Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාලදිවයින නැවතත් පොදු රාජ්‍ය මණ්ඩලයට

ලෝකයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් පමණ ජනතාවක් වෙසෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට (Commonwealth of Nations) අයත් රටවල යි. මෙම සංවිධානය 1931 වසරේ දී ආරම්භ වෙන අතර වර්තමානය වන විට එහි සාමාජිකයන් ගණන 54ක් වෙනවා. ඒවා බොහොමයක් අතීතයේ දී බ්‍රිතාන්‍ය කිරීටයට අයත්ව තිබූ රටවල්.  

රුවන්ඩාව හා මොසැම්බික් යන රටවල් පිළිවෙලින් 2009 හා 1995 දී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගන්නා අතර, එම රටවල් කිසිම ආකාරයකින් බ්‍රිතාන්‍යයට  යටත් වී තිබූ රාජ්‍ය නොවන ඒවා ලෙස හැඳින්විය හැකි යි. 

පොදු රාජ්‍ය මණ්ඩලය විසින් දේශපාලනිකමය දූෂණ හේතුවෙන් වරෙක සිම්බාබ්වේ හි සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කළා. ඒ හේතුවෙන් රොබට් මුගාබේ 2003 වසරේ දී සිම්බාබ්වේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ගන්නවා. 1999 දී පර්වේෂ් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව පාකිස්ථානයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර, ඉන් වසර හතරහමාරකට පසු යළි එය පිරිනැමීමට කටයුතු කරනවා. 2016 වසරේ දී ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නායකත්වය යටතේ මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙන අතර, මෑත ඉතිහාසයේ ආසන්නතම ඉවත් වීම එය යි. 

වර්තමාන මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ඉන්දියාව හරහා නැවත පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ඉල්ලමින් සිටීම හේතුවෙන්, එය නැවත වරක් ප්‍රදානය කිරීමට සංවිධානය කටයුතු කර තිබෙනවා

පොදු රාජ්‍ය මණ්ඩලය (worldatlas)

සංවිධානයේ නිත්‍ය නායිකාව ලෙස දෙවන එළිසබෙත් රැජින කටයුතු කරන අතර, ඇයගේ මරණයෙන් පසුව නිත්‍ය නායකත්වය කාට හිමි විය යුතු ද යන්න තාම තීරණය වී නෑ. මහ ලේකම්වරිය ලෙස පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කටයුතු කරනවා. 

2018 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව එක්සත් රාජධානියේ පැවතියා. 2020 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව රුවන්ඩාවේ පැවැත්වීමට නියමිතව තිබුණත් ලෝකයම වෙළාගෙන තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය 2021 වසරේ ජුනි මාසය දක්වා කල්ගොස් තිබෙනවා. මෙහි මූලස්ථානය එක්සත් රාජධානියේ, ලන්ඩනයේ පිහිටා තිබෙනවා. 

මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීම 

හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් (bbci.co.uk)

2016 වසරේ මාලදිවයින් ජනාධිපතිවරයා වූ අබ්දුල්ලා යමීන්ගේ නායකත්වයෙන් යුක්ත එරට ආණ්ඩුවට, රටේ පුරවැසියන්ගේ භාෂණයේ නිදහස සීමා කිරීම, අත්තනෝමතිකව විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා නොකිරීම යන චෝදනා පොදු රාජ්‍ය මණ්ඩලය විසින් එල්ල කෙරුනා. අබ්දුල්ලා යමීන්ගේ ආණ්ඩුව මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ගොඩනගන්නේ නැති නම්, තම සංවිධානයෙන් මාදිවයින නෙරපා හැරීමට සිදුවන බව පොදු රාජ්‍ය මණ්ඩලය විසින් අනතුරු අගවනු ලැබුණා.

රටේ කටයුතුවලට ඇඟිලි ගැසීම අසාධාරණ හා අයුක්ති සහගත සැලකීමක් බව චෝදනා කරමින්, මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වන්නට තීරණය කරන්නේ මෙම සමයේ දී යි. එරට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වීමට ගත් තීරණය දුෂ්කර නමුත් නොවැළැක්විය හැකි බව ය. “කණගාටුවට කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් වර්ධනය කිරීම හා  ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගොඩනැගීම මෙන්ම ශක්තිමත් කිරීම වෙනුවෙන් මාලදිවයින ලබා ඇති ප්‍රගතිය හා ජයග්‍රහණ පොදුරාජ්‍ය මණ්ඩලය හඳුනාගෙන නොමැතිවීම” බව වැඩි දුරටත් කරුණු දක්වමින් එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා. පොදුරාජ්‍ය මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ හා පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති හා මූලධර්මවලට පටහැනිව මාලදිවයිනේ දේශීය දේශපාලනයට ක්‍රියාකාරී සහභාගීකරුවෙකු වීමට උත්සාහ කර ඇති බව ද එහි සඳහන්  වෙනවා.

“මෙය තාවකාලික වෙන්වීමක් වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. මාලදිවයිනට, පොදුරාජ්‍ය මණ්ඩලීය පවුලට සහ එය නියෝජනය කරන සියල්ලට නියමිත වේලාවට ආපසු යාමට හැකි වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු,” යන්න 2016 වසරේ දී මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලය හැරයාමත් සමග නිකුත් කෙරුණු සංවිධානයේ මහ ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන් වෙනවා. 

නැවත පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලීම්

වර්තමාන ජනාධිපති මොහමඩ් ඊබ්‍රහිම් සෝලි හා ඉන්දියානු අගමැතිවරයා අතර හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් පවතිනවා (wikimedia)

2013 වසරේ සිට 2018 දක්වා ජාත්‍යන්තරයේ විවේචනයට පාත්‍ර වූ මාලදිවයින තුළ අත්තනෝමතික පාලනයක් ගෙන ගිය ජනාධිපති අබ්දුල්ලා යමීන් වෙනුවට, 2018 නොවැම්බර් මැතිවරණයෙන් තේරී පත්වන්නේ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි යි. ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව මාලදිවයින නැවතත් පොදු රාජ්‍ය මණ්ඩලය වෙත ඇතුළත් කරගැනීමට මාලදිවයින් රාජ්‍ය තන්ත්‍රයට අවශ්‍ය වෙනවා. ඒ අනුව ඉන්දියාව හරහා පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුලත් වීමේ යෝජනාවක් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබනවා. 

2020 වසරේ දී මාලදිවයින නැවතත් පොදු රාජ්‍ය මණ්ඩලයට 

ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි (ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 දින නිව්යෝක් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී මෙම මාලදිවයින නැවතත් පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමේ යෝජනාව සම්මත වෙනවා. එම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිවරයා යි. ඒ අනුව 2020 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඔවුන්ට සහභාගී වීමේ හැකියාව නිර්මාණය වෙනවා. 

ඒ අනුව 2016 වසරේ සිට 53ක්ව පැවති පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයන් ගණන නැවතත් 54 දක්වා ඉහළ යනවා. 

 

කවරයේ පින්තූර  - learnrevise.

Related Articles