Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තනිකම සඳහා අමාත්‍යවරියක්

එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් ගෙවී ගිය ජනවාරි මාසයේ 17 වැනි දින තමන්ගේ අමාත්‍ය මණ්ඩලය සඳහා අලුත් තනතුරක් ඇති කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘තනිකම සඳහා වන අමාත්‍යවරයා’ හෙවත් ‘Minister for Loneliness’ ලෙස යි. එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය තේරේසා මේ විසින් අදාළ තනතුරේ ප්‍රාරම්භක ඇමතිවරිය ලෙස පත් කර ඇත්තේ කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැද චැතම් සහ ඒල්ස්ෆර්ඩ් ඡන්ද කොට්ඨාසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත් වූ ට්‍රේසි ක්‍රවුච් ව යි.

(© Foreign & Commonwealth Office/Flickr)
තනිකම සඳහා වන අමාත්‍යවරිය, ට්‍රේසි ක්‍රවුච්

බැලූ බැල්මට ම විසුළු සහගත සහ හාස්‍යජනක පත් කිරීමක් ලෙස පෙනී ගිය ද එක්සත් රාජධානිය විසින් මෙසේ තනිකම සඳහා අමාත්‍යවරියක් පත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් බොහෝ දෙනෙක් මුහුණ දෙන සාමාජීය ගැටලුවක් සඳහා පිළියම් යෙදීමේ අරමුණෙන්. මේ ඒ පිළිබඳ ව තොරතුරු බිඳක්.

තනිකම සඳහා වන ජෝ කොක්ස් කොමිෂන් සභාව

හෙලන් ජොඈන් කොක්ස්, කම්කරු පක්ෂයෙන් තරඟ වැද බැට්ලි සහ ස්පෙන් ඡන්ද කොට්ථාසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත් වූ අයෙක්. ඇය සිරියාවේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අසරණ වී සිටින අහිංසක සිවිල් වැසියන් ගැන මෙන් ම එක්සත් රාජධානිය තුළ වාසය කරන තනිකමෙන් සහ සාමාජීය හුදෙකලාවෙන් පීඩා විඳින පුද්ගලයන්ට සහන සැලසීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් උදව් කිරීමට කටයුතු කර තිබෙනවා.

(© IBTimes UK)
ජෝ කොක්ස්

එසේ ම එක්සත් රාජධානිය තව දුරටත් යුරෝපා සංගමයේ සාමාජිකයෙක් ව සිටිය යුතු බව ඇය දැඩි ලෙස විශ්වාස කළ අතර විදෙස් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ද ඇය දැක් වූයේ යහපත් ආකල්පයක්. 2016 ජූනි 16 වැනි දින වෙඩි පහර සහ පිහි පහර කිහිපයකට ලක් ව ඇයට මිය යාමට සිදු වුණේ ද අසරණ පුද්ගලයින් කෙරෙහි ඇය දැක් වූ කරුණාව අන්තවාදීන්ට දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ඇගේ මරණයෙන් පසු ව ඇගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් එක් ව ඇය ඇරඹූ කටයුතු දිගින් දිගට ම පවත්වාගෙන යාම සඳහා ‘තනිකම සඳහා වන ජෝ කොක්ස් කොමිෂන් සභාව’ යන නාමයෙන් ලාභ නොලබන පුණ්‍ය ආයතනයක් ආරම්භ කළා. එක්සත් රාජධානිය විසින් තනිකම සඳහා අමාත්‍යවරියක් පත් කිරීමට මූලික වුණේ මෙය යි.

