Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව වසරක් ගතවීත් විසඳුම් නොමැති අබිරහස – MH 370

මැලේසියා ගුවන් සේවයට අයත් MH – 370 මඟී යානය අහස් ගැබේ අතුරුදහන් වීම මෑතකාලීන ගුවන්යානා ඉතිහාසය සමඟ බැඳී පවත්නා දැවැන්ත අබිරහසකි. MH-370 ගුවන් යානය අතුරුදහන් ව පසුගිය මාර්තු 08 වැනිදාට එළැඹුණු නවවන සංවත්සරයේ දී ඒ ගැන වන කතාබහ නැවතත් අලුත් වුණා.

ගුවන්ගත වීමෙන් අනතුරුව වැලැක්විය නොහැකි කාර්මික දෝෂයකට මෙම යානය ලක් වූවාද? එසේත් නොමැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ පැහැරගැනීමකට යානය නතු වූවාද?
යම් රටක් ගුවන් යානයට යම්කිසි බාධාවක් කළාද?
MH-370 නියමුවා එම යානය කඩා වැටීමට සැලැස්සුවා ද?

යන ගැටලු තවමත් මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඉතිරි ව පවතින විසඳුම් නොලද ගැටලු කිහිපයක්.

2014 වසරේ මාර්තු මස 8 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට බීජිං බලා පියාසර කිරීමට නියමිතව තිබූ ‘මැලේසියා එයාර්ලයින්ස් 370’ (MH 370) ගුවන් යානයට පුද්ගලයන් 239 දෙනෙක් ගොඩ වූවා – images.flyingmag.com

MH – 370 යානයට නිශ්චිතව ම සිදු වූයේ කුමක්ද යන වග මේ ලිපියෙන් විමසා බලමු.

ක්වාලාලම්පූර් සිට බීජිං බලා පියාසර කිරීම

මීට නව වසරකට පමණ පෙර, එනම් 2014 වසරේ මාර්තු මස 8 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සිට බීජිං බලා පියාසර කිරීමට නියමිත ව තිබූ ‘මැලේසියා එයාර්ලයින්ස් 370’ (MH 370) ගුවන් යානයට පුද්ගලයන් 239 දෙනෙක් ගොඩ වූවා.

යානයේ අනපේක්ෂිත U හැරවුම – tickernews.co

මධ්‍යම රාත්‍රියත් පසු වී අලුයම 12.41 ට පමණ MH 370 ගුවන් යානය මැලේසියා ගුවන්පථයෙන් උඩුගුවනට එක් වූවා. මෙයින් මිනිත්තු 40 කට පසු යානය වියට්නාම ගුවන් සීමාවට ඇතුළු වනවා. අවාසනාවන්ත පුවත අසන්නට ලැබෙන්නේ ඉන්පසුව යි. ගුවන් යානා රේඩාර් තිරයෙන් බෝයිං 777-2H6ER නැමති එම යානා මාදිලිය සදහට ම අතුරුදහන් වනවා.

මැලේසියා ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය, වියට්නාම ගුවන් සීමාවට ඇතුළු වූ පසු මෙම යානය හා සම්බන්ධ වීමට වියට්නාම ගුවන් ගමන් මෙහෙයුම් මැදිරියට අවස්ථාව සලසා දීම ගුවන් ගමන් සේවාවේ දක්නට ලැබෙන සාමන්‍යය දෙයක්. “ශුභ රාත්‍රියක්. මේ MH 3-7-0 ගුවන් යානය’’ යැයි MH-370 යානයේ සිටි ප්‍රධාන නියමු සහරි අහමඩ් ෂා මෙහෙයුම් මැදිරිය හා එක් වෙමින් පවසා සිටියා. මෙම පණිවිඩ හුවමාරුව සිදු වන විට වේලාව අලුයම 1 පමණ වන්නට ඇතැයි සැක පළ කරනවා. MH-370 උඩුගුවනේ අතුරුදහන් වීම ඇරඹෙන්නේ මින් අනතුරුව යි.

