Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමතිලාගේ වාහන : මොනවද? කාගේද? මොනවටද?

ලංකාවේ ඇමතිලා කට්ටියක් රුපියල් බිලියනයකටත් වැඩිය වියදම් කරලා වාහන ගෙන්නන කතාවට පහුගිය දවස් වල ලැබුණේ ලොකු ප්‍රචාරයක්. ආණ්ඩුවට සල්ලි නෑ කියල බදු එහෙමත් වැඩි කරලා ඒ තරම් කාලයක් යන්න වුනෙත් නැහැ, ඉතින් මේ තරම් වියදමක් කරන එක ගැන රට පුරාම කතාබහක් ඇති වුණා. තීරු බදුත් නොගෙවා මේ තරම් ඉහළ වටිනා කමක් තියෙන වාහන ගෙන්වන්න උත්සාහ කරපු එක වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක් වුණා.

මේ විදිහට වාහන ගන්න එක ඔවුන්ගේ අවශ්‍යතාවක් කියලා ආණ්ඩුව පැත්තෙන් මේ වැඩේ සාධාරණීකරණය කෙරුණා. කොහොම වුණත් සාමාන්‍ය ජනතාවගේ අදහස වුණේ මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී දීපු පොරොන්දු වලට පිටු පා යමින් අනවශ්‍ය විදිහට මහජන මුදල් නාස්ති කරන බවයි.

එක අතකින් බැලුවාම රුපියල් බිලියනයක් කියන්නේ ලංකාවේ සාමාන්‍ය වාහන වල මිල ගණන් එක්ක බැලුවාම සෑහෙන විශාල අගයක්. හැබැයි මේ ළඟදී සිදු වුණු අනිත් සිදු වීම් එක්ක බැලුවාම මේ වගේ ප්‍රවෘත්තියක් මිනිස්සු අතරට යන්න මීට වඩා නරක වෙලාවක් තිබුණේ නැති තරම්. මාසයක් විතර කාලයකට කලින් රට පුරාම මහා ගංවතුරක් ඇවිත්, කැළණි ගඟ පිටාර ගලලා දහස් ගාණකට අවතැන් වෙන්න සිදු වුණා; අරනායක මහා නාය යාමක් සිද්ධ වෙලා විශාල පිරිසක් මිය ගිහින් ගම්මාන කිහිපයක් පොළොවට යට වුණා; සාලාව යුධ හමුදා කඳවුරක පිපිරීමක් නිසා අවට දේපල විශාල ප්‍රමාණයකට හානි සිදු වුණා; ඒ වගේම අපේ රටේ ආර්ථිකයත් අමාරු අඩියක තියෙන බව බොහෝ දර්ශක වලින් පෙනෙන්න තියෙන කාලයක් මේ. මේ වගේ කාලයක විපත් හා හානි වලට මුදල් වෙන් කරන්න පවා අපහසුවක් තියෙනවා, ඉතින් මේ විදිහට වාහන ගන්න එක කාගේත් අප්‍රසාදයට ලක් වෙන එක පුදුමයක් නෙවෙයි.

රුපියල් බිලියනයක් ඉක්මවන ඇස්තමේන්තුව

ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් පිරිසකට වාහන ගෙන්වන්න රජය රුපියල් බිලියනයක් ඉක්මවන අරමුදල් වෙන් කරලා තියෙනවා. රූපය : defence.pk

ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් පිරිසකට වාහන ගෙන්වන්න රජය රුපියල් බිලියනයක් ඉක්මවන අරමුදල් වෙන් කරලා තියෙනවා. රූපය : defence.pk

මීට ටික දවසකට කලින් (ජූනි 7 වැනිදා) ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. මේකෙන් රජයේ ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 32ක් අලුතෙන්ම මිලට ගැනීම සඳහා රුපියල් මිලියන 1175ක් (කොටි 117.5ක්) මුදල් වෙන් කරන්න පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා තිබුණා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට තමයි මේ වාහන ලබා ගන්න උවමනා වෙලා තිබුණේ.

මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇමතිවරයායි. සරත් ෆොන්සේකා, මහින්ද සමරසිංහ, හරින් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ ඇතුළු ඇමතිවරු 30 දෙනෙක් මේ සඳහා ඉල්ලුම් කරලා තිබුණා.

කොහොම නමුත් මේකට එරෙහිව ඇති වුණු අප්‍රසාදයත් එක්ක මේ වාහන ගෙන්වීම කල් දමා තියෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වාහන ගෙන්වීම සඳහා භාණ්ඩාගාරයෙන්  මුදල් වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවන්න කියලා පහුගිය 9 වැනිදා නියෝග කළා. මේ අනුව අරනායක නාය යාමෙන් සහ සාලාව කඳවුරේ පිපිරීමෙන් විපතට පත් පිරිස් වලට සහන සලසා ඒ අනතුරු වලින් හානියට පත් වුණු රජයේ හා පෞද්ගලික ගොඩනැගිලි පිළිසකර කිරීම අවසන් වන තුරු මේ වාහන ගෙන්වන්න ඉඩ ලැබෙන්නේ නෑ.

මේ වාහන කාටද?

මේ වාහන කාටද?

මේ වියදම ලංකාවට දරා ගන්න පුළුවන්ද?

මේ වගේ මිලදී ගැනීමක් කරන එක අනවශ්‍ය නාස්තියක් වගේම ආචාර ධර්මයන්ටත් පටහැනි බව දුෂණය තුරන් කිරීමේ පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. කොහොම වුණත් මේ සඳහා කලින් ඉඳලාම සල්ලි වෙන් කරලා තිබුණු නිසා මේ මුදල ගෙවීමේ ප්‍රශ්නයක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා. මේ සතියේ Sunday Times පුවත් පත මේ සඳහා පසුගිය අප්‍රේල් මාසයේදීම මුදල් වෙන් කරපු බව අනාවරණය කළා.

මේ වාර්තාවට අනුව රජයේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා ආණ්ඩුවේ අයවැයෙන් මිලියන ගණනක් වෙන් කරලා තියෙනවා. පහුගිය අප්‍රේල් මාසයේ ඉදිරිපත් වුණු විසර්ජන පනතේ 6 (1) වැනි වගන්තියේ මේ බව සඳහන් වෙනවා. නමුත් විවිධ ඇමතිවරුන්ට අවශ්‍ය වාහන වල මිල ගණන් එකතු කරලා පරිපුර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරුණේ මේ ජුනි 7 වෙනිදායි.

Sunday Times පුවත් පතේ පළවුණු වාර්තාවේ සඳහන් වුණු තවත් දෙයක් තමයි මේ පරිපුරක ඇස්තමේන්තුව කලින් වෙන් කරපු මුදල් සීමාව ඉක්මවා යන්නේ නැති බව. “පරිපුරක ඇස්තමේන්තුවත් සමගම සභාගත කරනු ලැබූ තවත් සටහනකින් දක්වා තිබුණේ මෙම ඇස්තමේන්තුවේ සඳහන් වන සම්පූර්ණ එකතුව වාර්ෂික අය වැය විසර්ජන වාර්තාව මගින් පාර්ලිමේන්තුව අනුමත කරනු ලැබූ මුළු වියදම් ප්‍රමාණය ඉක්මවා නොයන බවයි” හැටියට ඔවුන් කරුණු දක්වා තිබුණා.

කොහොම නමුත් රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගෙන් Roar හි අපි මේ ගැන ඔහුගෙන් විමසුවාම කිව්වේ මේ විදිහේ මිලදී ගැනීමක් කරන එක “යහ පාලනයක මුලධර්මයන්ට පටහැනියි” කියලා. වර්තමාන රජය ක්‍රියාත්මක වෙන ප්‍රධාන සංකල්පය වන යහපාලනය මේ අනුව ඇත්තටම අනුගමනය කරනවාද කියන එක ප්‍රශ්නයක්.