© Dan Kitwood/Getty Images

තනිකමෙන් පීඩා විඳින්නන් මිලියන 9 ක්

2017 දෙසැම්බර් මාසයේ දී ‘තනිකම සඳහා වන ජෝ කොක්ස් කොමිෂන් සභාව’ මගින් එළි දක්වන ලද වාර්තාවකට අනුව එක්සත් රාජධානියේ වැසියන් මිලියන 9 ක් තමන් බොහෝ අවස්ථාවල දී තනිකමෙන් පීඩා විඳින බව පිළිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘තනිකම සඳහා අමාත්‍යවරියක්’ පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය තෙරේසා මේ ව පෙළඹ වූයේ මෙම වාර්තාව බව යි. එසේ ම ‘නිව් යෝක් ටයිම්ස්’ පුවත්පත් වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට මෙවැනි නව තනතුරක් ඇති කිරීම, තනිකම මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර බවට සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පිළි ගත්තා හා සම වෙනවා.

උදාහරණයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය විසින් 2015 දී පවත්වන ලද පර්යේෂණයක් මගින් හෙළිදරව් වුණේ තනිකමෙන් පීඩා විඳින පුද්ගලයෙකු රෝගී වීමට ඇති ඉඩකඩ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඉහළ බව යි. එයට හේතුව නිදන්ගත තනිකම, වෛරස් ආසාදනවලට මුහුණ දීමට පුද්ගලයෙකුට ඇති හැකියාව අඩු කරන අන්දමේ සෛලීය වෙනස්කම් සිදු කිරීම යි.

© Lalit Sahu

එසේ ම 2017 වර්ෂයේ දී චිකාගෝ සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් කැස්ඔප්පෝ ප්‍රකාශ කළේ තනිකමෙන් පීඩා විඳින පුද්ගලයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැනි එතරම් දරුණු නොවන රෝගයක් ඇති විට තනිකම එම වඩාත් දරුණු ස්වභාවයකට පත් කරන බව යි.

තනිකමෙන් පීඩා විඳින පුද්ගලයෙකු මරණයට පත් වීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 26% කින් ඉහළ බව 2015 දී පළ වූ මනෝවිද්‍යාව පිළිබඳ ජ’නලයක් මගින් තව දුරටත් පෙන්වා දී තිබෙනවා.

තනිකම දුරලීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්

මේ කාරණා සියල්ල ම සැලකිල්ලට ගෙන එක්සත් රාජධානි වැසියන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අරමුණ ඇතු ව ‘තනිකම සඳහා අමාත්‍යවරියක්’ පත් කිරීමට තමන් තීරණය කළ බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ, දෙස් විදෙස් මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබුණා. “මට අවශ්‍ය වන්නේ වැඩිහිටි පුද්ගලයන්ට, තමන් ආදර කළ අය අහිමි වූවන්ට හෝ සමස්ත සමාජයට ම නැතහොත් තමන්ගේ ගැටලු කතා කිරීමට හෝ අදහස් බෙදා ගැනීම සඳහා කිසිවෙක් නොමැති අයට තනිකමට විරුද්ධ ව නැගී සිටීම සඳහා අවැසි සහයෝගය ලබා දීම යි.” මේ අග්‍රාමාත්‍ය තෙරේසාගේ මේගේ වදන්.

(© Blacknut SMTN)
අග්‍රාමාත්‍ය තෙරේසා මේ

ඒ අනුව ජෝ කොක්ස් විසින් ඇරඹූ වැඩපිළිවෙළ වඩාත් විධිමත් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා නව අමාත්‍යවරිය, තනිකම සඳහා වන ජෝ කොක්ස් කොමිෂන් සභාවේ නිර්දේශයන් මත කටයුතු කරනු ඇති අතර වඩාත් පුළුල් උපාය මාර්ගයන් දියත් කිරීම සඳහා එක්සත් රාජධානියේ තුළ පිහිටා ඇති මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ ආයතන සමග එක් වී කටයුතු කරනු ඇත.

එක්සත් රාජධානිය විසින් පත් කරන ලද ‘තනිකම සඳහා වන අමාත්‍යරිය’ මිනිස් හැඟීම් සමග සම්බන්ධ වූ පළමු තනතුර නොවන අතර මෙයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව, ‘සතුට සඳහා වන අමාත්‍යවරුන්’ පත් කර තිබෙනවා.

කවරයේ පින්තූරය : (© Brittany Mason)

Related Articles