MH-370 ගුවන් යානා රේඩාර් තිරයෙන් අතුරුදහන් වීමට පටන් ගත්තේ අලුයම 1 පමණ වන්නට ඇතැයි සැක පළ කරනවා –
www.airport.lk

එම යානයේ අතුරුදහන්වීම ලොවක් කම්පාවට පත් කළ සිරස්තලයක් මැවීමට අවකාශය ලබා දුන්නා. එම පුවත දහස් සංඛ්‍යාත ජනයාගේ සිත් සතන් අනුකම්පාවෙන් සලිත කිරීමටත් සමත් වූවා. යානයේ සිට අතුරුදහන් වූ අයගේ හිතවතුන් සහ පවුලේ සාමාජිකයන් එක් ව මෙම අබිරහසේ සුල මුල සෙවීමට පටන් ගත්තේ ද ඉන් අනතුරුව යි.

අවසන් නිගමනයක් ලබා දීමට තරම් හැකියාවක් නොතිබූ විවිධ සෙවීම් ප්‍රයත්න සහ විමර්ශන රාශියක් ක්‍රියාත්මක වූයේ ද මේ හා සමගාමීව යි. මෙලෙස සිදු කළ විමර්ශන හමුවේ MH-370 ගුවන් යානයට සිදුවීමට හැකියාවක් ඇතැයි සැක කළ හැකි තොරතුරු කිහිපයක් ම අනාවරණය වනවා.

MH-370 යානයේ අතුරුදහන්වීම ලොවක් කම්පාවට පත් කළ සිරස්තලයක් මැවීමට අවකාශය ලබා දුන්නා – wp.inews.co.uk

MH 370 ගුවන් යානයට සිදු වූයේ කුමක්ද?

උඩුගුවනේ අතුරුදහන් වීමට පෙර, MH-370 ගුවන් යානය මැලේසියා ගුවන් හමුදා ප්‍රාථමික රේඩාර් පද්ධතියේ ග්‍රහණයට ලක් වනවා. වියට්නාම ගුවන් සීමාවට ඇතුළු වූ එම යානය තියුණු ආකාරයේ වමට හැරීමක් සිදු කළ අන්දමත්,පසුව අන්දමන් මුහුද දෙසට පියාසර කළ ආකාරයත් ඒ වන විට සොයා ගෙන තිබුණා. MH370 නියමුවාගේ පියාසැරි මාර්ගය වෙනස් කිරීම “පරෙස්සම් සහගත ව සැලසුම් කළ” දෙයක් බව ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන ගුවන් ගමන් පිළිබඳ ඉංජිනේරු රිචඩ් ගොඩ්ෆ්‍රේ පවසනවා.

නව පර්යේෂණවලට අනුව MH370 නියමුවා බොහෝ හැරීම් සහ වේගවත් වෙනස්කම් සිදු කර ඇති බව ද ඔහු අදහස් දක්වමින් පවසා සිටියා. ‘පෙනෙන විදිහට, නියමුවා බොහෝ විට ඔහු යන්නේ කොතැනටද යන්න ගැන පැහැදිලි අදහසක් ලබා දීමෙන් වැලකී සිට ඇතැයි ද තොරතුරු හෙළි ව තිබෙනවා’ යයි රිචඩ් ගොඩ්ෆ්‍රේ පවසනවා.

ගුවන් නියමුවන්ගෙන් එක් අයකු ගුවන් ගමන් පාලක මැදිරිය හා සන්නිවේදනය කිරීමට යානයේ තිබූ ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කළ බවට එම ඛේදවාචකය භාරව සිටි විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා- www.aviationmatters.co

දකුණු චීන මුහුදට ඉහළින් පියාසරමින් සිටි MH-370 යානය සිය ගමනාන්තයෙන් බැහැර ව ආපසු හරවා යමින් සිටිය දී ගුවන් නියමුවන්ගෙන් එක් අයකු ගුවන් ගමන් පාලක මැදිරිය හා සන්නිවේදනය කිරීමට යානයේ තිබූ ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කරන්නට ඇති බවට එම ඛේදවාචකය භාර ව සිටි විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා.

