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ මැලේසියානු දූෂණ විරෝධී කොමිසම​ (Malaysian Anti-Corruption Commission – MACC) විසිනුයි. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ “වන් මැලේෂියා ඩිවෙලොප්මන්ට් බර්හාර්ඩ්” (1 Malaysia Development Berhard – 1MDB) අරමුදල සම්බන්ධ මූල්‍ය වංචාවන් පිළිබඳ සිදු කරනු ලබන පරීක්ෂණයන්ට සමගාමීව යි.

ජූලි 3 වන දා සිට ඊළඟ දිනයේ උදෑසන දක්වා පුත්‍රජයා නගරයේ පිහිටි දූෂණ විරෝධී කොමිසමෙහි මූලස්ථානයේ රඳවන ලද හිටපු අගමැතිවරයා, ඊළඟ දිනයේ මැලේසියාවේ වේලාවෙන් උදෑසන 8.30ට ක්වාලා ලම්පූර්හි අධිකරණයක් හමුවේ ඉදිරිපත් කෙරුණා. මෙහි දී ඔහුට එරෙහිව නිල වශයෙන් චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුණා. ඒ අනුව සාපරාධී විශ්වාසය කඩ කිරීම යටතේ චෝදනා තුනක්, සහ මැලේසියානු දූෂණ විරෝධී කොමිසම පනත යටතේ චෝදනාවකුත් ලෙස ඔහුට එරෙහිව චෝදනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා.

මීට මාස දෙකකට කලින් මේ කිසිවක් සිදුවේයැ යි හිතන්නටවත් හැකියාවක් තිබුණේ නැහැ. මේ සියල්ල වෙනස් වුණේ මැයි මාසයේ 9 වෙනි දා පවත්වන ලද මැලේසියානු මහ මැතිවරණය නිසයි.

හැට අවුරුදු පාලනය​

1957 දි නිදහස ලද දින පටන් මැලේසියාව පාලනය කළේ එක්සත් මැලේ ජාතික සංවිධානය හෙවත් අම්නෝ (United Malays National Organization – UMNO) පක්ෂය, සහ එයට සහය දෙන දේශපාලන පක්ෂයන් විසින්. මෙම පක්ෂ එක්ව බරිසාන් නැෂනල් නම් සන්ධානයක් පිහිටුවා ගත්තේ 1973 දී. මෙම සන්ධානය 2018 මැයි 9 තෙක් මැලේසියාව පාලනය කළා.

නමුත් මැලේසියානු ජනතාව අතර එම සන්ධානය අප්‍රසාදයට පත් වීමට පටන් ගත්තේ වන් මැලේෂියා ඩිවෙලොප්මන්ට් බර්හාර්ඩ් දූෂණ චෝදනා හේතුවෙන්.

1MDB මූල්‍ය අක්‍රමිකතා

රජයේ ආයෝජන ප්‍රවර්ධනය කරන අදහසින් අරමුදල පිහිටුවන ලද්දේ 2009 දී යි. මෙය වසර හයක් තුළ රිංගිට් බිලියන 42ක පමණ පාඩුවක් ලැබුවා. මේ සමගම මැලේසියානු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්න නැගෙන්නට වුණා.

මේ අතර 2015 දී ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කළේ අරමුදලෙන් මැලේසියානු රිංගිට් බිලියන දෙකහමාරකට අධික මුදලක් එවකට අගමැති නජිබ් රසාක්ගේ පුද්ගලික ගිණුම් වෙත බැර කර ඇති බවයි. රසාක් මෙම චෝදනා තරයේ ප්‍රතික් ෂේප කළ අතර රජය විසින් කළ පරීක් ෂණයකින් ද ඔහු නිදොස් වුණා. නමුත් රජය තුළ සිටි නියෝජ්‍ය මුදල් ඇමති මුයිද්දින් යාසින් ඇතුළු ඇතමුන් පවා රසාක් මෙම පරීක්ෂණ සිදු කළ ආකාරය විවේචනය කළා. රසාක් විසින් යාසින් ඇතුළු තමන්ට හිතවත් නොවූවන් තනතුරුවලින් ඉවත් කළා. එමෙන්ම තමාට එරෙහි දූෂණ චෝදනා පිළිබඳ ප්‍රශ්න කරන්නන් විවිධ අයුරින් නිහඬ කළා.

මහතීර් (EPA)

මේ අතර ඔහුට බරපතලම විවේචනයක් එල්ල වන්නට ගත්තේ හිටපු අගමැති සහ මැලේසියාවේ නූතන සංවර්ධනයේ නියමුවා ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන දොස්තර මහතීර් මොහොමඩ් විසින්. මහතීර්ගේ විවේචන රසාක්ට දරුණු පහරක් වුණා. ඇතැම් අවස්ථාවල රජය මහතීර්ව නිහඬ කරන්නට ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවා තර්ජනය කළ ද එවන් පියවරකට යෑමෙන් වැළකුණේ එහි ප්‍රතිවිපාක පිළිබඳ අදහසක් තිබුණු බැවින්.