ඔහු මෙහෙමත් කිව්වා. “මේ ප්‍රශ්නය ගැන දෙවිදිහකින් කරුණු සලකා බලන්න පුළුවන්. එකක් තමයි මේ වගේ ක්‍රියාවකින් රටේ මහජනතාවට සැලකිය යුතු ප්‍රතිලාභයක් තියෙනවද කියන එක. අනික තමයි මේ වගේ මිල දී ගැනීමකට සුදුසු කාලය මේකද කියන එක. ළඟදී ඉහළ දාපු බදු ප්‍රතිශතය නිසා මිනිසුන් මත අතිරේක බරක් පැටවිලා තියෙන්නේ. මේ වගේ ක්‍රියාවකින් රටට කිසිම ආර්ථික වාසියක් ලැබෙන්නේ නෑ, රජයේ වියදම් ඉහළ යන එක විතරයි සිදු වෙන්නේ. “යහපාලනය” පෙරදැරි කරගත් ආණ්ඩුවක් නම් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ.”

ජනතාවට වඩා හොඳින් සේවය කිරීම

ජනතාවට සේවය කරන්න මේ වගේ සුඛෝපභෝගී වාහන අවශ්‍යමද? මේකට දැනටමත් මුදල් වෙන් කරලා තියෙන නිසා මෙහෙම වියදමක් කරාට ගැටළුවක් නැද්ද? රූපය : jeep.com.lk

ජනතාවට සේවය කරන්න මේ වගේ සුඛෝපභෝගී වාහන අවශ්‍යමද? මේකට දැනටමත් මුදල් වෙන් කරලා තියෙන නිසා මෙහෙම වියදමක් කරාට ගැටළුවක් නැද්ද? රූපය : jeep.com.lk

තවත් ප්‍රශ්නයක් තමයි මේ වාහන තීරු බදු සහන යටතේ ගෙන්වන එක. මේ නිසා අපිට කලින් රූපය බලලා මේ වාහන දැනට මාකට් එකේ තියන ඊට සමාන මිලක වාහනයක් එක්ක සසඳන්න බෑ. (මේ වාහන සාමාන්‍ය බදු යටතේ තුන් හතර ගුණයක් මිලෙන් වැඩියි) ඉතින් මේ වගේ වාහන ගෙන්වීමෙන් රටට ලැබෙන අති විශාල බදු ආදායම පවා අහිමි වෙනවා.

ඇමතිවරු මේ වාහන අවශ්‍ය ඇයි කියලා අහපුවාම දීපු උත්තරය තමයි “ජනතාවට වඩා හොඳින් සේවය කරන්න අපිට මේ වාහන අවශ්‍යයි” කියන එක. ඒත් ඒ කතාව පිළිගන්න කෙනෙක් නම් නැති තරම්. සාමාන්‍ය මහජනයාට නම් මේක සුළුතර දේශපාලකයන් පිරිසක් තමන්ට ලැබෙන බලතල අසීමිතව පාවිච්චි කරන එක සාධාරණීකරණය කරන්න කියන සුරංගනා කතාවක් විතරයි.

මේ ගැන එයාල හිතන්නේ මොනවාද කියලා දැනගන්න Roar හි අපි ලසන්ත අලගියවන්න මහතාට කතා කළා. ඔහු තමයි මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු වාහන දෙකක් මිලට ගන්න රුපියල් මිලියන 56ක් (කෝටි 5.6ක්) ඉල්ලා තියෙනවා.

ලසන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ තමන් කලින් පාවිච්චි කරමින් හිටපු වාහනය අමාත්‍යංශයේ වැඩ වලට ගන්න සුදුසු තත්වයක නැහැ කියලයි. මේ වාහනය එළවලා බලලාම තේරුම් ගන්න කියලා කියලා ඔහු මහජනතාවටත් ආරාධනා කළා.