ඉන්මාර්සැට් නමැති බ්‍රිතාන්‍ය චන්ද්‍රිකා සංදේශ සමාගමට අනුව යානය මුළුමනින් ම අතුරුදහන් වීමට පැය හයකට පමණ පෙර ඉන්දියන් සාගරයේ ස්ථානගත ව තිබූ චන්ද්‍රිකාවක් සමඟ පණිවිඩ හුවමාරු කරගනිමින් තිබුණා. (මෙමඟින් එම චන්ද්‍රිකාවට MH-370 යානය ගමන් ගන්නා ආසන්නත ම ස්ථානය දැන ගැනීමේ අවස්ථාවත් හිමි වනවා.) අන්දමන් මුහුදට ළඟා වීමෙන් අනතුරු ව දකුණු දෙසට හැරී යානය ගමන් ගෙන තිබූ බවත් එම දත්ත පෙන්වා දෙනවා.

යානාව ඕස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ඉන්දියන් සාගරය දෙසට අනපේක්ෂිත ආකාරයකට ගමන් ගන්නට වූ බවත් සඳහන් වනවා – thethaiger.com

සමහර ගුවන් යානා ප්‍රවීණයන් ඉදිරිපත් කරන අවිනිශ්චිත මතයකට අනුව, වැලැක්විය නොහැකි කාර්මික දෝෂයකට ලක්වූ MH-370 ගුවන් යානාව, එය සතු ඉන්ධන සංචිත අවසන් වන තෙක් පැය ගණනක අහේතුක පියාසැරියක නිරත වෙමින් සිට තිබුණා. ඉන් පසු යානාව ඕස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ඉන්දියන් සාගරය දෙසට අනපේක්ෂිත ආකාරයකට ගමන් ගන්නට වූ බවත් සඳහන් වනවා.

කිසියම් හෝ දවසක MH-370 සොයා ගෙන තිබුණා ද?

යානය අතුරුදහන් වීමත් සමඟ මැලේසියා, චීන සහ ඕස්ට්‍රේලියා බලධාරීන් පුරා වසර දෙකක දිය යට මෙහෙයුම් ආරම්භ කළ බවත් ඒ සඳහා ඩොලර් මිලියන 135 ක් වැය වූ බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළා. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබ 2017 වසර එළඹෙත් ම එම මෙහෙයුම් සියල්ල නතර කිරීමට ඔවුන් තීරණය කරනවා.

2018 වසරේදී මැලේසියාව,මහ සයුරේ අතුරුදන් වූ සුන්බුන් සොයන සමාගමක් වන ’ ඕෂන් ඉන්ෆිනිටි’ (Ocean Infinity) හා එක්ව MH 370 ගුවන් යානය සොයා ගතහොත් ඩොලර් මිලියන 70 ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත දිය යට මෙහෙයුක් සිදු කිරීමට මූලික අඩිතාලමක් දමනවා – images-global.nhst.tech

ඉන්පසුව එළඹි 2018 වසරේ දී මැලේසියාව,මහ සයුරේ අතුරුදහන් වූ සුන්බුන් සොයන සමාගමක් වන ’ ඕෂන් ඉන්ෆිනිටි’ (Ocean Infinity) හා එක්ව MH-370 ගුවන් යානය සොයා ගතහොත් ඩොලර් මිලියන 70 ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත ඉන්දියන් සාගරය සිසාරා දැවැන්ත දිය යට මෙහෙයුමක් සිදු කිරීමට මූලික අඩිතාලමක් දමනවා. මෙහෙයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට තරම් ප්‍රමාණවත් දත්ත නොමැති වීම හමුවේ එම උත්සාහය ද නිරර්ථක වනවා.

