Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තෙල් නළ බිඳින මෙක්සිකෝවේ ඉන්ධන හොරු

මෙක්සිකෝ රජය කාලයක් තිස්සේ මුහුණ දුන් එක් අර්බුදයක් තමයි සංවිධානාත්මක කල්ලි විසින් එරට ඉන්ධන ප්‍රවාහන නළ සිදුරු කර ඉන්ධන සොරකම් කිරීම. මේ හේතුවෙන් පසුගිය වසර දෙකේ පමණක් රජයට අහිමි වූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා යනවා.

සංවිධානාත්මක මංකොල්ලකාරී කණ්ඩායම් විසින් සැලසුම් සහගත ව ඉන්ධන ප්‍රවාහන නළ සිදුරු කර තෙල් ලබා ගැනීම වැළැක්වීම සඳහා එරට නව ජනාධිපති වන අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස්, දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පසුගිය දිනෙක ජනමාධ්‍ය වෙත පවසා තිබුණා.

එවැනි එක් කණ්ඩායමක් පසුගිය දිනෙක මධ්‍යම මෙක්සිකෝවේ ඉන්ධන නළයක් සිදුරු කිරීම හේතුවෙන් ඒ ස්ථානයේ හටගත් පිපිරීයාමක් හා ගිනි ගැනීමක් හේතුවෙන් අසල සිටි පුද්ගලයන් 70 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මරණයට පත් වෙනවා.

මෙක්සිකානු ඉන්ධන බෙදා හැරීමේ ආයතනයේ දුර්වලතා

අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් (The Independent)

මෙක්සිකෝව කියන්නේ ලෝකේ විශාලතම ඉන්ධන වෙළදපොළක් සහිත රටවල් අතරින් හය වන ස්ථානය ලබාගෙන සිටින රට. එය ඉතා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතිනවා. රටේ දෛනික ඉන්ධන ඉල්ලුම තෙල් බැරල් මිලියන 1.18කට ආසන වෙනවා.

මහා පරිමාණ ඉන්ධන සොරකමට මූලික ම හේතුව ලෙස සඳහන් වී ඇත්තේ මෙක්සිකානු රජයේ තෙල් පිරිපහදු කිරීමේ හා බෙදා හැරීමේ නියෝජිතයා වන Pemex ආයතනයේ ඇති දුර්වලත්වය යි. රටපුරා ඉන්ධන බෙදා හැරීමේ දී සැලසුම් සහගත ව තෙල් නළ නොදීම, ඒ මාර්ගයන් හා නළ පද්ධතිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් වෙන් නොකිරීම වැනි කරුණු මේ සඳහා බලපා තිබෙනවා.

ඒ බැවින් මෙම සමාගමේ නළ කඩා දමා සොරකම් කරන ඉන්ධන බොහෝ දුරට නගරයේ සිල්ලර වෙළදසැල්වල විකිණීමට තබා ඇති බැවින් ඉන්ධන සමාගම, වසර ගණනාවක් තිස්සේ අධික පාඩුවක් ලබමින් සිටිනවා.

කොහොම ද මේ හොරකම ආරම්භ වුණේ?

මෙය එකවර ඇති වූ තත්ත්වයක් නොවන බව එරට නව ජනාධිපතිවරයා පසුගිය දිනෙක පවසා සිටිනවා. නමුත් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක  සංවිධානාත්මක ඉන්ධන මකොල්ලය මේ වන විට උග්‍ර අතට හැරී තිබෙනවා.

මෙක්සිලෝව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ද ඉතා ජයට කෙරීගෙන යනවා. ආණ්ඩුව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට දැඩි පියවර අනුගමනය කිරීම නිසා එම ජාවාරම්කරුවන් ම ඉන්ධන සොරකම සඳහා යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ සඳහා රට වටා පැතිරී ඇති ඉන්ධන නළ පද්ධතිය ඔවුන්ට මහත් ආශිර්වාදයක් වී තිබෙනවා.

මෙක්සිකෝවේ හිටපු ජනාධිපතිවරයා අනුගමනය කළ ලිබරල් ප්‍රතිපත්ති ඔස්සේ එරට ඉන්ධන කේෂ්ත්‍රයට ද නව ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දෙනවා. එම ප්‍රතිසංස්කරණ ද ඉන්ධන සොරකම වැඩි කිරීමට දායක වී ඇති බව යි සඳහන් වෙන්නේ.

ජයට ම කෙරීගෙන යන සොරකම

පසුගිය දා ඇති වූ පිපිරීම (The Fuse)

මේ වන විට ඉන්ධන සොරකම කොතරම් උග්‍ර අතට පත් වී ඇති ද යන්න පවසනවා නම්, රටේ දෛනික තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් ම සපයන්නේ මේ ඉන්ධන ජාවාරම්කරුවනුයි. එනම් දිනකට ඉන්ධන බැරල් 150,000ක පමණ ප්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් විකුණනු ලබනවා.