“හැම ඇමතිවරයෙක්ටම, නියෝජ්‍ය ඇමතිවරයෙක්ටම වගේම අමාත්‍යාශ ලේකම්වරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්‌ටත් ඔවුන්ගේ රාජකාරී අවශ්‍යතා වලට පාවිච්චි කරන්න රාජ්‍ය වාහන ලබා ගන්න අයිතිය දීලා තියෙනවා. මේක අලුතෙන් සිද්ධ වුණු දෙයක් නෙවෙයි. මේ වාහන කිසිම එකක් ඇමතිවරු තමන්ගේ නමින් ලියාපදිංචි කරන්නේ නැහැ. අදාළ අමාත්‍යාංශය හෝ ආයතනයේ නමින් තමයි ලියාපදිංචි කෙරෙන්නේ. මගේ අමාත්‍යාංශය ගත්තොත් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය අලුතෙන් ඇති කරපු එකක්. ඉතින් අපේ වැඩකටයුතු වලට අලුතෙන් වාහන අවශ්‍යයි.” නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා.

“මේවා අපේ පෞද්ගලික වැඩ වලට යොදා ගන්න වාහන නෙවෙයි. අමාත්‍යාංශයේ රාජකාරී වැඩ වලටයි මේවා පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි අපි ජනතාව වෙනුවෙන් කරන සේවය කවදාවත් අඩු වෙන්නේ නැහැ. අපි හැමදාම වැඩකරන්නේ මහජන යහපත සඳහායි.” ඔහු අවසාන වශයෙන් අපිට එහෙමත් කිව්වා.

මේ කතාවට සමාන කතාවක් තමයි අපිට අනිත් ඇමතිවරුන්ගෙනුත් අහන්න ලැබුණේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයා කිව්වෙත් මහජනතාවට වඩා හොඳින් සේවය කරන්න මේ වගේ වාහන ඇමතිවරුන්ට තිබීම අත්‍යාවශ්‍යයි කියලා.

මේ ගැන පිළිතුරු දෙමින් පහුගිය ජූනි 8 වෙනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කිව්වේ “රාජකාරී කටයුතු වලදී ඇමතිවරුන්ට නිතරම දුර ගමන් බිමන් යාමට සිදු වෙනවා.” කියලයි. මේ නිසා “ඔවුන් පාවිච්චි කරන වාහන ඉතා හොඳ තත්වයේ තිබිය යුතුයි.” කියලත් ඔහු කියා සිටියා.

මේ ගැන තවත් සඳහන් කරමින් රාජිත ඇමතිවරයා මෙහෙමත් කිව්වා. “ලංකාවේ ඇමති කෙනෙක් තමන්ගේ අමාත්‍යංශයට අදාල හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න අවශ්‍යයි. කලින් ආණ්ඩුව වගේ හොරෙන් වාහන ගෙන්වනවා වෙනුවට අපි නිවැරදි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා තමයි මේ වාහන ගෙන්වන්නේ. ලංකාවේ දුර බැහැර පාරවල් බොහොමයක් තියෙන්නේ ඉතා අබලන් තත්වයේ. මේ වගේ තැන් වල තියෙන ගැටළු වලට විසඳුම් දෙන්න සාමාන්‍ය වාහනයක ගිහින් බැහැ. ඉහළ එන්ජින් ධාරිතාවක් තියෙන ෆෝ වීල් ඩ්‍රයිව් වාහන අවශ්‍යයි.”

ආචාර ධර්ම ගැන තියෙන ප්‍රශ්නය

කොහොම වුණත් තමන්ට ලැබෙන වාහනය එපා කියපු සමහර ඇමතිවරුනුත් හිටියා. ඒ වගේ එක ඇමතිවරයෙක් තමයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා. සමාජ සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන එතුමාගෙන් මේ ගැන Roar හි අපි විමසීමක් කළා.