යානයේ සුන්බුන් වෙරළට පැමිණීම

MH-370 යානය අතුරුදහන් වී ටික කලකට පසු එහි සුන්බුන් කිහිපයක් අප්‍රිකානු වෙරළ තීරයේ සහ ඉන්දියන් සාගර දූපත් අසලට ගසා ගෙන ගොස් ඇති බවට වාර්තා වූවා. බොහෝ විමර්ශකයන් අනුමාන කළා සේ ම එම සුන්බුන් MH-370 ගුවන් යානයට අයත් ඒවා වූවා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිටි මඟීන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් සියල්ල මිය ගිය බවට මැලේසියානු රජය අනුමාන කළේ 2015 වසරේදී යි. යානයේ අතුරුදහන් වීම අනතුරක් විය හැකි බවත් ඔවුන් එහිදී පවසා සිටියා.

මෙම ඛේදවාචකය සිදු වී වසර නවයක් ගත වුවත් යානය අතුරුදහන් වූයේ කුමන විචල්‍යයන් මත පදනම්ව ද යන වග මැලේසියා විමර්ශකයන්ට තවමත් හඳුනා ගැනීමට නොහැකි ව පවතිනවා.

ගුවන් නියමුවන් තුළ මානසික ව්‍යාධියක් පැවතියාද?- blacklioninsurance.co.uk

ගුවන් යානයේ සිටි අයගේ පවුල් සාමාජිකයන් මැලේසියානු රජයෙන් නැවතත් ඉල්ලා සිටියේ ඕෂන් ඉන්ෆිනිටි ආයතනය සමඟ එක් ව ඉන්දියන් සාගරය පුරාවට සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ කරන ලෙස යි. මැලේසියා රජය Ocean Infinity සමඟ නැවතත් එක්ව කටයුතු කරන්නේ ද නැද්ද පිළිබඳ කිසිදු තොරතුරක් ඒ වන විට සඳහන් ව තිබුණේ නෑ.

මැලේසියා ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ලෝකේ යානා අනතුරේ වින්දිතයන් වෙනුවෙන් එකල පැවති අනුස්මරණ උත්සවයක දී පවසා සිටියේ MH-370 අතුරුදහන් වීම නමැති පුස්තකය වසන්නට අවශ්‍ය බව යි. එනමුත් විශ්වාසනීය තොරතුරු ඉතිරි ව ඇත්නම් පමණක් යානය සෙවීමේ අමතර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳ සොයා බලන බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියා.

අනතුරින් පසු මැලේසියා ගුවන් සේවය ක්‍රියා කළ ආකාරය

යානය අතුරුදහන් වීමෙන් පසු මැලේසියානු ගුවන් සේවය එහි හානි පූර්ණය සිදු කළ අතර MH-370 අනතුර හා සම්බන්ධ වින්දිතයන්ට ගෞරව පිණිස එම අනතුර හා සම්බන්ධ ප්‍රචාරණ ව්‍යාපාර අත්හිටුවීමට ක්‍රියා කළා.

මැලේසියා ගුවන් සේවයේ ප්‍රධාන විධායක අහමඩ් ජවුහාරි යාහ්යා එම සිද්ධියෙන් මසකට පසු ජනමාධ්‍ය හා පවසා සිටියේ “මේ වන විට මූලික අවධානය යොමු ව ඇත්තේ අනතුරින් පීඩාවට පත් අයගේ පවුල් වල චිත්තවේගීය අවශ්‍යතා පාලනය කිරීම සහ මූල්‍ය අවශ්‍යතා සපයා දෙමින් ඔවුන් හැකි අයුරින් රැකබලා ගැනීම වන බව යි.”

මැලේසියා ගුවන් සේවයට අයත් MH17 දරණ ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාව දක්වා ගමන් කරමින් සිටියදී රුසියානු මිසයිල ප්‍රහාරයකට ලක් වීමෙන් යුක්රේනයට ඉහළ අහසේ විනාශ වූවා – Dmitry Lovetsky/AP

මෙම ගුවන් සමාගම 2014 වසරේ ජුනි මස ඩොලර් 50,000 ක රක්ෂණ ගෙවීම් නිකුත් කිරීම ආරම්භ කළා. එම වසරේ ජූලි මාසයේ ම මැලේසියා ගුවන් සේවයට අයත් MH-17 ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාව දක්වා ගමන් කරමින් සිටියදී රුසියානු මිසයිල ප්‍රහාරයකට ලක් වීමෙන් යුක්රේනයට ඉහළ අහසේ විනාශ වූ බවත් එහිදී එම යානයේ සිටි පුද්ගලයන් 298 දෙනෙක් මිය ගිය බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළා.