“බලාපොරොත්තුවේ සන්ධානය​”

2018 මහ මැතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂ කණ්ඩායම් එක් රොක් වූයේ මහතීර් වටා යි. මහතීර්ගේ පුනරාගමනය ඔවුනට විශාල ශක්තියක් වුණා. ඔහු විසින් බරිසාන් නැෂනාල් සන්ධානයෙන් ඉවත් වූ පසු ගොඩ නැගූ මැලේසියානු එක්සත් ස්වදේශික පක්ෂය (PPBM) සමග සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලන පක්ෂ වූ මහජන සාධාරණත්ව පක්ෂය සහ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාකාරී පක්ෂය යන​ පක්ෂ දෙකත්, ජාතික විශ්වාසනීයත්ව පක්ෂය (AMANAH) යන ඉස්ලාමීය පක්ෂයත් එක්ව පකටාන් හරපාන් හෙවත් “බලාපොරොත්තුවේ සන්ධානය” නම් දේශපාලන සන්ධානය පිහිටුවා ගනු ලැබුණා. මෙම සන්ධානය මැයි 9 වනදා මහ මැතිවරණය ජය ගත්තේ බොහෝ දෙනා මවිතයට පත් කරමින්.

නැවත අරඹන ලද පරීක්ෂණ​

නව රජයේ අගමැති ලෙස පත් වූයේ 92 හැවිරිදි මහතීර් ය​. ඔහු නැවත පරීක්ෂණ ආරම්භ කිරීමට උපදෙස් දුන්නා​. මේ අනුව ආණ්ඩු පෙරළියෙන් සතියකට පසු නජීබ්ගේ නිවස පරීක්ෂා කිරීමට මැලේසියානු පොලිසිය කටයුතු කළා. නජීබ්ට අයත් නිවෙස්වලින් ඩොලර් මිලියන 38ක් තරම් වන විවිධ වර්ගයේ මුදල් ද​, අත් බෑග්, ආභරණ යනාදිය ද සොයාගන්නා ලද බව පොලිසිය කියා සිටියා​.

රිසා අසිස් (AFP)

මේ අතර නජීබ්, ඔහුගේ බිරිඳ, සහ බිරිඳගේ පළමු විවාහයේ පුත්‍රයා ආදී විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරුණා​. නජීබ් අත්අඩංගුවට ගත් දිනයේ දී ද ඔහුගේ බිරිඳගේ පළමු විවාහයේ පුත්‍රයා වන රිසා අසිස් දූෂණ විරෝධී කොමිසමට පැමිණ සිටියා​. එමෙන්ම අම්නෝ පක්ෂයේ නව නායකයා වන අහමඩ් සහිඩ් හමීඩිගෙන් ද දෙවන දිනටත් එදින ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබුණා​.

ඊළඟ අධිකරණ දිනය​

නජීබ් රසාක් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ එහි ඔහුගේ අනුගාමිකයන් පිරිසක් රැස්ව සිටියා. ඔවුන් කියා සිටියේ රසාක්ට සාධාරණත්වය ඉටුවිය යුතු බවයි. නමුත් මෙහි දී කලබලයක් ඇති වූයේ නැහැ.

මහතීර්ගේ අනුගාමිකයන් අධිකරණය ඉදිරිපිට (Melissa Goh)

රජය පාර්ශවයෙන් අධිකරණයෙදී කරුණු දැක්වූ නීතිපති ටොමී තෝමස් නජීබ්ට රිංගිට් මිලියන 4ක ඇප නියම කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වුණා. අවසානයේ දී අධිකරණය රිංගිට් මිලියන 1ක ඇප මත ඔහු නිදහස් කළා. මීළඟ විභාගය අගෝස්තු 8 වන දාට නියම කෙරුණා.

මෙම අධිකරණ කටයුතුවලින් පසු පිටතට පැමිණි නජීබ් තම නිදොස් බව දිගටම ප්‍රකාශ කළා. මේ අතර නීතිපති ටොමී තෝමස් මාධ්‍ය ඇමතීමට ගිය අවස්ථාවේ නජීබ්ගේ අනුගාමිකයන් විරෝධතා දක්වමින් එම මාධ්‍ය හමුව කඩාකප්පල් කරන්නට ක්‍රියා කළා.

Cover Image: නජිබ් රසාක් අධිකරණය වෙත රැගෙන එයි (EPA)

Related Articles