2018 වසරේ මුල් මාස දහයේ දී පමණක් ජාවාරම්කරුවන් විසින් ඉන්ධන නළ ස්ථාන 12,500 කින් සිදුරු කර ඉන්ධන ලබාගෙන ඇති බව රජයේ වාර්තාවල දැක්වෙනවා. එය, 2017 වර්ෂයට වඩා වැඩි අගයක් බවත් එහි දැක්වෙනවා. ඒ හේතුවෙන් වාර්ෂික ව රජයට අහිමි වන මුදල් ප්‍රමාණය බිලියන තුන ඉක්මවා යනවා.

නව ජනාධිපතිවරයා සඳහන් කරන අන්දමට තෙල් ජාවාරම්කරුවන්ගෙන් බොහෝ ප්‍රමාණයක් රජයේ තෙල් බෙදා හැරීමේ ආයතනය වන Pemex හි සේවකයන් වෙනවා. නමුත්, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂ්‍ය තාමත් ලැබී නැහැ.

මෙක්සිකෝවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවල මෙම ජාවාරම පැතිරී ඇති අතර, ඒ අතරින් Queretaro, Guanajuato, Hidalgo, Michoacan, හා Jalisco යන නගරවල ඉන්ධන සොරකම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතිනවා.

නව ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව හා ගත් ක්‍රියාමාර්ග

අධික ඉන්ධන පෝලිම (Public Radio International)

රටේ ඉන්ධන වෙළදපොළ බරපතල අර්බුදයකට ලක් වීම හේතුවෙන් මේ පිළිබඳ ව විසඳුමක් ලෙස ඉහත ප්‍රදේශවලට නළ මාර්ග ඔස්සේ ඉන්ධන යැවීම සම්පූර්ණයෙන් ම නතර කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරනවා.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ තෙල් ජාවාරම්කරුවන් විසින් නළ සිදුරු කිරීම හා ඒ හේතුවෙන් ඇතිවෙන අනතුරු මත (පුපුරා යාම් හා ගිනි ගැනීම්) සාමාන්‍ය ජනතාව මරණයට පත්වීම වැළක්වීම යි.

නළ මාර්ග ඔස්සේ ඉන්ධන ප්‍රවාහනය වෙනුවට විශාල ට්‍රක් බවුසර යොදා ගනිමින් එම ප්‍රදේශ කරා ඉන්ධන ප්‍රවාහනයට කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා. බවුසර් යොදාගෙන ඉන්ධන ප්‍රවාහනය කිරීම නළ මාර්ග ඔස්සේ ඉන්ධන ප්‍රවාහනය මෙන් 14 ගුණයක පිරිවැයක් දැරීමට සිදුවෙනවා. ඒ බැවින් මේ ක්‍රමය එතරම් සාර්ථක වෙන්නේ නෑ.

නමුත්, මේ ඔස්සේ ඉන්ධන ලබාදීම සීමාකාරී වන බව ඇතැමුන්ගේ මතය යි. එයින් වඩාත් ම අපහසුතාවට ලක්වෙන්නේ සාමාන්‍ය ජනතාව බව ඔවුන් සඳහන් කරනවා.

නවතම තත්ත්වය

ඉන්ධන ප්‍රවාහනය සඳහා ආරක්ෂාව (Public Radio International)

ආණ්ඩුවේ තීරණය සමග ඈත පළාත්වලට ඉන්ධන බෙදා හරිම ප්‍රමාද වෙන බැවින් බොහෝ ඉන්ධනහල් වසා ඇති ආකාරය හා විවෘත ව ඇති ඉන්ධනහල්වල අධික පිරිසක් පෝලිමේ සිටින ආකාරය දකින්න පුළුවන්.

නව තීරණය සඳහා බොහෝ දෙනෙකු විරෝධතාවය එල්ල කරනවා. නව තීරණයත් සමග ඇති වූ හදිසි තත්ත්වය පහව ගොස් එම තත්ත්වය සාමාන්‍යකරණය වන තුරු Pemex හි වැදගත් ස්ථානවලට 4000ක ආරක්ෂක භට කණ්ඩායමක් අනියුක්ත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඊට අමතර ව ජනාධිපතිවරයා ප්‍රමුඛ කමිටුවක්, ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත සඳහා යන අධික පිරිවැය අවම කිරීම සඳහා සාකච්ජා පවත්වමින් සිටිනවා.

කවරයේ පින්තූරය: Global News

මූලාශ්‍රයයන්:

reuters.com

cbc.ca

insightcrime.org

Related Articles