මෙම ඛේදවාචක ද්විත්වය සිදු වීමෙන් අනතුරු ව එම ගුවන් සමාගමේ කීර්ති නාමයට සැලකිය යුතු මට්ටමක බලපෑමක් එල්ල වූ අතර, ගුවන් සමාගම සතු ඇතැම් කොටස් මිලදී ගෙන එවා ජනසතු කිරීමට ද මැලේසියානු රජය උත්සුක වූවා.

MH-370 අතුරුදන් වීම හා සබැඳි අනුමාන

ඉමක් කොනක් නොපෙනෙන අහස් ගැබේ MH-370 ගුවන් යානය අතුරුදහන් වීමෙන් අනතුරු ව යානයේ ගමන් ගත් මඟී ලැයිස්තුව සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගත්තා. එලෙස මඟී ලැයිස්තුව පරීක්ෂාවට ලක් වෙද්දී සොරකම් කළ විදේශ ගමන් බලපත්‍ර දෙකක් සමඟ යානයේ ගමන් කළ විදේශික සරණාගතයන් දෙදෙනෙක් ඔවුන්ගේ සැකයට භාජනය වනවා. මොවුන් දෙදෙනාගේ ගමනාන්තය වී ඇත්තේ බීජිං නුවර යි.

සොරකම් කළ විදේශ ගමන් බලපත්‍ර දෙකක් සමඟ යානයේ ගමන් කළ විදේශික සරණාගතයන් දෙදෙනෙක් සැකයට භාජනය වනවා – qph.cf2.quoracdn.net

එයින් එක් සරණාගතයකුගේ නම පවුරියා මොහොමඩ් (18) බවත් අනෙක් සරණාගත පුද්ගලයා ඩෙලවර් සෙයිඩ් මොහොමඩ්රේසා (29) යන අය බවත් ජාත්‍යන්තර පොලිසිය හඳුනා ගෙන තිබුණා. කෙසේ නමුත් මොවුන් දෙදෙනාට ගුවන් යානයක් පැහැර ගෙන පියාසර කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමක් නොතිබූ බවත්, කිසියම් හෝ ත්‍රස්තවාදී කල්ලියක සාමාජික ලැයිස්තුවකට මොවුන් දෙදෙනා අයත් වූවන් නොවන බව හෙළි වීමත් සමඟ ඔවුන් දෙදෙනා වෙත එල්ල වූ සැකය ඉවත් වනවා.

ගුවන් නියමුවන් තුළ මානසික ව්‍යාධියක් පැවතියාද?

අනිත් උපකල්පනය වූයේ යානය පියාසර කළ ගුවන් නියමුවන් දෙදෙනා සතු ව පැවති කිසියම් මානසික දුර්වලතාවක් හේතුවෙන් එම යානය අතුරුදහන් වූ බව යි. පසුව එම නියමුවන් දෙදෙනාගේ පියාසැරි වාර්තා, පියාසැරි පුහුණුවීම් වලදී දැක්වූ දක්ෂතා සහ ඔවුන් ගේ මානසික සහ කායික සෞඛ්‍ය මට්ටම් පරීක්ෂා කළ විමර්ශන නිලධරයන්ට දැක ගත හැකි වූයේ සැකයක් උපද්දවන තරමේ කිසිවක් එය තුළ අන්තර්ගත ව නොතිබූ බව යි.

මීට අමතර ව එම ගුවන් නියමුවන් දෙදෙනාට ලබා දුන් යාවත්කාලීන පුහුණු සැසි මෙහෙය වූ පුහුණු උපදේශකයන්ගේ අදහස් සහ ඔවුන් ලබා දුන් ඇඟයීම් වාර්තා ද එහිදී සැලකිල්ලට ගෙන තිබුණා.