“කලින් ආණ්ඩුවෙන් ගත්තු විශාල ණය ප්‍රමාණය ගෙවලා ඉවර කරගන්න අමාරු නිසා අපි ජනතාවගෙන් ඉල්ලුවා පටි තද කර ගන්න කියලා. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපිත් ඒකට ආදර්ශයක් දෙන්න අවශ්‍යයි කියලා. ඒක නිසයි වාහන ගන්න ඇස්තමේන්තුව සම්මත වුණු දවසෙම මම ලිපියක් භාර දීලා මට වාහනයක් අවශ්‍ය නැහැ කියලා කිව්වේ.” කියලා ඔහු අපිට කිව්වා.

ඒ වගේම 2015 ජනවාරි 8 වෙනිදා දුන්නු පොරොන්දුවට පටහැනි නිසා මේ වගේ වාහන ගන්න මිලියන ගණන් වියදම් කරන එකටත් තමන් මුල ඉඳන්ම විරුද්ධ වුණා කියලත් ඔහු ප්‍රකාශ කළා. මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරපු වෙලාවෙත් ඔහු තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළාලු.

අවශ්‍යතාවය සහ උවමනාව අතර වෙනස

කොළඹ රථ වාහන අංගනයක්. මේ ස්ථානයේ තිබිලා පසුගිය රජයෙන් ආපසු භාර නොදීපු වාහන 50කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණා. ඉතා සුඛෝපභෝගී රථ (වෙඩි නොවදින ලිමෝසීන් රථ ඇතුළත්ව) විශාල ගණනක් මෙතන තිබුණා. රූපය : AFP

කොළඹ රථ වාහන අංගනයක්. මේ ස්ථානයේ තිබිලා පසුගිය රජයෙන් ආපසු භාර නොදීපු වාහන 50කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණා. ඉතා සුඛෝපභෝගී රථ (වෙඩි නොවදින ලිමෝසීන් රථ ඇතුළත්ව) විශාල ගණනක් මෙතන තිබුණා. රූපය : AFP

ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන නැතිකමට වඩා බරපතල ප්‍රශ්න ගණනාවක් ලංකාවේ තියෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්. සමහර ඇමතිලා තමන්ට ලැබෙන වාහනය සංසන්දනය කරන්න බලන්නේ සිංගප්පූරුව වගේ රටවල ඇමතිවරුන්ට දෙන වාහනත් එක්කයි. ඒත් ඇත්තටම ඒ රටවල් සහ අපේ රට අතර ආර්ථික වශයෙන් තියෙන දුරස් බව බැලුවාම තමන්ටත් ඒ වගේ වාහන ඕනේ කියලා අපේ ඇමතිලා කියන කතා කොයිතරම් දුරට සාධාරණද?

පහුගිය අවුරුද්දේ කලින් ආණ්ඩුව ආපහු භාර නොදීපු වාහන 50කට වැඩි සංඛ්‍යාවක් පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ. මේ වාහන වලින් වැඩිහරියක් කවදාවත් පාවිච්චි නොකරපු ඒවා. කොළඹ රථ වාහන අංගනයක ඔහේ දිරාපත් වෙලා මළකඩ කන්න දාල තිබුණේ. තවමත් මේ ගැන පරීක්ෂණ කටයුතු අවසන් නැහැ. ඉතින් අපිට අහන්න තියෙන්නේ මේ වගේ පාවිච්චි නොකරපු වාහන පවා ඕන තරම් තියෙද්දී, ආර්ථික වශයෙනුත් අපේ රට අමාරු අඩියක තියෙන වෙලාවක අපේ ඇමතිවරුන්ට මේ තරම් මිල අධික වාහන ගෙන්වලා දෙන එක සාධාරණද කියලයි. විශේෂයෙන්ම දීපු පොරොන්දු බොහොමයක් ඉටු නොකරපු අයට තව තවත් වරප්‍රසාද ලබා දෙන එක හරිද?

කවරයේ පින්තුරය: lankabusinessonline.com

Related Articles