MH-370 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ 53 හැවිරිදි සහරි අහමඩ් ෂා යි. යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කර තිබුණේ 27 හැවිරිදි ෆාරික් අබ්දුල් හමීඩ් නමැත්තායි – chef.bbci.co.uk

MH-370 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ 53 හැවිරිදි සහරි අහමඩ් ෂා යි. හෙතෙම 1981 වසරේ දී කැඩෙට් ගුවන් නියමුවෙක් ලෙස මැලේසියා ගුවන් සේවයට සම්බන්ධ වූ අතර, වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු 1983 වසරේදී වාණිජ ගුවන් සේවාවට එක් වූවා. MH-370 ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කර තිබුණේ 27 හැවිරිදි ෆාරික් අබ්දුල් හමීඩ් නමැත්තා යි.

ගුවන් යානා ඉංජිනේරුවරයා MH-370 පැහැර ගත්තාද?

අනිත් සැකය එල්ල වනුයේ ගුවන් යානයේ ගමන් ගත් ගුවන් යානා ඉංජිනේරුවරයකුට යි. හෙතෙම ගුවන් යානය පැහැර ගෙන ගොස් ඇති බවට එල්ල වූ සැකය සමඟ එම ගුවන් ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට විමර්ශන බලධාරීන් උත්සුක වූවා.

එම ගුවන්සේවා ඉංජිනේරුවරයා 29 හැවිරිදි වියේ පසු වූවෙක් වූ අතර පෞද්ගලික ජෙට් සමාගමක සේවය කළ බව ඔහුගේ සමාජ මාධ්‍යය පිටුවක සඳහන් ව තිබුණා. කෙසේ නමුත් ඔහුගේ මව්පියන් ලබා දුන් ප්‍රකාශ සහ ඔහු පිළිබඳ ව සිදු කළ ගැඹුරු පරීක්ෂා කිරීම්වලදී මොහුට විරුද්ධ ව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හමුවේ ඔහු වෙත එල්ල වූ සැකය ද යම්තාක් දුරකට අවම වනවා.

අනතුරට පත් යානයේ ගමන් ගත් ගුවන් යානා ඉංජිනේරුවරයා MH-370 පැහැර ගත්තාද?- i.dailymail.co.uk

යානය ප්‍රවාහනය කරමින් තිබූ ලිතියම් අයන් බැටරි තොගය උඩුගුවනේදී ගිනි ගත්තා ද?

සැලකිය යුතු මට්ටමක ලිතියම් අයන් බැටරි තොගයක්, යානය අතුරුදහන් වන අවස්ථාවේ එහි ප්‍රවාහනය කරමින් තිබීම ද විමර්ශක නිලධාරීන්ගේ සැකයට හේතු වන තවත් කාරණාවක්. කිලෝග්‍රෑම් 221 ක බරකින් යුත් ලිතියම් – අයන් බැටරි තොගයක් යානයට පටවා තිබූ බව එම නිලධාරීන් එහිදී සොයා ගෙන තිබුණා.

ගුවන් සේවා විශේෂඥ ක්ලයිව් අර්විං පවසා සිටින්නේ මෙම ලිතියම් – අයන් බැටරියක අන්තර්ගත එක සෛලයක විද්‍යුත් කාන්දුවක් ඇතිව ගින්නක් හට ගතහොත් යානය තුළ “ව්‍යසනකාරී පිපිරීමක්” ඇති වීමට හැකියාවක් පවතින බව යි. මෙම ගින්න පාලනය කළ නොහැකි මට්ටමකට පත් වූ පසු ඉන්දියන් සාගරයට ආසන්න ප්‍රදේශයක දී යානය ගිනි ගෙන විනාශ වීමට හැකියාවක් පවතින බවත් ඔවුන් අනුමාන කරනවා.

යානය ප්‍රවාහනය කරමින් තිබූ ලිතියම් අයන් බැටරි තොගය උඩුගුවනේදී ගිනි ගත්තාද? – blog.storemasta.com.au

යානයේ පැවති වායු පීඩක තත්ත්වය ප්‍රමාණවත් නොවුවා ද?

අනෙක් අනුමාන අවස්ථාව වන්නේ ගුවන් යානය තුළ ප්‍රමාණවත් නොවන වායු පීඩක තත්ත්වයක් දක්නට ලැබුණු බවයි. ගුවන් යානාවක් තුළ ප්‍රමාණවත් වායු පීඩක තත්ත්වයක් නොමැති වීම,එය තුළ වායු පීඩනය යම් අවපාතයට ලක් කරවන අතර මෙවන් තත්ත්වයක් යටතේ යානාවේ මඟීන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හයිපොක්සියා (ඔක්සිජන් ඌනතාව) නමැති තත්ත්වය වැලඳෙනවා. මෙහිදී ගුවන් නියමුවන්ට යහපත් සිහියකින් යුතුව ගුවන් යානය පැදවීමට නොහැකි ව එය අනතුරට ලක් වීමට හැකියාවක් පවතින බවත් සඳහන් වනවා. මෙම කල්පිතය ඔප්පු කිරීමට ද ප්‍රමාණවත් සාධක හමුව තිබුණේ නෑ.

ත්‍රස්ත කල්ලියකගේ පැහැර ගැනීමකට යානය නතු වූවා ද?

ගුවන් අනතුර හා බැඳි අවසාන සැකය ලෙස ත්‍රස්ත කල්ලියකගේ පැහැර ගැනීමකට ගුවන් යානය ලක් වූ බවත්, යානය පැහැර ගත් පසු ත්‍රස්ත කල්ලිය ට්‍රාන්ස්පොන්ඩරය සිතාමතා ම අක්‍රිය කළ බවත් මෙහිදී අනුමානය කරනවා. MH-370 යානය ගොඩබිම් පෙදෙසකට නිරුපද්‍රිත ව ගොඩ බෑ බවත්, ඉන් අනතුරුව යානයේ සිටි සියලු මඟීන් ත්‍රස්ත කල්ලියේ අවාසනාවන්ත ගොදුරු බවට පත් වූ බවත් මෙහිදී ඔවුන් උපකල්පනය කරනවා. අවසානයේ එම ත්‍රස්ත කල්ලිය යානයේ තිබූ සමහර කොටස් ගලවා හෝ විනාශ කර දමා විමර්ෂණ නිලධාරීන් නොමඟ යැවීමට ඒවා මුහුදට විසි කරන්නට ඇති බවත් සඳහන් වනවා.

ත්‍රස්ත කල්ලියකගේ පැහැර ගැනීමකට යානය නතු වූවාද? – 32036.pcdn.co

ඉහතින් සඳහන් කළ සිදුවීම් සියල්ල විමර්ශන නිලධාරීන්ගේ සිත තුළ උපන් අනුමානයන් පමණක් බවත්, ඒවා හරිහැටි ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක මේ මොහොත වන විටත් හමු ව නැති බවත් සඳහන් වනවා. MH-370 යානයේ ගමන් ගත් මඟීන්ගේ පවුල්වල සාමාජිකයන්, නැදෑයන් සහ හිතවතුන් බලා සිටින්නේ යළි කවදා හෝ තමා හමුවට ඔවුන් පැමිණේවි කියා යි.

MH-370 යානයේ අභිරහස් අතුරුදහන්වීම පිළිබඳ MH-370: The Plane That Disappeared! නමින් කතා මාලාවක් Netflix ආයතනය නිදහස් කළා. මේ යානයේ අබිරහස් අතුරුදහන්වීමට පවතින සියලු හේතු එමඟින් සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ කතා මාලාව එළි දකින්නේ MH-370 ගුවන් යානය අතුරුදහන් ව එළැඹුණු නවවන සංවත්සරයට සමගාමීව යි. එහි පූර්ව ප්‍රචාරක පටයත් ඔබට මෙතැනින් නරඹන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය : media.cnn.com
මූලාශ්‍ර :
bbc.com
express.co.uk
consumerreports.org
cnn.com
entrepreneur.com
theGuardian.com
history's greatest mysteries

Related Articles